2018 ජුලි 07 වන සෙනසුරාදා

උතුර දකුණ මාරුවීම

 2018 ජුලි 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 192

විජයකලා මහේෂ්වරන් ගැන දකුණේ සමහරුන් දැන සිටියේ මන්ත්‍රීවරියක් වශයෙන් පමණි. ඒ මන්ත්‍රීකමක් ලැබුණේ කොහොමද ආවේ මොන පක්ෂයෙන්ද යන්නත් සමහරුන්ට වැදගත් මාතෘකාව වී තිබුණේ නැත. ඒ තත්ත්වය හදිසියෙන්ම වෙනස් වූයේ මේ වනවිට හතර අතේ පට්ට ගසන විජයකලාගේ කොටි ආපහු ඕනෑ කතාවත් සමගිනි. ඇයට ඒ කතාව කීමට ඇගේ පැත්තෙන් හේතු තිබිය හැකි වුවද එවැනි කතාවක් රට අවුස්සන කතාවක් විය හැකි බව රාජ්‍ය ඇමැති ධුරයක් දරණ ඇයට අමතක වී තිබීම නම් පුදුමය. මම ඒ වෙලාවේ ආවේගය නිසා කිව්ව කතාවක් වශයෙන් පසුව ඇය කළ සඳහනින් එය පැහැදිලි වෙයි.

විජයකලාගේ කතාවෙන් අපේ රටේ දේශපාලනයේ හැඩතල කිහිපයක්ම එළියට පැන්නේය. වැඩි දෙනකු ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද ඇතුළුව විජයකලාගේ හිස ඉල්ලීමෙන් පැහැදිලි වන්නේ උතුරේත් දකුණේත් දේශපාලනයේ පවතින පැහැදිලි වෙනසය. කුමන තත්ත්වයක් යටතේ වුවත් කොටි සංවිධානයේ යළි පැමිණීමක් අවශ්‍ය බව කීමට හෝ ඈට වඩා කොටින්ගේ පාලනය යටතේ නිදහසක් තිබූ බව කීමට හෝ කිසිදු දේශපාලනඥයකුට හැකියාවක් තිබිය නොහැක. එහෙම වුණත් විජයකලාගේ කතාව මේ රටේ දේශපාලනයේ කටගැස්මක් බවට පත්වුණේ හේතු කිහිපයක්ම නිසාය.

එහි පළමු හේතුව ඒකීය රටකට දිව්රුම් දී රටේ ඒකීයභාවය විනාශ කර දැමීමේ අරමුණින් යුද වැදුණු ත්‍රස්ත සංවිධානයක් යළි අවශ්‍ය යැයි පැවසීමෙන් මන්ත්‍රීවරියක් වශයෙන් විජයකලා ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවක් සිදුකර ඇතැයි කෙරෙන ප්‍රකාශයයි. ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කථානායකවරයා විසින්ද යූ.එන්.පී. පක්ෂ නායක වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතා විසින්ද වෙන වෙනම කටයුතු කරන බව සඳහන්ය. එහිදී කුමන තීන්දුවක් ගනු ඇතිදැයි පසුව දැනගැනීමට හැකිවනු ඇත. එහෙත් අනෙක් හේතු ඊට වඩා වෙනස්ය.

රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ කිහිපයකටම විජයකලාගේ කඩාපැනීම වෙස් වලාගත් ආශීර්වාදයක් විය. යූ.එන්.පී.ය තම පක්ෂය ඇතුළෙන් සහ බැඳුම්කර මගඩිය හේතුවෙන් සංකීර්ණ ගැටලුවලට මුහුණ දෙමින් සිටී. ශ්‍රීලනිපයේ මෛත්‍රීපාල ජනාධිපතිගේ පාර්ශ්වය 16 දෙනාගේ කැඩී යාමත් සමඟ ප්‍රතිසංවිධාන ගැටලුවලට මුහුණ දී සිටී. ජනාධිපතිවරයාගේ සහායට දැන් ආණ්ඩුව ඇතුළේ ඉන්නේ මැති ඇමැතිලා 23 දෙනකු පමණි. මේ යූ.එන්.පී. - ශ්‍රීලනිප දෙපාර්ශ්වයට එකතු වී ගෙනයන ආණ්ඩුවද විවිධ සංකීර්ණ ගැටලුවලට මුහුණ දී සිටින බව සැඟවිය නොහැකි සත්‍යයයි. මේ අය සිටියේ එල්ලෙන්න පොටක් පාදා ගැනීමේ තත්ත්වයකය. විජයකලාගේ කොටි කතාව ආවේ ඒ අතර වාරයේය.

ඒකාබද්ධ විපක්ෂය මහින්ද, ගෝඨාභය හා බැසිල් සමඟ එකට ගමනක් අරඹා තිබුණත් නිව්යෝක් ටයිම්ස් ඩොලර් මිලියන 7.6ක කතාව සමඟ එම ගමන හරහට පොල්ලක් වැටුණේය. මේ කතාව එළියට එනතුරැම ඒකාබද්ධ විපක්ෂයට හැඟීමක් දැනීමක් නොතිබූ බව කතාවත් සමඟ ඉවක් බවක් නොමැතිව පිළිතුරු දීමට යාමෙන් පැහැදිලි විය. එම කතාව ප්‍රතික්ෂේප කිරීම එකකි. එසේ වුවත් කතාව පුන පුනා බොරැවක් බව ප්‍රකාශ කිරීම හරහා රටේ ජනතාව තුළ සැකයක් සහ අවිශ්වාසයක් ඇතිකර ගැනීමට තිබෙන ඉඩකඩද බැහැර කළ නොහැකිය. පුවත්පත එම තොරතුරු අනාවරණය කර තිබුණේ අදාළ බැංකුවේ සහ ගිණුමේ තොරතුරුද සමඟය. එම තොරතුරු සනාථ කරන ලියැවිලිද තමන් සතු බවද එහි සඳහන් විය. එවැනි අවස්ථාවකදී මුලසිටම එය දේශපාලන මඩගැහිල්ලක් බව සඳහන් කරමින් ප්‍රතික්ෂේප කරනවාට වඩා විධිමත් අන්දමකින් තර්කානුකූලව එය ප්‍රතික්ෂේප කළ හැකිව තිබිණි. විජයකලාගේ කොටි කතාව එන්නේ ඒ අතරවාරයේය.

ජවිපෙ 20 වැනි සංශෝධනය සම්බන්ධව දකුණේ දේශපාලන පක්ෂ සමඟ ගැටෙමින් සිටියේය. ඒ අතරවාරයේ රෝහණ විජේවීරගේ බිරිඳ විසින් තම ස්වාමියා සොයා දෙන්නැයි සඳහන් කරමින් හදිසියේම ගොනුකළ හබයාස් කෝපස් නඩුව හේතුවෙන් ජවිපෙ නමද කරළියට ආවේය. විජයකලාගේ කොටි කතාව එන්නේ මේ පසුබිමේය.

උතුරේ දේශපාලන පක්ෂ අතරද සම්මුතියට වඩා විසම්මුතිය පැහැදිලිව පෙනෙන්නට තිබෙන්නකි. සම්පන්දන් සහ විග්නේෂ්වරන් අතර ගැටුම් සහගත මතවාද වැපිරෙමින් තිබිණි. විජයකලාගේ කතාව නොකිව යුතුව තිබූ කතාවත් හැටියට සම්පන්දන් දකින විට විජයකලා කතා කළේ ඇත්ත කාරණා වශයෙන් විග්නේෂ්වරන් දකින්නේ මේ මත ගැටුම් හේතුවෙනි. විග්නේෂ්වරන්ගේ මතයට එකඟ වන උතුරේ තවත් දේශපාලකයන් සිටින බව සහතිකය.

මෙහෙම බලන විට විජයකලාගේ කොටි කතාව ආවේ උතුරු දකුණු දේශපාලන පක්ෂ සියල්ලටම වෙනුවෙන් එල්ලෙන්න වැලක් හැටිය බව පැහැදිලිය. අද රටේ ලොකුම ප්‍රශ්නය විජයකලාගේ කතාවය. බැඳුම්කරය, නිව්යෝක් ටයිම්ස් කතාව, හිට්ලර් පාලනය, 20 වැනි සංශෝධනය, රෝහණ විජේවීර මේ කතා සියල්ල විජයකලාට යට වී තිබේ. හරියටම කිව්වොත් යට කරනු ලැබ තිබේ. ඒ අතින් තමන්ගේ ගැටලු තාවකාලිකව හෝ යටපත් කර දීමෙන් එම පක්ෂවලට විජයකලා කර ඇත්තේ උදව්වකි. රටේ ප්‍රධාන ප්‍රශ්න ජනතාවට අමතක කරවීමට කටයුතු කරන ආණ්ඩුවටත් කෙසේ හෝ බලය ලබාගැනීමට වලිකන ඒකාබද්ධ විපක්ෂයත් මෙවැනි තාවකාලික වින්දනවලින් සෑහීමට පත්වීම කනගාටුවකි.

විජයකලා තබා මොන කලාවෙන් කිව්වත් මේ රටේ යළි ත්‍රස්තවාදයක්, සිවිල් යුද්ධයක් ඇතිවීමට ඉඩකඩක් නැත. හරියට හිතන දෙමළ ජනතාවගෙන් අති බහුතරය සිහිනෙන් හෝ යළි යුද්ධයක් නොපතන බව පැහැදිලිය. දකුණේ දැඩි මතධාරී දේශපාලන අදහස් දරන පාර්ශ්වවලට විජයකලාගේ කතාව රස කර කර කෑ හැකි කෑමක් වුවද ඒ කතාවම අල්ලාගෙන දේශපාලන වාසි ගැනීමට යාම නැති ප්‍රශ්න ඇති කරන බව පැහැදිලිය. රටේ ප්‍රශ්න වැඩිවනවිට මෙවැනි ආවේගශීලී කතා සහ ඊට එරෙහිව එන ආවේගශීලී හැසිරීම්ද පාලනය කළ නොහැකි මට්ටමකට යාමටද ඉඩ තිබේ. එය අවසානයේ දේශපාලනයට කෙසේ වෙතත් රටට අවාසියක් බවට පෙරළීමටද හැක.

විජයකලාගේ කතාවේ එල්.ටී.ටී.ඊ. යළි ගෙන ඒමට අවශ්‍ය බවටත් ඒ කාලයේ යාපනේ දරුවන් නිදහසේ ජීවත් වූ බවටත් පවසන කොටස් හැරුණු විට යාපනයේ අද පවතින තත්ත්වය සම්බන්ධයෙන් ඇය කළ ප්‍රකාශයේ ඇතැම් කරුණු රටේ සියලුදෙනාගේ අවධානය දිනාගන්නා ඒවා බව නිසැකය. නමුත් කුමන හේතුවකට හෝ පාර්ලිමේන්තු මන්ත්‍රී පිරිසකගේ අධිවේගී හැසිරීම් විසින් ඒ ගැන සොයාබැලීමට තිබූ අවස්ථාව අහිමි කෙරිණි.

එම කතාවේ මෙසේද සඳහන් වී තිබිණි.

වයස 6ක ගැහැණු ළමයෙක් දූෂණය කර මරාදාලා. කාගෙන්වත් හව්හරණක් නැති අපේ ගැහැනු ළමයින්ට ඇති එකම විසඳුම සියදිවි නසාගැනීමයි. උතුරේ 30,000ක් වැන්දඹුවන් ඉන්නවා. පුනරුත්ථාපන කඳවුරැවල 12,000ක් එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් ඉන්නවා. රජය ඔවුන් වෙනුවෙන් මොකද කරන්නේ?

අපේ මිනිස්සු පොළේ බඩු විකුණනවා, සිමෙන්ති අනනවා. ඒකයි ඔවුන් උපවාස කරන්නේ. කලින් ආණ්ඩුවත් කළේ ඒකමයි. අපේ දරුවන්ටත් රස්සා ලබාදිය යුතුයි. යුද්ධය තිබුණේ උතුරේ සහ නැගෙනහිරට සීමාවෙලා. මේ නිසා ඒ පළාත් දෙකට වෙනම විශේෂ සංවර්ධන වැඩසටහන් ඕනෑ. දැන් මොකද වෙන්නේ. විශේෂ සංවර්ධන වැඩසටහන් අනෙක් පළාත්වල සිදුවෙනවා. නමුත් උතුරට සහ නැගෙනහිරට නෑ. අපේ ඉවසීමේ සීමාවටම ඇවිත්.

අද යාපනයේ මත්කුඩු උවදුර පැතිරිලා. යුද්දෙ ඉවරවුණාට පස්සේ දේශපාලකයන් උතුරට කුඩු ප්‍රවාහනය කරනවා. කුඩු ඇබ්බැහිවීම් යාපනේ වැඩිවුණේ මේ නිසායි. දෙමළ ජනතාව බේරාගන්න ජනාධිපතිවරයා අපොහොසත් වී තිබෙනවා.

යාපනය ඇතුළු උතුරු පළාත තුළ සිදුවන මෙවැනි සිදුවීම් දිහා බලනකොට 2009 මැයි මාස 18 වනදාට පෙර දෙමළ ජනතාව ජීවත් වූ ආකාරය ගැන ආඩම්බර වෙනවා. මේ තත්ත්වය නිසා කොටි සංවිධානය නැවතත් බිහිකළ යුතුයි. එය අපගේ මූලික අරමුණක්. අප ජීවතුන් අතර සිටීමට නම්, අපට මහමඟ නිදහසේ ඇවිදීමට නම්, අපගේ දරැවන් පාසල් වෙත ගොස් නැවත නිවසට පැමිණිය යුතුවීමට නම්, උතුරැ නැගෙනහිර පළාත්වල කොටි සංවිධානය යළි හිස එසවිය යුතුයි.

විජයකලාගේ එල්.ටී.ටී.ඊ. කතාවට මොනම මට්ටමකින්වත් එකඟ වන කිසිවකුත් දකුණේ සිටිය නොහැක. එසේ වුවද ඇය යාපනේ අද පවතින සැබෑ තත්ත්වය පිළිබඳව අනාවරණය කළ සෙසු කරුණුවලට එකහෙලාම විරුද්ධ වීමද කළ නොහැකි බව පැහැදිලිය. යාපනේ කුඩා දැරියන් දූෂණය කොට මරනවා නම්, කුඩු ජාවාරම ජයටම සිදුවෙනවා නම්, තරුණයන්ට රැකියා නැත්නම්, සංවර්ධන යෝජනා ක්‍රම නොලැබෙන්නේ නම් ඒ ගැන විවේචනය කිරීම අසාධාරණයක් සේ දැකිය හැකිද යන ප්‍රශ්නය අපට ඉතිරි වෙයි. එහෙම බැලුවොත් කොටි අවශ්‍යය යන කතාව ඉවත් කර විජයකලා කියන සෙසු කාරණා ගැන සාධාරණ ඇසකින් කියවිය හැකි නම් මේ රටේ දේශපාලනයද වෙනස් මඟක් ගනු ඇති බව සහතිකය.

 ශශීන්ද්‍ර

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00