2018 ජුලි 07 වන සෙනසුරාදා

ලංකා රබර් සහ චීන සහල්

 2018 ජුලි 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 50

දැනට අවුරුද්දකට පමණ පෙර මට බන්දුල ගුණවර්ධන මන්ත්‍රීතුමා පාර්ලිමේන්තුවේ ලොබියේදී හමුවිය. අප දෙදෙනා දීර්ඝකාලීන මිතුරන් වූ බැවින් අල්ලාප සල්ලාපයේ යෙදුනෙමු. බන්දුල මට කීවේ ඔහු ආචාර්ය උපාධිය සඳහා නිබන්ධනයක් සකස් කරන බවයි. පීකිං සරසවියට ඉදිරිපත් කෙරෙන එම නිබන්ධයේ මාතෘකාව කුමක්දැයි මම විමසුවෙමි. එය චීන ලංකා ආර්ථික සම්බන්ධතා මුල් කරගත් පර්යේෂණයක් බවත් ඊට ආර්.ජී. සේනානායකගේ මූලිකත්වයෙන් අත්සන් කරන ලද හාල් - රබර් ගිවිසුම ඇතුළත් වන බවද ඔහු කීවේය. ඒ අනුව මගේ මතකය අවදි කළ මා එම ගිවිසුම පිළිබඳව පළ කරන ලද වැදගත් පොතක් ගැන බන්දුලට දන්වූයෙමි. එම පොත ලියන ලද්දේ හැත්තෑ ගණන්වල ප්‍රසිද්ධ ඉංග්‍රීසි පුවත්පත් වේදියෙක් වූ එස්.පී. අමරසිංගම් විසිනි. ඔහු සතිපතා පළවූ ට්‍රිබියුන් නමැති ඉංග්‍රීසි පුවත්පත් සඟරාවක අයිතිකරු මෙන්ම කර්තෘ හැටියටද කටයුතු කළේය. ඔහු ලංකා කොමියුනිස්ට් පක්ෂයේ අනුගාමිකයෙකු වූ අතර එකල බොහෝ මාධ්‍යවේදීන්ගේ ගෞරවයට පාත්‍ර වූ චරිතයක් විය. තරමක් දුෂ්කර වුවද එම පොත සොයාගත හැකි වූ බවත්, එය ඔහුගේ නිබන්ධය සකස් කිරීමට බෙහෙවින් උපකාරී වූ බවත් බන්දුල මට පසු දවසක පැවසීය. 

මගේ මිතුරෙකු වූ අමරසිංගම් ගැන සටහනක් තැබීම වැදගත් යැයි සිතමි. මර්වින් ද සිල්වා , රෙජී සිරිවර්ධන සහ ප්‍රෙඩ් ද සිල්වා වැනි කීර්තිමත් පුවත්පත් කලාවේදීන් කණ්ඩායම් අතරට ඔහුද ඇතුළත් වේ. මුලින්ම ටයිම්ස් ඔෆ් සිලෝන් පුවත්පතේ සේවය කළ ඔහු එයින් අස්වී ස්වාධීන පුවත් සඟරාවක් ආරම්භ කළේය. සමහර විට ඔහුට එකල අප අගනුවර ප්‍රබල තානාපති කාර්යාලයක් වූ සෝවියට් මූලස්ථානයෙන් ආධාර ලැබුණා විය හැකිය. එසේත්  නැතහොත් එවැනි සඟරාවක් දිගටම පළ කිරීම ලෙහෙසි පහසු කාර්යයක් නොවන්නේය. කොමියුනිස්ට් පැත්තට බර වුවද ඔහු ඉතාම දක්ෂ ලෙස සිය වෘත්තීය කටයුතු ඉටු කළේය. සතිපතා පුවත් විග්‍රහයක්ද අප රාජ්‍ය නිවේදනවල සම්පිණ්ඩනයක්ද ඔහු පළ කළේය. මා එවකට ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ නිසා අමරසිංගම් අනිවාර්යෙන්ම සතියකට වරක් මා හමු වී රජයේ විස්තර ලබාගත්තා පමණක් නොව අප කාර්යාලය විසින් නිකුත් කරන ලද ප්‍රවෘත්ති නිවේදන ගොන්නක්ද පළකිරීම සඳහා රුගෙන ගියේය. හොඳම ප්‍රවෘත්ති සම්පිණ්ඩනය පල වී තිබුණේ අමරසිංගම්ගේ සඟරාවේ බවත් එය කොළඹ සිට තම මව් රටවල්වලට සතිපතා ප්‍රවෘත්ති සටහන් සම්පාදනය කරන විදේශීය තානාපති කාර්යාලවලට නැතිවම බැරි මූලාශ්‍රයක් බව එකල පිළිගැනීම විය. අමරසිංගම් පුවත් එක්කාසු කිරීම හා පළ කිරීම කළේ තනිවමය. ඔහු ලෙඩ වූ පසු පමණක් ඔහුගේ දියණිය සහය දැක්වූවාය.

මාවෝ සේතුංගේ රතු හමුදාව මුළු චීනයම අල්ලා ගත්තේය. ඔහුගේ ප්‍රතිමල්ලවයා වූ චියං කායිෂේක් චීන මහද්වීපයෙන් පලාගොස් කුඩා දූපතක් වූ ෆොමොසා හි රජයක් පිහිටෙව්වේය. පසුව එය තායිවානය යැයි නම් කරන ලදී. ඔහුට එහිදී නිරුපද්‍රිතව රජ කිරීමට හැකි වූයේ ඇමරිකන් යුද නැව් ඒ අවට මුහුදේ රඳවා තිබුණු නිසාය. පරාජිත චියන් කායි ෂේක් ගේ ආධාරකරැවා වූ ඇමරිකාව රතු චීනයට කෙනෙහිලිකම් කළා පමණක් නොව තම රටේ වමාංශිකයින්ද දඩයම් කරන්නට පටන් ගත්තේය. එය ඇමරිකන් ඉතිහාසයේ කළු පැල්ලමක් හැටියට දැන් සැලකේ.

මේ අවධියේ ඇමරිකන් තර්ජන නොතකා ඩඩ්ලි සේනානායක රජය රතු චීනයේ නව රජය පිළිගත්තේය. ඒ වනවිට එංගලන්තයේද වාමවාදී කම්කරැ පක්ෂය රජයක් පිහිටුවා තිබුණ බැවින් නව චීනය පිළිගැනීමට මුලින්ම එරට ඉදිරිපත් විය. ලංකාව ඔවුන් අනුගමනය කරමින් නව චීනය මුලින්ම පිළිගත් රටවල් පහට ඇතුළත් වුණි. ජේ.ආර්.  සහ සර් ජෝන් කොතලාවලගේ විරැද්ධතාවය මැද ඩඩ්ලි තීරණය ගත්තේය. එතැනදී ඔහුට ශක්තියක් වූයේ කැබිනට් සගයෙකු මෙන්ම කිට්ටු නෑයෙකු වූ ආර්.ජී. සේනානායකය. ඩඩ්ලි රජයේ වෙළෙඳ ඇමැති වූ ඔහු වහාම නව චීනය සමඟ වාණිජ සම්බන්ධතා ඇති කර ගත්තේය. ඇමරිකන් බලපෑම් ගැන ජේ.ආර්.ගේ බිය ඔහු සමච්චලයට ලක් කළේය. චීන ඩිකී යැයි වූ ඔහු ජේ.ආර්.ට කිවේ යැංකි ඩිකී කියාය.
මේ වනවිට ඩඩ්ලි රජය ක්‍රමක්‍රමයෙන් ආර්ථික අර්බුදයකට යමින් තිබුණේය. දැන් අප බොහෝ දෙනෙක් අමතක කරන දෙයක් නම් එකල ලංකාව පිටරටින් සහල් ආනයනය කළ බවයි. ලංකා දේශපාලනයේ ප්‍රබලම ආයුධය වූයේ ජනතාවට කෑමට හාල් සැපයීමයි. අර්බුදයට මුහුණ දීමට ඩඩ්ලි එක් හාල් සේරුවක් නොමිලේ දෙමින් සෙසු හාල් වැඩි කළ මිලට ජනතාවට ලබා දුන්නේය. නොමිලේ හාල් දුන්න නිසා මාධ්‍ය ඩඩ්ලිට බත් දුන් පියා යන විරැදාවලිය හිමිකර දුන්නේය. මේ ක්‍රියාව නිසා ඩඩ්ලිගේ ජනප්‍රියත්වය වැඩි වීම ගැන ඊර්ශියාවන්ත වූ වාමාංශික පුවත් ඔහුට පිංපියා යැයි නමක් පට බැන්දේය. හාල් දේශපාලනය කොතරම් දුරදිග ගියාදැයි කියතොත් මැතිනිය හඳෙන් හෝ හාල් ගෙනත් දෙනවා යැයි කිවාය. එම කියමන දේශපාලන විචාරකයන්ගේ හාස්‍යයට ලක් විය.

මෙරට හාල් නිෂ්පාදනයේ අර්බුධය ආර්ථිකයට බලපෑ අතර එයට තවත් පහරක් වැදුණි. ලෝක වෙළඳපොලේ අපේ රබර් මිල වරක් ඉහළටම නැග තිබුණි. කොරියානු යුද්ධ සමයේදී ඇමරිකානු යුද්ධ සටන් යන්ත්‍රයට රබර් අවශ්‍ය අමුද්‍රව්‍යයක් විය. එම යුගයේ අපට ලැබුණ අතිරික්තයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලය සහ ගල්ඔය ව්‍යාපෘතිය ආදියට අප රට තුළින්ම මුදල් ලබා ගැනීමට හැකි වූයේය. එහෙත් කොරියානු  යුද්ධය නිමා වීමත් සමඟම රබර් මිල සීග්‍රයෙන් පහළ බසින්නට විය. ඒ අවදියේම කෘත්‍රිම රබර්ද ලෝක වෙළදපළට පැමිණියේය. මෙම අර්බුදයෙන් ගොඩ ඒමට ඩඩ්ලි හා ආර්.ජී. චීනය දෙසට හැරැණේය. බටහිර රටවල විරෝධතා මැද ඔවුන් චීනයට අපේ රබර් විකිණූ අතර චීනය අපට හාල් සැපයුවාය. පුදුමය නම් ඔවුන් අපේ රබර්වලට ජාත්‍යන්තර මිලට (සිංගප්පුරුවේ මිල දර්ශකය අනුව) වැඩියෙන් ගෙවූ අතර ලෝක මිලට පහලින් හාල් සැපයීමයි. ඇත්ත නම් ඒ වනවිට චීනයට අවශ්‍ය ප්‍රමාණයට හාල් නොතිබුණ නිසා එය වැඩි මිලට බුරුමයෙන් මිලදී ගෙන අඩු මිලට අපට සැපයූ බවයි.

රබර් හා හාල් ගනුදෙනුවේ නියමුවා හැටියට ආර්.ජී. ලංකාවේ ජනප්‍රිය චරිතයක් බවට පත් විය. ඔහුගේ පයේ ආබාධයක් තිබුණත් චීන නායකයන් සමඟ එරට පැය ගණනක් චීන නිදහස් දින පෙළපාලියක් නැරඹූ බව පුවත්පත් වාර්තා කළේය. රට වෙනුවෙන් කළ මේ වීර ක්‍රියාවට ඉරිසියා කළ කොතලාවල ආර්.ජී ගේ අබාධිත කකුල ගැන සිනාසෙමින් ඔහුට කෙහෙතා යැයි නම් කළේය.

 2018 සැප්තැම්බර් 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 සැප්තැම්බර් 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 සැප්තැම්බර් 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 සැප්තැම්බර් 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 සැප්තැම්බර් 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00