2018 ජුලි 07 වන සෙනසුරාදා

පුංචි කෑලි

 2018 ජුලි 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 111

මැලේසියන් ව්‍යාපෘතිය: ජනපතිගෙන් අර්ජුනට දෝස්මුරයක්

මැලේසියානු සමාගමක් විසින් ශ්‍රී ලංකාව තුළ ආරම්භ කිරීමට යන ව්‍යාපෘතියකට බලපත්‍රය ලබාදීම දිගින් දිගටම ප්‍රමාද කිරීම සම්බන්ධයෙන් තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතාට පසුගිය අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් තදින් දෝෂාරෝපණය කරනු ලැබීය.

අදාළ ව්‍යාපෘතියට සම්බන්ධ නිෂ්පාදන පහසුකම් සපයාගැනීමට අමෙරිකානු ඩොලර් මිලියන 10ක මුදලකින් මේ වනවිට ද එම සමාගම මුතුරාජවෙල නිෂ්පාදනාගාරයක් පිහිටුවා තිබේ. ක්වාලාලම්පූර්හි පිහිටි ලිහිස්සි ද්‍රව්‍ය ඇතුළු පෙට්‍රෝලියම් අමතර නිපැයුම් සිදුකරන හයිරුක්ස් ඔයිල් - Sdn Bhd නම් සමාගම මේ සිද්ධියට මුහුණදී සිටී. අදාළ ව්‍යාපෘතිය තෙල් සංස්ථාව සමඟ ඒකාබද්ධව සිදුකෙරෙන අතර වසර 10කට පසුව සංස්ථාව එහි තනි අයිතිකරැ බවට පත්වෙයි. දෙපාර්ශවයේ ගනුදෙනුවට අදාළ ලියකියැවිලි නීතිපති දෙපාර්තමේන්තුව මගින් නිරවුල් කරදී අවසන්ය.

මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට නියමිතව තිබුණේ පසුගිය දෙසැම්බරයේ ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදුණු හිටපු මැලේසියානු අගමැති නජීබ් රසාක් අතිනි. තෙල් සංවර්ධන අමාත්‍යාංශය මගින් එම ව්‍යාපෘතියට අවශ්‍ය මෙහෙයුම් බලපත්‍ර නිකුත් කර නැති බව දැනගන්නට ලැබී ඇත්තේ ඒ අවස්ථාවේදීය. මේ නිසා එම ආරම්භය සිදු නොවීය.

පසුගිය කැබිනට් රැස්වීමේදී අමාත්‍ය රණතුංග විසින් ඉදිරිපත් කර තිබූ පත්‍රිකාවක් ඇමැතිවරුන්ගේ සාකච්ඡාවට භාජනය විය. ඒ අවස්ථාවේදී අර්ජුන කියා ඇත්තේ ව්‍යාපෘතිය ඇරුඹීමට පෙර තවදුරටත් සාකච්ඡා කිරීමට අවශ්‍ය බවය.

එක් අමාත්‍ය ආරංචි මාර්ගයක් කියා තිබුණේ “සිරිසේන ජනාධිපතිතුමා මේ තරම් කේන්ති අරං හිටපු දවසක් මීට කලින් දැකලා තිබුණේ නෑ. ඔහු තද කැළඹීමකින් හිටි බවයි පෙනුණේ.” යනුවෙනි. 

සිරිසේන මහතා මෙසේ කියා තිබිණි. “තවත් කතා කරන එකේ තේරැමක් නෑ. තවදුරටත් පරක්කු නොකර අදම බලපත්‍ර නිකුත් කරන්න.”

පළාත් සභා පළාත් පාලන සහ ක්‍රීඩා ඇමැති ෆයිසර් මුස්තාෆාට ද මේ ගැන පැමිණිල්ලක් තිබිණි. කම්හල ආරම්භ කිරීම අනවශ්‍ය ආකාරයට කල්යන බව ඔහු සඳහන් කළේය. ඔහු පෙන්වා දුන්නේ බලපත්‍ර නොමැතිව අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ආනයනය කළ නොහැකි බවය. රණතුංග මහතා මෙහිදී මැලේසියානු සමාගම මුස්තාෆා ඇමැතිවරයා හඳුනන බව කියමින් එය යටපත් කිරීමට උත්සාහ දැරීය.

ඉහළ පෙළේ රජයේ ආරංචි මාර්ග ප්‍රකාශ කළේ එම මැලේසියානු සමාගමේ නියෝජිතයකුට තමන්ගේ ඥාතියකු හමුවන්නැයි දේශපාලනඥයකු විසින් දැනුම් දී ඇති බවට පැමිණිලි ලැබී තිබෙන බවය. එම හමුවේදී මෙහි සඳහන් ඥාතියා විසින් සමාගම ඉල්ලා ඇති වර්ග තුනේ බලපත්‍ර ලබාදීමට නම් එක බලපත්‍රයකට අමෙරිකානු ඩොලර් 250,000 බැගින් ලැබිය යුතු බවත් එම මුදල් දේශපාලන කටයුතු සඳහා අවශ්‍ය වන බවත් ප්‍රකාශ කර ඇතැයි කියති. මේ අවස්ථාවේදී අදාළ සමාගම බේරැම්කාර මණ්ඩලයකට යන බවට තර්ජනය කර ඇත්තේ තමන්ට හොඳ නීතිමය පදනමක් තිබෙන බව සඳහන් කරමිනි.

කෙසේ වුවද රණතුංග ඇමැතිවරයාට සමීප ආරංචි මාර්ගයක් එම කතාව ප්‍රතික්ෂේප කරමින් අල්ලස් ඉල්ලීමකට කිසිදු පියවරක් නොගත් බව සඳහන් කළේය. “කිසිම අයෝග්‍ය දෙයක් වෙලා නෑ.” යනුවෙන් ඔහු ප්‍රකාශ කළේය.

- සන්ඩේ ටයිම්ස්


ඔස්ටින් ප්‍රනාන්දු අස්වෙයි

සති ගණනාවක් තිස්සේ පැතිරෙමින් තිබූ කටකතාවලට තිත තබමින්, ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා ඉල්ලා අස්වූ බව ජනාධිපති මාධ්‍ය අංශය ඊයේ (05) නිවේදනය කළේය.

ජනාධිපති මාධ්‍ය අංශ ට්විටර් ගිණුමේ ඊයේ සවස නිකුත් කළ සටහනේ මෙසේ සඳහන් වී තිබිණි. ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මීට ටික වේලාවකට පෙර සිය ධූරයට සමු දුන්නේය.

කෙසේ වුවද මේ සමු දීම සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් කිසිදු නිවේදනයක් නිකුත් වූයේ නැත. එසේම විදුලි සංදේශ නියාමන කොමිසමේ සභාපති ධූරයෙන්ද ඔහු ඉල්ලා අස්වී දැයි ඒ සමඟ දැනගන්නට නොතිබිණි.

ප්‍රනාන්දු මහතා ජනාධිපති ලේකම් වශයෙන් රාජකාරි ඇරුඹුවේ පසුගිය වසරේය. ඊට පෙර ඔහු නැගෙනහිර ආණ්ඩුකාර ධූරය දැරීය.

- ඩේලි එෆ්.ටී.

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00