2018 ජුලි 07 වන සෙනසුරාදා

රෙදි ගලවාගන්න මන්ත්‍රීලා

 2018 ජුලි 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 58

විජයකලා එක රැයින් ජන(අ)ප්‍රිය දේශපාලන චරිතයක් බවට පත්වූවාය. කොටි සංවිධානය යළි ගෙන ඒම යාපනයේ වැසියන්ගේ නිදහසේ මාවත බවට ඇය කළ ප්‍රකාශය විසින් මුළු රටේම අවධානය තමා වෙත යොමුකරවා ගැනීමට විජයකලා සමත් වුවද එම කතාවේ සැබෑ අරමුණ එවැන්නකින් එහා ගිය දෙයක් බව වටහාගැනීම අමාරු නැත. ප්‍රභාකරන් අගමැතිකමට සුදුසු බවද ඔහු නැතිවීම තමාට කනගාටුවක් බවද ඇය මීට කලින් කළ ප්‍රකාශ සමඟ මෙවර කී කතාවද සමපාත වන බැවින් මෙය ආවේගශීලී වීම නිසාම සිදුකෙරුණු කතාවක් නොවන බව අපගේ විශ්වාසයයි.

මේ කතාව මන්ත්‍රීවරිය ප්‍රකාශ කළේ කොළඹදී නොව යාපනයේදීය. කොහොමත් විජයකලාට නිල වශයෙන් සිදුවන කටයුත්තකදී හැර කොළඹදී කතාවක් කිරීමට අවස්ථාවක් උදාවන්නේ නැත. නමුත් පාර්ලිමේන්තුව ඇයට එම ඉඩකඩ ලබාදෙන එනම් කතා කිරීමට අවස්ථාව උදාකර දෙන වේදිකාවයි. එහෙත් පාර්ලිමේන්තුව තුළදී ඇය එවැනි කතාවක් දිගහරින්නට සූදානම් වූවා නම් රෙදි ගැලවෙන්නේ ඇයගේ පමණක් නොව ඇය නියෝජනය කරන පක්ෂයේය. ඒ කෙසේ වුවත් විජයකලා යාපනයේදී කළ කොටි කතාවට කොළඹ පාර්ලිමේන්තුව දැක්වූ ප්‍රතිචාරයද මන්ත්‍රීවරුන් දෙදෙනකුගේ ක්‍රියාකලාපය විසින් මඩ බාල්දියක ගිල්වනු ලැබූ බව පැවසිය යුත්තේ කනගාටුවෙනි. විජයකලාගේ කටට මෙන්ම එම මන්ත්‍රීලාගේ හැසිරීමටද බ්‍රේක් තිබුණේම නැත.

විජයකලාගේ කතාවෙන් ඇය නියෝජනය කරන පිරිස්වලට සිදුවූ බරපතළ අපහාසය සහ නින්දාව පාර්ලිමේන්තුව කෝලම් මඩුවක් බවට පත් කිරීමට කටයුතු කළ මන්ත්‍රීවරුන් දෙදෙනාගේ පහත් හැසිරීම විසින් පැය කිහිපයකට හෝ යටපත් කරනු ලැබීය. කතාවකට පිළිතුරු දීමට යාමේදී සෙංකෝලය උදුරාගෙන යාමට කිසිදු මන්ත්‍රීවරයකුට අයිතියක් නැත. පිළිතුරු දීම එකකි. සභාව ගඳ ගැස්සීම තව එකකි. එවැනි අවිනීත හැසිරීම් තමන් නියෝජනය කරන දේශපාලන පක්ෂයට හෝ සන්ධානයට හෝ අයත් කරදෙන කිසිම ගෞරවයක් නැත. සිදුවන්නේ අගෞරවයකි. අපකීර්තියකි. සමස්තයක් වශයෙන් පාර්ලිමේන්තුවේම කීර්තියට හානියකි.

එම හැසිරීම් සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කළ කතානායක කරු ජයසූරිය මහතා සඳහන් කළේ මන්ත්‍රීවරැන් දෙදෙනකු අශෝභන ලෙස හැසිරෙමින් කටයුතු කළ ආකාරය මුළු පාර්ලිමේන්තුවටම අපකීර්තියක් බවය. ජනතාවගේ සුබසිද්ධිය පිළිබඳ හැඟීමකින් තොරව එයට බාධා පමුණුවා පාර්ලිමේන්තුවේ උත්තරීතර සංකේතය වන සෙංකෝලය උදුරා එයට හානි කිරීමට ගත් උත්සාහයත් වැදගත් නියෝග අනුමත කිරීමට ඉඩ නොදී පාර්ලිමේන්තුවේ කටයුතු කඩාකප්පල් කිරීමත් එයින් රටට ලබාදෙන පණිවුඩය ගැනත් කනගාටු විය යුතු බවද කතානායකවරයා සඳහන් කර තිබිණි. කිහිපදෙනකුගේ අශෝභන හැසිරීම මුළු පාර්ලිමේන්තුවේම ගරැත්වයට හා කීර්තිනාමයට බලවත් හානියක් සිදුකළ බවද කතානායකවරයාගේ ප්‍රකාශයේ සඳහන් විය. එම ප්‍රකාශයෙන් කියැවෙන පණිවුඩය තේරැම් ගැනීමට යම් තරමක හෝ ශක්තියක් තිබේ නම් මෙම මන්ත්‍රීවරැන් යළි කිසි දිනෙක එවැනි බාල, පහත් හැසිරීමකට නොයනු ඇතැයි අපගේ විශ්වාසයයි.

පාර්ලිමේන්තුව තුළ බහින් බස්වීම්, ආවේගශීලී හැසිරීම්, කලහකාරී ගැටුම් පමණක් නොව ගුටි ඇනගැනීම්ද වාර්තා වන අවස්ථා තිබේ. එය අපේ රටට පමණක් නොව වෙනත් රටවලටද පොදු කාරණාවකි. එහෙත් සිද්ධියට කිසිදු සම්බන්ධතාවයක් නොමැති කතානායකවරයාට නොසරුප් වදනින් ආමන්ත්‍රණය කරමින් ඔහුට තර්ජනය කිරීම, සෙංකෝලය උදුරාගෙන එයට හානි කිරීමට තැත් කිරීම වැනි හැසිරීම් දකින්නට ලැබීම පවා ජුගුප්සාජනක අත්දැකීමක් බව සඳහන් කළ යුතුය. පාර්ලිමේන්තුව තුළ මූලාසනයට ගරු නොකිරීමේ අවස්ථා මීට පෙරද සිදුව තිබෙන නමුත් මේ ආකාරයට අපහාසාත්මක හැසිරීමක් නම් තිබූ බවක් අපට මතක නැත. එහි අගෞරවය, අපකීර්තිය කතානායකවරයාට නොව තමන්ට පැවැරෙන බව අදාළ මන්ත්‍රීවරුන් දෙදෙනාම දැනගැනීම අවශ්‍යය. මේ හැසිරීම පක්ෂ විපක්ෂ භේදයකින් තොරව සම්පූර්ණයෙන් හෙළාදැකිය යුතුවෙයි.

ඇත්ත වශයෙන්ම එම මන්ත්‍රීවරුන්ගේ ක්‍රියාකලාපයෙන් සිදුවූයේ විජයකලාගේ කතාව සම්බන්ධයෙන් අර්ථවත් සංවාදයක් ඇතිකරගැනීමට තිබූ අවස්ථාව සියලු මන්ත්‍රීවරුන්ට අහිමි වීමය. එපමණක් නොව එදින නියමිතව තිබූ සෙසු විවාදවලටද බාධා සිදුවීමය. මෙය සිතාමතා කරන ලද කඩාකප්පල් වැඩක්ද යන සැකයද මෙහිදී මතුවන බවත් එම මන්ත්‍රීවරුන් දැනගත යුතුය. රටේ ජනතාව බොහෝ දේවල් තේරුම් ගන්නේ මන්ත්‍රීවරුන්ගේ කතාවලින් නොව ඔවුන්ගේ හැසිරීම් රටාවෙන් බව ඇතැම් විට මේ මන්ත්‍රීවරුන් නොදන්නවා විය හැකිය. මන්ත්‍රීවරුන් කියන දේ පිළිබඳ තිබෙන විශ්වාසය බොහෝ දුරට බිඳීයමින් තිබෙන කාලයක මෙවැනි හැසිරීම් මගින් සිදුකරන්නේ එම අවිශ්වාසයට තවදුරටත් උත්තේජනය සැපයීමකි.

විජයකලාගේ ප්‍රකාශය මේ රටේ සිහිබුද්ධිය ඇති කිසිවකු හෝ අනුමත කරන්නේ නැත. ඒ ගැන කතා කිරීමට ගොස් රෙදි ගලවාගන්නා මන්ත්‍රීවරැන් සම්බන්ධයෙන්ද කීමට ඇත්තේ එයමය. විජයකලාගේ අදහස් මේ රටට වැඩක් නැතිවාසේම මන්ත්‍රීවරුන්ගේ ලජ්ජා නැති හැසිරීම්වලින්ද රටට පලක් නැත.