2018 ජුනි 30 වන සෙනසුරාදා

පාවෙන වාසි-අවාසි

 2018 ජුනි 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 214

හිට්ලර්ගේ කතාවත් එයට ලැබුණු පිළිතුරුත් ඒ ගැන ඇති වූ සංවාදත් පසුගිය සතිය පුරාම දේශපාලන කරළිය තුළ රැව් දුන්නේය. එම රුව්දීම තුළ එක් හඬක් පැහැදිලි විය. තව අවුරුදු එකහමාරක් තියෙන ජනාධිපතිවරණයක් ගැන අපි මොනවටද දැන්ම කලබල වෙන්නේ කියා දැන් ඉන්න හැම දේශපාලන පක්ෂ නායකයාම කිව්වත් ඒ හැම දෙනාම මීළඟ ජනාධිපතිවරණ රේස් එකේ දුවන අශ්වයන් ගැන පුදුම සෙවිල්ලකින් ඉන්න බවය. ඒ සෙවිල්ල බැලිල්ල විශේෂයෙන්ම පොදු ජන පෙරමුණ (පොහොට්ටුව) ඉදිරිපත් කරන අපේක්ෂකයා ගැන වඩාත්ම සංවේදී බවද පැහැදිලි විය.

අස්ගිරියේ අනුනාහිමි වෙඬරැවේ උපාලි හිමියන් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික නිවසේදී පෞද්ගලිකව පැවැත්වූ උපන්දින පින්කමේදී සිදු කරන ලද අනුශාසනාව මේ තරම් කලබැගෑනියකට හේතු වනු ඇතැයි උන්වහන්සේ කවදාවත් නොසිතූ බව නොරහසකි. එසේ වුවද එවැනි අවස්ථාවකට මාධ්‍ය පිරිස් විශේෂයෙන් විද්‍යුත් මාධ්‍යවලට ප්‍රවේශයක් තිබීම එම පින්කමේ පෞද්ගලික බව වෙනස් කර තිබිණි. එතැනදී සිදු කළ අනුශාසනාව පෞද්ගලික විය හැකි වුවද කතාව පබ්ලික් වීමෙන් පසුව එය දෙබරයට ගල් ගැසීමක් බඳු වූයේ ගෝඨාභය මීළඟ ජනාධිපතිවරණයේදී පොහොට්ටුවේ අපේක්ෂකයා වනු ඇති බවට පවතින පිළිගැනීම බව නිසැකය.

මීළඟ ජනාධිපතිවරණයේදී තමන්ගේ අපේක්ෂකයා කවුදැයි මහින්දගෙන් අහන ප්‍රශ්නයට තවමත් කෙළින් පිළිතුරක් ලැබෙන්නේ නැත. ඔහු බොහෝ දුරට එයට පිළිතුරු දෙන්නේ තමන් ඒ පිළිබඳව තීන්දුවක් ගෙන නැති බව හැඟෙන පරිදිය. එහෙත් ගෝඨාභය එළිය දල්වාගෙන වියත් මගට බහින විට එතැන තිබුණේ දේශපාලන කතාවක් මිස වෙනත් යමක් නොවන බව ඕනෑ කෙනකුට වටහාගත හැකි විය. රටේ මහ ඡන්දයකදී විශේෂයෙන් ජනාධිපතිවරණයකදී සිංහල බෞද්ධ ඡන්ද පදනම මත පදනම් වී ගණන් බැලුවොත් සෙසු බොහෝ වියහැකි අපේක්ෂකයන්ට වඩා ගෝඨාභය සිටින්නේ ගව් ගණනක් ඉදිරියේ බව සැඟවිය නොහැක.

මේ රටේ මහ සඟරුවන තීරණයක් අරගෙන තියෙන්නේ. ඒ නිසා මට තීරණයක් ගන්න එක දැන් ලේසියි. කියා පසුගිය දිනෙක මහින්ද ප්‍රකාශ කළේද මේ නාඩිය හරියටම අල්ලලා බව පැහැදිලිය. එවැනි අවස්ථාවක හිට්ලර් කතාවට කළ හැකි හානියේ තරම තක්සේරැ කිරීමට තවම කල් වැඩි වුවද යූ.එන්.පීය නම් කතාව කර මුලින්ම අල්ලාගෙන තිබෙන බව පසුගිය දිනවල සිදු කෙරුණු ප්‍රකාශවලින් පෙනෙන්නට තිබිණි.

රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ඉන් පසුව මහින්දට කිව්වේ හිට්ලර්ගේ සහෝදරයා කියාය. එයට පිළිතුරු දී තිබූ ඒකාබද්ධයේ ඇතැම් මන්ත්‍රීවරුන් කියා තිබුණේ ගෝඨාභය ජනාධිපතිවරණ අපේක්ෂකයා වනු ඇතැයි පවතින බිය හේතුවෙන් යූ.එන්.පීය කලබල වී සිටින බවය. ගෝඨාභය අපේක්ෂකයා වුණොත් තමන්ට වැලේ වැල් නැතුව යන බවට යූ.එන්.පීය නායකයන්ට බියක් ඇති වී තිබෙන බවත් මේ කෑගැසීම් ඒ නිසා බවත් ඔවුන්ගේ මතය වී තිබේ. ඒ කෙසේ වුවද මේ හිට්ලර් කතාව නොකීවානම් වඩාත් හොඳ යැයි එම අනුශාසනාව පැවැත්වූ අවස්ථාවේ එතැන සිටි සියලු දෙනාට දැන් නොසිතුණොත් පුදුමය.

මේ කතාවේ තවත් කෙළවරක් ඇත්තේ රාජපක්ෂ සහෝදරවරැන් අතරම වන බවද දැන් පෙනෙන්නට තිබේ. බැසිල් රාජපක්ෂට දැඩි ලෙස සහාය දක්වන ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා පසුගියදා ගෝඨාභය රාජපක්ෂ හමුවීමෙන් පසුව පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී සඳහන් කළ කරුණු ඊට පෙර ප්‍රකාශ කළ අදහස්වලට වඩා වෙනස් විය. ඔහු කියා තිබුණේ මහින්ද මහත්තයා නම් කරන ඕනෑම අපේක්ෂකයකුට තමන් සහයෝගය දක්වන බවය. මේ හමුවට පෙර මහින්ද තම සොහොයුරියගේ නිවෙසට බැසිල් සහ ගෝඨාභය කැඳවා කිසියම් සම්මතයක් ඇති කරගෙන තිබිණි. නමුත් එයින් පසුව අම්පාරේදී පැවැති පළාත් පාලන සංවිධාකයන්ගේ රැස්වීමකදී බැසිල් රාජපක්ෂ මීළඟ ජනාධිපති අපේක්ෂකයා වීම හොඳ යැයි කළ ප්‍රකාශයක් හේතුවෙන් මේ තත්ත්වය යළිත් වෙනස් වී ගියේය. 

අම්පාරේ රැස්වීමේදී මේ කතාව කියා තිබුණේ වීරකුමාර දිසානායක මන්ත්‍රීවරයාය. ඔහු ශ්‍රීලනිපයට එක්වුණේ විමල්ගේ ජා.නි.පෙ පක්ෂයෙන් ගැලවී පැමිණීමෙනි. ජනාධිපතිවරයාගේ ආශිර්වාදය ඇතිව පක්ෂ මාරුව සිදු කළ වීරකුමාර මන්ත්‍රීවරයාගේ මේ ප්‍රකාශය අහම්බයෙන් සිදු වූවක්ද? එය එසේ නොවිය හැකි බව පෙනී ගියේ ඊට පසුව බැසිල් මාධ්‍යයට ලබා දී තිබූ සම්මුඛ සාකච්ඡාවේදීය. පසුගිය සිකුරාදා (29) අද පුවත්පතේ පළවූ එම සාකච්ඡාවෙන් උපුටා ගත් ප්‍රශ්නයක් සහ පිළිතුර මෙසේය.
ගෝඨාභය රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ ගැන සංවාදයක් යනවා. ඔබට අනුව කවුද ඉදිරි ජනාධිපතිවරණයට පොහොට්ටුවෙන් ඉදිරිපත් විය යුත්තේ?

මහින්ද ජනාධිපතිතුමාට තමයි අයිතිය තියෙන්නේ අපේක්ෂකයා නම් කරන්න. එයාට තමයි දිනන්නත් පුළුවන්. මහින්ද ජනාධිපතිතුමා නම් කරන කෙනෙක් තමයි ඉදිරිපත් වෙන්නේ. ගෝඨාභය හෝ වෙන කවුරුහරි ඉදිරිපත් කළත් මට ඕන මේ ආණ්ඩුව පරද්දන්න. මම විතර මේ ආණ්ඩුවෙන් බැට කාපු මිනිහෙක් නැහැ. මගේම සහෝදරයෙක් ආවොත් මට වැඩිය එළියට බහින්න පුළුවන්. මහින්ද ජනාධිපතිතුමායි මායි අතර තියෙන සම්බන්ධයම, ගෝඨාභයයි මායි අතර තිබෙනවා. ඉස්කෝලේ එකට ගියේ. අමෙරිකාවේ හිටියේ අපි එකට. පොඩි කාලේ මහින්ද, චමල් අයියලා වැඩිමල් නිසා සම්බන්ධකම අඩු වුණා. ඇත්තම කතාව කිව්වොත් මහින්ද සර් ආවොත් මමයි ආණ්ඩුව කරන්නේ. එයා දේශපාලනය කරලා නැහැ. යම් යම් නිවැරදි වෙන්න ඕන තැන් සාකච්ඡා නොකර අපි නිකන් ගොන්කමට දිනනවා කියලා ගිහිල්ලා පරදින්න බැහැ. අපි දන්නවා සුළු ජාතීන් අතර අපට තවම විරෝධයක් තිබෙනවා. ඒක දිනාගන්න ඕන. රතුපස්වල මේ පාර ඡන්ද 3500කින් දිනුම්. මම ගමට ගිහින් සමාව ඉල්ලුවා. වෙඩි තියලා තිබුණු විදිහට පල්ලියේ බිත්ති ඉවරයි. ඉස්කෝලේ යන ළමයිනේ වෙඩි වැදිලා මියගියේ. අපේ ශාඛා සමිතිවල සාමාජිකයන්ගේ කකුල් 21ක් වෙඩි වැදිලා කැඩිලා තිබුණා. එතකොට මට වුණත් හිතෙනවා මුන් උතුරේ ගිහින් කොහොම මරන්නැද්ද කියලා. ඒක මහා අමානුෂික දෙයක්. ඒ වගේ දෙයක් අපේ මහින්ද ජනාධිපතිතුමාගේ ආණ්ඩුවේ කරන්න බැහැ. මම දන්න ගෝඨාභය සර් ඒකට කිසිම සම්බන්ධයක් නැහැ. ඒක රනිල් ළඟ දැන් ඉන්න වික්‍රමරත්න මෙතනට ඇවිල්ලා වෙඩි තිබ්බේ. මම කියන්නේ ඒවා ඉස්සරහට එන්න බැහැ. ගස් බැඳපු එක, ස්ටේජ් ගිනි තියපු ඒවා ආපහු වෙන්න බැහැ. ඒවා තමයි පසුගිය ජනාධිපතිවරණය අපි පරාද වීමට බලපෑවේ. අපි එක්කෙනෙක් දිනවනවා. මම පාර්ලිමේන්තු ඉල්ලන්නෑ. ආණ්ඩු කරන්නෑ. මහින්ද ජනාධිපතිතුමා නම් කිරීම පිළිබඳ තීන්දුවක් අරන් ඇති. නමුත් ගෝඨාභය රාජපක්ෂ සහ මම කතා කරලා තීන්දුවක් අරන් තිබෙනවා කවුද ඉදිරිපත් විය යුත්තේ කියලා. අපි දෙන්නගෙන් එක්කෙනෙක් නම් කරයිද කියලා අපිට කියන්න බැහැ. කිසිම ආකාරයකින් අපි දෙන්නා අතර ගැටුමක් ඇති වෙන්නේ නෑ. ඒ වගේ දෙයක් බලාපොරොත්තු වන අයට දෙයියන්ගෙම පිහිටයි. 

මහින්ද නැතුව ගෝඨාභය ආවොත් මමයි ආණ්ඩු කරන්නේ කියලා මේ වෙලාවේදී කියන්න බැසිල්ට තියෙන උවමනාව මොකද්දැයි ඕනෑම කෙනකුගේ සිතට නැගෙන ප්‍රශ්නයකි. රතුපස්වල, සුළු ජාතික ඡන්ද මේවා ගැන බැසිල් හදිසියේම කතා කරන්නෙ මොකද කියාත් ඒ සමඟ සිතට නැගෙනු ඇත. ඒ කතාවෙම අනෙක් පැත්ත එහෙම නම් මහින්දගේ භූමිකාවට මොකද වෙන්නේ කියන එකය. කැම්පේන් එකට මහින්දව දාගෙන ඡන්දෙ කරලා ගෝඨාභය දිනුවට පස්සේ මහින්ද පැත්තකට වෙලා ඉඳියිද? පක්ෂය ඇතුළෙත් ඉල්ලන්නේ බැසිල්ගේ පාලනයක් ද මහින්දගේ පාලනයක් ද මේ ප්‍රශ්නවලට ද බැසිල්ගෙන් උත්තර බලාපොරොත්තු වෙන ලොකු පිරිසක් පක්ෂය තුළ සිටින බව පැහැදිලිය. තම සොහොයුරන් අතර කිසිදු ගැටලුවක් ඇති නොවන බවට බැසිල් සහතිකව කිව්වත් ලංකාවේ ජනාධිපති පදවියට පත් වුණාම තමන්ගේ වැඩේ බැසිල්ට බාර දීලා ගෝඨාභය පැත්තකට වෙලා ඉඳියිද? මේ ප්‍රශ්නවලට විසඳුම් සෙවීම පහසු නැත.

මේ අතර මහින්දට ජනාධිපතිවරණයේදී චීනයෙන් ඩොලර් මිලියන 7.6ක මුදලක් ලබාදුන් බවට නිව්යෝක් ටයිම්ස් පුවත්පත මගින් කළ හෙළිදරව්ව ද දේශපාලන කරළියේ සාකච්ඡාවට ලක්වෙමින් තිබේ. මේ කතාව ඉදිරියේදී තවදුරටත් ප්‍රසාරණය වීමට ද ඉඩ තිබේ. නිව්යෝක් ටයිම්ස් වැනි පුවත්පතක ප්‍රවෘත්තියක් ආවාට ගියාට ප්‍රතික්ෂේප කිරීමට හැකියාවක් නැත. එය ප්‍රතික්ෂේප කිරීමේදී එය බොරුවක් බව කරුණු සහිතව පෙන්වා දීම අවශ්‍යය. 

කොහොම වුණත් මේ කතාවේ ඇත්තක් තිබුණොත් එහි වාසිය යන්නේ යූ.එන්.පීයට බව පැහැදිලිය. බැඳුම්කර මගඩියෙන් හෙම්බත් වී සිටින යූ.එන්.පීයට මෙය එල්ලෙන්න හොඳ වැලක් මෙන් පෙනුණත් චීන ආණ්ඩුවත් සමඟ දිගටම පවතින ආර්ථික සබඳතා සම්බන්ධයෙන් ආණ්ඩුවට අවදානමක්ද ඒ සමඟ මතු වන බව නිසැකය. එහි වාසිය ඇත්තේ මහින්දලාටය. ආණ්ඩුවත් විපක්ෂයත් වාසි අවාසි ගැන ගණන් හැදුවත් ජනතාවට නම් තාමත් බින්දුවමය.

 ශෂීන්ද්‍ර