2018 ජුනි 23 වන සෙනසුරාදා

කැලණිය මන්ත්‍රී රිචඩ් ගෝඨාභය සේනානායක

 2018 ජුනි 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 174

රිචඩ් ගෝඨාභය සේනානායක (ආර්.ජී. හෙවත් චීන ඩිකී) විසිවෙනි ශත වර්ෂයේ ලංකා දේශපාලනය වර්ණවත් කළ චරිතයකි. ඔහු දේශබන්ධු යන විරුදාවලිය ලත් ඇෆ්.ආර්. සේනානායකගේ වැඩිමහල් පුතා විය. ඔහුගේ මව වූයේ ලංකාවේ පොහොසත්ම මිනිරන් පතල් අයිතිකරුවා වූ මඩපාත ආටිගල මුදලිතුමාගේ වැඩිමහල් දියණියයි. ඇයගේ එක් සහෝදරියක් වූ ඇලිස් විවාහ වී සිටියේ සුප්‍රසිද්ධ පොලිස් නිලධාරියෙකු වූ ජෝන් කොතලාවල සමඟයි. ඔහු ලංකාවේ අගමැතිවරයෙකු වූ සර් ජෝන් කොතලාවලගේ පියතුමා විය. ඩී.ඇස්. සේනානායක ප්‍රසිද්ධියට පත්වූයේ ඔහුගේ වැඩිමහල් සහෝදරයා වූ ඇෆ්.ආර්. ගේ අකල් මරණයෙන් පසුවයි. එතෙක් ඔහු සේනානායක පවුලේ ඉඩකඩම් හා මිනිරන් පතල් පාලනය කළේය. ගොවිතැන පිළිබඳව ප්‍රායෝගික දැනුමක් තිබූ ජාතික නායකයා වුයේ ඔහුයි. දැනට අවුරුදු දෙකකට පමණ පෙර මම පේරාදෙණිය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ උත්සවයකට ජනාධිපතිවරයා වෙනුවෙන් සහභාගී වුණෙමි. එම උත්සවයට සමගාමීව ප්‍රදර්ශනයක් ද පැවැත්වුණි. එම ප්‍රදර්ශනයේ එක් කුටියක ඩී.ඇස්. කුණ්ඩසාලේ කෘෂිකර්ම විද්‍යාලයේ සිසුවෙක් හැටියට දිනාගන්නා ලද සහතිකයක  අනුරුවක් එල්ලා තිබුණි. එමෙන්ම එම භූමියේ ඩී.ඇස්.ගේ පිළිරුවක් ද ඉදිකර තිබුණි.

ඇෆ්.ආර්. බෞද්ධ කටයුතු සඳහා සිය ධනය වියදම් කළ අතර, ඩී.ඇස්. අමද්‍යප ව්‍යාපාරයේ නියමුවෙක් විය. ඔවුන්ගේ නිජබිම වූ හාපිටිගම් කෝරළය අමද්‍යප කටයුතු අතින් රටේ මුල් තැනක් ගත්තේය. අමද්‍යප වීරයන් තම සතුරන් ලෙස සැලකූ සුදු පාලකයෝ ඔවුන් 1915 දී කැරලිකරැවන් ලෙස සිරගත කළහ. ඔවුන් අතුරින් වඩාත්ම කැපී පෙනුණේ ඩී.ඇස්.ය. ඔහු රඳවා තිබුණේ වැලිකඩ සිරභාරයේය. ඒ අතරතුර ධර්මපාලතුමාගේ සහෝදර එඩ්මන් හේවාවිතාරණ යාපනයේ හිර ගෙදර රැඳවීය. ඔහුව නිදහස් කිරීමට හේවාවිතාරණ පවුල නොගත් වෙහෙසක් නැත. ධර්මපාලතුමා ඉංග්‍රීසි පාලකයන්ට මෙන්ම සර් පොන්නම්බලම් රාමනාදන්ටද ලිපි එවමින් සිය සොහොයුරාගේ නිදොස් බව ඔප්පු කිරීමට මහන්සි ගත්තේය. ඔහු වෙනුවෙන් විශාල දඩ මුදලක් ගෙවීමට පවා අවසර ඔවුන් ඉල්ලා සිටියෝය. එහෙත් ලන්ඩන් නුවරින් තීරණයක් දීමට පෙර එඩ්මන් සිරභාරයේ සිටින අතරතුර රෝගාතුර වී යාපනයේදීම මිය ගියේය. මේ සිද්ධීන් නිසා ඩී.ඇස්. ජාතික නායකත්වය වෙත යොමු කරන ලදී. ඇෆ්.ආර්. සමඟ කරට කර සිටි බාරොන් ජයතිලකද ක්‍රම ක්‍රමයෙන් ඩී.ඇස්.ට නායකත්වයේ පාර සාදා දුන්නේය.

සිය පියාගේ අකල් මරණය නොවන්නට රටේ නායකත්වය ඇෆ්.ආර්.ට හිමිවන බව ඇෆ්.ආර්. ගේ පවුලේ අය විශ්වාස කළහ. ඩඩ්ලි හා ආර්.ජී. එකට මන්ත්‍රණ සභාවට ඇතුළත් කර ගත්තේ ඩී.ඇස්. ය. ඩඩ්ලි දැදිගමටත් ආර්.ජි. නාරම්මලටත් තේරී පත්වූහ.  එසේ ඔවුන්ගේ දේශපාලනික බැඳීමක් ඇතිවූ අතර, ඩඩ්ලිගේ සහෝදර රොබර්ට් සේනානායක විවාහ වූයේ ඔහුගේ නෑනා වූ ආර්.ජී. ගේ සහෝදරියක් සමඟය. ලංකා දේශපාලනයේ මහත්මා ගති පෙන්වූ රුක්මන් සේනානායක ඔවුන්ගේ පුත්‍රයෙකි.
නිදහස් ලංකාවේ පළමුවැනි කැබිනට්ටුව සාදන විට ඩී.ඇස්.ට උභතෝකෝටික ප්‍රශ්නයකට මුහණ දෙන්නට සිදු විය. ඔහුගේ පුත් ඩඩ්ලිට කැබිනට් තනතුරක් පිරිනැමුව ද ඒ කාලයේ තිබූ මහත්මා ගති නිසා ඔහු ඩඩ්ලි තරම්ම ජ්‍යෙෂ්ඨ වූ ආර්.ජී. ට කැබිනට් තනතුරක් දීමට ඔහු මැළි විය. පවුල්වාදය මුල්තැන් කර ගත්තාය යන චෝදනාවට මුහුණ දීමට ඔහු අකමැති විය. එයට තවත් හේතුවක් වූයේ ඔහුගේ තවත් මුණුබුරෙක් වූ ජෝන් කොතලාවලත් කැබිනෙට්ටුව ඇතුළට ගැනීම අනිවාර්ය වූ නිසාය. එමෙන්ම අති දක්ෂයෙක් ලෙස සලකන ලද ජේ.ආර්. ද නෑදෑයෙක් විය. මේ පවුල්වාදය ඉදිරියේ අසරණ වූ ඩී.ඇස්. ගේ පක්ෂය පිලිප්, ඇන්.ඇම්. හා කොල්වින් හඳුන්වා දුන්නේ “උන්ගේ නෑදෑයින්ගේ පක්ෂය” (යූ.එන්.පී.) හැටියටයි.  

ඥාති සහෝදරයන් තුන්දෙනාටම කැබිනට් තනතුරු ලැබුණු අතර, තමාට පමණක් උප ඇමැති තනතුරක් ලැබීම ආර්.ජී. සහ ඔහුගේ සහෝදර සහෝදරියන් මායිම් කළේ නැත. ඔහු පෙරළිකාරයෙක් වූවා පමණක් නොව අන් අයට වඩා පියාගේ උරුමය වූ සිංහල බෞද්ධ ජාතිකත්වයට වඩ වඩාත් ළං වූයේය.

මා පාසැල් සිසුවෙක්ව සිටි කාලයේ තරැණ ආර්.ජී. රාජ්‍ය උත්සවයකදී දැකගත්තෙමි.  කඩවසම් හා ප්‍රතාපවත් ඔහු උස, හීන්දෑරී මහ කළු සිංහලයෙක් ලෙස කැපී පෙනුණි.  ඔහුගේ ඇඳුම ඉස්තරම්ම විදියට කපන ලද ෂර්වානියක් විය. නිතරම සිනාමුසු මුහුණින් සිටි ඔහු අත ඉස්තරම් වර්ගයේ සිගරැට් ටින් එකක් තිබුණි. අනික් අතෙහි බස්තමක් විය.  කුඩා කාලයේ “පෝලියෝ” රෝගයෙන් පෙළී සිටි නිසා ඔහු එක් කකුලක් ඇදගෙන ගමන් කළේය. එය ද ඔහු එක්තරා සිත්ගන්නා සුළු ආකාරයට හරවාගෙන තිබුණි. ඩඩ්ලි, ආර්.ජී., ජේ.ආර්. සහ සර් ජෝන් යන සියල්ලන්ම කඩවසම් ලාංකිකයෝ වූහ. ඩඩ්ලි පෙනුම ගැන තැකීමක් නොකළ අතර, අන් තුන්දෙනා ඒ ගැන විශේෂ අවධානය යොමු කළහ.

ඩඩ්ලි සිය වෙළඳ ඇමැතිවරයා හැටියට පත්කළේ ආර්.ජී.වය. සිය පියාට දේශපාලන සදාචාරය නිසා ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ කැබිනෙට්ටු තනතුරක් පිරිනැමීම සිය කිට්ටුම ඥාතියා වූ ඩඩ්ලි විසින් ඉටුකරන ලදී. එහෙත් එම කැබිනෙට්ටුවේ ආර්.ජී. හා ජේ.ආර්. නයි වෛරයක් ඇති කරගත් නිසා ඩඩ්ලි අසරණ විය. විටින් විට ජේ.ආර්. ව කොන් කිරීමට සේනානායක පවුල විසින් ඩඩ්ලිට බලපෑම් එල්ල කළහ. බොහෝ දෙනෙක් නොදන්නා කරැණක් නම් ඩඩ්ලිට දේශපාලනය එපාවීමට එක් හේතුවක් වූයේ මේ නිරන්තර කඹ ඇදිල්ලයි. ඩඩ්ලි - ජේ.ආර්. මිත්‍රත්වය සෙසු සේනානායකවරැන්ට හිසරදයක් විය.

මුදල් ඇමැති හැටියට ජේ.ආර්. බටහිර ගැති ප්‍රතිපත්තියක් අනුගමනය කළ අතර, ආර්.ජී. ඔහුට හරස් කපමින් වෙළඳ ඇමැති හැටියට අලුතෙන් නිදහස් වූ චීනය සමග වාණිජ කටයුතුවලට මාර්ගය පාදා ගත්තේය. මේ ගැටුම් බලාගෙන සිටි ශූර ඉංග්‍රීසි පුවත්පත්වේදීන් ජේ.ආර්. “යැංකි ඩිකී” යනුවෙන් හා ආර්.ජී. “චීන ඩිකී” යනුවෙන් නම් කරමින් සුපුරුදු පරිදි දෙදෙනා කෙටවීමට මහන්සි ගත්තෝය. ප්‍රගතිශීලි දේශීය ජනයා වඩාත් ප්‍රිය කළේ “චීන ඩිකීටය*. සර් ජෝන්ගේ රජයේදී පෙරළි කිරීමට පටන්ගත් ඔහු සේනානායක පවුල බණ්ඩාරනායකට පක්ෂ බව හඟවමින් මහජන එක්සත් පෙරමුණ වෙනුවෙන් කැලණිය හා දඹදෙණිය ආසන සඳහා ඉදිරිපත් වී දෙකම ජයග්‍රහණය කළේය.  එම ජයග්‍රහණයේදී ඩඩ්ලි මෙන්ම ආර්.ජී. එක්සත් ජාතික පක්ෂයට සහාය දුන්නේ නැත.

මාපිටිගම බුද්ධරක්ඛිත, එක්සත් භික්ෂු පෙරමුණ හසුරවමින් කැලණි ආසනය ග්‍රහණයට ගැනීම ජන්දය කාලයේදී ආර්.ජී. ඉවසුවද පසුව එයට අකමැති විය. පසුකලක මගේ ඇමැතිවරයා වූ ආර්.ඇස්. පෙරේරා එම සටනේදී දැඩි ආර්.ජී.වාදියෙක් විය. ඔවුන් සියලුදෙනාම බුද්ධරක්ඛිතගේ නියෝග පිළිගැනීමට මැලි වූ බව මට කියා තිබේ. එමෙන්ම ආර්.ජී. ද බණ්ඩාරනායකගේ සමාජවාදී ප්‍රතිපත්ති ඒ ලෙසටම පිළිගැනීමට අකමැති විය. මේ වනවිට සේනානායක පවුල සර් ජෝන් පළවා හැර ඩඩ්ලි නැවතත් නායකත්වයට ගෙන ඒමට පිඹුරුපත් සකසමින් සිටියේය. එපමණක් නොව බුද්ධරක්ඛිතගේ ප්‍රධානත්වයෙන් යෝජනා කරන ලද නැව් කොම්පැනිය ගැන ආර්.ජී. සතුටු වූයේ නැත. වැඩිකල් නොගොස් ඔහු බණ්ඩාරනායක රජයෙන් එළියට ආවේය. යූ.ඇන්.පී. යේ පරාජයට ඔහු සම්බන්ධ වූ හැටි ආර්.ජී. විස්තර කළේ “මම දතක් ගලවන්න හැදුවා. ඒත් ලෙඩා මැරුණා” යැයි කියමිනි.