2018 ජුනි 23 වන සෙනසුරාදා

තැපෑලේ අපලය

 2018 ජුනි 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 48

තැපෑලේ ඇපෑලට තවම පිළිතුරැ ලැබී නැත. මේ සටහන තබන විට දහවැනි දවසට එළඹෙමින් තිබූ තැපෑලේ ඇපෑල රටේ ජනතාවට නම් උදාකර ඇත්තේ මහත් අපලයකි. ඇපෑල අසා විසඳුමක් ලබා දිය යුතු රජය නිහඬය.

තැපෑල වර්ජනය කරන විට රටේ ජනතාවගේ දෛනික ජීවිතයට එහි බලපෑම තදින්ම දැනෙයි. මෙය විශේෂයෙන්ම බලපාන්නේ කොළඹ ඇතැම් ප්‍රධාන නගරවලින් බැහැර දුර පළාත්වලටය. විශ්‍රාමිකයන්ට තමන්ගේ විශ්‍රාම වැටුප පහසුවෙන් ලබාගත හැක්කේ තැපැල් කන්තෝරුවෙනි. වර්ජනය නිසා තැපැල් කන්තෝරැවේ දොර කවුළු වැසී ගොස් තිබියදී ඔවුන් යා යුත්තේ කොතැනටද? ඇතැම් ප්‍රදේශවල විකල්ප ස්ථාන යොදාගනිමින් විශ්‍රාම වැටුප ගෙවන බව දැනෙන්නට තිබේ. නමුත් එය බොහොමයක් විශ්‍රාමිකයන්ට දැඩි අපහසුකම් ඇති කරන තත්ත්වයකි. තැපැල් සේවාව ස්ට්‍රයික් පිට සිටියත් විශ්‍රාමිකයන්ට විශ්‍රාම වැටුප ලබාගැනීමට තිබෙන අහිංසක අයිතිය පැහැර ගැනීමට අයිතියක් නැත. වෛද්‍යවරැන් ස්ට්‍රයික් කරන විට අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමට කටයුතු කරනවා සේ තැපැල් වෘත්තීය සමිති ද වර්ජන තීන්දු ගැනීමේදී මීට වඩා සාධාරණ විය යුතුව තිබිණි.

අප එයින් අදහස් කරන්නේ තැපැල් සේවකයන්ගේ වැඩ වර්ජනය අසාධාරණ බව නොවේ. වැඩ වර්ජනය කිරීම ඔවුන්ගේ අයිතිවාසිකමකි. එසේ වුවත් මේ වැඩ වර්ජනයට පාදක වී ඇති කරැණු හදිසියේ ප්‍රාදූර්භූත වූ ඒවා නොවේ. තැපැල් වෘත්තීය සමිති සම්මේලනය කියන පරිදි ඔවුන්ගේ සටන දියත් කර ඇත්තේ 6/ 2006 චක්‍රලේඛයෙන් ඇති කර තිබෙන පරිපාලන ගැටලුවලට විසඳුම් ලබාගැනීම සඳහාය. 2006 වසරේ සිට පවතින පරිපාලන ගැටලු විසඳා ගැනීමට වසර 16ක් තිස්සේ නොහැකි වීම බරපතළ අසාධාරණයක් බව සැබෑය. එහෙත් මේ ගැටලු ඒ කාලයේදීම විසඳාගැනීමට කටයුතු කළ හැකිව තිබිණි. එසේ නොකර මෑත කාලයේදී වරින්වර අනතුරු ඇඟවීම් කර හදිසියේම සියලුම තැපැල් සේවා වැඩ වර්ජනයකට යොමු වීමෙන් රටම අමාරුවේ වැටී තිබේ. එය සැලකිල්ලට ගනිමින් රජයත් සමඟ කැත්තට පොල්ල සේ කටයුතු කිරීමෙන් වැළකී විසඳුමකට ගොස් ජනතාව මුහුණ දී සිටින කරදරයෙන් ඔවුන් මුදාගැනීමට කටයුතු කිරීම වඩාත් යහපත් නොවේද? 

අප රජයෙන් ද ඉල්ලා සිටින්නේ මේ ආකාරයේ වෘත්තීය සමිති ගැටලු පහසුවෙන් විසඳාගැනීමට තිබෙන අවස්ථා සංකීර්ණ ගැටලු දක්වා ඇදගෙන යාමෙන් වළකින ලෙසය. විපක්ෂයෙන් මන්ත්‍රීවරුන් වශයෙන් සිටියදී සකල ජනයාගේත් වෘත්තීය සමිතිවලත් ප්‍රබල ආරක්ෂකයන් සේ ක්‍රියාකරන ඇතැම් මන්ත්‍රීවරුන් ආණ්ඩු පක්ෂයට පැමිණ ඇමැතිධූර ද ලබා ගැනීමෙන් පසුව ක්‍රියා කරන්නේ කවදාවත් වෘත්තීය සමිති සමඟ කටයුතු නොකළ අය පරිද්දෙනි. බොහොමයක් ප්‍රශ්න උඩු දුවන්නේ මෙවැනි වයර් මාරු වෙන දේශපාලනඥයන්ගේ ක්‍රියා කලාපවල ප්‍රතිඵලයක් හැටියටය. සෑම වෘත්තීය සමිති සටනක්ම සාධාරණ යැයි කීමට අපි ඉක්මන් නොවෙමු. එහෙත් එක් එක් වෘත්තීය මට්ටම්වල රාජකාරි කරන රජයේ සේවකයන්ට බලපාන්නා වූ නොවිසඳුණු ගැටලු තිබෙන බවද පිළිගත යුතු වෙයි. සෑම සටනක්ම සයිටම් සටන ආකාරයෙන් මාස ගණන් පුරා ඇදගෙන යාම ආණ්ඩුව පැත්තෙන් ඇදගෙන නෑමක් වියහැකි බවත් සඳහන් කරනු කැමැත්තෙමු.

තැපෑල පමණක් නොව මේ වනවිට විදුලිබල මණ්ඩලය, දුම්රිය සේවය, පරිපාලන සේවය, ජල මණ්ඩලය ද වර්ජන තර්ජන දිගටම එල්ල කරයි. අඩුපාඩුවකට ඇත්තේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තවම වර්ජන තර්ජනයක් එල්ල කර නොතිබීම පමණි. අප මේ කියන්නේ අද රටේ පවතින යථාර්ථයයි. මේ කිසිවකුගේත් සතුටට හේතුවන තත්ත්වයක් නොවන බවද සඳහන් කළ යුතුය. රටක සියලු ක්ෂේත්‍රවලින් වැඩ වර්ජන තර්ජන එල්ල වනවිට එය ආණ්ඩුවට ද හොඳ නැත. රටේ ජනතාවට ද හොඳ නැත.

තැපැල් සේවාව අකර්මණ්‍ය වී තිබීම මැද පෙරදිග සේවය කරන ලක්ෂ සංඛ්‍යාත ජනතාවකට ද බලපාන කාරණයක් බවත් සඳහන් කළ යුතුය. ඔවුන්ගෙන් ලැබෙන සහ ඔවුන්ට යවන පාර්සල් දහස් ගණනින් ගොඩගැසී තිබේ. ලියාපදිංචි තැපෑල ක්‍රියාත්මක වන්නේ නැත. අන්තර්ජාල පහසුකම් භාවිතයෙන් ඇතැම් තැපැල් රාජකාරි කටයුතු පහසුවෙන් කර ගත හැකි වුවද සෙසු බොහොමයක් අත්‍යවශ්‍ය සේවාවන් ඇණහිට පවතී. වර්ජනය නිම වීමෙන් පසුව ද සේවා යථා තත්ත්වයට පත්වීමට ගතවන කාලය සමඟ සලකා බැලීමේදී මහජනතාවට මුහුණදීමට සිදුවන්නේ සුළුපටු කරදරයක් නොවන බව සඳහන් කළ යුතුය.

වර්ජන පමණක් නොව උද්ඝෝෂණ හේතුවෙන් ද රටේ විශේෂයෙන්ම කොළඹ නගරයේ ජන ජීවිතයට මහත් බාධා පැමිණෙමින් තිබේ. බොහොමයක් සවස් කාලවල මහා මාර්ගයේ පවතින උද්ඝෝෂණ හේතුවෙන් සේවය අවසන් කර නිවෙස් කරා යන ජනතාව ද මුහුණ දෙන්නේ විශාල රස්තියාදුවකටය. රටේ ආණ්ඩුවක් නැති දැයි සිතෙන තරමට තත්ත්වය බැරූරැම් වෙමින් පවතින බව රජයට ද නොතේරෙනවා විය නොහැක.