2018 ජුනි 16 වන සෙනසුරාදා

දේශපාලන සිතියමේ අලුත් වර්ණ

 2018 ජුනි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 205

මගේ වචන පිළිගන්න බැරි නම් මට කෙළින්ම කියන්න. ඒකාබද්ධ විපක්ෂයේ ඉන්න මන්ත්‍රීවරුන් මගේ නායකත්වය එපා කියනවා නම් මම කියන දේ අහන කණ්ඩායමක් එක්ක වැඩකරන්න මට පුළුවන්. 16 දෙනාගේ කණ්ඩායමත් අපට අවශ්‍යයි.

- මහින්ද රාජපක්ෂ

මේ වසර අවසන්වීමට පෙර මහින්ද රාජපක්ෂ මහතා අගමැති කිරීමට අවශ්‍ය සැලැස්මක් සකස් කර තිබෙනවා. ජනාධිපතිවරණයට ශ්‍රීලනිපය ඉදිරිපත් කරන්නේ හිටපු ජනාධපිති මහින්ද රාජපක්ෂ මහතාගේ ආශීර්වාදය ලැබෙන නායකයෙක්.

- ශ්‍රීලනිප මාධ්‍ය ප්‍රකාශක ඩිලාන්

මෛත්‍රීපාල ජනාධිපතිතුමාගේ නියෝජිතයො වෙන සුදර්ශනීලට පන්දම් අල්ලන්න කියලද අපිට කියන්නෙ. ඒක කරන්න බැහැ. 16 දෙනා එනව නම් කෙළින්ම එන්න ඕනෑ. කකුල් දෙක ඒ පැත්තෙයි මේ පැත්තෙයි තියාගෙන ඉන්න බෑ.

- බැසිල් රාජපක්ෂ

මේ පහුගිය සතියේ දේශපාලන කරළියේ ශ්‍රීලනිපය පැත්තෙන් ඇසුණු කතා තුනකි. මීට අමතරව තවත් කතාබහ ගණනාවක් තිබුණත් ඒකාබද්ධ විපක්ෂය ඇතුළේ මත ගැටුම් එළියට එන ස්වභාවයක් පෙන්නුම් කිරීමට මේ කතා තුන සමත් වෙන බව පැහැදිලිය. එක අතකින් වැර යොදා යූ.එන්.පී. ප්‍රමුඛ ආණ්ඩුවට පහරදීමට තිබෙන කාලය සහ වුවමනාව පවා ඒකාබද්ධයෙන් තරමක් දුරට තුනී වී යාමටද මේ පරස්පරතා හේතු වී තිබේ. තව පැත්තකින් මෙතෙක් නොයෙක් දැඩි විරසක බවකින් කටයුතු කරමින් සිටි මෛත්‍රීපාල පාර්ශ්වයත් මහින්ද පාර්ශ්වයත් එක්තරා විරාමයකට එළැඹ සිටින බවක්ද පෙනී යයි. ඒ කෙසේ වුවත් බලය සම්බන්ධ කාරණාවලදී එය ඉක්මනටම තමන් සතුකර ගැනීමට තිබෙන සහජ ගතිගුණය ඒකාබද්ධයේ ඇතැම් නායකයන්ටද වැළඳී තිබෙන බවට ඉහත කතා තුන පෙරනිමිත්තකි. මේ පෙරනිමිති කැරකෙන්නේ ගෝඨාභය රාජපක්ෂගේ නම 2020 ජනාධිපතිවරණයේ මහින්ද කඳවුරේ අපේක්ෂකයා වනු ඇති බවට පළවෙන අනාවැකි සමඟය. බලය ඕනෑම අවුලක් හැදීමට මුල්වන බව දේශපාලන කරළියේ පරිණත නායකයන් සියලුදෙනාම දැන සිටියත් බලය ලබාගැනීමේ සටන හරි විදියට කළමනාකරණය කරගැනීමට නොහැකි වීම බොහොමයක් බලවතුන්ගේ ආවේණික දුර්වලකමක් වීම වැඩ අල කර ගැනීමේ තත්ත්වයට මග පාදයි.

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක පදවියට තරගයක් පැවැත්වීමේ අවස්ථාව වනතුරු ඒකාබද්ධයේ සියලු මත ගැටුම් පැවැතුණේ ආවරණයක් ඇතුළේය. එම ගැටුම් ඇතුළේදීම සාකච්ඡා කොට ඉවර කර ගැනීමට එතෙක් හැකි වී තිබිණි. එහෙත් නියෝජ්‍ය කතානායක රහස් ඡන්දය ඒකාබද්ධයේ අභ්‍යන්තර මතගැටුම් මතුපිටට ගෙන ආ අවස්ථාවක් බවට පත්විය. ඊට පෙර අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාවද ගැටුම් එළියට පැනීමට අවස්ථාවක් මතුකර දුන්නත් එම ඡන්දය රහස් ඡන්දයක් නොවීම හේතුවෙන් බොහෝ කරැණු යටපත් විය. එහෙම තිබියදී නියෝජ්‍ය කතානායක තේරීම රහස් ඡන්දයකින් සිදුකිරීමේ අවස්ථාව ඒකාබද්ධ විපක්ෂයට දෑතටම ලැබුණු පහසු උඩපන්දුවක් වුවද එය අතහැරිණි. අතහැරුණාටත් වඩා අතහැරීමට බලපෑම් සිදුවූ බව පැහැදිලිය. එය පැහැදිලිවම ඒකාබද්ධ විපක්ෂය ඇතුළත සිදුවෙමින් තිබූ බල අරගලය එළියට පැනීමක් විය.

අප මුලදීම සඳහන් කළ මහින්දගේත් බැසිල්ගේත් කතා දෙකම සිදුවූයේ එම අවස්ථාවෙන් පසුවය. සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ නියෝජ්‍ය කතානායක පදවියට පත්කරගෙන යූ.එන්.පී. ප්‍රමුඛ ආණ්ඩුවට හොඳ පාඩමක් ඉගැන්වීමට තිබූ අවස්ථාව මගහැරුණේ බලය පිළිබඳ ගැටලුවක් නොවන නිසා යැයි කෙනකුට කිවහැකි වුවද එය යථාර්ථය නොවන බව මහින්දගේත් බැසිල්ගේත් කතාවලින් පැහැදිලි වෙයි. මේ ගැටලුව සුදර්ශනීද? 16 දෙනාගේ කණ්ඩායමද? නැත්නම් වෙනත් අභ්‍යන්තර ගැටලුවක්ද?

මෙය 16 දෙනාගේ කණ්ඩායමේ පැමිණීමත් සමඟ සිදුවූ වෙනසක් බව පැහැදිලි නමුත් එම වෙනසට බැසිල් නායකත්වය දුන් බවක්ද පෙනෙන්නට තිබේ. බැසිල්ගේ දේශපාලන භූමිකාව දැනට පිටතින් පෙනෙන්නේ පොදුජන පෙරමුණේ - පොහොට්ටුවේ ප්‍රධාන සංවිධායක වශයෙන් වුවද ඔහු එම සංවිධායක ධුරයේ පමණක් දිගටම සිටිනු ඇතැයි කිව නොහැකිය. ඕනෑම කෙනකු තුළ පවතින අනාගත ඉලක්ක ඔහු තුළද පැවැතීම ස්වභාවිකය. මීළඟ ජනාදිපතිවරණයේදී යූ.එන්.පී. විරෝධී පෙරමුණක් ගැන දැන් සිටම කතාකරන ඩිලාන්ලාත් සියල්ලටම කලින් මහින්ද අගමැති කළ යුතු යැයි පවසන්නේද නිකම්ම නොවිය හැක.

ගෝඨාභයගේ නම මීළඟ ජනාධිපතිවරණයේදී මහින්දගේ තේරීම වනු ඇති බවට දේශපාලන කරළිය තුළ පැතිර යන අදහස් මේ සියලු අලකලංචිවලට හේතුව බව සමහරැන්ගේ මතයයි. එම තේරීම ගම්පහ දේශපාලන අධිකාරියේ කැමැත්තට හේතු වී ඇති බවක් තවම පෙනෙන්නට නැත. ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා මහින්ද රාජපක්ෂගේ කීමට පිටින් ගොස් වැඩ කරන්නට ගත් තීන්දුව ඔහුගේ තීන්දුවක් පමණක් විය නොහැක. ඔහුට විශාල දේශපාලන හයියක් නොලැබෙන්නට එවැනි තීන්දුවකට නොයන බව පැහැදිලිය. ගම්පහ දිසාවෙන් ලක්ෂ 3කට වැඩි ඡන්ද සංඛ්‍යාවක් පළමු පාර්ලිමේන්තු මැතිවරණයෙන්ම ලබාගැනීමට සමත් වූ ප්‍රසන්න ඒකාබද්ධ විපක්ෂයට හොඳ හයියක් වෙනවා මෙන්ම දීර්ඝ දේශපාලන ගමනක් යාමට නම් ප්‍රසන්නටද මහින්දගේ ආශීර්වාදයත් ඒකාබද්ධයේ සෙසු නායකයන්ගේ කැමැත්ත අවශ්‍යය. ඒවා අමතක කර ඉදිරි දේශපාලන ගමනක් යනවා නම් එයට වෙනත් කෙනකුගේ තල්ලුවක් තිබීමත් අවශ්‍යය.

ශ්‍රිලනිපය දියවී නොයන්නට නම් මහින්දලාත් සමඟ එක්විය යුතු බව ඩිලාන් කියන කතාවත් ප්‍රසන්නලා ශ්‍රීලනිපය ගැන කියන කතාවත් කතා දෙකකි. ඩිලාන් කියන්නේ මෛත්‍රීපාල ජනාධිපතිවරයා සිටියදීම මහින්ද අගමැති කිරීම අවශ්‍ය බවය. එහෙත් ප්‍රසන්නලා ඉන්නේ මෛත්‍රීපාල ජනාධිපතිවරයාගේ නායකත්වය තවදුරටත් අවශ්‍ය නැතැයි යන ස්ථාවරයේය. ඔවුන් ඇස් යොමාගෙන සිටින්නේ ශ්‍රීලනිපයේ හෙට දවස ගැන නොව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හෙට දවස දෙසටය. තමන්ගේ දේශපාලන අනාගතය ඇත්තේ ශ්‍රීලනිපයේ නොව පොහොට්ට්ටුවේ බව ඔවුන්ගේ ස්ථාවරය බව පැහැදිලිය. එහෙම වුණත් මහින්ද තවමත් සම්පූර්ණයෙන් ශ්‍රීලනිපය අතහරින බවක් කියන්නේ නැත. තම හිතවතුන් ශ්‍රීලනිපය හැරයද්දීත් තමන්ට විවිධාකාරයෙන් කැපිලි කෙටිලි එද්දීත් පක්ෂය හැර නොගිය මහින්දට එවැනි තීන්දුවක් ගැනීම පහසු නැත. ඔහු පොදුජන පෙරමුණේ වේදිකාවට ගොඩවුවද ශ්‍රීලනිපය සම්පූර්ණයෙන්ම අතහැර නොමැති බව පෙනෙන්නට තිබේ. හැබැයි වෙනස්වීමට අවශ්‍ය වන තැනදී එවැනි තද තීන්දුවකට යාමට වුවද තමන් නොපැකිලෙන බවත් රටේ ජනතාවගේ ඉල්ලීම එය නම් එය ඉටු කිරීමට සූදානම් බවත් මහින්ද අවස්ථා ගණනාවකදීම, ප්‍රකාශ කර තිබුණි. මේ ප්‍රකාශ ක්‍රියාවට නැංවේදැයි බැලීමට ජනාධිපතිවරණයක් එනතුරු සිටිය යුතුය.

ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති අතුල් කෙෂාප් මහින්ද හමුවීමට පැමිණීමේ කතාව රටපුරා මහත් ආන්දෝලනයක් ඇති කිරීමට සමත්ව තිබෙන්නේ ඒ අතරය. ගෝඨාභය සම්බන්ධයෙන් තානාපතිවරයා කළැයි කියන ප්‍රකාශය ඊට හේතුවය. මේ ගැන මුලින්ම ප්‍රවෘත්තියක් පළ වී තිබුණේ යාපනයේ පළවෙන ද්‍රවිඩ දිනපතා පුවත්පතක් වන කාලයික්කතීර් (Kaalaikkathir) පුවත්පතේය. නඩේසපිල්ලේ විද්‍යාධරන් කර්තෘ ධුරය දරණ මෙම පුවත්පත එම ප්‍රවෘත්තිය පළ කිරීමෙන් පසුව ඩී.බී.එස්. ජෙයරාජ් විසින් එය පරිවර්තනය කොට තම වෙබ් අඩවියේ පෝස්ට් එකක් දමා තිබිණි. කතාව එළියට ආවේ ඒ හරහාය.

ඇත්ත නැත්ත කුමක්දැයි තවම පැහැදිලි නැතත් දැනට පෙනීයන්නේ අමෙරිකාව ඇතුළු බටහිර රටවල් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වීම කෙරෙහි කැමැත්තක් නොදක්වන බවටත් ඔහුට ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීමට මේ අවස්ථාවේදී නොහැකි වනු ඇති බවටත් අතුල් කෙෂාප් ප්‍රකාශ කර ඇති බවය.

කෙසේ වුවද මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ අමෙරිකානු තානාපතිවරයා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අතර පැවැති සාකච්ඡාව සම්බන්ධයෙන් වැරදි තොරතුරු මාධ්‍යයේ ප්‍රචාරය වන බවත් ඒ සම්බන්ධයෙන් තමන් කිසිදු වගකීමක් නොදරණ බවත්ය. අමෙරිකානු තානාපති කාර්යාලය ප්‍රකාශ කර තිබුණේ දෙදෙනා අතර සිදුවූයේ පෞද්ගලික හමුවක් බවත් පෞද්ගලිකව සිදුකළ කතාබහ ප්‍රසිද්ධියේ කතා නොකිරීම තමන්ගේ ප්‍රතිපත්තිය බවත්ය. මේ සියලු කතාවලින් පෙනී යන්නේ ගෝඨාභය රාජපක්ෂ මීළඟ ජනාධිපතිවරණයේ අපේක්ෂකයකු කිරීමට එරෙහි අභ්‍යන්තරව පමණක් නොව බාහිරවද බලවේග ක්‍රියාත්මක වන බවය.

ගෝඨාභයට එරෙහිව අමෙරිකාවේ කුමන අධිකරණයකදී හෝ නඩුවක් පැවැරී නැත. ඔහු පුරවැසිභාවය ඉවත්කර ගැනීමට ඉල්ලීමක් කර ඇති බව පමණක් සඳහන්ය. ඒ කෙසේ වුවත් මේ රටේ ජනාධිපති අපේක්ෂකයන් හෝ ජනාධිපතිවරුන් විය යුත්තේ කවුරුන්දැයි තෝරා ගැනීම මේ රටේ පුරවැසියන්ගේ අයිතියකි. එයට අභියෝග කළ හැක්කේ මේ රටේම පුරවැසියකුට මිස වෙනත් රටකට නොවේ.

කෙසේ වුවත් මෙවැනි අතපෙවීම් ජාත්‍යන්තර දේශපාලනයේ නොසිදුවන දේ නොවේ. බලවත් රටවලට අවශ්‍ය අවස්ථාවලදී ඔවුන් අතපෙවීම් සිදුකරන්නේ ඇතැම්විට රහසිනි. ඇතැම් විට එළිපිටය. තවත් අවස්ථාවලදී ආර්ථික වශයෙනි. ලංකාව වැටෙන්නේ මේ කොයි අංශයටදැයි දැන්ම කිව නොහැකිය. එහෙත් මහින්ද රාජපක්ෂට තම අනාගත දේශපාලන සිතියමේ අමෙරිකාවටත් බැසිල්ලාටත් වෙනම ස්ථාන වෙන්කර  තැබීමට සිදුවන බවට සංඥා නිකුත් වන බව නම් පැහැදිලිය. වැඩේ අලවීමට පෙර ගොඩින් බේරා ගැනීමට ප්‍රමාද වියයුතු නැතැයි මහින්දට දැන් නොසිතෙනවා නම් පුදුමය.

  ශශීන්ද්‍ර