2018 ජුනි 16 වන සෙනසුරාදා

පුංචි කෑලි

 2018 ජුනි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 109

කෙෂාප්ගෙ කතා

මචං, අතුල්, රියැලිටි ටී.වී. කාරයෙක් ජනාධිපති වීම නවත්වාගැනීමට ඔබ වැනි පුද්ගලයන්ට හැකිවුණේ නෑ. අනෙක් හැමෝටම කොන්දේසි දාන්න කලින් තමන්ගෙ රටේ වැඩ බලාගත්ත නම් නේද හොඳ...

මචං, පළවෙන හැම වැරදි නිව්ස් එකකටම අපි උත්තර දෙන්න ගියා නම් වෙන වැඩවලට අපිට වෙලාව ඉතුරුවෙන්නෙ බොහොම ටිකයි. ඔබේ කනගාටුව ප්‍රකාශ කිරීම ගැන ස්තූතියි.

මේ ඉහතින් දැක්වෙන්නේ මේ දිනවල මහත් ආන්දෝලනයකට ලක්ව තිබෙන මෙරට අමෙරිකානු තානාපති අතුල් කෙෂාප් ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් කර ඇති ප්‍රකාශය පිළිබඳ හුවමාරු වූ ට්විටර් දෙබසකි. හිමාල් කොතලාවල විසින් පළකරන ලද ට්විටර් පණිවුඩයකට අතුල් කෙෂාප් පිළිතුරු ට්විටර් පණිවුඩයක් එසේ යොමුකර තිබිණි. මචං, යනුවෙන් ශ්‍රී ලංකාවේ භාවිත වන මිත්‍රත්වයේ වදනින් දෙදෙනාම ආමන්ත්‍රණය කරගෙන තිබීම මෙහිදී දැකගත හැකිවූ විශේෂත්වයකි.

මේ අතර ගෝඨාභය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයට අදාළව වෙබ් ප්‍රකාශ ගණනාවක්ද පළවී තිබිණි. එහි කිහිපයක එක් එක් පුද්ගලයන් විසින් මෙසේ සඳහන් කර තිබිණි.

ෂැරොන් :- එතකොට... අපේ ජනාධිපති කවුද කියලා තෝරන්නෙ ඔබයි...

ආර්.ඩී. :- අමෙරිකාව පිළිගන්නෙ එම්එස්, රනිල්, විමල් වැනි පුද්ගලයන් අපේ රටේ නායකයන් වෙනවා නම් පමණයි. එතකොට ඒගොල්ලන්ට අපිව පාලනය කරන්න පුළුවන්.

අසංක :- ඔබ විරුද්ධ වුණත් නැතත්, පිළිගත්තත් නැතත් අපි ගණන් ගන්නෙ නෑ. ජනතා හඬ යටපත් කිරීමට කිසිවකුටත් බැහැ.

මනිතාන් :- මෙය පිළිගත නොහැකියි. ශ්‍රී ලංකාව ස්වෛරී රාජ්‍යයක්. රටේ ජනාධිපතිවරයා එහි ජනතාවට තෝරාගත හැකියි.

අමෙරිකානු තානාපතිවරයාගේ අදහස් ප්‍රකාශ කිරීම රටේ දේශපාලන කරළිය තුළ පමණක් නොව පොදු මහජනතාව අතරද කිසියම් උණුසුමක් ඇති කර තිබෙන බව පැහැදිලිය. එක් දේශපාලන විචාරකයකු ප්‍රකාශ කර තිබුණේ අතුල් කෙෂාප් රටින් බැහැරව යන අවස්ථාවේදී සිදුකරන සමුගැනීමේ නිල කතාවේදී මහින්ද සමඟ සිදුකළ සාකච්ඡාවේ සත්‍යය හෙළිවනු ඇති බවය. මෙවැනි නිල කතා බොහෝ කරැණු හෙළිකරන බවද ඔහු සඳහන් කරයි.

ඩේලි මිරර්

මහින්ද හෙළිකළ රාජ්‍ය රහස

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ කරළියේ කතා පැවැසීමේ රැසියෙකි. සිනා රසිකත්වයට ඔහු තුළ ඇති හැකියාවට සමකළ හැකි දේශපාලන සගයන් සිටින්නේ අතළොස්සකි.

මීට කලින් සතියේ බ්‍රහස්පතින්දා රාත්‍රියේ පැවැති හිටපු අගවිනිසුරැ සරත් එන්. සිල්වාගේ 74 වැනි උපන් දින සැමරැමේදී ද මහින්ද පැමිණ සිටි අමුත්තන් සිනා සාගරයක ගිල්වමින් අපූරැ කතාවක් පැවසුවේය. එය හරියට බැලුවොත් දැන් හෙළිකළ හැකි එහෙත් පැරුණි රාජ්‍ය රහසකි.

ඔහු ජනපති ධූරය දරණ අවධියේ වරක් ජාතික ආරක්ෂක කවුන්සලයේ රැස්වීමක මුලසුන දැරීමට පැමිණෙමින් සිටියදී දැක තිබුණේ නිල ඇඳුමින් සැරසී සිටි ඉහළම පෙළේ නිලධාරියෙක් මේසය මත නැගගෙන තම සගයකුට දැඩි ලෙස තර්ජනය කරමින් සිටින බවය. මේ දෙදෙනාම බෙදුම්වාදී යුද්ධයේ වීරයෝ වූහ.

මහින්ද රාජපක්ෂ මහතා පැවැසුවේ මේ දෙදෙනා අතර සාමය ඇති කිරීමට පමණක් නොව මේ විශිෂ්ට රණකාමීන් දෙදෙනා එකිනෙකා ළඟ අසුන් ගැනීමෙන් වැළැක්වීමටද තමා ඉන් පසුව කටයුතු කළ බවය. දෙදෙනා ඈත පුටුවල අසුන් ගැනීමෙන් යහපතක් වූ අතර දෙදෙනාම ඔවුන්ගේ වැඩේ කළ බවත් පැවසූ රාජපක්ෂ මහතා කෙසේ වුවත් දෙදෙනා අවසානයේදී යළිත් සතුරන් බවට පත් වී යැයිද සඳහන් කළේය.

එම වීරයන් දෙදෙනාගෙන් එක් අයෙක් එම සාදයට සහභාගි වී සිටියා පමණක් නොව රාජපක්ෂ මහතා මේ කතාව කියන විට දිගටම හිස වනමින් බලාසිටියේය.

සන්ඩේ ටයිම්ස්

ගුවන් හමුදාපතිට වසරක සේවා දිගුවක්

ගුවන් හමුදාපති එයාර් මාෂල් කපිල ජයම්පති මහතාට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් වසරක සේවා දිගුවක් ලබාදී තිබේ. ඔහු විශ්‍රාම යාමට නියමිතව සිටියේ පසුගිය මාර්තු 25 වැනිදාය. සේවා දිගුව හේතුවෙන් ගුවන් හමුදාපතිවරයා ලබන වසරේ එම දිනය දක්වා ධූරයේ රැඳීසිටිනු ඇත.

මේ අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාව රැපියල් බිලියන 64.8 ක් වැය කරමින් විවිධ වර්ගයේ හෙලිකොප්ටර් යානා සහ නියමුවන් රහිත ගුවන් යානා මිලදී ගැනීමට සැලසුම් සකස් කර තිබේ.

එහි කටයුතු සඳහා ආරක්ෂක අමාත්‍යාංශය මගින් තාක්ෂණික අගැයීම් කමිටුවක් පත් කිරීමට නියමිතය.

සන්ඩේ ටයිම්ස්