2018 ජුනි 16 වන සෙනසුරාදා

ඉතිහාසය වෙනස් කරමුද?

 2018 ජුනි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 42

ඩොනල්ඩ් ට්‍රම්ප් සහ කිම් ජොං උන් දැනට මාස කිහිපයකට පෙර ලෝකයේ සිටි වඩාත්ම එකිනෙකා නුරැස්සන නායකයන් දෙදෙනා වූහ. ට්‍රම්ප් විසින් වරක් උතුරු කොරියානු නායක උන් හඳුන්වනු ලැබුවේ රොකට් මිනිහා වශයෙනි. උන් වරක් ට්‍රම්ප් දුටුවේ මහල්ලකු වශයෙනි. මේ මහල්ලාත් රොකට් මිනිසාත් පසුගිය 12 වැනිදා මේ ලොවේ ඉතිහාසය අලුතින් ලියන වැඩකට අත ගැසූහ. පරම සතුරන්ව සිටි ඔවුහු ඉන්පසුව දේශපාලන මිතුරෝ වූහ. ලෝක සාමයට ලොකුවට බලපෑ අමෙරිකාව සහ උතුරු කොරියාව අතර මෙතෙක් පැවැති වෛරය, පස මිතුරු බව අවසන් කෙරිණි. ජුනි 12 වැනිදා සිදුවූයේ කුමක්ද යන්න තවමත් ඇතැම් ප්‍රබල රටවල නායකයන්ට සිහිනයක්ම පමණි. එහෙත් කිසිවකුත් නොසිතූ හමුව සිදු වී හමාරය.

එකිනෙකා මරාගන්නා, අළු දූවිලි කරගන්නා තරම් වෛරයකින් සිටි මහා බලවත් අමෙරිකාවට සහ ඔවුන්ගේ බල පරාක්‍රමයට කොකා පෙන්වමින් අභියෝග කළ උතුරු කොරියාවට එකතු විය හැකි නම් එසේ කළ නොහැකි කිසිවකුත් දේශපාලන ලෝකය තුළ සිටිය නොහැක. එය ලෝක දේශපාලනයට පමණක් නොව අපේ රටේ දේශපාලනයට ද අදාළ කරගත හැකිය. රට ඉදිරියට ගෙන යාමට නම් වඩාත් පුළුල් අවබෝධයකින් යුතුව කටයුතු කරන මතවාදී වෙනස්කම් කොතරම් තිබුණත් වෛරී හැඟීම්වලින් මිදී කටයුතු කරන දේශපාලන චින්තනයක් අද රටට අවශ්‍යය. එවැනි චින්තනයක් සහිත නායකයන් නැතැයි අප නොකියන නමුත් රටේ මූලික අවශ්‍යතාවලට වඩාතමන්ගේ අවශ්‍යතාවලට තැන දෙන පිරිස වැඩි වීම බරපතළ කඩා වැටීමකට අප රට යොමු කර තිබෙන බව සඳහන් කිරීම වැරදි නැත.

අපේ රට අද ආර්ථික වශයෙන් සිටිනුයේ ඉතා භයංකර තත්ත්වයක බව රහසක් නොවේ. ආණ්ඩුව එය එසේ නොවන බව කොතරම් කිව්වත්, මහ බැංකුව යථා තත්ත්වය වහන්නට හැදුවත් සංඛ්‍යා ලේඛන ඇත්ත කතාව පෙන්වා දෙයි. උහුලගන්න බැරි තරමට බදු බර වැඩි වීම අද රටේ සෑම කෙනකුටම සිදු කරන බලපෑම එක උදාහරණයකි. අද රටේ හැම ක්ෂේත්‍රයකම වාගේ බදු, ජීවන වියදම සහ වැටුප් ප්‍රශ්න හේතුවෙන් වෘත්තීය සමිති අරගල හටගෙන තිබීම තවත් එකකි. 

මේ ගැටලු සාමකාමීව, සහජීවනයෙන්, සාකච්ඡා මාර්ගයෙන් විසඳගැනීමට උත්සාහ දරණවා වෙනුවට රජය කටයුතු කරන්නේ ඒ සියල්ල ගණන් නොගෙන සිටීමේ ප්‍රතිපත්තියක පිහිටා බව පෙනෙන්නට තිබේ. ඇතැම් අවස්ථාවලදී එය සාර්ථක විය හැකි වුවද රටේ වැඩ කරන සියලු ක්ෂේත්‍රවල අවුල් සහගත තත්ත්වයක් නිර්මාණය වන පරිදි කටයුතු කිරීම ගැටලු ඔඩොක්කුවේ දාගැනීමකි. එය රටේ සමස්ත කාර්ය පටිපාටියටම බලපෑම් ඇති කරයි. 

ඒ සමඟ කිව යුත්තේ අද ඇති වී තිබෙන සියලු සංකීර්ණ ගැටලුවලට බර ආණ්ඩුව මත පටවා. සියලු වගකීම්වලින් මිදීමට විපක්ෂයට ද හැකියාවක් නැති බවය. මෙහිදී විපක්ෂය වශයෙන් හඳුන්වන්නේ ඒකාබද්ධය විපක්ෂය බවට සැලකීම අවශ්‍යය. අද රටේ ඇති වී තිබෙන ආර්ථික සහ සමාජයීය ගැටලු බොහොමයකට අත්තිවාරම වැටුණේ පසුගිය රජය කාලයේදී බව යථාර්ථයයි. ආර්ථිකය කඩා වැටීමේ ලකුණු පහළ වන බවට ඒ කාලයේ අනතුරු ඇඟවූයේ එවකට සිටි විපක්ෂයෙන් නොව ආණ්ඩුව ඇතුළේම ප්‍රබල මැති ඇමැතිවරුන් කිහිපදෙනකුගෙනි. රටට ඔරොත්තු නොදෙන ණය ගැනීම්, නාස්තිකාර වියදම්, මැති ඇමැතින්ට සුපිරි වරප්‍රසාද, ඥාති සංග්‍රහ, ජාවාරම් කාරයන් සුරතල් කිරීම් වැනි ප්‍රබල වැරදි ගණනාවක් ඒ කාලයේදී සිදු විය. ඒවායේ ප්‍රතිඵල ද අද රට මුහුණ පා සිටින තත්ත්වයට පාර කැපීය.

එහෙත් ඒකාබද්ධ විපක්ෂය චෝදනා කරන්නේ රජය තමන්ගේ නොහැකියාව වසා ගැනීමට විරුද්ධ පක්ෂයට හිරිහැර කරමින් බොරැ නඩු පටලවා දේශපාලන පළිගැනීම් සිදුකරන බවය. එහෙත් අතට අසුවන වචනවලින් ආණ්ඩුවට දමා ගැසීමෙන් පමණක් මේ ගැටලුවලට විසඳුම් සෙවිය නොහැක. එයින් සිදුවන්නේ රටේ සමස්ත ජනතාවගේ ගැටලු අමතක වී යාමය. ආණ්ඩුවත් විපක්ෂයත් දැනට වඩා රටේ ජනතාවගේ පැත්තෙන් සිතා බලා කටයුතු කිරීම වැදගත් බව දැන්වත් වටහා ගැනීම අවශ්‍යය. සමාජ ආර්ථික වශයෙන් කුණු වී ගිය රටක උරුමක්කාරයෙක් වීමට කිසිම දේශපාලන පක්ෂයක් කැමැති නොවනු ඇත. 

ලෝකයේ කෙසේ වෙතත් කලාපයේ සෙසු රටවල් දෙස බලාගෙන හෝ අප රටේ නායකයන් පාඩම් ඉගෙනගන්නේ නැත්නම් රටේ අනාගතය අඳුරු එකක් වීමට හොඳටම ඉඩ තිබෙන බව පැහැදිලිය. අමෙරිකාවටත් උතුරු කොරියාවටත් එක මේසයේ සාකච්ඡා පවත්වා සියලු එදිරිවාදිකම් දුරලා කටයුතු කර ලෝකයේ ඉතිහාසය වෙනස් කළ හැකි නම් අපේ රටේ නායකයන්ට ද රට වෙනුවෙන් සියලු එදිරිවාදිකම් දුරලා කටයුතු කර ලංකාවේ දේශපාලන ඉතිහාසය අලුතින් ලිවීමට බැරිකමක් නැත.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00