2018 ජුනි 16 වන සෙනසුරාදා

මහින්ද මෛත්‍රී රටේ මිනිස්සු කැමැති නෑ

 2018 ජුනි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 110

එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම

♦ ආණ්ඩුවක් මෙහෙම ඇදි ඇදි යන එක රටේ අවාසනාවක්
♦ මම ශ්‍රීලනිපයේ හදවතින් පොහොට්ටුවේ
♦ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් බව කියන්නත් මට දැන් ලැජ්ජයි.
♦ මළගෙදරක බූරු ගහන එකාත් අහක බලනවා 
♦ බැසිල් රාජපක්ෂ එක්ක ඕනෑම කෙනකුට වැඩ කරන්න ලේසියි 
♦ මන්ත්‍රී වෙනවට වඩා හොඳයි කුඹුරු කොටන එක 
♦ 16 කණ්ඩායම එනවා නම් එන්න ඕනෑ! වැනෙන්න බෑ

ඒකාබද්ධ විපක්ෂය ඇතුළේ ටිකක් කැපිලා පෙනුණු කතා කිව්ව

ඔබ එකපාරට නිහඬ වෙලා. මොකද මේ...?

නෑ සද්දෙ එහෙම තියෙනවා. අවශ්‍ය දේට තමයි කතා කරන්නේ.

ඒකාබද්ධය ඇතුළේ ප්‍රශ්න නිසා වෙල්ගම මහත්තයා කකුලක් පස්සට ගත්තා කියලයි ආරංචිය?

නෑ අඩියක් පස්සට ගත්තේ නෑ ඉස්සරහට ගන්නවා මිසක්. හැබැයි ඒකාබද්ධය ඇතුළේ පොඩි පොඩි ප්‍රශ්න තිබ්බට අපි සාමුහිකව ඉස්සරහට යනවා. ඒක කැඩෙන්නේ නෑ.

හැබැයි ඇතුළෙත් කචල් නේද?

අපේ ඇතුළේ එහෙම කචල් නෑ. සමහර ප්‍රතිපත්ති තීන්දුවල ප්‍රශ්න තියෙනවා. ඒ කොච්චර ප්‍රශ්න තිබ්බත් අපි කණ්ඩායම එකම ගමනක් යනවා.

ඔබ පසුගිය දවසක කියලා තිබ්බා ඉහළට එන්න පුළුවන් රාජපක්ෂවරුන්ට විතරක් නෙමෙයි කියලා?

ඔය ඉතින් දක්ෂ රාජපක්ෂ නොවන අයත් ඉන්නවා. ඉතින් ඒ අයටත් අවස්ථාව දියයුතුයි ඉදිරියට යන්න.

හැබැයි වෙල්ගම හිටියේ පසුගිය කාලයෙම රාජපක්ෂවරුන්ගෙන් තොර රටක් නෑ වගේනේ?

අදත් මම ඉන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා එක්කයි. එතුමා ඉන්නතාක් කල් එතුමාට හොඳින් සේවය කරනවා. එතුමාට බොහොම ආදරෙයි.

ඔබ මේ කතාව කිව්වේ ගෝඨාභය රාජපක්ෂ සංක්‍රමණය එක්කද?

නෑ... නෑ... ගෝඨාභය රාජපක්ෂ කියලා මට විශේෂයක් නෑ. සාමාන්‍යයෙන් සමස්තයක් හැටියට කිව්වේ. දැන් රනිල් මහත්තයට වෙලා තියෙන්නේ මොකක්ද? කිසිකෙනෙක්ට ඉස්සරහට එන්න දෙන්නේ නෑනේ. හැබැයි ඒ අතින් අපේ පක්ෂය හොඳයි. මොකද අපේ පක්ෂයේ සියලු දෙනාම මහින්ද රාජපක්ෂ මහත්තය නායකයා හැටියට හැමෝම පිළිගන්නවා.

ඔබ බැසිල් රාජපක්ෂ වාදියෙක්ද?

මම කිසිම වාදියෙක් නෙමෙයි. මහින්ද රාජපක්ෂ වාදියෙක්.

නියෝජ්‍ය කතානායක තෝරද්දී  මහින්ද රාජපක්ෂ මහත්තයා යෝජනාවක් හැටියට සුදර්ශනී මහත්මිය යෝජනා කළා. හැබැයි ඒකාබද්ධ අය මහින්ද මහත්තයගේ යෝජනාව තඹයකට මායිම් කළේ නෑනේ?

පොඩි වැරදීමක් සිද්ධ වුණා. අපේ 16 දෙනාගේ කල්ලිය තවමත් ඉන්නේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා එක්ක. ඒ අයගෙන් කෙනෙක් තමයි මෙතනට වැටුණේ. මේ අය අපිට මඩ ගැහුවා. හැබැයි ප්‍රසන්න මහත්තයා නම් කිව්වා ඡන්දය දෙන්නේ නෑ කියලා. එහෙම දෙන්න තත්ත්වයක් නෑ කිව්වා. ඒ වගේම ඒ අය ඒකාබද්ධයට ආවෙත් නෑ. ඔය හය හත්දෙනෙක් ඒකාබද්ධය වෙනුවෙන් කතා කළා. ඒ වගේම ශ්‍රී.ල.නි.ප.යේ තනතුරැත් ගත්ත. ඒනිසා පාර්ලිමේන්තු සභාගැබට ගියහම අපි කිහිපදෙනෙකුගේ සැකයක් ආවා මේ නෝනාව දැම්මේ සිරිසේන මහත්තයා නිසා ඒ නෝනව ජයග්‍රහණය කළොත් ඒක සිරිසේන මහත්තයාගේ ජයග්‍රහණයක් වෙයි කියලා. හැඟීම ආපු නිසා තමයි අපි කණ්ඩායමක් එළියට ආවේ. එහෙම නැතුව මහින්ද මහත්තයට තුන් හිතකින්වත් අගෞරවයක් කරන්න හිතාගෙන නෙමෙයි.

ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා කිව්වේ ජ්‍යෙතිෂ්‍යවේදියෙක් ගාවට ගිහින් අගමැති වෙනවා කියලා අනාවැකියක් අහපු කෙනෙක් මේක මෙහෙයවුයේ කිව්වේ කියලා?

ඒ කව්ද කියලා මම දන්නේ නෑ. අකැමැති පුද්ගලයෝ දෙන්නේ නෑ කියන එක මහින්ද මහත්තයට. අපි කිව්වේ නෑ. ඒත් අපිට ඒක සභාගැබට ගියහම දැනුණා.

සුදර්ශනී මහත්මිය කිව්වේ මේක මේ මනාප පොරයක් කියලා?

එහෙම එකක් තියෙන්න විදිහක් නෑනේ. ප්‍රසන්න රණතුංග මහත්තයා ඉන්නෙ. බොහෝම ඉහළ තැනක. මහින්ද රාජපක්ෂ මහත්තයගේ ආශිර්වාදය නැත්නන් ගියපාරත් සුදර්ශනි නෝනට පාර්ලිමේන්තු එන්න විදිහක් නෑ. ඒකයි ඇත්ත තත්ත්වේ. ඒනිසා ප්‍රසන්නගේ තැනට එන්න සුදර්ශනී නෝනට ටිකක් අමාරුයි.

ඔබලත් කියාත්මක වුණේ ප්‍රසන්න මන්ත්‍රිවරයගේ උපදෙස් මතද?

නෑ එයාගේ උපදෙස් මත නෙවෙයි. සභාගැබට ගියාහම වෙච්ච දෙයක්.

ඔබලා මේ කළ දේ පසුගිය දවසක මහින්ද මහත්තයාගේ දැඩි විවේචනයට ලක්වුණා නේද ඔහු කියන දේ කරන්න බැරි අයට තීරණ ගන්න වෙයි කියලා?

ඇත්ත කිව්වා. බොහෝම තදින් කිව්වා. එකට ඉන්නවා නම් එකට තීන්දුවක් ගත යුතුයි කියලා එතුමා ප්‍රකාශ කළා.

ඒක බැසිල් රාජපක්ෂ මහත්තය කේන්ද්‍ර කරගෙන කිව්ව දෙයක් ද?

බැසිල් රාජපක්ෂ මහත්තයාට පාර්ලිමේන්තුවේ ඡන්දයක් නෑනේ.

හැබැයි බැසිල් රාජපක්ෂ ඕක මෙහෙයවුව කියල කතාවක් කියනවනේද?

මෙහෙයුවත් එතුමට ඇතුළේ ඡන්දයක් නෑනේ. පාර්ලිමේන්තුවේ කෙනෙක් මෙහෙයුවා නම් පිළිගන්න පුළුවන්.

ඔබලා හිතනවද මේ 16 දෙනාගේ කල්ලි ඈත් කරගෙන ගමනක් තියෙයි කියලා?

අපිට රටේ නම් ඒ 16 දෙනා නැතුවත් ගමනක් තියෙනවා. නමුත් එක දෙයක් කියන්නම්. පාර්ලිමේන්තුව ඇතුළතදී තුනෙන් දෙකට අපිට මන්ත්‍රීවරුන්ගෙ සහාය ඕන.

ඒක දැනගෙනත් ඇයි ඒ සම්බන්ධය කඩන්නේ?

අපි හරි දේනේ කරන්නේ. සම්බන්ධය කඩන්නේ නෑ. අපි ඒ අයට කියන්නේ අපිත් එක්ක ඒකාබද්ධයෙන් වාඩි වෙන්න කියලා. එහෙම නැතුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුර ගන්නයි කකුල් දෙපැත්තට තියන් ඉන්න බෑ. අපි කියන්නේ කෙළින්ම අපි එක්ක එන්න.

දැන් ඔබ 16ට එකතු වෙන්න කියනවා. හැබැයි ඒකාබද්ධය බෙදිලා ඊළඟ ජනාධිපති කවුද කියලා හිතාගන්න බැරුව කට්ටියක් කියනවා ගෝඨාභය ඕන කියලා. තව කට්ටියක් කියනවා බැසිල් ඕන කියලා?

ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ගේන්නෙ කියලා අපේ කණ්ඩායම තීන්දු කරලා නෑ. මේ එක එක්කෙනා තමන්ගේ ප්‍රතිරූපය ගොඩනගාගෙන යන අවස්ථාවක්. නමුත් කිසිම තැනක අපේ නායකයා කියලා නෑ. ජනාධිපති අපේකෂකයා අහවලා කියලා. ඒ කියූ දවසට වැඩ කරනවා.

ඒ කියන්නේ වෙල්ගම නායකයා කිව්වොත් ඕන කෙනෙකුට උදව් කරනවා?

මහින්ද මහත්තයා කියන හරි දේට අපි ඔළුව නවලා කටයුතු කරනවා.

සමහර අය කියනවා ගෝඨාභය රාජපක්ෂ සුදුසු නෑ කියලා. ඔබ ඉන්නෙත් ඒ මතයෙද?

නෑ ඔහු හොඳ ප්‍රබල නායකයෙක්. යුද්ධය සම්බන්ධව ලොකු කාර්යභාර්යක් කළ කෙනෙක්. ඒ වගේම එතුමා කොළඹ නගරය ලස්සන කරන්න මහන්සි වුණ කෙනෙක්. ඒ වගේම පාතලය නවත්වන්න ලොකු වෙහෙසක් ගත්ත කෙනෙක්. ඒවගේ එතුමා කළ හොඳ දේවල් තියෙනවා. කොහොම වුණත් රටේ මහජනතාවගේ කැමැත්ත මත තමයි රටේ නායකයා තේරෙන්නේ.

ඒ කියන්නේ බැසිල් රාජපක්ෂ මහත්තය සුදුසුද?

ඔහු දේශපාලනය සම්බන්ධයෙන් හොඳ අත්දැකීමක් ඇති අයෙක්. ඒ වගේම ඔහුට හොඳ සංවිධාන ශක්තියක් තියෙනවා. ඔහුත් එක්ක ඕනෑම අයකුට වැඩ කරන්න ලෙහිසි. අපිට වුණත් කතා කරලා දෙයක් විසඳගන්න පුළුවන්.

මේ දවස්වල ලොකුම කතාව තමයි ඇලෝසියස්ගේ සල්ලි ගත්ත 118 ලැයිස්තුව. හැබැයි 2015 මැතිවරණයේදී එ.ජා.ප.යේ හිටියේ මන්ත්‍රීවරැ 47යි. බහුතරය සන්ධානයෙන්. එහෙම බැලුවොත් බහුතරයක් සන්ධානයේ අයද සල්ලි අරගෙන තියෙන්නේ?

ඒකාබද්ධයේ පිරිසක් නම් මට හිතන්නේ නෑ ඉන්නවා කියලා. එහෙම අරගත්තේ නෑ කවුරුත් අපේ අය. අපිට දෙන්න වුවමනාවක් නෑනේ ඇලෝසියස් මහත්තයට. අපි විපක්ෂයේනේ.

ඇලෝසියස් කුමාර වෙල්ගමට ඇමතුමක් දුන්නේ නැද්ද?

නෑ. මට දුන්නේ නෑ. ඇලෝසියස්ගේ පියා නම් හොඳ ව්‍යාපාරිකයෙක් කියලා මම දන්නවා. මොකද මගේ තාත්තත් හොඳ ව්‍යාපාරිකයෙක් නිසා.

මේ ඇලෝසියස්ගේ සිද්ධිය එක්ක රටේ ජනතාවට දේශපාලනඥයන් ගැන තියෙන පිළිකුළ, අප්‍රසන්න බව වැඩිවුණා කියලා ජ්‍යෙෂ්ඨයෙක් හැටියට ඔබට හිතෙන්නේ නැද්ද?

මන්ත්‍රීවරු අන්තෙන පල්ලෙහාට වැටුණා. සත පහකට ගණන් ගන්නේ නෑ. මන්ත්‍රීවරයෙක් වෙනවට වඩා හොඳයි උදැල්ලක් අරගෙන කුඹුරු කොටන එක. මන්ත්‍රී කියන්නේ හොරා කියල මිනිස්සු හිතනව.

මේ අවලාද ඔබලටත් එනවා?

මට නම් ලැජ්ජයි. මොනා කරන්නද? මම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් කියලා කියන්නත් ලැජ්ජයි. ඉස්සර මළ ගෙදරකට ගියාහම කොච්චර රෙස්පෙක්ට් එකක් තිබ්බද? දැන් එකෙක් බලන්නේ නෑ. බුරැ ගහන එකත් අනිත් පැත්ත හැරෙනවා. 

ඒ කියන්නේ ඇලෝසියස් දේශපාලනඥයෝ විනාශ කළා?

ඔව් නීතියම අනිත් පැත්ත හැරෙව්වා. මේ දේශපාලනඥයොත් ඕවට වගකියන්න ඕන.

මේ ඔක්කොම ප්‍රශ්න මැද්දේ ආණ්ඩුවත් ඇදි ඇදි ඉස්සරහට යනවනේ. පෙරළෙන්නෙත් නෑනේ?

බහුතරය ඉන්න නිසා එයාලා යනවා. පරද්දන්න නම් අපිට තුනෙන් දෙකක් එපැයි. අපිටත් නෑ එයාලටත් නෑ. ඉතින් ඇදි ඇදි යනවා. රටේ අවාසනාව.

හැබැයි ජනාධිපතිවරයා පසුගිය දවසක ආණ්ඩුව ලොකුවට විවේචනය කළා. ඇයි මේ ඒකාබද්ධ විපක්ෂය එවැනි විවේචනවලින් ප්‍රයෝජන නොගන්නේ?

මෛත්‍රීපාල මහත්තයා හිතට එකඟවද ඔය ප්‍රකාශ කරන්නේ. අපි එතුමාගේ ප්‍රකාශ කිහිපයක් ඇහුවත් එතුමා බලයට ඇවිත් මේ දක්වාම කිව්ව දේවල් කළේ හිතට එකඟවද? ඒ කිව්ව දේවල් ක්‍රියාත්මක කළේ නෑනේ. ඉතින් අපි මොකටද එයා කියන දේවල්වලට අපේ කාලය නාස්ති කරන්නේ. 

ජනාධිපතිවරයා එක්ක එකතු වෙලා ආණ්ඩුව පෙරළන්නකෝ?

එතුමා අපිව අමාරුවේ දැම්මේ නැද්ද. එහෙ එනවා කියලා අපිව රැවැට්ටුවේ නැද්ද.

මහින්ද මහත්තයා කියන්නේ දේශපාලනයේ හතුරොත් නෑ මිතුරොත් නෑ කියලා?

ඔව් හතුරෝ නෑ. හැබැයි දැන් තියෙන්නෙ කකුලෙන් ඇදලා බිමට දැමිල්ල. මේ වෙලාවේ කල්පනාවෙන් යනවා.

කවදාවත් මේ අවුල හවුලක් වෙන්නේ නෑ?

හවුලක් වෙනවා ඉස්සරහට එන මැතිවරණයෙන් පස්සේ. එතකොට ඉවරයි.

මේ ආණ්ඩුවෙන් විශාල ලෙස බදුබර පටවලා තියෙනවා. ඒ ගැන ඇහුවට ආණ්ඩුවේ උත්තරේ මහින්ද රාජපක්ෂ මහත්තයා ගත්ත ණය ගෙවන්න කියලා. මෙච්චර ණය ගත්තේ ඇයි?

මහින්ද මහත්තයා ණය ගත්තේ ඒවා ගෙවන්නත් ක්‍රමවේදයක් හදලා. දැන් ඒ ණය ගෙවන්න කියලා මේ අය තවත් ණය ගත්තනේ. මොකක්ද ඒ ණය අරන් මොනාද කළේ. ඒ මුදල්වලට වෙච්ච දෙයක් නෑ. පාරක් හැදුවද. බෝක්කුවක් හැදුවද කිසිදෙයක් නෑ.

හරි දැන් මට කියන්න කුමාර වෙල්ගම ශ්‍රී.ල.නි.ප.යේ නෙවෙයිද?

ශ්‍රී.ල.නි.ප.යේ වුණාට හදවතින් පොහොට්ටුවේ. 

ඇයි අතඇරියේ?

අවුරුදු 36ක් හිටියා මම. ඒත් වැරදි ගමන නිසා අත්ඇරියා. ගිලෙන නැවක් ගොඩගන්නත් අමාරුයි. නගින්නත් බෑනේ.

හදිසියේ මහින්ද මහත්තයයි මෛත්‍රීපාල මහත්තයයි එකතු වුණොත්?

මම ඇත්ත කියන්නම්. රටේ මිනිස්සුනම් කැමති නෑ එහෙම එකතුවෙනවට.

► ගයාන් ගාල්ලගේ

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00