2018 ජුනි 09 වන සෙනසුරාදා

දන්නෙ නෑ මතක නෑ හරි වැඩේ

 2018 ජුනි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 181

කරුවලේ ජරමරේ නම් වේදිකා නාට්‍යයක් බොහෝ කාලයකට පෙර මේ රටේ වේදිකා ගත විය. Black Comedy නම් විදෙස් නාට්‍යයේ පරිවර්තනයක් වූ මේ නාට්‍යයේ ලයිට් නැති කාමරයකදී සිදුවන සිද්ධීන් සමුදායක් ඇසුරින් මිනිසුන්ගේ දුර්වලකම් සියුම් එහෙත් ප්‍රබල ආකාරයට ඉදිරිපත් කරයි. එම නාට්‍යය යළි මතක් කරවන සිදුවීම් පෙළක් දේශපාලන කරළියේ දිගහැරෙමින් තිබේ. එකී නාට්‍ය ජවනිකාවලදී ලයිට් නැති අවස්ථා ප්‍රේක්ෂකයන්ට පෙන්වන්නේ ලයිට් තිබියදීය. ලයිට් තිබෙන අවස්ථා පෙන්වන්නේ කරුවලේය. මේ නිසා ප්‍රේක්ෂකයන්ට කරුවලේ සිදුවන දේ හොඳට එළිය තිබියදී බලාගත හැකිය. අපේ රටේ දේශපාලන කරළිය තුළ කරුවලේ සිදුවූ ජරමරයද දැන් රටේ මහජනතාවට ලයිට් තිබියදීම බලාගැනිමට හැකි වී තිබේ.

කරුවලේ සිදු වී තිබෙන ජරමරය බැඳුම්කර මගඩියට සම්බන්ධ පර්පෙචුවල් ට්‍රෙෂරීස් ආයතනයෙන් හෝ ඊට සම්බන්ධ ආයතනවලින් හෝ දේශපාලනඥයන් ඇතුළු ප්‍රභූන් පිරිසකට මුදල් ලබාදි තිබීමය. එසේ මුදල් ලබාදීම දැන් ජනතාව එළිපිටම දැකගනිති. දේශපාලනය තුළ සිදුනොවිය හැකි කිසිවක් නැත යන්න හොඳින්ම මේ සිද්ධිය පෙන්නුම් කරයි.

පර්පෙචුවල් සමාගම් සමූහයේ අනුබද්ධ සමාගමක් වන ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමෙන් රාජ්‍ය ඇමැති සුජීව සේනසිංහ මහතාට අවස්ථා තුනකදී රුපියල් ලක්ෂ 30ක චෙක්පත් තුනක් ලබාදී ඇතැයි සී.අයි.ඩී.ය මගින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවියට පසුගිය බ්‍රහස්පතින්දා (07) දැනුම් දෙනු ලැබීය. එසේම අර්ජුන් මහේන්ද්‍රන් මහතා මහ බැංකු අධිපතිවරයා ලෙස සේවය කළ අවධියේදී ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමෙන් චෙක්පත් තුනක් හරහා රුපියල් ලක්ෂ 32ක මුදලක් ලබාදී ඇති බවද සඳහන් විය. එම මුදල ලබාදී තිබුණේ මහ බැංකුවෙන් ඔහුට ලබාදී තිබූ ක්‍රෙඩිට් කාඩ් පතේ මුදල් පියවා ගැනීමට බවද උසාවිය හමුවේ සඳහන් විය. මේ දැනට හෙළිදරව් වී ඇති කළුවරේ ජරමර වලින් දෙකක් පමණි.

මේ හෙළිදරව් කිරීම්වලට මඟපෑදූ දයාසිරි ජයසේකර හිටපු ඇමැතිවරයා තමන් රුපියල් දස ලක්ෂයක් ලබාගත් බව ප්‍රකාශ කළත් එය ලැබුණේ කොහෙන්ද කවදාද යන්න මතක නැති බව කියා තිබුණි. එය තමන්ගේ ඡන්ද ව්‍යාපාරයට ලැබුණු මුදලක් හැටියට ඔහු කියා තිබුණත් චෙක්පත ලැබුණු දවසත් ඡන්දය පැවැති දිනය අතර සම්බන්ධයක් තිබුණේ නැත. කොටින්ම ඒ වනවිට මහ ඡන්දයක් ප්‍රකාශයට පත්වී තිබුණේද නැත. ඒ සමඟ ඔහු කියා තිබුණේ තමන් එම මුදල ගත්තත් පර්පෙචුවල් සමාගම ආරක්ෂා කිරීමට කිසිදු අවස්ථාවක උත්සාහ නොගත් බවය. බැඳුම්කර වංචාව හෙළිදරව් කරගැනීම පිණිස තමන් සියලු උත්සාහ දැරෑ බවත් කියා තිබුණි. 118 දෙනකු මුදල් ලබාගත් බවට ලැයිස්තුවක් ඇතැයි මුලින්ම සඳහන් කළේද දයාසිරිය. කෙසේ වුවද මේ සම්බන්ධයෙන් දයාසිරි තවමත් සී.අයි.ඩී.යට ප්‍රකාශයක් දී නැත. එන්න කිව්වත් ඔහු ගියේ නැත.

සුජීව සේනසිංහ කියා තිබුණේ මහා මැතිවරණයේදී තම ප්‍රචාරක කටයුතුවලට මෙන්ඩිස් සමාගමෙන් මුදල් ලැබී ඇති බව ප්‍රතික්ෂේප නොකරන නමුත් එම මුදල් මෙන්ඩිස් සමාගමට අයිති බව දැන සිටියා නම් කිසිසේත් බාරගැනීමට තම ප්‍රවර්ධන කණ්ඩායමට ඉඩ නොදන බවය. ඡන්ද වැඩට ලැබෙන මුදල් සම්බන්ධයෙන් සැක සිතීමට හේතුවක් ඒ කාලයේ නොතිබූ බවද ඔහු කියා තිබිණි. &2015 මැතිවරණ සමයේ ප්‍රචාරණ කටයුතුවලදී චෙක්පත්, මුදල් කටයුතු සම්බන්ධයෙන් කිසිම දැනුමක් මට තිබුණෙ නෑ. ඒක අහලා මමත් පුදුම වුණා. මට සල්ලි දුන්නා කියලා හෝ මම චෙක් මාරුකළ බවක් හෝ කවුරැත් කියලා නෑ. මට කිසිම අවස්ථාවක් චෙක්පතක් ලැබුණේ නෑ. කැම්පේන් එකට මේ මුදල් ලැබුණු බවට වූ වගකීමෙන් මම මිදෙන්නෙ නෑ යැයිද සුජීව සේනසිංහ මාධ්‍යයට කියා තිබුණි.

ඒ කෙසේ වුවද උසාවියේදී සඳහන් වූයේ මෙන්ඩිස් සමාගමෙන් සුජීව සේනසිංහ මහතාට රුපියල් මිලියනයක මුල් චෙක්පත නිකුත් කර තිබුණේ 2015 අගෝස්තු 24 වැනිදා බවය. එය ඊට පසුදා එනම් අගෝස්තු 25 වැනිදා මුදල් කරවාගෙන තිබූ බවද සඳහන් විය. ඒ වනවිට මහ මැතිවරණය පවත්වා අවසන් වී සතියක් ඉක්ම වී ගොස් තිබිණි. එම චෙක්පත සම්බන්ධයෙන් එය මාරුකළ රාජ්‍ය ඇමැති සුජීවගේ ආරක්ෂක නිලධාරියා වූ පොලිස් පරීක්ෂකවරයා පසුගිය මැයි 28දා සී.අයි.ඩී.ය වෙත ප්‍රකාශයක් ලබාදී ඇති බවද කියැවිණි.

මීළඟට 2016 මාර්තු 31 වැනිදා මෙන්ඩිස් සමාගම නිකුත් කළ තවත් රුපියල් මිලියන 10ක චෙක්පතක් ඔහුගේ ඡන්ද ව්‍යාපාර මෙහෙයවන්නා වෙත බාරදී දින දෙකකට පසුව කොස්තාපල්වරයකු ලවා එය මුදල් කර දී ඇති බවද අනාවරණය විය. මේ ආකාරයට 2015 නොවැම්බර් මස 12 වැනිදා තවත් රැපියල් මිලියනයක චෙක්පතක් මෙන්ඩිස් සමාගමෙන් ලබාගෙන ඇති බවද සඳහන් විය.

මේ කියන චෙක්පත් තුනම මැතිවරණ ව්‍යාපාර පැවැති අවධියේදී නිකුත් වූ ඒවා නොවීම පරස්පරතා මතුකරයි. සුජීව සේනසිංහ කියා තිබුණේ මේ මුදල් මෙන්ඩිස් සමාගමෙන් ලැබුණු ඒවා බව දැන සිටියා නම් නොගන්නා බවකි. එහෙත් මැතිවරණයක්, ප්‍රචාරක ව්‍යාපාරයක් නොපවතින අවස්ථාවක තමන් අතට පත්වන චෙක්පත් ලැබෙන්නේ කාගෙන්දැයි සොයා නොබලා ඒවා බාර ගැනීමත්, මැතිවරණ ව්‍යාපාරයක් සඳහා වුවද කාගෙන් ලැබෙන්නේදැයි නොදැන ඒවා මුදල් කරවා ගැනීමත් හේතුවෙන් ජාත්‍යන්තර වෙළෙඳ රාජ්‍ය ඇමැතිවරයා කිසියම් කොනකට තල්ලු වී සිටින බව පැහැදිලිය. උසාවිය ඉදිරියේ තව කී දෙනකුගේ නම් හෙළිදරව් වේදැයි තවම කීමට කල්වැඩි වුවත් මේ තත්ත්වය මත පපුවේ බිත්තර තැම්බෙන සෑහෙන පිරිසක් මැතිසබය තුළත් ඉන් පිටතත් සිටින බවට සැකපහළ කිරීම සාධාරණය. දයාසිරි කියූ 118 ලැයිස්තුවක් නැති බවට කථානායකවරයා ප්‍රකාශ කළත් මහ බැංකු සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය ඊළඟට කැඳවන දිනයේත් තවත් කිහිප දෙනකුගේ නම් කරළියට ඒමට ඉඩ තිබේ. සමහරවිට එය ඉට කලින්ම සිදුවීමටත් ඉඩකඩ ඇත.

දයාසිරි මුලින්ම කිව්වේ තමන්ට එරෙහිව මේ චෝදනාව එල්ල වූයේ ආණ්ඩුවෙන් ඉවත්වීමෙන් පසුව කියාය. එය දේශපාලන වශයෙන් කෙරුණු පළිගැනීමක් හැටියට අර්ථකථනය කිරීම ඔහුගේ උත්සාහය වන්නට ඇත. එසේ වුවද සුජීවට එසේ දේශපාලන පලිගැනීමක් වශයෙන් මේ සිද්ධිය හැඳින්වීමට පුළුවන්කමක් නැත. ඔහු ඉන්නේ ආණ්ඩුවේය.

එහෙම වුණත් සුජීව සේනසිංහ පසුගිය දිනවල පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු සම්බන්ධයෙන් තද ස්ථාවරයක් දැරූ මන්ත්‍රීවරයකු වශයෙන් ප්‍රසිද්ධය. ඔහු යූ.එන්.පී. ආණ්ඩුවක් බිහිකිරීමට දැඩි මහන්සියක් දරා ක්‍රියාකළ මන්ත්‍රීවරයෙකි. එහෙත් ඔහු පසුගිය කාලසීමාව තුළම සිටියේ යූ.එන්.පී. නායකත්වයේ වෙනසක් සිදුවිය යුතුය යන ස්ථාවරයේය. ඉදිරියේදී සුජීව මේ සම්බන්ධයෙන් කෙසේ ක්‍රියා කරන්නේදැයි බලා සිටිය යුතුය.

ටිකෙන් ටික එළිවෙන බැඳුම්කර මගඩියට සම්බන්ධ දේශපාලන නම් ගම් හේතුවෙන් කරළිය උණුසුම් වෙද්දී මැතිසබයේ කිසියම් සසලවීමක්ද සිදුවිය. නියෝජ්‍ය කථානායක තේරීමේ ඡන්දයේදී අපේක්ෂා කළ පරිදි ඒකාබද්ධ විපක්ෂයට තම බලය පෙන්වීමට තිබූ අවස්ථාව මඟහැරීයාම එම සිද්ධිය විය. ආණ්ඩුවට පනතක් හෝ ගොඩ දා ගැනීමට අපහසු තත්ත්වයක් තිබෙන තරමට පසුගිය දිනවල ඒකාබද්ධය ඝෝෂා කළේය. නියෝජ්‍ය කතානායක තේරීමට තැබූ රහස් ඡන්දය එම ඝෝෂාවට වටිනාකමක් එක්කිරීමට තිබූ අවස්ථාව විය. එම අවස්ථාව මගහැරී ගියාද? නැතහොත් උවමනාවෙන්ම අත්හැර දැම්මාද? මේ ප්‍රශ්නයට පිළිතුරු සෙවීම පහසු නැත.

මහින්ද සහ රනිල් අතර දේශපාලන ඩීල් එකක් තිබෙන බවට විශ්වාස කර සිටින පිරිසට නම් මේ සිද්ධිය දෙදෙනා අතර එකඟත්වයකින් සිදුවූවකි. යූ.එන්.පී.යට තම බලය පෙන්වීමට අවස්ථාවක් ලබා ගැනීමත් ඊට හිලව්වක් වශයෙන් ඒකාබද්ධයට 16 දෙනාගේ කණ්ඩායමට පොඩි පාට් එකක් දැමීමට අවස්ථාව දීමටත් මේ අවස්ථාව උපයෝගී කරගත් බව ඔවුන්ගේ මතයයි. එහෙත් දැන් පෙනෙන්නට තිබෙන්නේ එය එතරම් සරල ක්‍රියාවක් නොව තරමක් සංකීර්ණ ගැටලුවක මූලාරම්භයක් බවය. එය පැහැදිලිවම ඒකාබද්ධ මන්ත්‍රී කණ්ඩායමේ බෙදීමක් පෙන්නුම් කරන බවය.

ඒකාබද්ධයේ නියෝජ්‍ය කතානායක තේරීම වූයේ සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේය. ඒ සඳහා මහින්දගේද කැමැත්ත ලැබිණි. ඒ සමඟ සිදුවිය යුතුව තිබුණේ යූ.එන්.පී.යට එරෙහි සටනක් දීම සඳහා කඳවුරු බැඳීමය. එසේ වූවා නම් යූ.එන්.පී.ය තම නාමයෝජනාව අස්කර ගැනීමටද ඉඩක් තිබිණි. ඒ වෙනුවට ඒකාබද්ධය දෙපිලකට බෙදී එක් පිරිසක් ඡන්දය විමසන අවස්ථාව වනවිට පාර්ලිමේන්තු කැන්ටිමේ තේ බොමින් සිටියහ. මහින්දගේද තේරීම වූ සුදර්ශනී පැරැදුණාය. එය ඒකාබද්ධයේ කැඳවුම්කරු වූ දිනේෂ්ලාට එල්ල වූ වේදනාත්මක පහරක් විය.

මේ සිද්ධිය පිටුපස ඉන්නේ ගම්පහ ප්‍රසන්න රණතුංග බව පැහැදිලිය. කොතරම් නිදහසට හේතු දැක්වුවත් මේ සිදුවීම එළියට ගියේ ඒකාබද්ධය ඇතුළේ මුල්වරට මහින්දගේ අණට පිටින් යන ශ්‍රීලනිප කණඩායමක් සිටින බවටය. එය ඒකාබද්ධයේ ඉදිරි ගමනට ඇති කරන බලපෑම ඉදිරියේදී බලාගත හැකිවනු ඇත.

ආණ්ඩුව ඉදිරියට ඇදෙන්නේ හැලහැප්පිලි මැද බව මේ සිදුවීම් වලින් පැහැදිලි වෙයි. මෙහිදී ඇතැම් දේශපාලන විචාරකයන්ගේ අදහස වී ඇත්තේ ජනාධිපති සහ අගමැති අතර ඇතිවී තිබෙන සීතල යුද්ධය දැන් එළිපිටම කරළියේ රඟදෙන බවය. බැඳුම්කර මගඩියට සම්බන්ධ සිදුවීම්, සල්ලි ගත් පුද්ගලයන්ගේ නම් ලිස්ට් මේවා ආවාට ගියාට සිදුකෙරෙන ප්‍රකාශ නොවන බව තේරුම් ගැනීම අපහසු නැත.

මේ සියල්ල මැද 2020 පැවැත්වෙන ජනාධිපතිවරණය සියලු දෙනාගේ ඉලක්කය වී තිබේ. යූ.එන්.පී.ය, ශ්‍රීලනිපය පමණක් නොව පොදුජන පෙරමුණද එම ඡන්දයට ඉදිරිපත් වීමේ සිහිනය දකියි. ඒ සිහිනයේ ඉඳින ගමන් ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ගෙන එන 20 ඒ ව්‍යවස්ථා සංශෝධනය ගැනද කතා කරති. එළවෙන ජාමෙට හොඳ හොඳ සෙල්ලම් කිව්වාක් මෙන් රටේ ජනතාවට දැන් කරන්න සිදුවී තිබෙන්නේ ඒ සෙල්ලම් බැලීමට අවදියෙන් සිටීම පමණි.

 ශශීන්ද්‍ර

 2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා, ප.ව. 12:31
 2018 ඔක්තෝබර් 13 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා, ප.ව. 12:31
 2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා, ප.ව. 12:30