2018 ජුනි 09 වන සෙනසුරාදා

කැලණි පන්සලේ දේශපාලනය

 2018 ජුනි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 110

1959 වර්ෂයේ සරසවියේ දිග නිවාඩු කාලයේදී මමත්, මගේ සරසවි මිතුරන් දෙදෙනකුත් ඉන්දියාවේ සංචාරයක යෙදුණෙමු. ඉන්දියාවේ අස්සක් මුල්ලක් නෑර ගමන් කළ අපට වැඩිමනත්ම කාලය ගෙවීමට සිදු වූයේ කල්කටාවේය. ඉන්දියාවේ ප්‍රධාන නගරයක් වූ කල්කටාවේය, මහබෝධි සමාගම් මූලස්ථානය පිහිටා තිබුණේ. අනගාරික ධර්මපාලතුමා විසින් ධර්මරාජික විහාරය යැයි නම් කරන ලද මෙම ගොඩනැගිල්ල කල්කටාවේ මර්මස්ථානය හැටියට සලකන ලද කල්කටා විශ්වවිද්‍යාල භූමිය පේන තෙක් මානයේ පිහිටුවන ලද්දකි. එවකට මහබෝධි සමාගමේ වැඩ කටයුතු භාරව සිටියේ වලිසිංහ ‍දේවප්‍රියයි. ඔහුගේ සහායට නෙළුවේ ජිනරතන හිමි ද සිටියෙන් ඔවුන් දෙදෙනා එම ගොඩනැඟිල්ලේ රැඳී සිටිමින් සමාගමේ කටයුතු අධීක්ෂණය කළෝය. එක් අතකින් ඔවුන් ධර්මපාලතුමාටත් වඩා සාර්ථකව ඉන්දියානු රජය සමඟ ගනුදෙනු කළ නිසා බුද්ධගයා භූමියේ පරිපාලනයට බෞද්ධයන් ද සහභාගි කර ගැනීමට සමත් වූ බව කිව යුතුය. වංග දේශයේ සිය වැඩිමහල් ජීවිතය ගත කළ වලිසිංහ මට පෙනුණේ බංගලි ජාතික ප්‍රභූවරයෙක් ලෙසය. ඇඳුමෙන් හා හැසිරීමෙන් ඔහු වංග ජාතිකයන්ට සමාන විය.

මේ කාලයේදීම සමාජ විද්‍යාව පිළිබඳ අප මහාචාර්යව සිටි රැල්ෆ් පීරිස් මහතා යුනෙස්කෝ ආයතනයේ උපදේශකයෙක් වශයෙන් කල්කටාවේ නැවතී සිටියේය. ඔහුත් ඔහුගේ බිරිය වූ මෝහිනි පීරිස් මැතිනියත් ඉතා අලංකාර නිවසක ජීවත් වූහ. සුප්‍රසිද්ධ ජාත්‍යන්තර කීර්තියට පත් ජෝර්ජ් කීට් සහ වංග ජාතික ජමිනි රෝයිගේ චිත්‍ර එම නිවස පුරා එල්ලා තිබුණි.  සීමිත මුදලක් අප සතුව තිබුණ හෙයින් අරපිරිමැස්මෙන් කෑම ගත් අපට පීරිස් නිවසින් ඉතාමත් රසවත් ආහාර පිරිනමන ලදී. සුප්‍රසිද්ධ වංග විත්‍රපටි අධ්‍යක්ෂ සත්‍යජිත් රායි ද ඔවුන්ගේ කුලුපග මිතුරෙක් විය.

ඒ කෙසේ වුවද අප මහාබෝධි ගොඩනැගිල්ලේ ඉහළ මාලයේ නවාතැන් ගැනීමට තීරණය කළෙමු. ඊට සිත් වූයේ අපට නිදහසේ යෑම් ඊම් කිරීමට ලද අවසරයත් වලිසිංහ දේවප්‍රියගේ කරුණාවන්ත කමත් නිසාය. ඔහු අප එහි පදිංචි වීම ගැන නීති රීති දැම්මේ හෝ තරුණ අපගෙන් මුදල් ඉල්ලුවේ ද නැත. මේ අවධියේ මහාබෝධි ගොඩනැගිල්ලේ පදිංචිව සිටි වයෝවෘද්ධ භික්ෂුවක් ද අපට හමුවිය. හේ නමින් මාපිටිගම සංඝරක්ඛිත විය. සංඝ රක්ඛිත හිමි අපට පැවසූ අන්දමට ඔහු කැලණිය රජ මහ විහාරයේ හිමිකම පිළිබඳ නඩුවක් පරාජය වී කලකිරිමෙන් රට අත්හැර කල්කටාවට පැමිණි කෙනෙක් විය. ඔහු නඩුවෙන් පැරදුණේ අන්කිසිවකුට නොව තම පරපුරේම භික්ෂුවක් වූ මාපිටිගම බුද්ධරක්ඛිත හිමියන්ටය.  නඩුවෙන් පසුව බුද්ධරක්ඛිත තමාට පරිභව කොට කැලණිය පන්සලෙන් ද එළවා ගත් බව සංඝරක්ඛිත හිමි අපට පැවසුවේය. මේ වනවිට බණ්ඩාරනායක ඝාතනය සිදුව තිබුණේ නැත. ඒ වනවිට එම මිනීමැරැම සඳහා බුද්ධරක්ඛිත හිමි හා විමලා වි‍ජේවර්ධන පිඹුරැපත් සකසමින් සිටියා විය හැකිය.

මේ වනවිට කැලණිය පන්සලේ භාරකාරත්වය පිළිබඳ නඩු කිහිපයක්ම අසා අවසන් කර තිබුණේය. නඩු අවසන් වුව ද ඒ නිසා කැලණියේ ප්‍රභූන් දෙපිලකට බෙදී නයි වෛරයෙන් පසු වූහ. සංඝරක්ඛිත හිමි වෙනුවෙන් ජේ. ආර්. ජයවර්ධන හා ඔහුගේ පවුලේ හිතවතුන් ඉදිරිපත් වූ අතර, බුද්ධරක්ඛිත හිමි වෙනුවෙන් විමලාගේ සැමියා ඇතුළත් විජේවර්ධන පවුලේ ඇතැම් අය ඉදිරිපත් වූ හෙයින් එය එකම පවුලේ තදබල ගැටුමක් බවට පත්වී තිබුණේය. විමලා හා ඇගේ සැමියා වූ විජේවර්ධන තදබල ජේ. ආර්. විරෝධීන් වූ අතර, ඔවුන් බණ්ඩාරනායක මහතාට සහාය පළ කළෝය. 1952 මහ මැතිවරණයේදී විමලා ජේ. ආර්. විරෝධී සමාජවාදි පෙරමුණෙන් ඉදිරිපත් වී සැලකිය යුතු ඡන්ද ප්‍රමාණයක් ලබා ගත්තීය. තියුණු තරගයක් දුන් ඇය අවසාන ඡන්දය ගණන් කරන තුරු සටන අත් නොහරින වීරවරියක් ලෙස එකල වාමාංශිකයන් විසින් රටට හඳුන්වා දෙන ලදි. බණ්ඩාරනායක ඝාතනයෙන් පසු, අපහාසයට ලක් වූ ඇය වමේ වීරවරියක් ලෙස ඉන් වර්ෂ කීපයකට පෙර හඳුන්වා දෙන ලද බව වාමාංශිකයන් අමතක කළෝය.

සුප්‍රසිද්ධ කැලණිය පන්සලේ භාරකාරත්වය පිළිබඳ නඩුහබ බහුලව පැවති බව එකල බෞද්ධ ජනතාව දැන සිටියෝය. 1908 දී පන්සලේ භාරකාරත්වය පිළිබඳ සුප්‍රීම් උසාවිය දක්වා ගිය නඩුවක් ඇති විය. පැරණි සන්නසක් අනුව කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසින් පිළිසකර කරන ලද මේ පන්සල එවකට අධිපතිව සිටි මාපිටිගම බුද්ධරක්ඛිත හිමි හා උන් වහන්සේගේ භික්ෂු පරපුරට පවරන ලදි. ඒ බුද්ධරක්ඛිත හිමි එම සඟ පරපුරේ ආදි කර්තෘවරයාය. 1858 වන විට මෙම පන්සලේ භාරකරැ හැටියට කටයුතු කළේ මාපිටිගම සංඝරක්ඛිත නමැති ජ්‍යෙෂ්ඨ  භික්ෂුවකි. උන් වහන්සේ ඔප්පුවකින් එම භාරකාරත්වයව තම ප්‍රධාන සිසුවෙක් වූ දොම්පේ බුද්ධරක්ඛිත හා මාපිටිගම ධම්මරක්ඛිත නමැති භික්ෂූන්ට පවරන ලදි.  1903 දී දොම්පේ හිමි අපවත් වූහ. ඉන් පසුව උන් වහන්සේගේ සිසුවෙක් බව කියමින් කල්පළුවේ හිමි නමක් භාරකාරත්වය පැතූහ. එය ප්‍රතික්ෂේප කළ මාපිටිගම ධම්මරක්ඛිත හිමි උසාවියෙන් කල්පළුවේගේ ඉල්ලීම නිශ්ප්‍රභ කර ගත්තේය. මේ නඩුව නිසා තත්කාලික සංඝයා පිල් බෙදුණෝය. හික්කඩුවේ සුමංගල හිමි පවා මේ නඩුවේ සාක්ෂිකරැවෙක් වූහ. නමුත් සාක්ෂියට අවශ්‍ය ලිපි ලේඛන පවා විකෘති කර ඇති බව උසාවියේදී ප්‍රකාශ විය. මල්වත්තේ රඳවා තිබු “ලේකම් මිටිය* පවා වෙනස්කර ඇති බව එක් කණ්ඩායමක් චෝදනා කළහ. මල්වත්තේ සම්බන්ධය පිළිබඳ එවකට අනුනායක වූ මඩුගල්ලේ සිද්ධාර්ථ හිමි ද සාක්ෂි දුන්නේය.

මේ නඩුවෙන් මාපිටිගම පරපුරේ අයිතිය සුරක්ෂිත විය. එහෙත් ඉන් දශක කිහිපයකට පසුව මාපිටිගම පරපුර තුළ ද භේද හට ගත්තේය. සංඝරක්ඛිත හා බුද්ධරක්ඛිත එකිනෙකාට එරෙහිව නඩු කීවෝය. එම නඩුවෙන් ජයගත් මාපිටිගම බුද්ධරක්ඛිත හිමියෝ උග්‍ර එ. ජා. ප. විරෝධියෙක් බවට පත් වූහ. පන්සලේ සම්පත් යොදා ගනිමින් බණ්ඩාරනායකගේ සහායට එක්සත් භික්ෂු පෙරමුණ පිහිටෙව්වේය. 1956 ජයග්‍රහණයේ ප්‍රධාන කොටස්කරැවකු ද විය.  එක්සත් භික්ෂු පෙරමුණ ජයග්‍රහණයෙන් පසුව කැඩී බිඳී ගියේය.  විදුලකරේ නැගී එන තරුවක් වූ හැවැන්පොළ රතනසාර හිමි පෙරමුණේ ලේකම් වූහ.  එහෙත් බණ්ඩාරනායකව පවා අභිබවා යෑමට බුද්ධරක්ඛිත හිමිට අවශ්‍ය විය. ඊරියගොල්ල අධ්‍යාපන ඇමති කිරීමට බණ්ඩාරනායක කළ යෝජනාව බුද්ධරක්ඛිත හිමි ප්‍රතික්ෂේප කළේය. ඊරියගොල්ල කැපී ගියේය. එසේ යටත් කරගත් බණ්ඩාරනායකව කුරැණෑගල සම්මේලනයේදී නායකත්වයෙන් පහ කිරීමට පවා බුද්ධරක්ඛිත සැලසුම් සකස් කළහ.

 

 2018 සැප්තැම්බර් 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 සැප්තැම්බර් 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 සැප්තැම්බර් 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 සැප්තැම්බර් 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 සැප්තැම්බර් 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00