2018 ජුනි 09 වන සෙනසුරාදා

නාස්තිය කාණු පල්ලේ

 2018 ජුනි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 54

සාමාන්‍ය ව්‍යවහාරයේදී නම් කියවිය යුත්තේ තමාට පෙර රට යනුවෙනි. එහෙත් අපේ රටේ නම් හැමවිටම එසේ නැත. බොහෝ වෙලාවට අප දකින්නේ අපට ඇසෙන්නේ රටට නොව අන් සියල්ලටම පෙර තමා යන කියැවීමය. රටේ විවිධ අංශවල වංචාව, දූෂණය සහ නොහැකියාව ඉහවහා යාමට මේ ආකල්පය ප්‍රධාන හේතුවක් වී තිබේ. රටේ සම්පත් පමණක් නොව ධනයද, ආහාර පානද පමණක් නොව මිනිස් බුද්ධිය පවා රටට අහිමිව යන්නේ මේ හේතුවෙනි.

මේ අටුවා ටීකාව අප ලියා දැම්මේ මිල්කෝ ආයතනය සතු රුපියල් කෝටි 50ක පමණ වටිනාකමකින් යුත් කිරිපිටි තොගයකට අත්වූ ඛේදජනක ඉරණම සම්බන්ධයෙන් අපගේ සහෝදර ලංකාදීප පුවත්පත පළ කළ ප්‍රවෘත්තිය දැකීමෙනි. එහි සඳහන් පරිදි එම කිරිපිටි තොගය මනුෂ්‍ය පරිහරණයට නුසුදුසු තත්ත්වයකට පත් වී තිබේ. එය නිකම්ම සිදුවූවක් නොව එවැනි තත්ත්වයකට පත් කරනු ලැබීමක් බව සිතීම වඩාත් සාධාරණය. රජයේ ආයතනයක රුපියල් කෝටි 50ක පමණ නිෂ්පාදිතයක් නිකම්ම කුණුවී යාමට ඉඩක් තිබිය නොහැක. මොන මට්ටමින් බැලුවත් මෙය හැඳින්විය හැක්කේ ජාතික අපරාධයක් වශයෙනි.

රුපියල් කෝටි 50 ක් වටිනා මෙම කිරිපිටි තොගයට ග්‍රෑම් 400 පැකට් ලක්ෂ 10ක්ද, කිලෝවේ පැකට් 40,000ක්ද, පැකට් නොකළ කිලෝ ලක්ෂ 25ක්ද අඩංගු බවත් ඒවා මිල්කෝ ආයතනයේ ගබඩා කර ඇති බවත් ජනාධිපති විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ රූබන් වික්‍රමාරච්චි මහතා ලංකාදීපයට ප්‍රකාශ කර තිබිණි. ජනාධිපති විමර්ශන ඒකකය මේ සම්බන්ධව විශේෂ පරීක්ෂණයක් අරඹා තිබුණේ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා විසින් කරන ලද පැමිණිල්ලකට අනුවය. මෙම කිරිපිටි තොගය භාවිතයට නොගෙන විනාශ වීමට ඉඩහැර ඇත්තේ කුමන හේතුවක් නිසාදැයි සොයා බැලීම මේ පරීක්ෂණයේ අරමුණ බව අපි සිතමු.

රාජ්‍ය ආයතනවල සම්පත් විනාශය සම්බන්ධයෙන් අපේ රටට දීර්ඝ ඉතිහාසයක් තිබේ. ඉතා වටිනා වාහනවල පටන් විවිධ ආකාරයේ සම්පත් ඇතැම් ආයතනවල දිරාපත් වීමට ඉඩහැර තිබෙන අවස්ථා අප ඕනෑ තරම් දැක තිබේ. එහෙත් භාවිතයට ගත හැකි ආහාර ද්‍රව්‍ය විනාශ වීමට ඉඩහැරීම ඊට වඩා බරපතළ අපරාධයකි. රටේ මහජනතාවගේ අයිතිවාසිකම් උදුරා දැමීමකි. සමෘද්ධි ආධාර ලබන දරුපවුල් ලක්ෂ ගණනාවක් සිටින අපේ රටේ කිරිපිටි කිලෝ ලක්ෂ ගාණක් කුණුවීමට ඉඩහැර තිබීම සාහසික අපරාධයක් හැර වෙන කුමක්ද? කිරිපිටි පමණක් නොව වෙනත් ආහාර ද්‍රව්‍යයක් වුවද මහජනතාවගේ අතට පත් නොවී විනාශ වීමට ඉඩහැරීම සමාව දිය නොහැකි වරදක් බව අපේ වැටහීමය.

මිල්කෝ ආයතනය පසුගිය කාලය පුරාම යම් යම් දෝෂදර්ශනයට ලක්වූ ආයතනයක් විය. කිරි ගොවීන් තමන්ට කලට වෙලාවට මුදල් නොලැබුණු බව ප්‍රකාශ කරමින් උද්ඝෝෂණ ගණනාවක් පවත්වා තිබිණි. තවමත් ඔවුන්ට එම මුදල් ලැබුණ බවක් දැනගැනීමට නැත. එහි තේරැම මිල්කෝ ආයතනය මුදල් අහේනියකින් පෙළෙන බවය. එසේ වන විට මුදල් කරගත හැකි කෝටි 50 ක් වටිනා කිරිපිටි හංගාගෙන ඒවා ඉවත දමන තැනට වැඩ කිරීම කඩාකප්පල්කාරී ක්‍රියාවක් බව ඕනෑ කෙනකුට වැටහෙනු ඇත. ඒ පිළිබඳව වහාම සොයා බලා වැරදිකරුවන්ට උපරිම දඬුවම් ලබාදීම අවශ්‍යය. රාජ්‍ය ආයතන මට්ටමේ සිදුවන මෙවැනි දූෂණ සහ අක්‍රමිකතා මුලිනුපුටා දැමීමට තද නීති ක්‍රියාත්මක නොකිරීම ඒවාට ආධාර සහ අනුබල දීමක් වශයෙන් සැලකීම වැරදි නැත.

මෙවැනි නාස්තිකාර ක්‍රියා සිතාමතාම සිදුකරන ඒවාදැයි සොයා බැලීමද අවශ්‍යය. කිරිපිටි පමණක් නොව විවිධ කෘෂිකාර්මික නිෂ්පාදනද විනාශ වන අවස්ථා අප හොඳින් දැක තිබේ. එළවළු සහ පළතුරැ, අල ලූනු ඵලදාවෙන් ඉතා විශාල ප්‍රමාණයක් අපතේ යන බව මේ රටේ විවිධ අවස්ථාවල බලයට පත්වූ ආණ්ඩුවලට මාධ්‍ය මගින් පෙන්වා දී තිබේ. එහෙත් එම වැරැද්ද දිගින් දිගටම සිදුවෙමින් පවතී. පාඩුව රටටය. නමුත් ඒ ගැන හැඟීමක් පාලකයන්ට නොමැති වීම ලොකුම අවාසනාවකි. 

මෙවැනි නාස්තිකාර ක්‍රියා දැක දැකත් ඒ පිළිබඳ ඉහළ නිලයන්ට දැනුම් නොදී සිටීමද බලවත් වරදක් වශයෙන් අපි දකිමු. නාස්තිකාර ක්‍රියාවක් දුටු විට ඒ බව අදාළ බලධාරීන්ට දැනුම් දීමට කටයුතු කිරීම එවැනි අවස්ථාවලදී සිදුවන පාඩුව අවම කරගැනීමට රුකුල් දීමකි.

මේ රටේ සිදුවන නාස්තිකාර ක්‍රියා වැළැක්වීම සඳහා නිලධාරීන්ගේත් මහජනතාවගේත් කැමැත්ත සහ කැපවීම තිබීම පමණක් ප්‍රමාණවත් නොවේ. ඊට දේශපාලන අධිකාරියේ සහාය ද අවශ්‍යය. අවශ්‍ය අවස්ථාවලදී තද තීරණ ගැනීමටත් නාස්තිකාර ක්‍රියාවලට වගකිව යුත්තන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කිරීමටත් උවමනාව තිබිය යුතුය. විශේෂ පරීක්ෂණයක් සිදුකර වාර්තාවක් බාරදුන් පමණින් ගැටලු විසඳෙන්නේ නැත. එම වාර්තාවේ සඳහන් නිර්දේශ ක්‍රියාත්මක කිරීමද අවශ්‍යය. නැත්නම් සිදුවන්නේ නාස්තිය එලෙසම පවතිද්දී අදාළ ආයතනය කඩා වැටීමය. මිල්කෝ ආයතනයට එවැනි ඉරණමක් අත්විය යුතු නැත. තමාට පෙර රට යන වැකිය වඩාත් අර්ථවත් කිරීමට කටයුතු කිරීම සියලු දෙනාගේම වගකීමකි.