2018 ජුනි 02 වන සෙනසුරාදා

විනිවිදභාවය කෝ

 2018 ජුනි 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 58

අපේ රටේ දේශපාලනේ මැජික් අංකය වශයෙන් සැලකෙන්නේ 113ය. පාර්ලිමේන්තුව තුළ ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය අවම ආසන සංඛ්‍යාව එය බැවිනි. මේ දිනවල තවත් අංකයක් දේශපාලන කේෂත්‍රය තුළ මැජික් පෙන්වීම අරඹා තිබේ. ඒ 118ය. ඇලෝසියස්ලාගේ මුදල් ගත්තේ යැයි කියන ලැයිස්තුවේ නම් 118ක් සඳහන් වීම ඊට හේතුවය. එම 118 නම් ලැයිස්තුවේ හඬ මේ වනවිට දේශපාලන කේෂත්‍රය කළඹවමින් තිබේ. එම සම්පූර්ණ ලැයිස්තුව අධිකරණයට ඉදිරිපත් කරන්නැයි ඉල්ලීමක් කිරීමට නීතිඥ කණ්ඩායමක් සූදානම් වන බව අපගේ මේ සතියේ දේශය පුවත්පතේ ප්‍රධාන සිරස්තලය හෙළිදරව් කරයි.

බැලූ බැල්මට මේ කාරණය රටේ දේශපාලනය සම්බන්ධයෙන් යම් තරමක හෝ උනන්දුවක් ගන්නා ඕනෑම අයකුගේ දෙබැම ඉහළට නංවන්නකි. ඡන්ද කෙරුවාව සඳහා ඕනෑම අපේක්ෂකයකුට අත දිගහැර මුදල් වියදම් කිරීමට සැදී පැහැදී සිටින ඒ කාලයේ කසිප්පුකාරයාගේ, දැන් කාලයේ කුඩු මුදලාලිලාගේ පටන් මහා ව්‍යාපාරිකයන් දක්වා පිරිසක් සිටින බවත් නොරහසකි. විශේෂයෙන් ඡන්දයකදී දිනන අස්සයාට ඔට්ටු දැමීම පසුකලෙක කප්රැක පහළකරවන්නක් බව ඔවුහු අත්දැකීමෙන් දැන සිටිති. අපේ රටේ ඡන්ද යාන්ත්‍රණය තුළ කිසිදු විනිවිද භාවයක් නොතිබීම මේ තත්ත්වයට හොඳට පාර කපා තිබේ. ඡන්ද ව්‍යාපාරයට සල්ලි එන්නේ කෙහෙන්ද, යන්නේ කොහාටද පිළිබඳ කිසිදු ගණන් තැබීමක් නැත. මේ හේතුවෙන් ඕනෑම ජාවාරම්කාරයකුට කම්බා හොරෙකුට අපේක්ෂකයකුගේ අනුග්‍රාහකයකු වීමට කිසිම තහනමක් නැත.

තත්ත්වය එසේ වනවිට 118 දෙනාගේ ලැයිස්තුව මේ ජරා මැතිවරණ සංස්කෘතියේ තවත් අඳුරු පැතිකඩක් හෙළිදරව් කරයි. මේ 118 දෙනාම මැති ඇමැතිවරුන් නුවූවද ඒ අතරින් බහුතරය ඔවුන් බව සඳහන්වේ. ඉතිරි ටිකදෙනා අතර රාජ්‍ය නිලධාරීන් ද සිටින බවත් කියයි. මේ සියලුදෙනා මුදල් අරගත් බව හෙළිවී තිබෙන පර්පෙචුවල් ට්‍රෙෂරීස් ආයතනය මෙරට සිදුවූ ලොකුම බැංකු වංචාව බවට හඳුන්වන බැඳුම්කර මගඩියේ ප්‍රධාන වගඋත්තරකරැය. එවන් ආයතනයකින් ලැබෙන මුදල කිසිදු හිරිකිතයකින් තොරව බාරගැනීමටත් ඒවා වියදම් කිරීමටත් දේශපාලනඥයන් හා නිලධාරීන් ඉදිරිපත් වන්නේ මේ රටේ පවතින පිරිහුණු කිසිදු විනිවිදභාවයක් නැති ඡන්ද යාන්ත්‍රණය හේතුවෙනි. එහෙම වනවිට ඡන්දය පිළිබඳව රටේ ජනතාවගේ විශ්වාසය දුරැවීම බලාපොරොත්තු විය යුතුය.

විනිවිදභාවයකින් යුත් රජයක් බිහිකරන බවට ශපථකර බලය ගත්තත් රටේ මැතිවරණ ක්‍රියාදාමය තුළ පමණක් නොව රජයේ කටයුතු ද බොහෝ විට සිදුකෙරෙන්නේ කිසිදු පාරදෘශ්‍යභාවයකින් තොරවය. කැබිනට් මණ්ඩලය තුළදී හෝ සාකච්ඡාවට නොගැනුණ තීන්දු තීරණ ආණ්ඩුව ක්‍රියාත්මක කරන බවට චෝදනා නැගුණේ අද ඊයේ නොවේ. සම්මුති ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී.ල.නි.ප.යේ 16 දෙනාගේ කණ්ඩායම පවසන්නේ තමන් රජය තුළ සිටීමෙන් රටට හානිකර තීන්දු තීරණ ගණනාවක්ම වළක්වා ගැනීමට හැකිවූ බවය. ආණ්ඩුවේ එ.ජා.ප. පාර්ශවයේ අදහස එය නොවන බව සැබෑය. එහෙත් රජය ගෙනයා නොහැකි තරමට විරසකතාවයක් ඇතිවූයේ ආණ්ඩුව විනිවිදභාවයකින් තොරව කටයුතු කිරීමේ හේතුවෙන් යන චෝදනාව බැහැර කළ නොහැක. 
වත්මන් රජය අන්තර්ජාතික ආර්ථික ගිවිසුම් ඇති කර ගැනීමේදී පෙන්නුම් කර ඇති දරදඬු ස්වභාවය මීට හොඳම උදාහරණයයි. හම්බන්තොට වරාය පැවරීමේ ගිවිසුම තුළ ඇතුළත් වූ කරුණු, කොන්දේසි පිළිබඳ කිසිදු හෙළිදරව්වක් නොතිබිණි. දැන් ප්‍රකාශ වන්නේ එකී ගිවිසුමට අදාළව ඉතිරි මුදල් ලබාදීමට නම් හම්බන්තොට මුහුදේ ඉදිවෙන අලුත් නගරය චීනයට පැවැරිය යුතු බවය. මෙවැනි කොන්දේසියක් ගැන රට දැනසිටියේ නැත. අඩුම තරමින් කැබිනට් මණ්ඩලයවත් දැනසිට නැත. එම මුදල තවමත් නොලැබී ඇති බව මාධ්‍ය මගින් හෙළිකළ අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව විසින් ගිවිසුම් ප්‍රකාරව ඉටුකළ යුතු කොන්දේසි සැපිරූ විට එම මුදල ලබාදෙන බවය. ආණ්ඩුවේ විනිවිදභාවයේ තරම පෙනුණේ ඒ අවස්ථාවේදීය.

මේ හා සමානවම සිංගප්පූරුව සමඟ රජය ඇතිකර ගෙන තිබෙන ශ්‍රී ලංකා - සිංගප්පූරු ආර්ථික සහයෝගිතා ගිවිසුම ද රටම අඳුරේ තබා අත්සන් කර ඇති බවට චෝදනා නැගේ. ශ්‍රී ලංකාව වෙනත් රටවල් සමඟ ආර්ථික සහයෝගිතා ගිවිසුම්වලට නොයා යුතුයැයි අපි නොකියමු. එහෙත් මහජන ඡන්දයෙන් තේරීපත්වූ රජයක වගකීම වන්නේ සෑම කල්හිම විනිවිද භාවයකින් යුතුව කටයුතු කිරීමය. අන්තර්ජාතික ගිවිසුමකට එළඹීමට ප්‍රථමව ශ්‍රී ලංකාව තුළ අදාළ වෘත්තීමය පාර්ශව සමඟ සාකච්ඡාකොට ඔවුන්ගේ ද අදහස් ලබාගෙන එම ගිවිසුම සකස් කර ඇත්නම් විනිවිදභාවයට එය ප්‍රමාණත්වය. එවැනි පියවරක් නොගෙන රට අඳුරේ තබා ගසන ගිවිසුම් මහජනතාව දකින්නේ හොර ගිවිසුම් හැටියටය. කොටින්ම කොමිස් කුට්ටිවලට කෑදර වී අදාළ අනෙක් රටට වාසි සහගත වන අයුරින් ගිවිසුමේ කොන්දේසි සකස් කර ඇතැයි ජනතාව සැකපහළ කරති. එය සාධාරණය.

විනිවිදභාවයකින් තොරව කටයුතු කිරීමේ ආදීනව 118 ලැයිස්තුව හරහා රට පුරාම ජනගත වීමට ඇත්තේ ලොකු ඉඩකඩකි. මැතිඇමැතිවරුන් ගණනාවකගේ රෙදි ගැලවීමට ද එය හේතුවිය හැකිය. බලයට පැමිණීම සඳහා ඕනෑම හොරෙකුගේ කරට අතදාගැනීමට සූදානම් දේශපාලනඥයන් සිටින තාක් කල් විනිවිදභාවය පිළිබඳ කතා කිරීමත් බොරැ වැඩකි.

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00