2018 ජුනි 02 වන සෙනසුරාදා

මට මඩ ගහන්න ගිහින් යු.එන්.පී ය හක්ක පටස් කෑවා

 2018 ජුනි 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 70

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර 

♦ මහින්ද රාජප මහත්තයාගේ සහාය නැත්නම්  ශ්‍රීලනිප කාටවත් දිනන්න බෑ 
♦ ලක්ෂය ගත්තත් හොරා මිලියනයක් ගත්තත් හොරා 
♦ අපි ආණ්ඩුවේ හිටියේ නැත්නම් රට මෙච්චරවත් ඉතුරු වෙනවද? 
♦ වරද්ද ගන්න එපා අපි 16ම ඉන්නේ ශ්‍රීලනිපයේ 
♦ මේක පක්ෂ දෙකක ආණ්ඩුවක් කියලා සමහර නායකයෝ තේරුම් ගත්තේ නෑ 
♦ මමත් සරත් ෆොන්සේකා මහත්තයත් ඇලෝසියස්ව ආරක්ෂා කළේ නෑ

අර්ජුන් ඇලෝසියස්ගෙන් රුපියල් මිලියනයක චෙක්පතක් ගත්තා කියලා චෝදනාවක් එල්ලවෙනවා. දැන් මේ කතාවේ අවසානය කොතැනද?

කෙළවර කරන්න හදන්නෙ මේගොල්ලො අපිව හිරකරලා. බොහොම පැහැදිලියි මේක එක්සත් ජාතික පක්ෂය විසින් ඇතිකරපු කුමන්ත්‍රණයක්. මම ආණ්ඩුවෙන් ඉවත් වීමත් එක්ක තමයි මේ කුමන්ත්‍රණය පටන් ගත්තෙ. මගේ නම එළියට දාලා සම්පූර්ණයෙන් චරිතය ඝාතනය කිරීමේ වැඩපිළිවෙළක් මේ සිදුකරලා තියෙන්නේ. ඉතින් මේක කොහෙන් ඉවර කරයිද කියලා ඒ අයගෙන්ම අහන්න ඕන. හැබැයි අමාරුවෙන් ගොඩනගා ගත්ත චරිතය ආරක්ෂා කිරීම සඳහා මමත් ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගන්නවා.

දැන් මේ චෙක්පත හම්බවෙනකොට ඔබ දැනගෙන හිටියේ නැද්ද මේක ඇලෝසියස්ගෙන් කියලා?

නෑ. ඇලෝසියස් මට චෙක්පතක් දුන්නෙ නෑ. වෙනත් පුද්ගලයෙක් තමයි දුන්නේ. ඒකයි මම කියන්නෙ ඇලෝසියස් දුන්නෙ නෑ කියලා. අනෙක් කාරණය ඒ චෙක්පත දුන්නෙ වෝල්ට් ඇන්ඩ් රෝ කියන කොම්පැණිය. එහෙනම් එම කොම්පැණියෙන් දුන්නා නම් මම කොහොමද හොයාගන්නෙ ඒ කොම්පැණිය කාගෙද කියලා. ඡන්දයක් එනකොට චෙක්පත් දෙනවා. සමහර අය නෝට්ටුවලින් ගෙනත් දෙනවා. ඉතින් පැහැදිලිවම 2015 ජුලි 13 තමයි අපේ නාමයෝජනා බාරදුන්නේ. එදා තමයි මේක මට ලැබිලා තියෙන්නෙ. ඒ නිසා බොහොම පැහැදිලිවම මේක අපිට ඡන්ද කාලයේ දුන්න උදව්වක්. අනෙක් කාරණය බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් මේ කොම්පැණිය සම්බන්ධ බවක් කොහොමත් ලියැවිලා තිබ්බේ නෑ.

ඇත්තද මේක උපන් දිනයට ලැබුණු තෑග්ගක් කියන්නෙ?

ඒක සම්පූර්ණ බොරුනේ. ඔය රන්ජන් රාමනායක වගේ ඔළුවක් නැති අය කියන කතානේ. මගේ උපන් දිනේ වෙන දවසක්. ඒක පටලවාගෙන තමයි ඔය කියන්නෙ. සාමාන්‍යයෙන් ගහන මඩක්. බී වාර්තාවවත් කියවන්න ඕන. රන්ජන් රාමනායකට ඒකවත් කියන්න මොළයක් නෑ. ඒ බී වාර්තාවේ නැති කරුණු තමයි ඔහු කියන්නේ. මගේ උපන් දිනේ ජූනි 12.

රවී කරුණානායක හිටපු මුදල් අමාත්‍යවරයා දෙන සාක්ෂියේ තියෙනවා ඔහුට මතක නෑ කියලා. එදා ඔබ ඔහුට හිනාවුණා. අද ඔබත් මතක නෑ කියනවා නේද?

සිද්ධිය මතක නෑ නෙමෙයි. මම කිව්වේ මේ චෙක්පත් අර්ජුන් ඇලෝසියස්ගෙන් ගත්තා. හැබැයි එය ඔහු වෙනුවෙන් දුන්නේ කවුද කියලා මතක නෑ කියලයි මම කිව්වේ. ඒ වෙලාවේ අපට විවිධ අය සල්ලි දුන්නා.

ඔබ මේ සිද්ධියත් එක්ක අලුත් කතාවක් පටන් ගන්නවා 118 දෙනෙක්ගේ ලැයිස්තුවක් ගැන. මොකක්ද මේ ලැයිස්තුව?

පැහැදිලිවම මේ මිලියනය ලබාදීලා තියෙන්නේ මැතිවරණ ව්‍යාපාරයේදී. හැබැයි ඔය 118 දෙනා අතර ඉන්නවා මැතිවරණ ව්‍යාපාරයක් නොකරපු මැතිවරණයක් කරපු සහ පළවැනි සහ දෙවැනි කෝප් කමිටුව යන වෙලාවේ මුදල් ගත්ත අය. හැබැයි මම එහෙම නෑ. මම කොයි වෙලේවත් ඇලෝසියස්ව ආරක්ෂා කළේ නෑ. එහෙම ආරක්ෂා කළා නම් මම අරගෙන තියෙන්නෙ අල්ලසක්. මම කිසි වෙලාවක එහෙම කරලා නෑ. අනිත් අය මේ කිසිදෙයක් නැතුව සල්ලි ගත්ත අය ඉන්නේ.

ඔබ කොහොමද මේ 118 දෙනෙක්ගෙ නම් එළියට දාන්නෙ?

බොහොම පැහැදිලිවම මේ 118 දෙනා ගැන මීට කලින් කීර්ති තෙන්නකෝන් මහත්තයා කියලා තිබුණා. වසන්ත සමරසිංහ කියනවා දැන් 116 ක් කියලා.

ඇත්තද ඔබට ඉහළින් ඉන්න කෙනෙක් ඒ නාමලේඛනය පෙන්නුවා කියන්නෙ?

නෑ. ඉතින් මට කවුරුහරි ඉහළින් පෙන්නුවා නම් ඒ නාමලේඛනයත් අරගෙන ඇවිත් හෙළිදරව් කරලා ඉවරනේ.

ඔබ 118 ක් කිව්වට ඔය 118 දෙනාට නායකත්වය දෙන පක්ෂ නායකයන් කිසිකෙනෙක් වචනයක් කතා කරන්නෙ නෑ?

ඔව් ඉතින්. ඒ අය කතා කරන්නෙ නැත්තේ ඒ අයගේ අයත් අරගෙන ඇති සල්ලි.

ඔබ දන්න හැටියට 118 දෙනා අතර ප්‍රබල චරිතයක් ඉන්නවද?

බලමු ඉතින් නාමලේඛනය ආපුවායින් පස්සේ. කෝල් ගත්ත අයගේ නාමලේඛනය පසුගිය කාලයේ එළියට ආවනේ. යූ.එන්.පිය මට ගහන්න ගත්ත පහර අන්තිමේදී එයාලටම පාරා වළල්ලක් වෙලා. දැන් ඒ අයගේම මන්ත්‍රීවරුන්ගේ නම් ගම් එළියට එනවා. හරියට නිකම් හක්ක පටස් කෑවා වගේ.

මේ ගැන කතා කරන්නෙ ඔබයි සරත් ෆොන්සේකා මහත්තයයි විතරයි?

පැහැදිලිවම මම කැබිනට් සාකච්ඡාවේදී කිව්වා අර්ජුන ඇලෝසියස් මහත්තයා පළාත් සභා මැතිවරණයට මහ මැතිවරණයට උදව් කරලා තියෙනවා කියලා. එතුමා මට කිව්වා සරත් ෆොන්සේකා මහත්තයත් ලක්ෂයක් හරි ගත්තා කියලා. මම ස්තූතිවන්ත වෙනවා එතුමාට. එතුමා කියයිද දන්නෙ නෑ ලක්ෂයයි මිලියනයයි අතර වෙනසක් තියෙනවා කියලා. හැබැයි ලක්ෂය ගත්තත් හොරා. මිලියනය ගත්තත් හොරා. හැබැයි සරත් ෆොන්සේකා මහත්තයත් කවදාවත් ඇලෝසියස්ව ආරක්ෂා කරලා නෑ.

දැන් ඔබ කියන්නෙ ඇලෝසියස්ගෙන් උදව් ගත්තා කියලා. එතකොට චෙක් එක ගැන දන්නෙ නැද්ද?

ඔබ කියන්නේ කාගෙන් හරි ඇහුවොත් කියනවද මට ලක්ෂ පහයි හම්බවුණේ දහයයි හම්බවුණේ කියලා. ලෝකේ කවුරුත් කියනවද එහෙම. ලංකාවේ කිසිම කෙනෙක් කියන්නේ නෑ. හැබැයි මම පැහැදිලිවම කිව්වා දුන්නා කියලා. හැබැයි ගත්තා කියන්න ඕනේ නෑනේ.

ඔබට හිතෙන්නේ නැද්ද ඇලෝසියස්ගේ දැලට ඔක්කොම පැටලුණා කියලා?

සමහර ව්‍යාපාරිකයෝ පක්ෂ දෙකටම මුදල් දෙනවා. සමහර ව්‍යාපාරිකයෝ ඉන්නවා පක්ෂවලට ලක්ෂ සීය දෙසීය දෙන අය. ඒ දෙන්නේ උදව් බලාපොරොත්තුවෙන්. හැබැයි මට දුන්න අය කිසිකෙනෙක් උදව් බලාපොරොත්තුවෙන් දීලා නෑ. ඉල්ලලත් නෑ. මේක තමයි සාමාන්‍ය දේවල්. ඇලෝසියස්ට පුළුවන් මේ ප්‍රශ්නයෙන් බේරෙන්න මේ වගේ සල්ලි දෙන්න. ඒ වගේ දෙයක් තමයි මේ වෙලා තියෙන්නේ. ඒකට අහුවෙනවාද නැද්ද කියන එකයි ප්‍රශ්නේ. අපි ඔහු වෙනුවෙන් කතා කළේ නෑ. රකින්න ගියෙත් නෑ.

ඔබෙන් ජනාධිපතිවරයා මේ ගැන විමසීමක් කළාද?

නෑ. එතුමා කතා කළේ නෑ. දවසක් කතා කරලා කිව්වා පත්තරේ ගිහින් තියෙනවා කියලා. මම එතුමාට පැහැදිලි කරලා කිව්වා. එතුමා මං ගැන වැරදියට හිතන එකක් නෑ.

මේ ප්‍රශ්න මැද්දේ ජනාධිපතිවරයා පසුගියදා දැඩි වාග් ප්‍රහාරයක් එල්ල කරනවා ආණ්ඩුවේ ඇතැම් පාර්ශ්ව වෙත?

ඔව් ඉතින් මේක තමයි අපි ආණ්ඩුවේ ඇතුළේ ඉඳන් වගේම එළියට ඇවිල්ලත් කිව්ව කාරණය. මේ පක්ෂ දෙකක් එකතුවෙලා ආණ්ඩුව කරගෙන යනවා කියන එක සමහර නායකයෝ තේරුම් අරගෙන හිටියේ නෑ. ඔවුන් දිගින් දිගටම ඔවුන්ට ඕන දේ කර කර හිටියා. ඒකට අපි විරුද්ධ වුණා. ඒ නිසානේ ඔවුන් කියන්නෙ ආණ්ඩුවේ කරදරකාරයෝ ගියා කියලා. අපි හිටියේ නැත්තම් රට මෙච්චරවත් ඉතුරැ වෙන්නෙ නෑ. ඒ තරම් ජනතාවට අහිතකර කැබිනට් පත්‍රිකා ගෙනාවේ. ඒ ගැන තමයි ජනාධිපතිතුමා කිව්වේ.

ඔබ ඔහොම කිව්වට ශ්‍රීලනිප ලේකම් වගේම එජනිස ලේකම් කියනවා සම්මුතිවාදී ආණ්ඩුව ඉදිරියට අරගෙන යනවා කියලා?

ඔව් ඉතින්. ඒ අයට අරගෙන යන්න කියන්න. අපි එතන නෑනේ.

ඔබලට වඩා ඔවුන්ට වුවමනා අනාගතය ගැන දැක්මක් තියෙන නිසාද?

ශ්‍රී ලංකා එක ගැනවත් යූ.ඇන්.පිය ගැනවත් කරන අනාගත දැක්මක් අපිට නම් නෑ. අපිට ඕන ජනතාව සමඟ ඉදිරියට යන ශ්‍රීලනිපයක්.

ඇයි පක්ෂයේ සභාපතිවරයා ජනාධිපතිවරයනෙ. ඔහුට පුළුවන්නෙ තීරණයක් ගන්න?

එකක් එතුමා ආණ්ඩුවක් කරන්න ඕන. ඒ නිසා කණ්ඩායමක් ඕන. ඒකට 113ට වැඩි මන්ත්‍රී සංඛ්‍යාවක් අවශ්‍යයි. හැබැයි එතුමා පහුගිය මධ්‍යම කාරන සභාවේදී කිව්වේ ආණ්ඩුවෙන් එළියට යන්න දින ගණන් කරන්න කියලා. ඒකෙන් අදහස් කරන්නේ එතුමා ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් එළියට යා යුතුයි කියන මතය. එතුමා වෙලාවට වැඩේ කරයි. ඒක තමයි එදා එතුමා කිව්වේ. කොහොම වුණත් ජූනි 03 පක්ෂයේ ප්‍රතිසංවිධානය කරයි.

ඔබ හිතන්නෙ ලබන 03 වැනිදා කුමක් කරයි කියලද?

තුන්වැනිදා ජනාධිපතිතුමා පක්ෂයේ තනතුරු වෙනස් කරලා නිවැරදිව හදයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.

ආණ්ඩුවේ ඉන්න බෑ කියලා තමයි 16 දෙනා එළියට ආවේ. ඔබලා පොරොන්දු වුණා ඒකාබද්ධය සමඟ එකතුවෙන්නෙත් නෑ කියලා. මේ වෙනකොට 16 දෙනා අතරත් බෙදීමක් තියෙනවා නේද?

වරද්දන්න එපා අපි 16 දෙනාම ඉන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉඳිමින් වෙනම කණ්ඩායමක් හැටියට වැඩ කරන්න. තව කණ්ඩායමක් ඉන්නවා ආණ්ඩුවේ ඉන්න. ඒ වගේම ජනාධිපතිතුමාගෙන් මිදිලා විරුද්ධ පක්ෂයේ ඉන්න කණ්ඩායමකුත් ඉන්නවා. හැබැයි මේ සියලු දෙනාම අවසානයේ කණ්ඩායමක් හැටියට තීරණ ගන්නේ.

මේ ආණ්ඩුවට එල්ලවෙන ලොකුම චෝදනාවක් තමයි නීතිය හරි හැටි ක්‍රියාත්මක නොවුණා කියන එක. ඇයි එහෙම නොවුණේ?

නීතිය හා සාමය තිබ්බේ කාගේ ළඟද කියලා කවුරුත් දන්නවා. නීතිපති දෙපාර්තමේන්තු තිබ්බේ කා යටතෙද කියලා අපි කවුරුත් දන්නවා. එයාලට වුවමනා වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකට කඩන්න. එයාලගේ උපාය වුණේ ශ්‍රීලනිපය දෙකට කඩලා එජාපයට බලය ගන්න. ඒ සඳහා තමයි සමහර දේවල්වලින් බේරගත්තේ. සමහර නඩු කල් දැම්මේ. ඒ වගේම එයාලා ශ්‍රීලනිපය දෙකට කැඩුවා. අන්තිමේදී යූ.ඇන්.පියත් පරාදයි. ශ්‍රීලනිපයත් පරාදයි.

අවසාන වශයෙන් අහන්න තියෙන්නෙ ශ්‍රීලනිපය කියනවා ඊළඟ ජනාධිපති අපේක්ෂකයා මෛත්‍රී කියලා. පොහොට්ටුව කියනවා ගෝඨා කියලා. තවත් අය බැසිල් කියනවා. 16 දෙනා කියනවා හොඳ කෙනෙක් ගේනවා කියලා. දැන් කවුද අපේක්ෂකයා?

මෛත්‍රීපාල සිරිසේන මහත්තයගේ හිත සන්තෝස කිරීම සඳහා සමහර අයට එතුමගේ නම යෝජනා කරන්න පුළුවන්. සමහර අය ගෝඨාභය, බැසිල්, චමල් වශයෙන්. අපි කියන්නේ යථාර්ථය තේරුම්ගත යුතුයි පැහැදිලිව. පිළිගන්න ඕන ශ්‍රීලනිපයේ ඡන්ද තව වැටිලා කියලා. ඒ ඡන්ද ලබාගන්න වැඩපිළිවෙළක් ඇතිකරගත යුතුයි. ඒ වගේම රටේ ජනප්‍රිය නායකයා මහින්ද රාජපක්ෂ මහත්තයා. එතුමා අපේ පක්ෂයේ අනුශාසක. ඒ නිසා අපි කොහෙද හිටගන්න ඕනේ කියලා බලන්න ඕන. අපි හිටගන්න ඕන වාමාංශික ප්‍රගතිශීලී කඳවුරේ. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ගේනවා නම් මහින්ද රාජපක්ෂ මහත්තයගේ සහායත් අවශ්‍යයි. ඒ නිසා අපි කලබල විය යුතු නැහැ. අවස්ථාව අනුව බලමු.

►ගයාන් ගාල්ලගේ