2018 මැයි 19 වන සෙනසුරාදා

ගෝඨාභය සලකුණ

 2018 මැයි 19 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 312

මෙරට ජනාධිපතිවරණ ඉතිහාසයේ මේ තරම් කලින් ජනාධිපති අපේක්ෂකවරුන්ගේ නම් එළියට ආ අවස්ථාවක් තිබුණේ නැත. 2015 දී මහින්ද ශ්‍රීලනිප ප්‍රමුඛ එජනිසයෙන් එන බවට සැකයක් නොතිබිණි. නමුත් යූ.එන්.පිය තම අපේක්ෂකයා නම් කිරීමට ඉක්මන් වූයේ නැත. ජනාධිපතිවරණය නිවේදනය කළ වහාම පොදු අපේක්ෂකයා වශයෙන් මෛත්‍රීපාල ආවේ යූ.එන්.පියද නියෝජනය කරමිනි. ඔහු ජයගත්තේ හරියට, පිළිවෙළකට වැඩපිළිවෙළක් හෝ ඉදිරිපත් නොකරන ලද තත්ත්වයක් යටතේය. අපේක්ෂකයා හදිසියෙන් තෝරාගනු ලබන විට එය සාමාන්‍යයෙන් බලාපොරොත්තු විය යුතුය.

ඊට කලින් 2010 ජනාධිපතිවරණයේදී ද මහින්ද එජනිසයෙන් එන විට යූ.එන්.පිය දිගින් දිගටම සිටියේ සද්ද නැතුවය. ජනාධිපතිවරණය ප්‍රකාශ වන විට ආවේ පොදු අපේක්ෂකයෙකි. ඒ කාලයේ ජෙනරාල් දැන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාය. ඔහුට දිනන්න බැරිවුණා පමණක් නොව ජෙනරාල් ඇතුළු සියලු රණවිරු පදක්කම්ද අහිමිව හිරේ විලංගුවේ වැටී සිවිල් අයිතින්ද අහිමි විය. යූ.එන්.පි.ය යළිත් සද්ද වහගත්තේය.

2005 දී කෙළින්ම ගැටුණේ ශ්‍රීලනිපය ප්‍රමුඛ සන්ධානයක් යූ.එන්.පි.ය ප්‍රමුඛ එජා පෙරමුණත්ය. අපේක්ෂකයන් දෙදෙනාම තෝරනු ලැබුවේ ඡන්දය ආසන්න වෙද්දී වීම එහිදී කැපීපෙනුණි. එදා ශ්‍රීලනිපය ඇතුළෙන් මහින්දට ඉල්ලීමක් තිබුණත් චන්ද්‍රිකා හිටියේ දෙගිඩියාවෙනි. ඇත්තටම හිටියේ මහින්දට දෙන අදහසකින් නොවේ. නමුත් තමන් සමඟ සිටි මංගල පවා මහින්දට අපේක්ෂකත්වය ලබාදිය යුතු යැයි කියද්දී චන්ද්‍රිකාට වෙනත් චොයිස් එකක් නොතිබුණි. මහින්ද අපේක්ෂකයා වශයෙන් නම් කෙරුණේය. යූ.එන්.පියෙන් නම් එවර කල්තියාම නම්කර සිටියේ රනිල්වමය. කරට කර ගිය සටනින් අවසානයේ වැඩි ඡන්ද එක්ලක්ෂ අසූදාහකින් පමණ මහින්ද දිනුවේය. හරියට බැලුවොත් ඡන්ද අනූදාහක් එහාට මෙහාට වුණා නම් ලැබෙන්නේ වෙනත් ප්‍රතිඵලයකි. රනිල් එම ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට පෙර 2001 දී පැවැති මහ මැතිවරණයෙන් දිනා අගමැති වශයෙන් 2003 නොවැම්බර් මාසය වනතෙක් කටයුතු කළ අතර චන්ද්‍රිකා එම ආණ්ඩුව වැට්ටවීමෙන් පසුව විපක්ෂ නායකයා විය. ජනාධිපතිවරණයට රනිල් ආවේ එම පසුබිමේ සිටිමිනි.

2005ට කලින් පැවැති 1999 දෙසැම්බර් ජනාධිපතිවරණයද චන්ද්‍රිකා නායකත්වය දුන් ශ්‍රීලනිප ප්‍රමුඛ පොදුජන එක්සත් පෙරමුණත් රනිල් නායකත්වය දුන් යූ.එන්.පී. ප්‍රමුඛ සන්ධානයත්  අතර කෙළින්ම සටනක් විය. එම අවස්ථාවේදී චන්ද්‍රිකා ඡන්දය ඉල්ලුවේ දෙවැනි වතාවටය. එහිදී රනිල් හොඳ කැම්පේන් එකක්ද සිදුකර ජයග්‍රහණය පෙනෙන තෙක් මානයට පැමිණ සිටියදී කොළඹ නගර සභා පිටියේ පැවැති චන්ද්‍රිකාගේ අවසන් ඡන්ද රුස්වීමේදී පිපිරීගිය බෝම්බය සියල්ල වෙනස් කළේය. මුළු රටේම විශේෂයෙන් කාන්තා ඡන්ද කෙරෙහි එම සිද්ධිය විශාල බලපෑමක් එල්ල කළ බව පැහැදිලි විය. ඊළඟ පැය 48ක කාලය තුළ සියලු රාජ්‍ය මාධ්‍යවල ප්‍රධානම තේරීම වූයේ එම බෝම්බයෙන් තුවාල ලබා ඇසක්ද අහිමිවූ චන්ද්‍රිකාය. ප්‍රතිඵලය වැඩි ඡන්ද පන්ලක්ෂයකට වඩා ලබාගනිමින් චන්ද්‍රිකා ජය ලැබීමය.

1994 පැවැති ජනාධිපතිවරණයද යූ.එන්.පියත් ශ්‍රීලනිපයත් අතර කෙළින්ම සටනක් වුණත් ශ්‍රීලනිපයේ අපේක්ෂකයා කල්තබා නම්කෙරුණේ නැත. යූ.එන්.පී අපේක්ෂකයා ගාමිණී දිසානායක බව කල් තබාම පැහැදිලි වූයේ ඔහු ප්‍රේමදාස ඝාතනයෙන් පසුව පක්ෂයේ එකම තේරීම වූ බැවිනි. නමුත් එවකට යූ.එන්.පී. ජනාධිපති වශයෙන් පත් කරනු ලැබූ ඩී.බී. විජේතුංග විසින් එතරම් දුරදිග නොබලා ගන්නා ලද දේශපාලන තීන්දුවක් හේතුවෙන් බොහෝ දේ වෙනස් විය. ඔහු ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණය ප්‍රකාශයට පත් කළේය. ඒ වන විට රටේ ජනප්‍රිය දේශපාලන තාරකාවක් වී සිටි චන්ද්‍රිකා ඡන්දය දිනා ආණ්ඩුව පිහිටුවා අගමැති තනතුරට පත්වූවාය. ජනාධිපතිවරණය පැවැත්වීමට දින නියම කෙරුණේ ඉන් පසුවය. එම ජනාධිපතිවරණයේදී ශ්‍රීලනිපය ප්‍රමුඛ පෙරමුණේ අපේක්ෂකත්වය චන්ද්‍රිකාට හිමිවන විට යූ.එන්.පියට ගාමිණී දිසානායක සිටියේය. නමුත් සිදුවුණේ ඡන්දයට සති දෙකක් පමණ තිබියදී කොළඹ තොටළඟදී පැවැති ඡන්ද රුස්වීමකදී පුපුරාගිය බෝම්බයකින් ගාමිණී දිසානායක ඇතුළු යූ.එන්.පී. වේදිකාවේ සිටි ජ්‍යෙෂ්ඨයන් කිහිපදෙනකුම මියයාමය. ඉන් පසුව යූ.එන්.පී අපේක්ෂකයා වශයෙන් ශ්‍රීමා දිසානායක - (ගාමිණී දිසානායක මහතාගේ බිරිඳ) ඉදිරිපත් කිරීමට යූ.එන්.පිය තීරණය කළේය. චන්ද්‍රිකා ජයගත්තේ වැඩි ඡන්ද ලක්ෂ 20කටත් වඩා ලබාගනිමිනි.

1994ට පෙර පැවැති ජනාධිපතිවරණය සිරිමා බණ්ඩාරනායක සහ ආර්. ප්‍රේමදාස අතර ඍජු තරගයක් විය. 1988 දී පැවැති එම ජනාධිපතිවරණය මෙරට ජනාධිපතිවරණ ඉතිහාසයේ එක් කඩඉමක් විය. එය විධායක ජනාධිපති ක්‍රමය බරපතළ ලෙස රට තුළ ප්‍රශ්න කෙරෙමින් තිබූ අවස්ථාවක් බවට පත් වී තිබුණි. ජේ.ආර්. ජයවර්ධන සතුව සියලු විධායක බලතල තිබුණත් ඔහුට ඉන්න සිදුවී තිබුණේ හතරවටින්ම මුරකාවල් දමාගෙනය. විධායක බලතලවලින් කළ හැකි කෙංගෙඩියක් තිබුණේ නැත. උතුරු නැගෙනහිර කොටි ත්‍රස්තවාදයත් දකුණේ ඇවිලීගිය ආණ්ඩුවට එරෙහි ජවිපෙ අරගලයත් හේතුවෙන් විධායක බලතල තිබුණේ පොතට පමණක් සීමාවෙමිනි. එහිදී ජනාධිපති අපේක්ෂක තේරීමේදී ශ්‍රීලනිපයට ගැටලුවක් තිබුණේ නැත. ඔවුන්ගේ එකම තේරීම සිරිමා බණ්ඩාරනායක මැතිනිය විය. නමුත් යූ.එන්.පියේ තිබුණේ ඊට වඩා වෙනස් තත්ත්වයකි.

ජේ.ආර්.ගේ වටේ සිටි යූ.එන්.පී. ජ්‍යෙෂ්ඨයන් වැඩි පිරිසක් ජේ.ආර්.ට කිව්වේ ප්‍රේමදාසට අපේක්ෂකත්වය දෙන්න එපා කියාය. සමහරු කිව්වේ ව්‍යවස්ථාව වෙනස් කර ජේ.ආර්.ටම ඉල්ලන්න කියාය. වෙනත් නම්ද යෝජනා කර තිබුණි. මේ පක්ෂය ඇතුළේ සටන ඇතැම් දේශපාලන විචාරකයන් විසින් හඳුන්වා දී තිබුණේ කුරුඳුවත්ත සහ කෙසෙල්වත්ත අතර සටනක් හැටියටය. නමුත් ජේ.ආර්. මේ කිසිවකුටත් කන්දුන්නේ නැත. ඔහුගේ අරමුණ වී තිබුණේ එකම දෙයකි. එනම් යූ.එන්.පි.ය ජයග්‍රහණය කළ යුතුය යන්න පමණි. ඒ සඳහා ඉහළම සුදුසුකම් සපුරා තිබුණේ ආර්. ප්‍රේමදාස බව ජේ.ආර්. දැන සිටියේය. ජේ.ආර්. එදා ජනාධිපතිවරණ අපේක්ෂකයා වශයෙන් තෝරාගත්තේ තමන්ගේ සමීපතමයකු හෝ එසේත් නැත්නම් තමන්ගේ පැළැන්තියේ හෝ කෙනකු නොවේ. පක්ෂය දිනවන්න පුළුවන් පුද්ගලයාය. එපමණක් නොව අපේක්ෂකයා වශයෙන් ප්‍රේමදාස නම් කිරීමෙන් අනතුරුව ඔහුගේ ඉල්ලීම පරිදි පාර්ලිමේන්තුව විසිරුවා හැරීමෙන්ද වැළකුණු ජේ.ආර්. පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ ගැසට් එක අත්සන් කළේ ප්‍රේමදාසගේ ජය තහවුරැ වූ දිනයේ මධ්‍යම රාත්‍රියේය. ජේ.ආර්. එදා ප්‍රේමදාස අපේක්ෂකයා වශයෙන් නම් කිරීමට ගත් තීන්දුව හරි බව බොහෝදෙනාට වැටහුණේ ප්‍රතිඵල පැමිණීමෙන් පසුවය.

මේ අපේ රටේ ජනාධිපතිවරණ කෙටි ඉතිහාසයේ අපේක්ෂකයන් තේරීම් සම්බන්ධ කතාවයි. එදා මෙදාතුර අපේක්ෂකයන් තෝරන ආකාරයේ බොහෝ වෙනස්කම් සිදුවී තිබුණත් මේ තරම් කල්තබා අපේක්ෂකයන්ගේ නම් ගම් කතා කළ අවස්ථාවක් නොතිබූ බව එම ඉතිහාසය කියාදෙයි. මේ තරම් කල් තියලම අපේක්ෂකයන් තෝරන්න වෙලා තියෙන්නෙ ඇයි? මේ ආණ්ඩුවට තමන්ගේ දෙවැනි ධූර කාලය සම්බන්ධයෙන් විශ්වාසයක් නැතිද?

විශ්වාසයක් නැතිවූවාටත් වඩා දේශපාලන තත්ත්වය විසින් මෙවැනි තැනකට රට තල්ලු කර තිබෙන බව පැහැදිලිය. අද පිටින් බලන ඕනෑම කෙනකුට තේරැම් යන්නේ මේ රටේ කිසිම වැදගත් වැඩක් නොකෙරෙන බවය. සංවර්ධන වැඩ සිදුකෙරුණත් ඒවා ගැන මහජනතාව දැනුවත් වී නැත. එය සම්මුති ආණ්ඩුවකට හාත්පසින්ම වෙනස් ප්‍රතිපත්ති දරණ පක්ෂ දෙකක් එක්වූ විට සිදුවන තත්ත්වයක් බවට අනුමාන කළ හැකිය. ඒ ගැන පක්ෂ දෙකම එකිනෙකාට චෝදනා කරගනු දැකිය හැකිය. දැන් සිදුවෙමින් තිබෙන්නේ එක්ව ගමනක් යාම පැත්තකට තබා වෙන්ව යන ගමනක් ගැන පක්ෂ දෙකම සිහින මැවීමය. එහෙම කතාබහ ඇතිවෙන්නේ ඉතිහාසයේ දරුණුම ආකාරයේ ආර්ථික පසුබෑමකට රට පත්ව තිබෙන මොහොතක වීම ලොකුම අර්බුදය වී තිබේ. ඩොලරයේ රුපියල් 160ද ඉක්මවා යාමට දත කමින් තිබියදී රටේ ආර්ථික සංවර්ධනයක් පිළිබඳව කතා කිරීමෙන් ඵලක් නැත.

මේ අර්බුද මැද ඊළඟ ජනාධිපතිවරණය ගැන කතා කිරීම ආණ්ඩුවේ පාර්ශ්ව දෙකටම කිසියම් සහනයක් ලබාදෙනවාද විය හැකිය. ඒත් සමඟ ශ්‍රීලනිපයත් යූ.එන්.පී.යත් දෙකම තම පක්ෂ ඇතුළේ පණගසන ප්‍රතිසංවිධාන ඉල්ලීම් මඟහරවා ගැනීමද ඊට හේතුවක් විය හැකියි. නමුත් ජනාධිපතිවරණ අපේක්ෂකයන්ගේ නම් එම ඡන්දයට තවත් වසර එකහමාරක් පමණ තිබියදී එළියට දැමීම එම ප්‍රශ්න විසඳීමට වඩා නැති ප්‍රශ්න ඇති කරවීමට හේතු විය හැකිය. අද සිදුවෙමින් තිබෙන්නේ නැති ප්‍රශ්න ඇතිවීමක්ද?

ගෝඨාභය රාජපක්ෂ තම වියත්මග වර්ෂ පූර්ණය ෂැංග්‍රිල්ලා හෝටලයේදී සමරන්නේ මේ පසුබිමේය. මෑත කාලයේ දැකිය හැකි වූ ඉහළම සහභාගීත්වයක් තිබූ ව්‍යාපාරික සහ සබුද්ධිමත් පිරිසක් හමුවේ ගෝඨාභය අනාගතයේ දී රටේ ආර්ථික සංවර්ධනය කෙසේ සිදුවිය යුතුදැයි විග්‍රහයක් ඉදිරිපත් කළේය. එහිදී ගෝඨාභය තමන් දේශපාලනඥයකු නොවන බව සඳහන් කළේය. මේ රටට විකල්ප නායකයකු වශයෙන් ගෝඨාභය කොතරම් දුරට ජනතාවගේ සිත් දිනාගන්නේදැයි දැන්ම කීම අපහසු බව සැබෑය. එහෙත් ඔහු මේ රටේ පැළපදියම් වී සිටින්නේ යුද්ධය ජයගැනීමට අවශ්‍ය සැලසුම් සහ සම්බන්ධීකරණය ඉහළින්ම ඉටුකළ ආරක්ෂක ලේකම්වරයා සහ විශිෂ්ට ගණයේ නගර නිර්මාණ නිලධාරියකු හැටියට බව අමතක කළ නොහැක. එය දේශපාලනය සමඟ ගෝඨාභය හරිහැටි සම්මිශ්‍රණය කර ගන්නේ කෙසේද යන්න ඉදිරියේදී බලාගත හැකි වනු ඇත.

කෙසේ වුවද මේ රටේ ව්‍යාපාරික පැළැන්තියේ නමක් ගමක් ඇති ඉහළම පෙළේ පුද්ගලයන් සියලුදෙනාම පාහේ ගෝඨාභයගේ ෂැංග්‍රිල්ලා වියත් මඟ දේශනයට පැමිණ ඔහු පැවසූ කාරණා ඉවසිලිමත්ව සාවධානව අසා සිටින්නට හේතුවක් තිබිය යුතුය. එතැන සිටියේ එන්න කිවූ විට එන්නත් යන්න කිවූ විට යන්නත් සූදානම් පිරිසක් නොවේ. ඔවුන් එන්නේ තමන්ට වැදගත් යමක් එතැන සිදුවන බවට ඔවුන්ගේ විඥානයට දැනෙන බැවිනි. මේ කිසිවකුත් කාලය කා දමන වැඩට හිස පොවන්නෝ නොවෙති. ව්‍යාපාරික ක්ෂේත්‍රයේ දැවැන්තයන් බවට තමන් ඔසොවා තැබූ දුරදක්නා නුවණ සහ සංවේදී බව ඔවුන් ගෝඨාභයගේ විවරණයට සවන්දීමට පෙළඹුවා විය හැකිය. එසේ නම් ගෝඨාභය සිදුකර ඇත්තේ මේ රටේ ව්‍යාපාරික ප්‍රජාව තුළ දැනට පවතින බලාපොරොත්තු කඩවීමේ මානසිකත්වය සිඳ බිඳ දමා ඔවුන් තුළ අනාගතය පිළිබඳ අලුත් විශ්වාසයක් ගොඩනැගීමය. එවැනි විශ්වාසයක් ඔවුන් තුළ ගොඩනැංවුණොත් එය කෙළින්ම යූ.එන්.පී.යේ කරමුලටම වදින පහරක් වීමට හොඳටම ඉඩ තිබේ. ව්‍යාපාරික ප්‍රජාව තමන්ගේ උරැමයක් බවට යූ.එන්.පී. ය තුළ තිබෙන හැඟීම ඊට හේතුවය.

යූ.එන්.පී. මහලේකම් කියන්නේ මිළඟ ජනාධිපතිවරණයේ තමන්ගේ අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ බවය. එය තවත් ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනකු විසින්ද සනාථ කර තිබිණි. සෙසු යූ.එන්.පී. සංවිධාන සියල්ල ඒ ගැන නිහඬය. නමුත් මහින්ද රාජපක්ෂ මීළඟ ජනාධිපතිවරණය සඳහා ශ්‍රීලනිපය සහ යූ.එන්.පී. දෙකම තීරණාත්මක තැනකට තල්ලු කරමින් සිටින බව පැහැදිලිය. ගෝඨාභයගේ අලුත් ගමනට මහින්ද තම ආශීර්වාදය ලබාදී තිබීමෙන් එය පෙන්වා දී තිබුණේය. ගෝඨාභය සලකුණ ශ්‍රී ලංකා දේශපාලනයේ ඉදිරි ගමන් මගේ විශේෂ හැරවුම් ලක්ෂයක් වන බවට දැන් සිටම පෙරනිමිති පහළ කරමින් සිටින විට ශ්‍රීලනිපයත් යූ.එන්.පී.යත් මොනවා කරනවාදැයි හිතන්නටත් අමාරුය.

 ශශීන්ද්‍ර 

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00