2018 මැයි 12 වන සෙනසුරාදා

මිල අල කරගැනීම

 2018 මැයි 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 136

මේ ආණ්ඩුව පටන් ගත්තේම වැඩ වරද්දාගෙන බව මුලින්ම කිව්වේ පරාජය වූ රාජපක්ෂ ආණ්ඩුවේ හිටපු මැති ඇමැතිලා නොවේ. දින සීයේ ආණ්ඩුවේ සිටම යහපාලනයට පවන් සැලූ සමහර මැති ඇමැතිලාය. එම පිරිසම ටිකක් වෙනස් වී 2015 අගෝස්තු 17 වැනිදා මහ ඡන්දයෙන් සම්මුති ආණ්ඩුවකුත් හදාගෙන ඉස්සරහට යන්න හැදුවත් සමහරුන්ගේ අදහස වී තිබුණේ මුලින් වැරැදි ටික හදාගෙන ඉදිරියට යමු කියාය. එහෙත් එහෙම වුණේ නැත. මිස්ෆයර් වෙමින් ඉදිරියට ගියේ වැරැදිත් එක්කමය. තෙල් මිල වැඩිවීම මේ තරමට ජනතාවට දැනෙන්නේ ආණ්ඩුවේ එකී කෙරුවාවද සමඟය.

ආණ්ඩුව මුලදීම කළ වැරුද්ද මොකක්ද? ඒ ගැන සොයා බලන්න නම් යහපාලන ආණ්ඩුව පිහිටවූ කාලයේ කියූ කතා කළ දේ ගැන සෙවිය යුතුය. වැඩිදුර යාම අවශ්‍ය නැත. යහපාලනයක් පිහිටුවීම සඳහා ජනතාවගෙන් ඡන්දය ඉල්ලන විට ඔවුන්ගේ ප්‍රධාන සටන් පාඨ කිහිපයක් තිබුණි. එකක් හොරු ඇල්ලීමයි. අනෙක ජනතාව ආර්ථික පීඩනයෙන් මුදාගැනීම සඳහා රුපියල් දස දහසක වැටුප් වැඩිකිරීමක් ලබාදෙන බවට වූ පොරොන්දුවයි. ඒ සමඟ තෙල් මිල බස්සන බවට වූ පොරොන්දුවක්ද තිබුණි.

මේ සටන් පාඨවලට ජනතාවගේ ලොකු ආකර්ශනයක් තිබුණේය. හොරු අල්ලන හැටිත් ඔවුන් හිරේ යවන හැටිත් ගැන ඒ කාලේ කතා බොහොමයක් විය. රුපියල් දහදාහේ වැටුප් වැඩිවීමද ඒ ආකාරයටම ලොකු කතාවකි. හැබැයි රටේ විශේෂයෙන්ම රජයේ සේවකයන් වුවද දහදාහකින්ම පඩි වැඩිවනු ඇතැයි හිතුවේ නැති බව සහතිකය. මුලින්ම රුපියල් පන්දහසකින් වැඩිකළ වැටුප පසුව දසදහසකින්ම වැඩිකිරීමට ආණ්ඩුවට සිදුවූයේ යහපාලනය ගෙන ඒමට දරදිය ඇද්ද වෘත්තීය සමිති නායකයන්ගේ බලකිරීමට අනුවය. එලෙස පඩි වැඩිකළ විට යහපාලන ආණ්ඩුවේ ශ්‍රීලනිප පාර්ශ්වයේ ඇතැම් මැති ඇමැතින් කියන්න පටන් ගත්තේ මෙය පොට වරද්දාගැනීමක් බවය. රටේ ආදායම කිසිලෙසකින් හෝ වැඩි නොවන වටපිටාවක රාජ්‍ය අංශයේ සියලු සේවකයන්ට රුපියල් දසදහසකින් වැටුප් වැඩිකිරීම රටේ ආර්ථිකයට කිසිසේත් ඔරොත්තු නොදෙන බවට මේ සමහරැ අනාවැකි කීහ. නමුත් ඒ වග එවකට සිටි මුදල් ඇමැතිවරයා ගාණකටවත් ගත්තේ නැත. ඒ එක පැත්තකි.

පඩි වැඩිකිරීමටත් පෙර සිටම රටේ ආර්ථිකයට ඔරොත්තු නොදෙන තවත් පියවරක් ගෙන තිබුණි. ඒ තෙල් මිල පහත දැමීමය. එය සිදුවූයේ මෛත්‍රීපාල සිරිසේන මහතා බලයට පත් වී යන්තම් සති දෙකක් ඉක්මගිය තැනදීය. ජනවාරි 08 වැනිදා බලයට පැමිණි අලුත් ජනාධිපතිවරයා ඉන් දවස් 13කට පසුව එනම් ජනවාරි 21 වැනිදා රටේ තෙල් මිල පහත දැම්මේය. එය ක්‍රියාත්මක කිරීම පෙබරවාරි 04 වැනිදා සිට ඇරැඹෙනු ඇතැයි මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රකාශ වුවත් හදිසියේම ජනවාරි 21 වැනිදා සිටම නව මිල ගණන් ක්‍රියාත්මක විය. එය ඡන්ද පොරොන්දුවක් අකුරටම ඉටුකිරීමක් බව සැබෑය. එහෙම වුණත් තෙල් මිල ඒ ආකාරයටම අඩුකළ යුතුව තිබුණිද? ආර්ථික විශ්ලේෂකයන්ගේ අදහස වූයේ එතැනදීද ආණ්ඩුව පොට වරද්දාගත් බවය. තෙල් මිල පහත දැමිය යුතුව තිබිණි. එහි කතා දෙකක් නැත. එහෙත් ඒ තරම් අඩුකළ යුතුව තිබුණිද? පිළිතුරු නැත යන්නය. ඊට හේතුව දැන් හොඳටම පැහැදිලිය.

මහින්ද රාජපක්ෂ රජය කාලයේ අවසන් වසර දෙකේදී රටේ තෙල් මිල තිබුණේ ඉහළම ස්ථරයකය. ඒ කාලයේ ලෝකයේ තෙල් මිලද ඉහළ යමින් තිබිණි. එම ඉහළ යාමද අල්ලා මහින්දගේ ආණ්ඩුව තෙල් මිල ඉහළ දැම්මේ විශාල අගයකිනි. පෙට්රල් (92) රුපියල් 150ටද, පෙට්රල් (95) රුපියල් 158ටද, ඩීසල් රුපියල් 111ටද, සුපිරි ඩීසල් රුපියල් 138ටද, භූමිතෙල් රුපියල් 81ටද බැගින් ඉහළ දමනු ලැබීය. එසේ වුවද 2014 අවසන් කාර්තුව වන විට ලෝකයේ තෙල් මිල පහත බැස තිබිණි. ඇත්ත වශයෙන් ලංකාව මිල වැඩි කරද්දී තිබූ අගයට වඩා හරි අඩකින් පමණ ලෝකයේ තෙල් බැරලයක මිල පහත බැස තිබුණි. නමුත් එහි වාසිය රටේ ජනතාවට ලබාදීමට ආණ්ඩුව ක්‍රියා කළේ නැත. ඒ වන විට අසාර්ථක හෙජිං ගනුදෙනුව හේතුවෙන් බරපතළ පාඩුවක් ලබා සිටි තෙල් සංස්ථාවේ එම පාඩුව අඩුකරගනු ලැබුවේ ජනතාව මත තෙල් මිලේ බර පටවමිනි.

පැහැදිලිවම මේ තෙල් මිල තීන්දුව මහින්දගේ ආණ්ඩුව ජනප්‍රියත්වයෙන් පිරිහීමට ප්‍රබල බලපෑමක් ඇති කළේය. එය තවත් අතෙකින් විපක්ෂයට ශක්තිමත් සටන් පාඨයක් නිර්මාණය කර දුන්නේය. ජනාධිපතිවරණය ආසන්න කාලයේ මහින්දගේ රජය විසින් සිදුකරන ලද රහසිගත මත සමීක්ෂණයකදී 21%ක ඡන්ද ප්‍රමාණයක් මහින්දට අහිමිවීමට තෙල් මිලේ ඉහළ යාම ප්‍රබල බලපෑමක් ඇතිකර තිබූ බවට පෙන්වා දී තිබිණි. තෙල් මිල ඡන්ද වේදිකාවේ හෙජින් ගිවිසුම සමඟ හොඳින් තෙම්පරාදු කර ජනතාවට පෙවීමට විපක්ෂ කණ්ඩායම් සමත් වූ බවද සඳහන් කළ යුතුය. මෙහිදී ලැබුණු ප්‍රබලම සංඥාව වූයේ තෙල් මිලේ බරපතළ ඉහළ දැමීම් කෙළින්ම පවතින ආණ්ඩුවේ ජනප්‍රියත්වය සූරා දමන බවය. ඒ ගැන අවබෝධයකින් තොරව කටයුතු කිරීම ඉතා අමිහිරි ප්‍රතිඵල අත්කරදීමට හේතුවන බව මේ රජයද දැනසිටිය යුතුය. නමුත් පසුගිය බ්‍රහස්පතින්දා (10) තෙල් මිල නැංවූ ආකාරයෙන් පෙනී යන්නේ මේ ආණ්ඩුව එවැනි දේ පිළිබඳව නොසලකන බවකි.

ආණ්ඩුව මුල සිටම ආර්ථිකය සම්බන්ධයෙන් ඇතිවිය හැකි අවදානම් සාධක කෙරෙහි සැලකිල්ලක් නොදක්වා කටයුතු කර ඇති බව මේ සියල්ලෙන් පැහැදිලි වන යථාර්ථයයි. මුලින්ම රුපියල් දහදාහේ වැටුප් වැඩිකිරීම රටේ සමස්ත ආර්ථිකය කෙරෙහි ඇතිකරන කම්පනය පිළිබඳව තිබුණේ අඩු තක්සේරුවකි. මේ ඔක්කොම ආර්ථික අපහසුකම්වලට හේතුව දහදාහේ පඩි වැඩි කිරීමයි. මේක රටට ඔරොත්තු දෙන්නෙ කොහොමද? යනුවෙන් වරක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සමීප රාජ්‍ය ඇමැතිවරයකුව සිටි ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ප්‍රශ්න කළේය. නමුත් එයට පිළිතුරක් ලැබුණේ නැත. මේ කාල වකවානුව වන විට මහ බැංකුවේ බැඳුම්කර මගඩිය හේතුවෙන් ආර්ථිකයට ඇතිවූ බලපෑමද රටට දැනෙමින් තිබිණි. එසේ වුවද තෙල් මිල ලොකු ගණනකින් අඩුකිරීමේ ආදීනව ගැන එළිපිට කතා වුණේ අඩුවෙනි. මේ නිසා වරින් වර සිදුකෙරුණු සුළු වෙනස්කම් සහිතව තෙල් මිල අඩු අගයේම තබාගැනීමට ආණ්ඩුවට හැකි විය. නමුත් එය පුපුරා ගියේ රැපියලේ කඩාවැටීම ඇරැඹීමත් සමඟිනි.

රුපියල ශක්තිමත් වීමට නම් පිටරටින් ඩොලර්, පවුම් ලැබිය යුතුය. ඒවා ඍජු විදෙස් ආයෝජන වශයෙන් ලැබී සංචිතයේ තැන්පත් වන විට, රුපියල ශක්තිමත් වෙයි. මහින්දගේ පාලනය අවසන් කිරීම මත පමණක් පදනම් වෙමින් රටට ඍජු විදේශ ආයෝජන ලැබෙනු ඇතැයි යන බලාපොරොත්තුව යහපාලන රජයට මුලදී තිබිණි. එහෙත් එය බිඳීගිය බලාපොරොත්තුවක් පමණක් විය. රටට ආයෝජන ආකර්ශනය කරගත හැකි වැඩපිළිවෙළකට යනවා වෙනුවට ආණ්ඩුව වඩාත් අවධානය යොමුකළේ රටේ තිබෙන සම්පත් කිහිපයක් විකුණා ඩොලර්, පවුම් ලබාගැනීමටය. හම්බන්තොට වරාය පමණක් යළිත් චීනයටම පවරා ලබාගත් සැලකිය යුතු ඩොලර් ප්‍රමාණය හැරුණුවිට ආණ්ඩුවට සංචිතය වශයෙන් පෙන්වීමට ඇත්තේ රටට ලැබෙන විදෙස් ණය ආධාර මුදල් බව ඇතැම් ආර්ථික විශ්ලේෂකයන්ගේ මතයයි. තරමක් දුරට හෝ රටේ ආර්ථිකයට රුකුලක් වී ඇත්තේ විදෙස් රුකියාවලින්, තේ, ඇඟළුම් සහ මත්ස්‍ය වැනි අපනයන භාණ්ඩවලින් රට තුළට ඇදෙන ඩොලර් ප්‍රමාණය සුළු වශයෙන් ඉහළ ගොස් තිබීමය. නමුත් ආර්ථික ප්‍රශ්නවලට එය විසඳුමක් වී නැත.

මෙම කනගාටුදායක ආර්ථික තත්ත්වය පිළිබඳව රජයට අනතුරු ඇඟවීම් සිදුකෙරැණේ වරක් දෙවරක් නොවේ. නමුත් පසුගිය වසර තුන තිස්සේම රජය නිවැරුදි වීමට කිසිම පියවරක් ගත්තේ නැත. හිටපු මුදල් ඇමැතිවරයාට ඉල්ලා අස්වන තැනට කරුණු යෙදුණත්, මහ බැංකු අධිපතිවරයාට රට හැරයාමට පවා සිදුවුණත් ආර්ථිකය හරි පීල්ලට ගැනීමට ප්‍රමාණවත් තරම් උත්සාහයක් දැරුණු බවක් පෙනෙන්නට නැත. බොහොමයක් ආර්ථික විශ්ලේෂකයන්ගේ මතය වී ඇත්තේ රටේ සිදුවිය යුතු ආර්ථික ප්‍රතිසංස්කරණ වචනවලට, කතාවලට පමණක් සීමාවී ඇති බවය. ප්‍රායෝගිකව කිසිදු ප්‍රගතියක් නොදකින බවය.

ආණ්ඩුව තමන්ගේ ආර්ථිකය නිවැරුදි පීල්ලට නොගැනීමේ ආනිසංස දේශපාලන වශයෙන්ද බලපෑම් කිරීමට හේතු වී තිබේ. එය පසුගිය කාලය පුරා පෙනෙන්නට තිබුණත් ලොකුම හැරවුම වූයේ පෙබරවාරි 10 වැනිදා පුංචි ඡන්දයේ ප්‍රතිඵලයයි. එය රජයේ පැවැත්මට පවා මේ වන විට අභියෝග කරමින් තිබේ. දැන් රජයට පාර්ලිමේන්තුව තුළ තුනෙන් දෙකක බලයක් නැත. ප්‍රධාන පාර්ශ්ව දෙක වන යූ.එන්.පියෙත් ශ්‍රීලනිපයෙත් ඇතුළේ කචල්ය. පක්ෂ දෙකේම අභ්‍යන්තරය පාක්ෂිකයන්ට දැනෙන ප්‍රතිසංවිධානයක් ඉල්ලා සිටියි. දැන් ඒ පක්ෂ දෙකේම නායකයන් ප්‍රමුඛත්වය දී තිබෙන්නේ ඔවුන්ගේ ප්‍රශ්න විසඳාගැනීමටය. රටේ ප්‍රශ්න විසඳාගැනීමට නොවේ. තෙල් මිල වැඩි වීමෙන් ආණ්ඩුවේ ජනප්‍රියත්වයට හානි වුවත් නායකයන්ගේ ප්‍රශ්න ඒ හරහා අමතක කරවීමට හැකි වුවොත් එය වාසියකි.

හරියට බැලුවොත් 2015 ජනවාරි 08 වැනිදා බලයට පැමිණ පළමු දින 100 තුළදී ආණ්ඩුව ජනතාවට ලබාදුන් සහන මල්ලේ හුළං දැන් බසිමින් තිබේ. වැඩිකළ දහදාහේ වැටුපට අනුරූපව සියලු වියදම්, බදු, භාණ්ඩ මිල වැඩි වී තිබේ. මේ නිසා එම දහදාහේ වැඩිකිරීමෙන් අරමුණු කරගත් කිසිවක් ඉටුකරගැනීමට ආණ්ඩුව සමත් වී නැත. ඒ බව පෙබරවාරි 10 වැනිදා ලැබුණු ප්‍රතිඵලයෙන් පැහැදිලි විය. රටේ ගොවි ජනතාවට ලබාදුන් පොරොන්දුද එකක්වත් හරිහැටි ඉටුවී නැත. අදත් ගොවීන්ගේ ප්‍රශ්න එසේමය. අවසානයේ ආණ්ඩුවට උදම් ඇනීමට තිබූ එකම ආර්ථික තුරැම්පුව වූ තෙල් මිල සහනයද ඉවර විය. එය තවමත් රාජපක්ෂ රජය කාලයේ මිල ගණන්වලට වඩා සුළු වශයෙන් අඩු බව සැබෑය. එහෙත් සෙසු වියදම් සමඟ එක්ව බලන කල මේ මිල ඉහළ යාමේ බලපෑම ඊටත් වඩා වැඩි බව පැහැදිලිය. මිල සූත්‍රයක් ඇතිකරන බව කිව්වත් එවැන්නක් සිදුවන තුරැ ඒ ගැන ජනතාව විශ්වාසය තබන්නේ නැත.

ආණ්ඩුව දැන් මෙතැන් සිට ඉතිරි මාස 18 යාත්‍රා කළ යුත්තේ ඉතාම රළු මුහුදක බව හැම අතින්ම පෙනෙන්නට තිබේ. මුලදීම කළ වරද්දාගැනීම් හදාගැනීමට තිබූ කාලයෙන් ආණ්ඩුව කිසිම ප්‍රායෝජනයක් ගත්තේ නැත. එයින් ප්‍රායෝජන ගත්තේ එදා පරාජය වූ මහින්දගේ කණ්ඩායමය. අද ආණ්ඩුව තෙල් මිල වැඩිකරන විට එය මහින්දලාට උඩ පැන පැන ගැසිය හැකි ඩෑෂ් පහරවල් බවට පත්වෙයි. කොයිතරම් වැඩ කළ බව කිව්වත්, ගණං හිලව් පෙන්නුවත් ජනතාවට ඒවායින් පලක් නැත. තමන්ගේ ඇඟට නොදැනෙන දේවල් ගැන ජනතාව විශ්වාසය තබන්නේ නැත. කොටින්ම ජනතාවට තවදුරටත් කතා කිරීම්වලින් පලක් නැත. ඒ පාඩම මේ ආණ්ඩුව කවදා ඉගෙන ගනීදැයි කියන්න බැරිය.

 ශශීන්ද්‍ර

 2018 මැයි 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 මැයි 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 මැයි 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 මැයි 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 මැයි 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00