2018 මැයි 12 වන සෙනසුරාදා

පුංචි කෑලි

 2018 මැයි 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 131
 
භූමිතෙල් කතා
 
ආණ්ඩුව පසුගිය බ්‍රහස්පතින්දා (10) මධ්‍යම රාත්‍රියේ සිට හඳුන්වාදුන් නව තෙල් මිල සූත්‍රයෙන් වඩාත්ම තදින් පහර එල්ල වීමට ඉඩ තිබෙන්නේ දුප්පත්කමේ අන්තිම කෙළවරේ සිටින ජනතාවට බව පෙනෙන්නට තිබේ. භූමිතෙල් මිල එකවර රුපියල් 57කින්, එනම් රුපියල් 44 සිට රුපියල් 101 දක්වා වැඩිකර තිබීම ඊට හේතුවය. නමුත් මුදල් ඇමැති මංගල සමරවීර දරන්නේ ඊට වෙනස් මතයකි.
 
මුදල් ඇමැතිවරයා එදින පැවැත්වූ මාධ්‍ය හමුවේදී සඳහන් කළේ ආහාර පිසගැනීම සහ ආලෝකය ලබාගැනීම සඳහා භූමිතෙල් භාවිත කරන වතු කම්කරු පිරිසටත් ධීවර ප්‍රජාවට සහ අවම ආදායම් ලබන සමෘද්ධිලාභීන්ටත් වශයෙන් සමාජයේ නිශ්චිත කොටස් කිහිපයකට භූමිතෙල් සහනාධාරයක් ලබාදෙන බවය. ග්‍රාමසේවා කොට්ඨාසවල ලියාපදිංචි ඔවුන් සියලු දෙනාටම දිගටම රුපියල් 44 ක් වන පැරණි මිලටම භූමිතෙල් ලබාදෙනවා. එය වහාම ක්‍රියාත්මක කෙරෙනවා. කලින් භූමිතෙල් මිලදීගත් ආකාරයටම එය සිදුකිරීම සඳහා ජූනි 01 වැනිදා සිට කූපන් පත් හෝ ඔවුන්ගේ බැංකුවලින් කෙළින්ම ලබාගත හැකි ආකාරයට මුදල් හෝ ලබාදෙනවා. යැයිද ඇමැතිවරයා සඳහන් කළේය.
 
අඩු ආදායම්ලාභී පුද්ගලයෝ භූමිතෙල් අධිකව භාවිත කරති. මේ නිසා සියලු ආණ්ඩු එම ජනකොටස්වලට සහනාධාර මුදලට භූමිතෙල් ලබාදීමට පියවර ගනී. සංස්ථාව වෙනුවෙන් ආණ්ඩුව මේ බර දැරුවද පසුගිය වසරේ භූමිතෙල් අලෙවියෙන් සංස්ථාව ලද පාඩුව රුපියල් බිලියන 5.4 ක් පමණ වෙයි. රුපියල් 44ට භූමිතෙල් ලීටරයක් ලබාදීමේදී සහනාධාරය රුපියල් 27.53 ක් වී තිබිණි.
 
ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය මගින් මෑතකදී සිදුකරන ලද අධ්‍යයනයකදී හෙළිවී ඇත්තේ පසුගිය වසර තුන තුළදී භූමිතෙල් භාවිතය මහා පරිමාණයෙන් ඉහළ ගොස් තිබෙන බවය. 2014 වසරේදී කිලෝ ලීටර් 1,38,505 ක් වූ අලෙවිය 2017 වසර වන විට කිලෝ ලීටර් 1,98,090 දක්වා ඉහළ ගොස් තිබිණි. මෙය සැබෑ ඉල්ලුමක් හේතුවෙන් නොව ඇතැම් දූෂිත ව්‍යාපාරිකයන් විසින් සහනදායී මිලට සපයන භූමිතෙල් බර වාහන සහ කාර්මික අවශ්‍යතා වෙනුවෙන් වංචනිකව යොදවාගැනීම හේතුවෙන් හටගත් තත්ත්වයකි.
 
තෙල් සංස්ථා දත්ත පෙන්වා දෙන්නේ 2017 වසරේදී මාසික භූමිතෙල් අලෙවියේ සාමාන්‍ය අගය මෙට්‍රික් ටොන් 350 - 400 දක්වා වුවද මේ වසරේදී එය මෙට්‍රික් ටොන් 600 – 650 දක්වා ඉහළ නැග ඇති බවය. ප්‍රයිවෙට් බස් හිමියන් සහ ඇතැම් ඉන්ධන හල් හිමියන් එකතු වී සිදුකරන මහා පරිමාණ ජාවාරමක් නිසා මෙය සිදුවන බව තෙල් සංස්ථා ආරංචි මාර්ග පවසයි.
 
- ඩේලි එෆ්.ටී.
 
සජිත්ගේ විසංවාදී සටහන
 
කොළඹ අලුත්කඩේදී පසුගියදා පැවැති තම දිවංගත පියාණන්ගේ වාර්ෂික ගුණ සමරු උළෙලේදී එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස පැවැත්වූ කතාවේ කිසියම් විසංවාදී සටහනක් දකින්නට තිබිණි.
 
ඔහු ප්‍රකාශ කළේ දිවංගත තම පියාණන් වන රණසිංහ ප්‍රේමදාස මහතා දැරූ ස්ථාවරයේ ආකාරයටම තමාද විවෘත ආර්ථිකයට විරුද්ධ බවය.
 
මෙය විවෘත ආර්ථිකය කෙරෙහි දැඩි විශ්වාසයකින් කටයුතු කරන ඔහුගේ නායක රනිල් වික්‍රමසිංහගේ මතයට සපුරා පටහැණි අදහසකි. විවෘත ආර්ථික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම ආරම්භ කළේ දිවංගත ජේ.ආර්. ජයවර්ධනයි.
 
- සන්ඩේ ටයිම්
 
අර්ජුන මහේන්ද්‍රන් ළඟදීම අල්ලනවා
- රාජිත
 
අර්ජුන මහේන්ද්‍රන් කොතැනක සැඟවී සිටියත් අන්තර්ජාතික පොලීසිය මගින් ඔහු ඉතා ඉක්මනින් අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකා පොලීසියට බාරදෙනු ඇතැයි කැබිනට් ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න පසුගිය බ්‍රහස්පතින්දා (10) පැවැති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය. ඔහු සිටින තැන කිසිවකු නොදන්නා මුත් ඔහුගේ මේ හොරා පොලිස් සෙල්ලම වැඩි කාලයක් කරගෙන යාමට නොහැකි වන බවද ඇමැතිවරයා සඳහන් කළේය.
 
- ඩේලි මිරර්
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00