2018 මැයි 12 වන සෙනසුරාදා

පේරාදෙණියේ සමාජ විද්‍යාව

 2018 මැයි 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 242

ලංකා විශ්ව විද්‍යාලය ද තුළ සමාජ විද්‍යාව හෝ මානව විද්‍යා පීඨයක් ඇති කළ යුතු යැයි මුලින්ම යෝජනා කළ කෙනෙකි මාර්ටින් වික්‍රමසිංහ. සිළුමිණට සතිපතා ඔහු විසින් ලියන ලද ලිපියක් තුළින් ද එම පුවත්පතේ කතුවැකි තුළින් ද වික්‍රමසිංහ මහතා ඔහුගේ අදහසක් ලෙස මෙරට බුද්ධිමතුන්ට එවැනි ශාස්ත්‍ර පීඨයක ඇති වැදගත්කම මහත් උනන්දුවෙන් ඉදිරිපත් කළේය. ඔහුගේ ප්‍රධාන තර්කය වූයේ මෙරට වෙසෙසින් සිංහල සංස්කෘතිය පිළිබඳ ශාස්ත්‍රීය ගවේෂණයන් කිරීමට එවකට පැවති සරසවියේ ඉඩක් සැලසී නැති බවයි. මිනිසාගේ පරිණාමය මෙන්ම සමාජ පරිණාමය පිළිබඳ පොතපත මාර්ටින් වික්‍රමසිංහ මහත් උනන්දුවෙන් කියවීය. තරුණයකු වශයෙන් ඔහු ඉංග්‍රීසි පොත් සමාජයකට බැඳි පරිණාමය පිළිබඳ පතපොත ගෙන්වාගත් බව ඔහු තම ජීවන කතාව පිළිබඳ කරන රචනාවලින් හෙළිදරව් කරයි. ඔහු සිංහල සංස්කෘතිය ගැන ලියන අවස්ථාවලදි එකල ජනප්‍රිය මානව ශාස්ත්‍ර විද්‍යාඥවරියක් වූ රූත් බෙනඩික්ට් රචනා කරන ලද “පැටර්න්ස් ඔෆ් කල්චර්” (Patterns of Culture) ග්‍රන්ථය ගැන නිතර සඳහන් කරයි. බෙනඩික්ට් ලෝක සංස්කෘතිය සෞම්‍ය (ඇපලෝනියන්) හා රෞද්‍ර (ඩයනීසියන්) වශයෙන් බෙදා දක්වන්නීය. සිංහල සංස්කෘතිය “සෞම්‍ය” ගනයට කිසිම පැකිලීමකින් තොරව ඇතුළත් කළේය. ඒ මතයන් අද වුවද සිංහල පොත්පත්වල රැව්දෙන විශ්වාසයෙන් ඔහු බොහෝමයක් නිර්මාණ කළේය. පසුව කරන ලද පර්යේෂණවලින් රූත් බෙනඩික්ට්ගේ සංස්කෘතිය වර්ග කිරීම තදබල විවේචනයට ලක් විය. එහෙත් ඇයගේ අදහස්වල ශේෂයන් සිංහල රචනාවල දක්නට තිබේ.

සිංහල සංස්කෘතිය ගවේෂණය කිරීමට ලක් සරසවියේ උපකුලපති වූ සර් අයිවෝ ජෙනිංස් අනුබල නොදීම කුමන්ත්‍රණයක් හැටියට වික්‍රමසිංහ දුටුවේය.  ඔහු සිය ලිපිවල ජෙනිංස්හට නිර්දය ලෙස පහර ගැසීය. එසේ කරන ලද විවේචන මෑතක් වනතුරු ලාංකිකයන්ගේ මනසේ රැඳී තිබුණේය. එසේ වුවද මෑත කාලයේදී එම අදහස් වෙනස් වී ඇති අතර, ඉයන් ගුණතිලක රචනා කරන ලද ජෙනිංස් විසින් පේරාදෙණියේ සරසවියට දැක්වූ ආදරය විදහා දක්වන ග්‍රන්ථය පළවීමෙන් පසුව එම විපර්යාසය සිදුවී ඇතැයි මට සිතේ.

මාර්ටින් වික්‍රමසිංහ තරම්ම මානව හා සමාජ විද්‍යා පීඨයක අවශ්‍යතාවය පිළිබඳ නිතර පුවත්පත්වලට ලීවේ ආචාර්ය මොට්වානිය. ඉන්දියානු ජාතිකයකු වූ මොට්වානි අමෙරිකාවේදී උසස්ම විශ්ව විද්‍යාලයක සමාජ විද්‍යාව හදාරා අහම්බෙන් ලංකාවේ පදිංචි වූ කෙනෙකි. එම අහම්බකාරකය නම් ඇමෙරිකන් ජාතික තරුණියක් වූ ක්ලෑරා සමඟ විවාහ වීමයි. ක්ලෑරා මොට්වානි පරම විඥානාර්ථ සමිතියේ අනුගාමිකයකු වූ අතර, කොළඹ විශාඛා විද්‍යාලයේ ප්‍රධානාචාර්යවරිය වශයෙන් පත්වීමක් ලබා මෙරට පදිංචියට පැමිණියාය. ඇයගේ අප්‍රතිහත ධෛර්යය තුළින් විශාඛා විද්‍යාලය ලංකාවේ උසස්ම ගනයේ කාන්තා විද්‍යාලයක් බවට පත්කරන ලදි. මොට්වානි දෙපොලගේ දූ ගුල්බායි ගුණසේකර ලංකාවේ පදිංචි වී දැන් මව මෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රයට විශේෂිත සේවාවක් කරන්නීය. පේරාදෙණිය සරසවියේ සමාජ විද්‍යා අංශය පිහිටුවායින් පසුව සිසුන් වූ අපට දේශනයක් කිරීමට ආචාර්ය මොට්වානිගේ පැමිණීම තවම මගේ සිතේ සටහන් වී තිබේ. ඉන්දියානු පන්නයේ ෂර්වානියක් ඇඳි කෙසඟ සිරුරෙන් යුත් ඔහු ඇමෙරිකාවේ සරසවියක ලත් අත්දැකීම් ගැන අපට සිත්ගන්නා සුළු දේශනයක් කළේය.

ජෙනිංස් ලංකා සරසවියේ සමාජ විද්‍යා අංශයක් ආරම්භ නොකළේ ඔහු වික්‍රමසිංහ සිතූ අයුරේ අධිරාජ්‍යවාදියකු නොවූ නිසාවෙනි. එමෙන්ම එවකට එංගලන්තයේ උසස් විශ්ව විද්‍යාලවල ද සමාජ විද්‍යාව ශාස්ත්‍රය ගැන කුකුසක් තිබු නිසාය. දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව එංගලන්තයේ බලයට පත්වූයේ කම්කරු පක්ෂයයි. එම පක්ෂය දැන් තිබෙන දියාරැ කම්කරු පක්ෂය මෙන් නොව රුඩිකල් පක්ෂයක් බව පැහැදිලි විය.  ඔවුහු ඔක්ස්ෆර්ඩ්, කේම්බ්‍රිජ් සම්ප්‍රදාය ප්‍රතික්ෂේප කළ අය වූහ. ඒ වෙනුවට බෙවරිජ් සාමිවරයා විසින් යෝජනා කරන ලද දුප්පතුන් වෙනුවෙන් සමාජ සුබසාධන දැළක් ද එම සරසවි පද්ධතියක් ද ඇතිකරන ලදී. සම්ප්‍රදායික උසස් අධ්‍යාපනයට වෙනස් වූ එම තාක්ෂණික විශ්ව විද්‍යාල හඳුන්වනු ලැබුවේ “රෙඩ් බ්‍රික්” සරසවි වශයෙනි. මේ සරසවිවල දුප්පත් පංතියේ දරුවන්ට තාක්ෂණය සහ නව විද්‍යාවන් හඳුන්වා දී ඔවුන් සමාජය තුළ ඉහළට ගැනීම මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල අරමුණ විය. සමාජ විද්‍යාව නව අධ්‍යාපන ලෝකයට ඇතුළත් වූයේ රෙඩ් බ්‍රික් විශ්වවිද්‍යාල තුළිනි. එහි පාඨමාලා අතරට සමාජයේ දේශපාලන දර්ශන, පාලන හා කර්මාන්ත සේවා කළමනාකරණය, පංති විග්‍රහය, කම්කරැ සංස්කෘතිය ආදිය ඇතුළත්ය. එම පාඨමාලා මාක්ස්වාදයට මෙන්ම කම්කරු පක්ෂය ප්‍රගුණ කළ සමාජ ප්‍රජාතන්ත්‍රවාදයට නෑකම් කී බව පැහැදිලිවම පෙනුණේය. එපමණක් නොව පංති විග්‍රහයට අදාළ වූ මාර්ක්ස් එන්ගල්ස්, වේබර්, ග්‍රැම්ස්චි හා අල්තුසාර් වැනි දාර්ශනිකයන්ගේ ලියකියවිලි අධ්‍යනය කරන ලදි. ඔක්ස්ෆර්ඩ් හා කේම්බ්‍රීජ් යන සරසවි මේ ප්‍රවාහයට අතුළුවීමට කැමති වූයේ නැත. එම සරසවි සංකල්ප ඉහළින් තැකූ ජෙනිංස් ද සමාජ විද්‍යාව “පිරිසුදු” උසස් අධ්‍යාපනය කිලිටි කරන අධ්‍යාපන අංශයක් හැටියට සලකන්නට විය.

මේ “රෙඩ් බ්‍රික්” සම්ප්‍රදායට වෙනස් වූ සමාජ විද්‍යාවක් අමෙරිකාව තුළ වර්ධනය විය.  එසේ වුවද සමාජ විද්‍යාවට වඩාත් ඉල්ලුමක් තිබුණේ කෘෂි විශ්ව විද්‍යාල වශයෙන් සලකන ලද ප්‍රාන්ත සරසවිවලයි. ඊට අමතරව චිකාගෝ, පෙන්සිල්වේනියා හා මිචිගන් වැනි කර්මාන්තයට බර වූ ප්‍රාන්තවල ද කර්මාන්තශාලාවල නිෂ්පාදනය වැඩි කිරීම සඳහා පර්යේෂණ සමාජ විද්‍යාඥයන් විසින් අරඹන ලදි. මේ පර්යේෂණ අමෙරිකාවේ පැරැණි සරසවිවලට එකතු කරගත්තේ කලාතුරකිනි. මෙම පසුබිමින් අමෙරිකන් සමාජ විද්‍යාඥයෝ කීපදෙනෙක් ශිෂ්‍යත්ව ලබා ලංකාවට පැමිණියහ. ඔවුන් අතුරින් බ්‍රයිස් රයන් හා මරේ ස්ට්‍රවුස් මුල් තැනක් ගත්හ. ඔවුහු තමන්ට හුරු වූ ප්‍රායෝගික ප්‍රශ්න කෙරෙහි අවධානය යොමු කළහ. බ්‍රයිස් රයන් “ලංකාවේ කුල ක්‍රමය” යනුවෙන් ද මරේ ස්ටුවස් මනෝවිද්‍යා අංගයක් වූ අලුත් සංකල්ප ද හඳුන්වා දුන්නේය. එහෙත් ඔවුහු අමෙරිකන් ශිෂ්‍යත්වලාභින් මිස අප සරසවි ක්‍රමයේ ස්ථිර කොටස්කරුවෝ නොවූහ.

බ්‍රයිස් රයන්ගේ අග්‍රගන්‍ය සිසුවා වූයේ ස්ටැන්ලි තම්බයියායි. ඔහු අමෙරිකාවේ කෝනෙල් සරසවියට පශ්චාත් උපාධිය සඳහා ඇතුළු වී එම රටේ සමාජ විද්‍යා සම්ප්‍රදායට මුලින්ම ඇතළු විය. එම සම්ප්‍රදාය අනුව යමින් තම්බයියා කොළඹ දුප්පත්ව විසූ ප්‍රදේශ පිළිබඳ වටිනා පර්යයේෂණයක් කළේය. කොළඹ, හැටේවත්ත හා මරදානේ මුඩුක්කු ප්‍රදේශ පිළිබඳව හොඳම පර්යේෂණයක් හැටියට අද වුවද ඉදිරිපත් කළ හැක්කේ තම්බයියාගේ රචනාය. ඉන්පසු ඔහු පාතදුම්බර, ගල්ඔය වැනි ප්‍රදේශවල එවැනි “ප්‍රයෝජනවත්” සමාජ විද්‍යා පර්යේෂණ කළේය. එහෙත් කල්යෑමෙන් පේරාදෙණියේ සමාජ විද්‍යා අංශය ඔක්ස්ෆර්ඩ් කේම්බ්‍රීජ් මානව විද්‍යා සම්ප්‍රදායට අවනත විය. ප්‍රායෝගික පර්යේෂණ පස්සට විසි විය. තම්බයියා, ගණනාථ ඔබේසේකර, එච්.එල්. සෙනෙවිරත්න හා මයිකල් රොබර්ට්ස් වැනි සමාජ විද්‍යාඥයෝ සිංහල බෞද්ධ සංකල්පය විභාග කිරීමට යොමු වූ අතර, මෙරට සංස්කෘතියට මුල් වූ සිංහල, පාලි හා සංස්කෘත භාෂා නොදැන සිටි නිසා අප සමාජය ගැන වැරදි මෙන්ම අඳුරු චිත්‍රයක් මැවීමට හවුල් වූහ.

 2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා, ප.ව. 12:31
 2018 ඔක්තෝබර් 13 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා, ප.ව. 12:31
 2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා, ප.ව. 12:30