2018 මැයි 12 වන සෙනසුරාදා

තෙල් මිලේ චණ්ඩි පාට්

 2018 මැයි 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 46

පෙට්රල්, ඩීසල් සහ භූමිතෙල් පොදුවේ හැඳින්වෙන්නේ තෙල් වශයෙනි. මේ පොදු තෙල් පසුගිය බ්‍රහස්පතින්දා මධ්‍යම රාත්‍රියේ සිට ගණං ඉස්සුවේය. එම ගණං ඉස්සීම රටේ මහජනතාව නම් නිසැකවම දකින්නේ ආණ්ඩුව තමන්ට කරන ගණං දැමීමක් හැටියටය. ගණං දැමීම නැතහොත් ගණං පෙන්නීම යනු පොදු ව්‍යවහාරයේ දැක්වෙන්නේ චණ්ඩිකම් පෑමක් යනුවෙනි. ආණ්ඩුව තෙල් මිල වැඩිකළ විට ඒ කියන මිලට තෙල් ගන්නවා හැර වෙනත් කළ හැකි යමක් මේ වෙලාවෙදී තමන් අත නොමැති නිසා ආණ්ඩුව මේ කරන්නේ චණ්ඩිකමක් බව ජනතාව තේරැම් ගැනීම සාධාරණය.

තෙල් මිල වැඩිකිරීම චණ්ඩිකම් පෑමක් වශයෙන් හැඳින්වීමට අපද කැමැති නැත. එහෙත් පෙට්රල් ලීටරයක් රුපියල් 20කින්, ඩීසල් රුපියල් 14කින් සහ භූමිතෙල් 57කින් වැනි ගණන්වලින් ඉහළ යන විට අපට පැවැසිය හැක්කේ වෙන කුමක්ද? පිටරටවලින් ගෙන එන ද්‍රව්‍යයක් බැවින් තෙල් මිල සම්පූර්ණයෙන් පාලනය කිරීමට අපේ රටට හැකියාවක් නැත. ඒ බව වටහාගැනීම අපහසු කරැණක් නොවේ. එහෙත් මේ ආකාරයට මිල ගණන් වැඩිවුණේ ලෝක වෙළෙඳපොළේ මිල ඉහළ යාම හේතුවෙන් පමණක් නොවන බව අපි දනිමු. ඇමෙරිකානු ඩොලරය හමුවේ රුපියල බාල්දු වීමද තෙල් මිලට ඍජුවම බලපෑවේය. එසේම මේ රටේ ආර්ථිකය වැරදි ලෙස හැසිරවීමේ ප්‍රතිඵලද මීට බලපා තිබෙන බව වසං කළ නොහැක. එසේ නොවන්නට ලෝක වෙළෙඳපොළේ මිල වැඩිවීමට අනුරූපව මේ තරම් මිල ඉහළ දැමීමක් අවශ්‍ය නොවන බව කුඩා දරුවකුට වුවද වටහාගත හැකිය.

ඩීසල් ලීටරය රුපියල් 14කින් වැඩිකළ විට ගොනා පසුපස ඇදී එන කරත්ත රෝදය මෙන් ඊළඟට එන්නේ බස් ගාස්තු වැඩිකිරීමේ ඉල්ලීමය. ආණ්ඩුව මොන භාෂාවෙන් කතා කළත් මේ ඉල්ලීමට ඉඩදීමට සිදුවන බවට කතා දෙකක් නැත. බදු හේතුවෙන් සියලු අමතර කොටස්වල ටයර්වල මිල ඉහළ ගොස් තිබෙන කාලයක ඩීසල් මිලද මේ ආකාරයට වැඩිකළ විට බස් ගාස්තුවේ වැඩිවීමක් වැළැක්විය නොහැක. එසේ නොවුණොත් ප්‍රයිවෙට් බස් කර්මාන්තය පමණක් නොව ලංගම බස්ද විශාල අර්බුදයකට මුහුණදෙනු ඇත. ආණ්ඩුවට සිදුවන්නේ සාකච්ඡා වට කිහිපයක් පවත්වා අවශ්‍යම නම් පැය 24ක කාලයක් බස් වැඩවර්ජනයක්ද ක්‍රියාත්මක වන තෙක් බලා ඉඳ බස් ගාස්තු වැඩිකිරීම පමණි. වෙන විකල්පයක් නැත.

බස් ගාස්තු පමණක් නොව පාසල් වෑන් ගාස්තු ඇතුළු සකල ට්‍රාන්ස්පෝට් ගාස්තුද ඒ සමඟ වැඩිවනු ඇත. මේ ගාස්තු ඔක්කොම අවසානයේ සූරාකන්නේ පොදු මිනිසාගේ හොඳටම හිස්ව තිබෙන පොකට්ටුවේ පතුලමය. එහි තවත් සූරන්නට දෙයක් ඉතිරි වී නැති බව දන්නේද මේ පොදු මිනිසාම පමණි. මේ නිසාම ඔවුන්ට ආණ්ඩුවේ හැම ආර්ථික චණ්ඩිකමක්ම උසුලාගෙන සිටීමට බල කෙරෙනු ඇත. ඉන් ගැලවීමක් ඔවුන්ට නැත. ඒ ඩීසල් වැඩිවීමේ කතාවයි.

භූමිතෙල් සහ පෙට්රල් වැඩිවීමද ඊට දෙවැනි නැත. භූමිතෙල් රටේ වතුකර ජනතාවටත් ධීවර ජනතාවටත් නැතිවම බැරි සම්පතකි. එහි මිල වැඩිවීම ඔවුන්ට හොඳට රිදෙන අතුල් පහරකි. භූමිතෙල් මිල තිබුණේ රුපියල් 44ටය. එහි නව මිල රුපියල් 101 කි. ඒ අනුව මිල වැඩිවීම දෙගුණයකටත් වැඩිය. ආණ්ඩුව ඊට සහන දෙන බව කීවද සහන ක්‍රමය තවමත් අපැහැදිලිය.

පෙට්රල් මිල වැඩිවීම ඇතැම් විට ආණ්ඩුව සරලව සිතනු ඇත. එය භාවිත කරන්නේ දරාගැනීමට හැකි පිරිසක් විසින් බව ඔවුන්ගේ තක්සේරැව විය යුතුය. එහෙත් මේ රටේ විසි ලක්ෂයකට අධික ත්‍රිරෝද රථ සහ මෝටර් සයිකල් භාවිත කරන පිරිස අතුරින් වැඩිදෙනා ඊළඟ දවසේ පෙට්රල් ටිකක් ගහගන්නා ආකාරය ගැන සිහින මවන ආර්ථික අසරණයෝ වෙති. ඔවුන්ට මේ වැඩිකිරීම නහයටත් උඩින් යාමකි. ත්‍රිරෝද රථ ගාස්තුව වැඩිවීමද මේ සමඟ බලාපොරොත්තු විය යුතුය. නමුත් ඔවුන්ට ඇතැම් ළඟ දුවන හයර් අඩුවීමටද මුහුණදීමට සිදුවනු ඇත. පෙට්රල් මිල මේ තරම් ඉහළ දැමීම ඔවුන්ට කෙළින්ම බඩේ පහර වැදීමක් වන්නේ එබැවිනි.

ආණ්ඩුව මේ ආකාරයට මහජනතාව පිටට මදි නොකියන්නට බර පටවන්නේ තමන්ගේ මැති ඇමැතිවරුන්ගේ වියහියදම් අඩුකිරීමක් පිළිබඳව නොදන්නා ගාණටය. ආර්ථිකය අමාරු නම්, රැපියල කඩා වැටෙන්නේ නම්, ඊට අනුරූපව අනෙක් සියලු වියහියදම් වැඩිවන්නේ නම් කැපකිරීම් කළ යුතු වන්නේ මහජනතාව පමණක් නොවේ. ඔවුන්ගේ පාලකයන් වන ආණ්ඩුව පැත්තෙන්ද කිසියම් ආකාරයක කැපකිරීමක්, වියදම් පාලනයක් රටේ මහජනතාවට පෙනෙන්නට, දැනෙන්නට තිබිය යුතුය. එහෙත් එවැන්නක සේයාවක්වත් නැත. මැති ඇමැතිවරුන්ට අතිසුඛෝපභෝගී වාහන ගෙන්වන්නේ කෝටි ගණන් වැය කරමිනි. ඔවුන්ගේ නව අමාත්‍යාංශවලට ගොඩනැගිලි ගන්නේ මාසයකට මිලියන ගණන් කුලී ගෙවමිනි. උත්සවවලට මුදල් වැයකරන්නේ රටේ කිසිම ආර්ථික අහේනියක් ඇති ආකාරයට නොවේ. ඒ අතර රාජ්‍ය සේවක වැටුප වසර තුනක් තිස්සෙ එක තැන ලැග සිටී. තෙල් මිල මේ ආකාරයට වැඩිකිරීම ගණං දැමීමක් ලෙස ජනතාව සලකන්නේ එබැවිනි.

රුපියල කඩාවැටීම පිළිබඳව විපක්ෂයේ චෝදනා එල්ලවෙද්දී ආණ්ඩුව දිගින් දිගටම පැවැසුවේ රටේ ආර්ථික කඩාවැටීමක් නැති බවය. රුපියල පාවෙන්නට ඉඩහැරීම තුළ අවාසි මෙන්ම වාසිද තිබෙන බවය. ආර්ථිකය ශක්තිමත් නම් රුපියල අවප්‍රමාණය වීමත් ගැටලුවක් නොවේ නම් තෙල් මිල මේ ආකාරයට සුපිරි මට්ටමකින් ඉහළ දැම්මේ අවශ්‍යතාව කුමක්ද? එය ලෝක තෙල් මිල ඉහළ යාම නිසා පමණක් නොවන බවට සැකයක් නැත. ආණ්ඩුව තමන්ගේ ආර්ථිකයේ හිල් වසාගැනීමේ ඇබ හැටියට තෙල් - ගෑස් - කිරිපිටි මිල ඉහළ දැමීම භාවිත කරන්නේ නම් එය ප්‍රායෝගික විසඳුමක් නොවන බව පෙන්වා දීමට කැමැත්තෙමු. මේ ඇබ ගැසීම් හෙළිවන දවසක්ද එන බව අමතක නොකළ යුතුය. රටක ජනතාව ආණ්ඩුවක චණ්ඩිකම් හැමදාම ඉවසන්නේ නැත. ඒ පාඩම ජනතාව මීට කලින් රට පාලනය කළ රාජපක්ෂ ආණ්ඩුවටද ඉගැන්වූ බව මතක තබාගැනීම හොඳ බව කිව යුතුය. 

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00