2017 ජනවාරි 21 වන සෙනසුරාදා

නියඟයට පූර්ව සූදානම ඕනෑ

 2017 ජනවාරි 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 69

නියඟය මුළු රටටම මාර කරුමයක් වෙන ලකුණු හැම අතින්ම පහළ වෙමින් තිබේ. කතා කරන්නට මාතෘකා හිඟ නැති අපේ රටේ, රට විකුණන කතා, රට බෙදන කතා, හිටපු ආණ්ඩුවේ වගේම දැන් තිබෙන ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ගේ රජ ගැහිලි වැනි කතා සියල්ල යටපත් කරමින් අද දවසේ ලොකුම මාතෘකාව නියඟය බවට පත් වී තිබේ. මාතෘකාව නියඟය වනවිට සෞභාග්‍යය යන්න තහනම් වචනය බවට පත්වන්නේ නිතැතිණි. ඒ හේතුවෙන් ආහාර හිඟය, බොන්න වතුර නැතිවීම සහ විදුලිය හිඟවීම වැනි අභාග්‍යසම්පන්න දේ ගැන වඩ වඩාත් කතා කිරීමට සිදුවීම වැළැක්විය නොහැක.

මේ සටහන තබන විට අපට දැනගන්නට ලැබී තිබුණේ රටේ දිස්ත්‍රික්ක 17ක දරුපවුල් ලක්ෂ 2කට ආසන්න සංඛ්‍යාවක් ගිනි කබළක දිවිගෙවන තත්ත්වයට වැටී සිටින බවය. එම දරු පවුල්වල ලක්ෂ 10කට අධික පිරිසක් මේ ව්‍යසනයට ගොදුරු වී සිටිති. සුළුපටු සංඛ්‍යාවක් නොවේ. ඉදිරි කාලය තුළ වැසි නොලැබුණහොත් පීඩා විඳින සංඛ්‍යාව පැටව් ගසමින් ඉදිරියට යන බව ස්ථීරය. 

දරුණු නියඟයේ ගොදුරු බවට පත්වන පුද්ගලයන් මුහුණ දෙන පීඩාකාරී තත්ත්වයන් පිළිබඳව එම ආපදාවට මුහුණ නොදෙන ජනතාවට දැනෙන්නේ අඩුවෙනි. අනේ අපොයි මේ මිනිස්සු විඳින දුකක් යනුවෙන් පවසමින් නිකටේ අත තබාගෙන කම්පාවීමත් පීඩාවට පත්වූවන්ට ආධාර කිරීමට දායකවීමත් හැර ඔවුන්ට ඒ ගැන දැනීමක් නැත. නමුත් සැබෑවටම නියඟය නිසා සිදුවන බලපෑම් අප සිතනවාට වඩා ඉතාම බැරෑරුම්ය. දිගින් දිගටම නියඟය පැවතුණොත් එහි බලපෑම දැනට නිකටේ අත තබාගෙන අනුන් ගැන කම්පා වෙන සෙසු ජනතාවද තෙරපනු ඇත.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කරන දෛනික වාර්තාවලින් පැවැසෙන්නේ වැඩිම පිරිසක් මේ වනවිට පීඩාවට පත්ව සිටින්නේ මඩකලපුව දිස්ත්‍රික්කයේ බවය. පසුගිය 17 වැනිදා වනවිට මඩකලපුවේ පමණක් පවුල් හැට දහසකට අයත් ලක්ෂ 3කට අධික පිරිසක් නියඟයෙන් බැටකමින් සිටියහ. මෙය බරපතළ තත්ත්වයකි. එසේම යාපනයේද පවුල් විසිහත් දහසක ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් දුකට මුහුණ පා සිටිති. වැසි නොලැබුණොත් මේ පිරිස තවත් කීප ගුණයකින් ඉහළ යන බව පැහැදිලිය. මේ සියලුදෙනා පිළිබඳව සොයාබලා කටයුතු කිරීමේ වගකීම රජයට පැවැරෙයි.

රජරට තත්ත්වයද මීට දෙවැනි නැත. අපගේ ප්‍රාදේශීය වාර්තාකරුවන් පවසන්නේ එම දිස්ත්‍රික්කවල කුඹුරු අක්කර ලක්ෂ 10ක් පමණ දරුණු අනතුරකට මුහුණ දී තිබෙන බවය. රටේම සමස්ත වී වගා කෙරෙන කුඹුරු බිම් ප්‍රමාණයෙන් 80%ක් මේ වනවිට අනතුරට මුහුණ දී තිබෙන බවත් තවත් පිරිසක් කියති. එය ඉතා බරපතළ තත්ත්වයකි. එයින් අප තේරුම් ගත යුතු වන්නේ වැසි නොලැබුණොත් වී අස්වැන්නෙන් 80%ක් අහිමිවිය හැකි බවය. නියඟය දරුණු වනවිට එහි සෙවණැල්ල මෙන් සාගතයද එන බවට වෙනත් අටුවා ටීකා අවශ්‍ය නැත. ඒ සමඟ පානීය ජලයද හිඟවනු ඇත.
නියඟය දරුණු වනවිට වී සඳහා හඳුන්වා දිය හැකි අඩුම ජල ප්‍රමාණයකින් අස්වැන්නක් ලබාගත හැකි ධාන්‍ය සහ වෙනත් බෝග වර්ග කෙරෙහි ගොවිජනයා උනන්දු කරවීම අවශ්‍යය. එම පළාත්වල ගොවීන් පවසන්නේ තෝර පරිප්පු, බඩඉරිඟු, උඳු, මුංඇට සහ කව්පි, බතල වැනි වගාවන් මේ සඳහා සුදුසු බවය. තවත් විද්වතුන් පිරිසක් කියා තිබුණේ තෝර පරිප්පු මෙවැනි අවස්ථාවක හොඳ ආදේශක වගාවක් බවය. ඊට ජලය අවශ්‍ය වන්නේ ස්වල්පයක් වීම ඊට හේතුවය. නමුත් ගොවීන් පවසන්නේ මෙවැනි විකල්ප බෝග වගාවන් සඳහා තමන්ට කිසිදු දිරිගැන්වීමක් නොලැබෙන බවය. එවැනි පෙර සූදානමක් නොමැතිවීම නිසා මීට වසර 60කට පමණ ඉහතදී මෙරට ඇතිවූ දරුණුම නියඟය අවස්ථාවේ රටේ බොහෝ දෙනාට කැඳ උගුරක්වත් හදාගැනීමට වී ඇටයක් හෝ නොලැබුණු බවද මේ ගොවීහු කියති.

නියඟයට මුහුණදීම සඳහා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආපදා කළමනාකරණ අමාත්‍යංශයේ සහාය ඇතිව වැඩපිළිවෙළ ගණනාවක් ක්‍රියාත්මක කිරීමට පියවර ගනිමින් තිබේ. පූර්ව සූදානම යහපත් බව අපි සඳහන් කරමු. එහිදී ප්‍රමුඛත්වය හඳුනාගැනීමද අවශ්‍යය. කොළඹ සීත කළ කාමරවල පුටු රත් කරන නිලධාරීන්ගේ මෙන්ම නියඟයෙන් බැටකමින් අව්කාස්ටකේ මහපොළොව සමග පොර බදන ගොවි මහතුන්ගේද අදහස් ලබාගැනීම ප්‍රයෝජනවත් වේ යැයි අපි සිතමු. විශේෂයෙන්ම වී වෙනුවට අවම ජල ප්‍රමාණයකින් කෙටි කාලසීමාවකදී අස්වනු ලැබිය හැකි බෝග පිළිබඳව ඔවුන්ගේ අදහස් වඩාත් ප්‍රායෝගික බව අපි සිතමු. නමුත් රජය වෙනත් විකල්ප හරහා හෝ ඇතිවිය හැකි ආහාර හිඟයට මුහුණදීමට දැන්ම පියවර ගැනීම අවශ්‍යය. පානීය ජලය හිඟවීමද විසඳුම් දැන් සිටම සෙවිය යුතුය.

නියඟය ඇතිවීමට හේතු සොයමින් සිටින්නට කාලයක් නැත. එහි ප්‍රයෝජනයක්ද නැත. සිදුකළ යුත්තේ අත පොවන මානයේ තිබෙන බරපතළ ස්වාභාවික ව්‍යසනයකට මුහුණදීමට රටම සූදානම් කිරීමය. මෙහිදී ස්වභාවධර්මයා අපට එක චාන්ස් එකක් ලබාදී තිබේ. එනම් මහා නියඟයක් ඇති විය හැකි බවට පෙරනිමිති කළින්ම අඟවා තිබීමය. නමුත් ස්වභාවධර්මයා දෙවැනි චාන්ස් එකක් නම් නොදෙන බවත් ඒ සමඟ සිතාගත යුතුය.

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00