2018 මැයි 12 වන සෙනසුරාදා

අඹ ගෙඩි තුනට දඩ ගහන රටේ බැඳුම්කර හොරු තාම නිදල්ලේ

 2018 මැයි 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 51

පාර්ලිමේන්තු මන්ත්‍රී  විජිත හේරත් - ජනතා  විමුක්ති පෙරමුණ

මේ ආණ්ඩුවේ උත්පත්තියට අපි කොහෙත්ම සම්බන්ධ නෑ 
♦ මෛත්‍රීපාල මහත්තයාගේ කඩේ බඩුත් ෂුවර් නෑ කියලයි අපි කිව්වේ. 
♦ ඇමැතිකම්, වරදාන ඔක්කොම අරන් දැන්ද අයිතිය මතක් වුණේ?  
♦ විධායකය නැත්නම් අනාථ වෙන අය 20 සංශෝධනයට විරුද්ධයි  
♦ මේ ආණ්ඩුව කරන්නේ පක්ෂවල ගැටලු විසඳන එකයි  
♦ රටේ දැන් ඉතුරු වෙලා තියෙන්නේ අපි ලබා දුන් ජයග්‍රහණයි  
♦ හිටපු ජනපතිග්‍ෙ කතාවලට අපට හිනායනවා 
♦ බලය තිබුණු කාලේ හොරා කාපු අය අද රට ජාතිය ගැන කීම විහිළුවක්

ජනතා විමුක්ති පෙරමුණේ යම් සහායකින් යහපාලන ආණ්ඩුව බිහිවුණා. දැන් වසර තුනක් ගෙවිලා. මොකද මේ යහපාලනය ගැන සතුටෙන් ද ඉන්නේ?

මේ ආණ්ඩුව කරන කිසිම දෙයක් ගැන සතුටක් නෑ. රටම අවුල් කරලා තියෙන්නේ. රටම අරාජිකයි, අස්ථාවරයි. ඒ නිසා මේ ආණ්ඩුවේ ක්‍රියාව ගැන අපි ඉන්නේ බලවත් විරෝධයකින්.

හැබැයි ඔබගේ ඒ විරෝධය සම්බන්ධයෙන් විපක්ෂයේම තවත් පිරිසක් ඉන්නේ දැඩි විවේචනයක?

ඒ අයගේ බල උවමනාව එකක්. ඒ අය බලන්නේ කොහොමද එයාලා බලය තහවුරු කරන්නේ කියලා. අපිට කිසිම උවමනාවක් නෑ එයාලට උදව් කරන්න. මොකද අපි එයාලව පරාජය කරන්න ගොඩාක් මැදිහත් වුණා. අපිත් එක්ක තියෙන්නේ එයාලට වෙන ප්‍රශ්නයක්.

වෙන ප්‍රශ්නයක් කියන්නේ ඇයි පෞද්ගලික ප්‍රශ්නද?

නැහැ. රාජපක්ෂ රෙජීමය වට්ටන්න මූලිකව කටයුතු කළේ ජේ.වී.පී.ය ඒ නිසා ඇමැතිකම් වරදාන වරප්‍රසාද අහිමි වෙච්ච ගොඩාක් ඉන්නවා. ඒ කෙන්තිය තමයි එතන ඉන්න ගොඩාක් අයට තියෙන්නේ.

දැන් හිතෙන්නේ නැද්ද ඉඟුරු දීලා මිරිස් ගත්තේ කියලා?

අපි ඉතා පැහැදිලිව එදා ජනාධිපතිවරණයේ දී කිව්වා රාජපක්ෂ කඩේ වහන්න. මෛත්‍රීපාල මහත්තයගේ කඩෙත් බඩු ෂුවර් නෑ කියලා. අපේ සටන් පාඨය වුණේ ඒකාධිපති පවුල් වාදය පරදවමු ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා පෙළගැසෙමු. එහෙම නැත්තන් කවුරුවත් දිනවන්න වැඩ කළේ නෑ. ඒ නිසා අපි ඉඟුරු දීලා මිරිස් ගත්තේ නෑ.

එදා කොළේ වහලනේ කියලා තිබ්බේ. ඇයි කෙළින්ම යහපාලනයත් හරි නෑ කියලා කියන්න බැරිවුණේ?

ඉතා පැහැදිලිවම කිව්වේ ඒකනේ. ඒ කඩේ බඩු ගන්න එපා. මේ කඩේ බඩු ෂුවර් නෑ කියලා. ෂුවර් නෑ කියන්නේ ඒ කඩේ ඇරලා තිබ්බේ නෑනේ ඒ වෙනකොට.

හැබැයි ඒ කඩේ හිටියේ ඔබලා දන්න කියනම උදවිය?

ඔව්. ඒක අපි දැක්කා. ඒ නිසයි අපි එහෙම කිව්වේ. ඒකයි අපි ජනාධිපතිවරණකදී හවුලකට නොගියේ. මහමැතිවරණයේදී ඉතා පැහැදිලිවම වෙනම පක්ෂයක් හැටියට අපි ඡන්දය ඉල්ලුවේ ඒ නිසා. එහෙම ඉල්ලලා හිටියේ ආණ්ඩුව මෙහෙයවන විපක්ෂයේ බලයත් අපිට දෙන්න කියලා. ඒ නිසා මේ ආණ්ඩු බිහිකරන්න කොයිම විදිහකින්වත් මැදිහත් වෙච්ච පක්ෂයක් නෙමෙයි.

ඒකාබද්ධ විපක්ෂයෙන් කියන්නේ නම් ආණ්ඩුව ආරක්ෂා කරන්නේ ඔබලා කියලා?

මම අර කලින් කිව්වේ. ඒ අයට අපිත් එක්ක තියෙනවා කේන්තියක්. ඒ අයගේ ඇමැතිකම් නැති කළ එකට. එයාලගේ හොරකම් නවත්වපු එකටයි ඔය තරහා තියෙන්නේ. ඒ නිසා අපි ස්වාධීනව තීන්දු ගත්ත පක්ෂයක්.

ඔවුන් නම් කියන්නේ ඔබලට විපක්ෂයේ සංවිධායකකම් හම්බවුණේ ආණ්ඩුව ආරක්ෂා කිරීමේ එකඟතාවය මත කියලා?

ඒක සම්පූර්ණ වැරදියි. පාර්ලිමේන්තුවේ පිළිගත් දේශපාලන පක්ෂ 06ක් තියනවා. ඒවායින් එ.ජා.ප.යත්, ජනතා නිදහස් සන්ධානයත්, මුස්ලිම් කොංග්‍රසයත් ආණ්ඩුව නියෝජනය කරනවා. ඒ අය ලිඛිතව ආණ්ඩුවේ කොටස්කාරයෝ කියලා කතානායකට දුන්නා. එතකොට විපක්ෂයේ ඉතුරැ වුණේ දෙමළ සන්ධානයත්, ජනතා විමුක්ති පෙරමුණත්, ඊ.පී.ඩී.පී. සංවිධානයත්. ඒ විපක්ෂයේ පක්ෂ වලින් තමයි තනතුරු තෝරන්නේ. එහෙම නැතුව කවුරැත් දුන්න එකක් නෙමෙයි.

ශ්‍රී.ල.නි.ප.යේ. 16ක් ආණ්ඩුවෙන් ඉවත් වෙලා ඒකාබද්ධයට එකතුවෙනවා. දැන් ඔවුන් කියනවා විපක්ෂය ඒකාබද්ධයට හිමිවිය යුතුයි කියලා?

දැන් ද අයිතිය මතක් වුණේ. ආණ්ඩුවේ ඇමැතිකම් දරලා, වරදාන අරගෙන, ඔක්කොටම අත උත්සලා ඊයේ පෙරේදා විපක්ෂයට ඇවිත් එහෙම කියන එක විහිළු කතාවක්. ප්‍රායෝගිකව විපක්ෂයේ කාර්යභාර්ය සිදුවන්නේ අපෙන්.

ඔවුන් ගේන තර්කයක් තමයි ඉතිහාසයේ ප්‍රථම වතාවට විශ්වාසභංගයකදී ආණ්ඩුව රැකගන්න විපක්ෂය උදව් කළා කියන එක. ඒක විපක්ෂයේ කාර්යභාර්ය නෙවෙයි කියලයි ඔවුන් කියන්නේ?

ටී.එන්.ඒ. විතරක් නෙමෙයිනේ ආණ්ඩුවේ ඇතුළේ ඉන්න අයත් දැන දැනම සහයෝගය දුන්නේ. ඒ නිසා ඒ කතාව විපක්ෂයට විතරක් අදාළ දෙයක් නෙමෙයි. හැබැයි අපි කල්ඇතිව කිව්වා. ඒ කිව්ව වගේම මැදිහත් වුණා. ඒ නිසා අනිත් අය ගැන වැඩක් නෑ.

ආණ්ඩුව පසුගියදා තෙල් මිල වැඩි කළා. ඒත් විපක්ෂය නිහඬයි?

විපක්ෂය කොච්චර හඬ නගනවද? ඇයි තෙල්වලට කලින් ගෑස් වැඩි වුණා. කිරිපිටි වැඩි වුණා. රුපියල බාල්දු වෙලා. විපක්ෂ අපි ඒ වෙනුවෙන් ප්‍රබල හඬක් නගනවා. ඒත් ආණ්ඩුව ඊට විරුද්ධව බලය පාවිච්චි කරලා ඒ හඬ යටපත් කරනවා. දැන් ආණ්ඩුව ආර්ථිකය හදනවා වෙනුවට ඒ අයගේ අභ්‍යන්තර පක්ෂ ගැටලු විසඳන තැනට ගිහින් තියෙනවා.

හැබැයි ඔබතුමාලා තාම ජනතාව වෙනුවට පාරට බස්සන්නේ ඔබලගේ පක්ෂ සාමාජිකයෝ විතරයි. ඇයි ජනතාව ඔබලගේ හඬ වටා එක්නොවෙන්නේ?

අපි ජනතාව තමයි පෙළගස්වන්නේ. ජනතාව තමයි එකතු කරන්නේ. ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් තමයි පෙළගැහෙන්නේ. අපි හැම මොහොතකම ජනතාව සමඟ ඉන්නේ.

ජනතාව වෙනුවෙන් හිටියට ආණ්ඩු එක්ක සටන් කරලා ජනතා විමුක්ති පෙරමුණ දින්න දෙයක් නෑනේ?

අපි නිසා තමයි මේ තරම්වත් රට ඉතිරි වෙලා තියෙන්නේ. මේ කරන්න යන විනාශයත්, හොරකම් මේ මට්ටමින් හරි ඉතුරු වෙලා තියෙන්නේ අපි නිසා. නැත්තන් රට ඊට වඩා අනතුරු රැසකට මුහුණ දෙන්න වෙනවා. අපි විසින් ලබාගත්ත ජයග්‍රහණ තමයි රටේ ඉතිරි වෙලා තියෙන්නේ.

හැබැයි ඒකාබද්ධය කියන්නේ නම් ඔවුන් නැත්නම් රට විනාශයි කියලා?

ආණ්ඩුවේ ඉන්න කාලයේ හොරාකාලා දූෂණ වැඩ කරලා කොහොමද රට ජාතිය වෙනුවෙන් වැඩකටයුතු කරන්නේ. ඔය දැන් නඩුවල පැටලිලා ඉන්නේ ඒ කාලේ හොරාකාපු අය තමයි. ඒ අයට කොහෙද රටක් ජාතියක්. ඒ අය බඩගෝස්තරවාදී අය.

හැබැයි මේ යහපාලන රජය ඇතුළේ පසුගියදා ඉහළ රාජ්‍ය සේවකයන් දෙදෙනෙක් අල්ලස් ගනිද්දී අල්ලනවා. දැන් යහපාලනය ක්‍රියාත්මක නේද?

මේ දෙගොල්ලම එකයි. දෙගොල්ලොගෙම ගෝලයෝ ටිකත් එකයි. හැබැයි ඔය සල්ලි ගත්තත් කාට දෙන්නද කියලා ප්‍රශ්නයක් තියෙනවා. මෙතන හැංඟිච්ච දෙයක් තියෙනවා. ඒක හෙළිකර ගන්න ඕන. ජනතාව තේරුම් ගන්න ඕන මේ අයගේ පැටිකිරිය.

ඉස්සෙල්ලා ජනාධිපතිගේ කාර්යමණ්ඩල ප්‍රධානියත් සල්ලි එක්ක අහුවුණා කියලා කියනවා?

ඉස්සෙල්ලා එක්කෙනාටත් නඩු. දැන් ඉන්න එක්කෙනා ඇතුළේ. ඊට කලින් හිටිය චන්ද්‍රිකා මහත්මියගේ එක්කෙනත් දැන් අහුවෙලා ඉන්නේ. එහෙම බලපුවම ජනාධිපතිවරු තුන්දෙනාගෙම කාර්ය මණ්ඩල ප්‍රධානීන් මේ චෝදනාවට ලක්වෙලා.

හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ඔහුගේ කාර්යමණ්ඩල ප්‍රධානියා අත්අඩංගුවට ගත්තේ දේශපාලන පළිගැනීම සඳහා කියලා?

ඒවාවලට අපිට හිනා යනවා. එයාට තියෙන චෝදනා තව දවස් කීපයකින් ඔප්පු වෙන්න ඕන. එතකොට තේරෙයි නැත්තන් ඔය ඔක්කොම දේශපාලන පළිගැනීම් තමයි.

ඔබතුමාලා සෑහීමකට පත්වෙනවාද නීතිය ක්‍රියාත්මක වන ආකරය සම්බන්ධව?

නීතිය සර්ව සාධාරණව ක්‍රියාත්මක වෙන්නේ නෑ. බඩගින්නට අඹගෙඩි තුන කඩාගත්ත අම්මට රුපියල් ලක්ෂයක් දඩ ගහනවා. ඉස්කෝලේ යන්න සපත්තු නැති වුණාම පොල්ගෙඩි තුනක් හොරාගත්ත ළමයට පන්දාහක් දඩ ගහනවා. හැබැයි කෝටි ගණන් හොරකම් කරපු මහබැංකු බැඳුම්කර හොරු තවමත් නිදැල්ලේ ඉන්නවා. ඒ නිසා නීතිය සාධාරණ නෑ. මේ නිසා හොරු නිදැල්ලේ ඉඳන් කියනවා අපි අල්ලනවෝ පළිගන්නවෝ කියලා. 

එකවර කරළියට ගෙනාපු කතාවක් තමයි 20 වන සංශෝධනය. එහෙත් මහා සංඝරත්නයේ පිරිසක් විරුද්ධයි. ඇයි මේ?

මහානායක හිමිවරු විරුද්ධත්වය ප්‍රකාශ කරලා නෑ. ස්වාමීන් වහන්සේලා පිරිසක් සිය විරෝධය දක්වලා තියෙනවා. ගෞරවනීය ස්වාමීන්වහන්සේලා 20 තුළ අඩංගු කරුණු දැනගත්තම ඔය අදහස වෙනස් වෙයි. අපි බලාපොරොත්තු වෙනවා 20 අන්තර්ගතය ඉදිරියේදී පැහැදිලි කරන්න. එම සංශෝධනයෙන් 13 සංශෝධනයේ කිසිවක් වෙනස් වෙන්නේ නෑ. ඒ බලතල ඒ ආකාරයෙන්ම ජනතාව සතුවෙනවා. රට බෙදෙන කිසිදෙයක් වෙන්නේ නෑ.

හැබැයි ඒකාබද්ධයේ පිරිසක් වගේම ශ්‍රී.ල.නි.ප.යේ පිරිසක් කියනවා මේ කරන්න යන්නේ විධායකය නැති කරලා රට අස්ථාවර කිරීමත් කියලා?

හැමෝම කියන්නේ නෑනේ. කීපදෙනයි ඔය ගම්මන්පිල, වීරවංශ වගේ අය. මොකද විධායකය නැතිව ඒ අයට අනාගථයක් නෑ. ඒ අය දේශපාලනය වශයෙන් අනාතවෙලා ඉන්නේ. ඒ නිසා විධායකය අස්සේ එල්ලිලා ඉන්න ඕන. එහෙම නැතුව ප්‍රජාතන්ත්‍රවාදය ද ඕනේ.

ඒකාබද්ධයේ පිරිසක් චෝදනා කරනවා මෛත්‍රීපාල මහත්තයව අඩපණ කරලා රනිල් වික්‍රමසිංහ මහත්තයව උඩට ගේන වැඩක් කියලා?

මේකනේ විධායක බලතල අගමැතිට පැවරෙන්නේ නෑ. අපේ යෝජනාව අනුව මෛත්‍රීපාල මහත්තයාට 2020 ජනවාරි 08 වෙනකල් ඉන්න පුළුවන්. මේක ක්‍රියාත්මක වෙන්නේ ඊට පස්සේ. එතැනින් පස්සේ අපේ යෝජනාව අනුව පාර්ලිමේන්තු විසුරුවා හරිනවා. ඒ නිසා මේවා පට්ටපල් බොරු කතා... බිල්ලෝ මවන කතා.

ඔබලා 20 ගේන්න යනවා. ජනාධිපතිවරයා කියනවා 2020 පස්සෙන් විශ්‍රාම ගන්නේ නෑ කියලා. ශ්‍රී.ල.නි.ප ලේකම් කියනවා ඊළඟ ජනාධිපතිත් මෛත්‍රී තමයි කියලා. එක පැත්තකින් ගෝඨාභය, තවත් පැත්තකින් රනිල් වික්‍රමසිංහ. උදව් කරයි කියලා හිතනවාද?

චන්ද්‍රිකා මැතිනියගේ ඉඳලා මෛත්‍රීපාල මහත්තය දක්වා හැමෝම කිව්වේ විධායකය අහෝසි කරනවා කියලා. ඒත් ඒක කළේ නෑ. දැනුත් මෛත්‍රීපාල මහත්තයා ඒ වැඩේම කරන්න යනවා. ඔහුවත් හිටපු ජනාධිපතිවරු ලැයිස්තුවටම එකතු කරයි. අපි ඉල්ලාසිටිනවා එතුමාගෙන් ඒ තත්ත්වයට වැටෙන්න එපා කියලා. ඔය ලේකම්වරු කියන කතාවලින් පාක්ෂිකයෝ රඳවා ගන්න බැහැ.

පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය ආරම්භ කරමින් ජනාධිපතිවරයා සිය ප්‍රතිපත්ති ප්‍රකාශනයේදී කිව්වා යහපාලන රජයේ වැඩකටයුතු තාම ඉවර නෑ කියලා. ඒ කියන්නේ ආණ්ඩුවේ බලාපොරොත්තුවක් තියෙනවා නේද අනාගතය ගැන?

අඩුම ගානේ ඒ කතාවේදී එක තැනකදීවත් පාර්ලිමේන්තු කල්තිබ්බේ ඇයි කියලත් කිව්වේ නෑ. එතුමාගේ කතාවට ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයෙක්වත් අප්පුඩියක්වත් ගැහුවේ නෑ. එකෙන්ම තේරෙනවා මේ කතාවේ ඇති දෙයක් නෑ කියලා. 

► ගයාන් ගාල්ලගේ