2018 අප්‍රේල් 28 වන සෙනසුරාදා

කැඳ හැලියේ කුණාටුව

 2018 අප්‍රේල් 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 130

අප්‍රේල් 19 වැනිදා රැස්වීමට නියමිතව තිබූ පාර්ලිමේන්තුව එදින රැස්වූයේ නැත. ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනයකින් පාර්ලිමේන්තුව මැයි 08 වැනිදා දක්වා කල්තබනු ලැබීම ඊට හේතුව විය.

අප්‍රේල් 19ත් මැයි 08ත් අතර ඇත්තේ දවස් 19ක වෙනසක් පමණි. නමුත් එම කෙටි කාලය තුළ මේ රටේ සමස්ත දේශපාලනය උඩුයටිකුරු කරවන සිදුවීම් ගණනාවකට පාර කැපී තිබේ. බලයේ පවතින ආණ්ඩුවක සියලු පාර්ශ්ව අතර මෙතරම් අභ්‍යන්තර ගැටුම් ඇතිවූ අවස්ථාවක් මෑත කාලයේ අපේ රටේ දේශපාලන භූමියේ දැකගන්නට ලැබුණේ නැත. එම ගැටුම් ඇත්තේ ශ්‍රීලනිපය තුළ පමණක් නොවේ. යූ.එන්.පී.ය තුළද ගැටුම් පවතී. මේ පක්ෂ දෙකටම ප්‍රබල ඇඟට දැනෙන ප්‍රතිසංවිධානයකින් තොරව ඉදිරි ගමනක් නැති තරමට කටයුතු සිදුවී තිබේ.

මැයි 08 වැනිදා පාර්ලිමේන්තුව රැස්වන විට ආණ්ඩු පක්ෂයේ පමණක් නොව විපක්ෂයේ පවා සංයුතිය වෙනස්වීමට හොඳටම ඉඩක් ඇත. ශ්‍රීලනිපය තුළ දිගින් දිගටම නැගෙන හඬ බවට පත්ව තිබෙන්නේ ආණ්ඩුවෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වියයුතු බවය. ආණ්ඩුවේ එකට සිටින කාලය වැඩිවන තරමට ආණ්ඩුව සිදුකරන වැරදි වැඩවල කොටස්කාරයන් බවට තමන්ද පත්වීමට ඉඩ ඇති බව ඔවුන්ගේ මතය වී තිබේ. එය ඉදිරි කාලයේදී මහින්ද රාජපක්ෂ සහාය ලබන කණ්ඩායම් සමඟ එක්වීමේදීත් මීළඟ ජාතික මැතිවරණයට මුහුණදීමේදීත් ඍනාත්මකව බලපානු ඇතැයි යන්න ඔවුන්ගේ අදහස වී තිබේ. නමුත් මේ අදත් ශ්‍රීලනිප සියලු ජ්‍යෙෂ්ඨයන් පිළිගන්නේ නැත.

ශ්‍රීලනිප මහ ලේකම් දුමින්ද දිසානායක සම්පූර්ණයෙන් දරන්නේ ඊට ප්‍රතිවිරුද්ධ අදහසකි. ඔහු දිගටම ප්‍රකාශ කරන්නේ ආණ්ඩුව තුළ රැඳී සිටිමින් ඇමැති පදවියේ රාජකාරි ඉටු කිරීම අවශ්‍ය බවය. යළිත් රාජපක්ෂවරැන් සමඟ එක්වීමට ඔහු තුළ පවතින අකැමැත්ත දුමින්ද වරින්වර අඟවා තිබේ. දුමින්ද කියන්නේ ශ්‍රීලනිපය තුළ බෙදීමක් නැති බවත් ආණ්ඩුවෙන් ඉවත්විය යුතු බවට තීන්දුවක් ගෙන නැති බවත්ය. ඔහුට අදහස් අතින් ප්‍රසිද්ධියේ සහාය දක්වන තවත් ඇමැති සගයකු වන්නේ මහින්ද සමරසිංහයි. ඔහු 16 දෙනා යළි ආණ්ඩුවට පැමිණෙන්නේ නම් ඇමැති තනතුරු ලබාදිය යුතු බවට යෝජනාවක්ද කරයි. නමුත් මහින්ද අමරවීර නම් තවදුරටත් එම ස්ථාවරයේ රුඳී සිටින බවත් නොපෙනේ. ඔහු කොන්දේසි සහිතව ආණ්ඩුවේ රැඳී සිටීමට හෝ කොන්දේසි සහිතව විපක්ෂයේ අසුන් ගැනීමට හෝ යන තීරණ දෙක අතරමැද රැඳී සිටින බව පැහැදිලිය.

කෙසේ වුවද දුමින්දගේ හෝ මහින්ද සමරසිංහගේ ගේ අදහස්වලට කන්දෙන පිරිස ඉතාම සුළු බව පෙනෙන්නට තිබේ. ඒ වෙනුවට ඇසෙන්නේ මහින්ද සමරසිංහ ජනාධිපතිවරයාගේ නම හැකිතරම් වාරයක් කියමින් තම ස්ථාවරය රැක ගැනීමට ක්‍රියාකළත් එය ඵල නොදරනු ඇති බවය. එම අදහස තදින්ම දරන්නේ 16 දෙනාගේ කණ්ඩායමයි.

දැන් කරුණු පෙළගැසෙමින් සිටින ආකාරයට පැහැදිලිව පෙනෙන්නේ ශ්‍රීලනිපයේ 16 දෙනාගේ කණ්ඩායම පක්ෂයෙන් ඉවත් නොවී විපක්ෂයේ අසුන් ගැනීම ස්ථීරව සිදුවන බවය. ඔවුන්ට ජනාධිපතිවරයා සමඟ රැඳී සිටින 23 දෙනාගෙන් කී දෙනකු එකතු වනවාදැයි කීම අපහසුය. යන්නට හිත හදාගෙන සිටින පිරිස නවත්වා ගැනීමට ඉදිරියේදී ක්‍රියාත්මක වීමට නියමිත කැබිනට් සංශෝධනය යොදවා ගැනීමටද තිබෙන ඉඩකඩ බැහැර කළ නොහැක. නමුත් කිහිප දෙනකු සැනසීම සඳහා හොඳ ඇමැතිකම් පිරිනැමීම තවත් කිහිප දෙනකු විපක්ෂයේ අසුන් ගැනීමට පෙළඹවීමක් ඇති කරන බවට සැකයක් නැත. මෙහිදී ජනාධිපතිවරයා ශ්‍රීලනිප පක්ෂ නායකයා වශයෙන් සිටින්නේ ඉතාම අසීරැ අවස්ථාවක බව පැහැදිලිය.

මෙහිදී බලපාන තවත් සාධකයක් තිබේ. ඒ මහින්ද ලබාදී ඇති කාලසීමාවයි. ඔහු කලින් කියා තිබුණේ ආණ්ඩුවෙන් ඉවත්වන ශ්‍රීලනිප ඇමැතිවරුන් සහ මන්ත්‍රීවරැන් අප්‍රේල් 19 වැනිදා පාර්ලිමේන්තු සභාවාරයේදී එය සිදුකළ යුතු බවය. එතැනින් පසුව ලැබෙන ඉල්ලීම් සලකා බැලීමට සූදානම් නැති බවද කියා තිබිණි. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව කල්තැබීම හේතුවෙන් එය ක්‍රියාත්මක නොවීය. ඇත්තෙන්ම පාර්ලිමේන්තු සභාවාරය කල්තැබීමට මහින්දගේ එම ප්‍රකාශයද හේතු වූ බව සමහර ජ්‍යෙෂ්ඨයන්ගේ අදහස විය. මීළඟට එළැඹෙන පළමු පාර්ලිමේන්තු දිනය වන මැයි 08 වැනිදා ශ්‍රීලනිපයට ඉතාම තීරණාත්මක දවසක් බවට පත්ව තිබෙන්නේ අප්‍රේල් 19 වැනිදා සිදුවීමට නැකත යෙදී තිබූ 16 දෙනාගේ ග්‍රහ මාරුව දැන් මැයි 08 වැනිදාට යෙදී තිබීමය. ජනාධිපතිවරයා දිගටම ප්‍රකාශ කර තිබුණේ 16 දෙනාගේ කණ්ඩායම විපක්ෂයේ අසුන් ගැනීමට තමා විරුද්ධ නොවන නමුත් ඒ පිළිබඳ තීන්දුව ගැනීම මැයි 15 වැනිදා දක්වා කල්තබන ලෙසටය. ජනපතිගේ මේ ඉල්ලීමට ශ්‍රීලනිප 16 දෙනා දක්වන ප්‍රතිචාරය තවම පැහැදිලි නැත. තවත් සමහර ජ්‍යෙෂ්ඨයන්ගේ අදහස වී ඇත්තේ ඇමැති ධුරවල සහ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයකු වශයෙන් සිටීමේදී ලැබෙන වරප්‍රසාද අතහැරීමට අකමැති කිහිප දෙනෙකුද මේ 16 දෙනා අතර සිටින බවය. ඔවුන්ගේ බලපෑම නිසා තීරණයක් ගැනීම 15 වැනිදා දක්වා කල් යාමට ඉඩ තිබෙන බවය. නමුත් මෙහිදී මහින්දගේ කාල නියමය බලපාන්නට ඉඩ තිබෙන බව ඔවුන් හොඳින්ම දැන සිටින නිසා ඔවුන් වැඩිදෙනකු වරප්‍රසාද සහිත ඉදිරි මාස 18 අතහැරීමට තීන්දු කිරීමට ඇත්තේ වැඩි ඉඩකඩකි. මේ රජයේ පැවැත්ම ඇත්තේ උපරිමව එම කාලසීමාව බව ඔවුන්ගේ අදහසය. මේ වතාවේ මහින්දගේ බස් එක මිස්කර ගැනීමට ඔවුන් වැඩිදෙනකු අකැමැති වනු ඇත. මේ ශ්‍රීලනිපයේ තත්ත්වයයි.

යූ.එන්.පියට ආණ්ඩුවේ පැවැත්ම ගැටලුවක් නැත. ශ්‍රීලනිපය සම්පූර්ණයෙන් ගියත් ආණ්ඩුව වට්ටගන්නේ නැතුව ගෙන යාමට යූ.එන්.පිය පිඹුරුපත් හදාගෙන තිබෙන බව පැහැදිලිය. කොටින්ම ඇතැම් යූ.එන්.පී. මැති ඇමැතින් කියන්නේ ශ්‍රීලනිපය යන තරමට හොඳ බවය. තමන්ට අවශ්‍ය කළ ආණ්ඩුවේ වැඩ කඩාකප්පල් කළේ ශ්‍රීලනිප ඇමැති පිරිස බවය. කෙසේ වුවද යූ.එන්.පී. නායක රනිල් වික්‍රමසිංහ පසුගිය දිනවල තම මැති ඇමැතිවරුන්ට දිගටම කියා තිබුණේ ශ්‍රීලනිප මැති ඇමැතිවරුන් විවේචනය කිරීමෙන් වළකින ලෙසටය. දිගටම සම්මුති ආණ්ඩුව ගෙන යාමට සැමදෙනාම කටයුතු කළ යුතු බවය. දැනට එම විවේචන යටපත්ව ගොස් ඇති බවක් දැනගන්නට තිබේ. නමුත් යූ.එන්.පියේ සැබෑ ප්‍රශ්නය ඇත්තේ එතැන නොවේ. පක්ෂ ප්‍රතිසංවිධානය තුළය.

පක්ෂයට රැඩිකල් වෙනසක් අවශ්‍ය බවට හඬ නැගුණේ අගමැතිට එරෙහි විශ්වාසභංගය කරළියට පැමිණීමත් සමඟ බව බොහෝ දෙනාගේ පිළිගැනීමය. නමුත් එයට සැබෑ පදනම වැටුණේ පෙබරවාරි 10 වැනිදා පැවැති පළාත් පාලන මැතිවරණයේදී යූ.එන්.පිය ලද පරාජයයි. එය සමස්තයක් වශයෙන් ආණ්ඩුවේ පාර්ශ්ව දෙකේම කර මත පැටවුණද යූ.එන්.පිය පක්ෂයක් වශයෙන් ලද පසුබෑම බොහෝ ගැටලුවලට මුල විය. එහි ප්‍රතිශතය 32% දක්වා පහත බැසීමත් යූ.එන්.පියේ පාරම්පරික බලප්‍රදේශවලින් පවා ඡන්ද සෝදාපාළුවට ලක්වීමත් විශේෂයෙන්ම සිංහල බෞද්ධ ඡන්ද පදනම සැලකිය යුතු මට්ටමකින් අහිමි වී තිබීමත් පාක්ෂිකයා දැඩිලෙස කලකිරීමට පත් කළ බව රහසක් නොවීය. එවැනි පසුබෑමකට යූ.එන්.පිය මුහුණදුන්නේ ඇයිද යන්න ගැන පාක්ෂිකයන් තුළ විවිධ කතිකා ඇති විය. පසුගිය වසර තුනක කාලය තුළදී වූ සිදුවීම්ද එහිදී මාතෘකා බවට පත්වී තිබිණි. පක්ෂයේ කැපීපෙනෙන ප්‍රතිසංවිධාන අවශ්‍ය බවට මතවාද දැඩිලෙස මතුවුණේ ඒවායේ ප්‍රතිඵලයක් හැටියටය. පාක්ෂිකයන්ගේ අදහස් ඔවුන් නියෝජනය කරන මැති ඇමැතින් හරහා එළියට ආවේ තරමක් ආවේගශීලීවය.

එහිදී ප්‍රතිසංවිධාන හඬ තදින්ම එළියට ආවත් විශ්වාසභංග යෝජනාව අවස්ථාවේදී සියලු මැති ඇමැතිවරු තමන්ගේ අගමැතිවරයා ආරක්ෂා කිරීමට කටයුතු කළහ. නමුත් පක්ෂය පූර්ණ ප්‍රතිසංවිධානයකට ලක්විය යුතු බව කොන්දේසියක් වශයෙන් ඇතැම් මැති ඇමැතිවරුන්ගෙන් ඉදිරිපත් විය. එවැනි ප්‍රතිසංවිධානයක් අප්‍රේල් 30 වැනිදාට ප්‍රථමව සිදු කෙරෙනු ඇතැයි යූ.එන්.පී. නායකත්වයෙන් ප්‍රකාශ වී තිබීම හේතුවෙන් බොහෝ දෙනා බලා සිටියේ කුමක් වනු ඇතිදැයි කියාය. පසුගිය බ්‍රහස්පතින්දා (26) එහි ප්‍රතිඵල දැකගත හැකි විය.

එම ප්‍රතිසංවිධානවල කැපී පෙනුණේ අකිල විරාජ් පක්ෂයේ මහලේකම් තනතුරට පත්කරනු ලැබීමය. ඔහු එම තනතුරට පත් කෙරෙනු ඇති බව පසුගිය දින කිහිපය තුළම ප්‍රසිද්ධ රහසක් විය. ඊට අමතරව පක්ෂයේ සභාපති වශයෙන් කබීර් හෂීම් සහ ජාතික සංවිධායක වශයෙන් නවීන් දිසානායක පත්කරනු ලැබූහ. සජිත් නියෝජ්‍ය නායක තනතුරේත් රවි උපනායක තනතුරේත් එසේම සිටිති.

මේ අතර යූ.එන්.පී. ප්‍රතිසංවිධානයේදී නායක මට්ටමේ වෙනස්කම්ද අපේක්ෂා කරන බවට පසුගිය කාලය තුළ අදහස් දැක්වූ එක් ඇමැතිවරයකු වූයේ නවීන් දිසානායකය. යූ.එන්.පී.ය හිටපු නායකයකු වන ගාමිණී දිසානායකගේ වැඩිමහල් පුත්‍රයා වන නවීන් පසුගියදා මල්වතු මහ නා හිමියන් බැහැ දැකීමට ගිය අවස්ථාවේදී ප්‍රකාශ කර තිබුණේ යූ.එන්.පී. පාක්ෂිකයන් ප්‍රතිසංවිධානයේදී නායක මට්ටමේ වෙනසක් අපේක්ෂා කරන බවය. ඔහු පසුගියදා අපගේ සහෝදර ඩේලිමිරර් පුවත්පතට ලබාදුන් සම්මුඛ සාකච්ඡාවකදී මේ සම්බන්ධයෙන් ඇසූ ප්‍රශ්න ගණනාවකට පිළිතුරු ලබාදී තිබුණේ මෙසේය.

යූ.එන්.පී. ප්‍රතිසංවිධාන සම්බන්ධව කතාබහ පවතිනවා. ප්‍රතිසංවිධානයේ නාමයෙන් ඔබ විශේෂයෙන්ම අපේක්ෂා කරන්නේ කුමක්ද?

ප්‍රතිසංවිධානය ගැන නිශ්චිත අදහස් ගණනාවක් තිබෙනවා. මගේ සිතට එන වචනය වන්නේ වෙනසයි. පක්ෂය සහ බිම් මට්ටමේ සාමාජිකයන්ට අවශ්‍ය නිශ්චිත වෙනස්කම් තිබෙනවා. බොහෝ දෙනකුට දැනෙන දේ ඔවුන් මතවාද වශයෙන් ප්‍රකාශ කරනවා. පක්ෂයේ නායකත්ව ව්‍යුහය මගින් ඔවුන්ගේ අදහස්වලට කන්දී ඒවා ඉටුකළ යුතු වෙනවා. මා තවමත් විශ්වාස කරන්නේ යූ.එන්.පී.ය ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් බවයි. රහසිගත ඡන්ද හතරක් පැවැත්වූ එකම පක්ෂය එයයි. අවසානයට එවැන්නක් පැවැතුණේ සති තුනකට ඉහතදීයි. එයින් මුලටම ආවේ මමයි. වෙනස්කම් සිදුවිය යුතු බව පැහැර හැරිය නොහැකියි. එය කෘත්‍රිම වෙනසක් නොවිය යුතුයි. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියක් හරහා සැබෑ වෙනස්කම් සිදුවිය යුතුයි. සුදුසු පුද්ගලයන් ඡන්දයකින් තෝරාගත යුතුයි. ඔවුන් පත් කිරීම නොකළ යුතුයි.

ඔබ සිතනවාද පක්ෂ නායකත්වය වෙනස් කිරීමේ අවශ්‍යතාවක් තිබෙන බව?

නායකත්ව ව්‍යුහය වෙනස් විය යුතුයි.

නායකත්වය උසුලන්නා පිළිබඳව ඔබ සිතන්නේ කුමක්ද?

මා සිතන්නේ පක්ෂයේ නැගී එන තරුණ නායකයන්ට පක්ෂ නායකයා සතු බලතල ලබාදිය හැකි බවයි. ඇතැම් නිශ්චිත කරුණුවලදී පක්ෂ නායකයාට පසුපසින් සිටිය හැකියි. අපගේ පක්ෂ ව්‍යවස්ථාවට අනුව නායකයා නිකම්ම ඉවත් කරන්න බෑ. ඔහුගේ ගෞරවය රැකිය යුතුයි. ඔහුගේ කීර්ති නාමය පවත්වාගෙන යා යුතුයි. ඕනැම සංවිධානයක නායකයාට ඉවත් වීමට සිදුවන අවස්ථාවක් එනවා.

පක්ෂය විසින් ඔබව නායකයා වශයෙන් තෝරාගත්තොත් ඔබ සූදානම්ද එය බාරගන්න?

අවංකව මට තව ටිකක් කාලය තිබෙනවා. තව ටිකක් පරිණත වීමට තිබෙනවා. දෙවැනි පෙළ කුමන භූමිකාවක් දුන්නත් මා එය ඉටුකරනවා. මට ලේබලයක් කලින්ම අලවා ගැනීමේ අවශ්‍යතාවක් නෑ. මට වඩාත් වැදගත් වන්නේ ව්‍යුහයට ඇතුළු වීමටයි. ඒ අවස්ථාව ලැබුණොත් ඔබ ඉන්නේ ජයග්‍රාහී වැඩපිළිවෙළක් තුළයි. පරාජිත පක්ෂයක ඉන්න මට අවශ්‍ය නෑ. මගේ ජීවිතයේ ඉතිරි කාලය ගෙවෙන්නේ පරාජිත පක්ෂයක නම් ඉන් සිදුවන්නේ බලය අහිමි කර ගැනීමයි. ජාතික ඡන්දයකදී පහළට වැටෙන දේශපාලන පක්ෂයක තනතුරැ බලාපොරොත්තු වීමේ තේරැමක් තිබෙනවාද?

ශ්‍රීලනිපයත් යූඑන්පීයත් තම තම පක්ෂ අභ්‍යන්තර කුණාටුවලට මුහුණ දෙමින් සිටින බව පැහැදිලිය. මේ කුණාටු හැමදාම පවතින්නේ නැත. ඒ බව රටේ ජනතාවක් දැන සිටිති. ඔවුන් බලා සිටින්නේ මේ කුණාටු අවසන් වී තමන් මුහුණ දී සිටින ප්‍රශ්නවලට කවදා උත්තර ලැබේදැයි කියාය. ඒ දවස නම් කවදාදැයි කීමට තවම පුළුවන්කමක් නැත.

 ශශීන්ද්‍ර