2018 අප්‍රේල් 28 වන සෙනසුරාදා

රතු ඉර පැන්න රුපියල

 2018 අප්‍රේල් 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 89

ශ්‍රී ලංකා රුපියල පසුගිය 24 වැනිදා වන විට ඩොලරයට සාපේක්ෂව 158.69 ක් දක්වා අවප්‍රමාණය වී තිබිණි. එම අගය 25 වැනිදා වන විට 159.06 ක් ලෙස සටහන් විය. මෙම අගය 160 සීමාව පැන්නොත් එය විශාල ආර්ථික අවපාතයක මූලාරම්භය විය හැකි බවට ඇතැම් ආර්ථික විශ්ලේෂකයන් අනාවැකි පළ කළේ දැන් කාලයකට පෙර සිටමය. හරියට බැලුවොත් දැන් රුපියල පවතින්නේ ඒ කියන රතු ඉර පැනීමට ඉතාම ආසන්න තත්ත්වයකිනි. එය බරපතළ අනතුරු ඇඟවීමකි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්ත වාර්තාවල සඳහන් වන්නේ පසුගිය 2017 වසරේදී සියයට 2.5කින්ද 2016 වසරේදී සියයට 3.9කින්ද රැපියල අවප්‍රමාණය වූ බවය. පසුගිය 04 වැනිදා මහ බැංකුව මගින් නිකුත් කෙරුණු වාර්තාවේ සඳහන් වන්නේ මෙම වසර ආරම්භයේ සිට එදින දක්වා සියයට 1.7කින් රුපියල අවප්‍රමාණය වී තිබෙන බවකි. ඒ සමඟ එහි සඳහන්ව තිබුණේ මේ වසරේ මුල් මාස තුනේදී මහ බැංකුව මගින් සංචිත ගොඩනැගීමට සහ ණය ගෙවීම ඩොලර් මිලියන 400 ක් ජාත්‍යන්තර වෙළෙඳපොළෙන් මිලදීගෙන තිබෙන බවය. මේ දත්ත මගින් හෙළිකර ඇති තොරතුරු බිඳක් පමණි. තව මොන මොන තොරතුරු රුපියල සම්බන්ධයෙන් ලැබී ඇතිදැයි අපි නොදනිමු.

රුපියලේ අගය අවප්‍රමාණය වනවා යැයි හෝ බහිනවා යැයි හෝ කියූ පමණින් සිදුවන්නේ කුමක්දැයි කෙනකුට එකවර වැටහෙන්නේ නැත. එහෙත් අප රටට ගෙන්වනු ලබන සෑම භාණ්ඩයකම මිල නැගීම එහි අනිවාර්ය ප්‍රතිඵලයක් බව පැවසුවොත් එය තේරුම් යනු ඇත.  කොටින්ම රැපියලට තවමත් සත 100 ක් තිබුණද එම ප්‍රමාණයේ වටිනාකමක් තවදුරටත් නැත.

රුපියල ස්ථාවර මට්ටමක පවත්වාගැනීම ඕනෑම රජයක ආර්ථික සැලසුම් පෙන්නුම් කරන කැඩපතක් බව පැවැසීම නිවැරැදිය. ඒ අනුව සෞම්‍ය පෙනුමකින් යුක්ත විය යුතු රුපියල කැඩපත ඉදිරියේ තැබූ විට දැන් යක්ෂ රූපයක් මැවෙන බව නම් ස්ථිරය. රුපියල ඒ තරම් වේගයකින් පල්ලම් බසිමින් තිබේ. රුපියල මීට පෙරද ටිකෙන් ටික අවප්‍රමාණය වෙමින් පැවැතියද පසුගිය පෙබරවාරි 10 වැනිදා පළාත් පාලන මැතිවරණයෙන් පසුව එහි ශීඝ්‍ර කඩාවැටීමක් දකින්නට ලැබුණු බවද ආර්ථික විශේෂඥයන්ගේ අදහසය.

මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි පසුගිය මාස කිහිපය තුළ අවස්ථා ගණනාවකදී කියා සිටියේ ආර්ථික ස්ථාවරභාවය රුකගැනීම සඳහා මහත් ඕනෑකමින් කටයුතු කළ යුතු වන බවය. එහිදී ඔහු පෙන්වාදුන් මූලික කරුණක් වූයේ රටේ දේශපාලන අවිනිශ්චිතභාවයක් පවතින විට ආර්ථික ස්ථාවරභාවයක් ගැන කතා කිරීම නිෂ්ඵල ක්‍රියාවක් බවය. රටේ නායකයන් සියලු දෙනාගේම අවධානය ඊට යොමුවිය යුතු බවද ඔහු පෙන්වා දී තිබිණි. එය සිදුවී තිබේද? ඇත්තේ එකම පිළිතුරකි. එසේ නැති බවය. වෙනෙකක් තබා රටේ දේශපාලන ස්ථාවරභාවය සම්බන්ධයෙන් කතා කිරීම පවා නිෂ්ඵල ක්‍රියාවක් බවට පත්වෙමින් තිබෙන බවය.

රුපියල කඩාවැටෙනවාට මේ රටේ කිසිම පුරවැසියකු කැමැති නැත. ඔවුන් බොහෝ දෙනකුට එහි බලපෑම පිළිබඳව හරිහැටි වැටහීමක් නොතිබුණද එයින් තමන්ගේ බඩටද රැකියාවටද පහර වදින බවට ඔවුහු දැන සිටිති. එය දැනගැනීමට ආර්ථික විශ්ලේෂකයකු වීමට අවශ්‍ය නැත. කඩේට බඩු ගන්න ගිය විට එය හොඳට ඇඟට දැනෙයි. පසුගිය දිනවල එළවළු, මාළු, අල, ලූනු මිල ගණන් අඩුවීමේ වාසිය හේතුවෙන් තාවකාලිකව මේ පීඩනය යටපත්ව තිබුණත් අන් සියලුම භාණ්ඩ සහ සේවා මිල ඉහළ ගොස් තිබීම හේතුවෙන් එහි බලපෑම් ටිකෙන් ටික දැනෙන්නට පටන්ගෙන තිබේ. මාසෙ පඩිය අතට ගත් පමණින් එය වාෂ්ප වී යන වේගය එය හොඳින්ම පෙන්නුම් කරයි.

රුපියල මෙසේ අගයෙන් පිරිහෙන්නේ ණය ගෙවීමට සිදුවීමත් ඍජු ඩොලර් ආයෝජන නොලැබීමත් හේතුවෙන් බව සඳහන් වේ. මේ වසරේදී ගෙවිය යුතු ණය මුදල රුපියල් ට්‍රිලියන 1.97 ක් බවද සඳහන්ය. ණය ගෙවීමට මුදලක් තිබීම පමණක් රටට ප්‍රමාණවත් නොවේ. තෙල් ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ ගෙන්වීම සඳහා තවත් විශාල මුදල් ප්‍රමාණයක්ද රටට අවශ්‍යය. කටින් මිස ක්‍රියාවෙන් රටේ ඍජු විදේශ ආයෝජන ඉහළ යාමක් නොසිදුවන බැවින් ණය ගෙවීම සඳහා ඩොලර් සංචිත දියකර හැරීම හැර වෙනත් පිළිසරණක් නැත. රටේ සංචිතයේ ඩොලර් දියවෙන විට රුපියල පල්ලම් බැසීම වඩාත් වේගවත් වෙයි. එය වළක්වා ගැනීමට රජයට ප්‍රබල, ශක්තිමත් ප්‍රායෝගික වැඩපිළිවෙළක් තිබීම අවශ්‍යය. නමුත් එවැන්නකට රජය හැඩගැසෙන බවක් හෝ පෙනෙන්නට නැත.

එවැනි වැඩපිළිවෙළක් ඉලක්කයක් තිබේ නම් රටේ වැඩ මේ ආකාරයට දික් ගැස්සෙන්නේ නැත. ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳ මහප්‍රාණ කතා වසර තුනක් තිස්සේ අසන්නට ලැබුණද රුපියල ශක්තිමත් කිරීමට ඒ කතාවලින් ඵලක් වී නැති බව රුපියල 159ක් දක්වා බාල්දු වීමෙන් පෙනේ. ආර්ථිකය ශක්තිමත් කරගැනීම තබා ආණ්ඩුව ස්ථාවර කරගැනීමට හෝ කටයුතු සිදුනොවන බව පෙනෙන්නට තිබේ. කැබිනට් සංශෝධනය ඇදීයාමෙන් එය පැහැදිලි වෙයි. දැන් ඇසෙන්නේ එය ලබන සතියේ සිදුකෙරෙන බවකි. මේ කියන සංශෝධනය සිදුවුණත් ආණ්ඩුව ස්ථාවර වන බවට කිසිදු සහතිකයක් නැත. රටේ අවශ්‍යතාවට වඩා ආණ්ඩුවේ අවශ්‍යතා වෙනුවෙන් සිදුකෙරෙන කැබිනට් සංශෝධනවලින් ආර්ථිකය ස්ථාවර වනු ඇතැයි බලාපොරොත්තු වීම මුං වපුරා තල් අස්වැන්නක් බලාපොරොත්තු වීමක් වැනිය. ආර්ථිකය හරි පීල්ලට ගැනීම අරමුණු කරගනිමින් සිදුවන සංශෝධනයකින් හැර වෙනත් ඔළුගෙඩි මාරැකිරීම්වලින් රුපියල ශක්තිමත් වනු ඇතැයි සිතීමත් අනුවණකමකි.

දැන් පෙනෙන හැටියට රුපියල රැකගෙන එය ශක්තිමත් කිරීම සඳහා ප්‍රායෝගික වැඩපිළිවෙළක් වහාම ක්‍රියාවට නැංවීම ආණ්ඩුවේ ප්‍රමුඛතම කාරණය විය යුතුය. 2020 දී යළිත් ආණ්ඩුවක් පිහිටුවීමට හෝ රට ඉතිරි වී තිබිය යුතුය. එය ඉටුනොවන්නේ නම් රුපියලට වූ දේ ආණ්ඩුවට වීමටද හොඳටම ඉඩ තිබේ.

 2019 ජනවාරි 12 වන සෙනසුරාදා, ප.ව. 12:31
 2019 ජනවාරි 05 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජනවාරි 12 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජනවාරි 12 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජනවාරි 05 වන සෙනසුරාදා, ප.ව. 12:30