2018 අප්‍රේල් 21 වන සෙනසුරාදා

කැරැල්ලට මුහුණදෙන්න අපි ලෑස්තියි!

 2018 අප්‍රේල් 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 77

කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක

♦ හන්දියෙ ඉඳගෙන ප්‍රශ්න විසඳන්න අපි කැමති නැහැ 
♦ ඩිලාන් ඇමැතිතුමා ගැන කතා කිරීමත් කාලය නාස්ති කිරීමක් 
♦ විශ්වාසභංගය ගෙනාවේ ජනාධිපතිතුමාගෙ ආණ්ඩුවට විරුද්ධවයි  
♦ පෞද්ගලිකව මම විධායක ජනාධිපති ක්‍රමේට කැමතියි 
♦ මරණ සහතිකය අරන් ආණ්ඩුවෙන් එළියට බැස්ස කෙනෙක් මම  
♦ ජාතික ආණ්ඩුවෙ ප්‍රශ්න හැදුවෙ එ.ජා.ප - ශ්‍රීලනිප කිහිපදෙනෙක්

 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනෙක් ඇමැතිකම් අතහැරලා ආණ්ඩුවෙන් එළියට බැස්සා. දැන් ඔවුන් විපක්ෂයේ වාඩිවෙන්න යනවා. මේ ප්‍රශ්න මැද්දෙ කොහොමද ශ්‍රීලනිපයේ අනාගතය?

ඔබලා ප්‍රශ්නය අහන එකම වැරදියට අහන්නෙ. මොකද ඒ කවුරැත් ශ්‍රීලනිපය අතහැරලා ගිහින් නෑ. ඒ අය ඇමැතිකම්වලින් ගියා. හැබැයි ඒ අය කියලා තියෙනවා දිගටම ජනාධිපතිතුමා සහ ශ්‍රීලනිපය සමඟ ඉන්නවා කියලා. අනෙක මේ ඉතිහාසයේ පළමු සිදුවීම නෙමෙයි.

ඔබ කියනවා ඔවුන් ශ්‍රීලනිපයේ කියලා. ඒ අය ඉවත් වුණේ ආණ්ඩුවට එරෙහිව. ඔබලා තවම ශ්‍රීලනිපයත් එක්ක ආණ්ඩුවේ. එහෙනම් ඇයි මේ ශ්‍රීලනිපය බෙදිලා. කෝ පක්ෂයේ පොදු මතය?

පක්ෂයක් ඇතුළෙ වැඩ කරන සියලු දෙනාම එකම මතයකට ගේන්න බෑ. විවිධ මත තියෙනවා. ඒ අයගේ මතය තමයි මේක. තවත් කට්ටියක් මීට කලින් ඉවත් වුණා. ඒ අයත් කියනවා ශ්‍රීලනිපයෙ කියලා. අනික ඔය ඉවත්වුණු 16 දෙනාගේ මතයත් එක මතයක් නෙමෙයි. ඔබතුමාලා දකින්නෙ ඔය මාධ්‍යයට කතා කරන දෙන්නා තුන්දෙනා විතරනෙ. ඒ අයගේ මතයන් සීයට සීයක් එකඟ නෑ.

නමුත් ඔවුන් කියන්නෙ ආණ්ඩුවේ වැඩ කටයුතු එක්ක ඉන්න බෑ කියලා. ඔවුන් ප්‍රතිපත්තිමය කාරණාවක් මතු කරන්නෙ. ඇයි අදහස් දෙකක් දෙගොල්ලන්ගෙ?

අපේ අදහසයි ඒ අයගේ අදහසයි දෙකක් වෙන්න හේතුව තමයි ඔය ගෙනාපු විශ්වාසභංගයෙ මූලික වෙලා තිබ්බෙ ආණ්ඩුවට විරුද්ධව. අගමැතිවරයා සඳහන් කළෙත් මේකෙ අවසානය ආණ්ඩුව කියලයි. ආණ්ඩුවේ ඉඳිමින් මේකට පක්ෂ වීම සදාචාරාත්මක නෑ. මේ ආණ්ඩුවේ නායකයා ජනාධිපතිතුමා. එතුමාගේ ආණ්ඩුවට විරුද්ධව තමයි මේක ගෙනාවේ. එහෙම අපේ ආණ්ඩුවේ ඉඳිමින් අපිට සදාචාරාත්මක අයිතියක් නෑ විශ්වාසභංගයට පක්ෂ හෝ විපක්ෂ වෙන්න. අනික ජනාධිපතිතුමා ඔය විශ්වාසභංගයට එරෙහිව ගෙනා බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පරීක්ෂණ කළා. ඒකෙදී ඔය කියන අය ගැන හෙළිදරව් වුණා. ඒත් ජනාධිපතිවරයා ඉස්සර වගේ ෆයිල් වැහුවේ නෑ. නීතිය ක්‍රියාත්මක කරලා තියෙන්නෙ. දෙන්නෙක් අත්අඩංගුවටත් අරගෙන. ඒ වගේම ඒ පාඩුවත් අපි අරගෙන ඉවරයි. එහෙම දේවල් වෙද්දී ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් ගෙනාපුවාම අපිට පක්ෂ වෙන්නත් විපක්ෂ වෙන්නත් බෑ. ඒකයි අපේ 23 දෙනාගේ අදහස.

පක්ෂයෙ සභාපතිවරයා හැටියට ජනාධිපතිවරයා ඇයි මේ විශ්වාසභංගයේදී නිහඬ වුණේ?

ජනාධිපතිතුමා අපිට නිතර කිව්වේ පක්ෂයක් හැටියට තීන්දු ගන්න කියලා. විශ්වාසභංගය දා උදේ අපි ගිහින් කිව්වා ඔබතුමාටත් ආණ්ඩුවටත් ගෙනෙන විශ්වාසභංගයට ඡන්දය දීමෙන් වැළකී සිටිනවා කියලා. ඒ වගේම අපි යනකොට ඔය 16 දෙනාගේ කණ්ඩායමේ තිලංග සුමතිපාල මහත්තයත් එස්.බී. දිසානායක මහත්තයත් හිටියා. එහිදී ඔවුන් කිව්වා අංකවල ප්‍රශ්නයක් නිසා ඔවුනුත් ඡන්දය දීමෙන් වළකිනවා කියලා. අපි සතුටු වුණා පක්ෂය එකම තීරණයක ඉන්න එක ගැන. ජනාධිපතිතුමත් කිව්වා අර අය ඡන්දය නොදෙන බව. ඒත් ඒ 16 දෙනා දහවල් මතය වෙනස් කළා. ඒක පෞද්ගලික තීරණයක්. එහෙම නැතුව පක්ෂයේ තීරණයක් නෙමෙයි. අපි පක්ෂයක් හැටියට එක තීන්දුවක හිටියේ.

ඔබ කියනවා එහෙම. ඒත් ඒ 16 දෙනා කියන්නෙ ඔබලා පාවාදුන්නා කියලා?

නෑ ඉතින් නොයෙකුත් දෙනාට නොයෙකුත් දේවල් කියන්න පුළුවන් ඉතින්. මේ මාධ්‍ය නිදහස තියෙන නිසා කතාවෙන තැන්වලදී කියන දේවල්වලට විශාල ප්‍රසිද්ධියක් ලැබෙනවා. පක්ෂයේ තීරණය මත තමයි අපි ඉන්නෙ. අපි පක්ෂය ශක්තිමත් කරනවා කියන තැන ඉන්නෙ.

ඔබ කිව්වා පසුගිය දවසක විශ්වාසභංගයේ තියෙන රහස් වචනයක් හෙළිකරනවා කියලා. මොනවද මේ රහස්?

නෑ කිසිම රහසක් නෑ. නමුත් සමහරු තමන්ගෙ බේරුම සඳහා නොයෙකුත් කතා කියනවා අපි දැක්කා. මේකෙන් රටට වැරදි මතයක් යනවා මෙතන කුමන්ත්‍රණයක් තියෙනවා කියලා. කවුරුන් හෝ එවැනි දෙයක් කරනවා නම් අපි බොහොම කැමැත්තෙන් මේ විශ්වාසභංගයේ මුල සිට අග දක්වා කාරණාවලින් පාක්ෂිකයා දැනුම්වත් කරන්න සූදානම්.

ඔබටත්, මහින්ද අමරවීර ඇමැතිවරයටත්, ඩිලාන් පෙරේරා කිව්වා ඔබලා මහ ලේකම්වරු නෙමෙයි, මහා කේලම්වරු කියලා. ඇත්තද අගමැතිට කේලම් කියනවද?

අපි දෙන්නටම තියෙන්නෙ පක්ෂයේ බැරෑරුම් තනතුරු දෙකක්. අපිට වගකීමෙන් තොර ප්‍රකාශ කරන්න බෑ. අනික පෞද්ගලික වශයෙනුත් අපි දෙන්නා උදේට එකයි රෑට එකයි මත දරන දෙන්නෙක් නෙමෙයි. ඒ නිසා අපිට වගකීමක් තියෙනවා. ඩිලාන් පෙරේරා ඇමැතිතුමා ඕන දෙයක් කිව්වට කනගාටුවක් නෑ. එතුමා ගැන ජනතාව හොඳ තක්සේරුවක ඉන්නෙ. ඒ වගේ කෙනෙක් ගැන ඇයි අපි කාලය නාස්ති කරන්නෙ.

ඒ අය කියන්නෙ විශ්වාසභංගයට ඡන්දය නොදුන්නොත් ඔබලා ඊළඟ වතාවේ එජාපයෙන් ඡන්දය ඉල්ලන්න යනවා, ජාතික ලැයිස්තුවෙන් එන්න යනවා කියලා. ඇත්තද දුමින්ද දිසානායක එජාපයට යනවද?

ඔය කියන කට්ටියගේ ඉතිහාසය බලන්නකො. ඒ අය පක්ෂ කීපයක කටයුතු කරලා ඡන්දයත් ඉල්ලලා තනතුරු දරපු අයනෙ. ඒ අයට එහෙම පුරුද්දක් ඇති. ඒත් මේ අය ජනාධිපතිතුමයි විපක්ෂයයි රකින තැනක ඉන්නෙ. එහෙම නැතුව රනිල් වික්‍රමසිංහ මහත්තයත් එජාපයත් ආරක්ෂා කරන්න ශක්තිමත් කරන්න දෙයක් නෑ. අපිට ආණ්ඩුවේ ඉන්නවද නැද්ද කියලා ප්‍රශ්නයකුත් නෑ. අපේ අරමුණ තමයි 2020 දී මෛත්‍රීපාල සිරිසේන මහත්තයා රටේ නායකයා කරන එක.

ඔබ කියනවා පක්ෂය රැකගන්න ඉන්නෙ කියලා. ඒත් ඔබයි මහින්ද අමරවීර ඇමැතිතුමයි ඉවත් කරන්න කියලා පක්ෂයේ කැරැල්ලක් යනවා?

අපිට කිසිම කලබලයකුත් නෑ. මුහුණ දෙන්න බැරිකමකුත් නෑ. අපි ඒකට සූදානම්.

ආණ්ඩුවෙන් ඉවත් වුණු පිරිස කියනවා මුළු ශ්‍රීලනිපයම ආණ්ඩුවෙන් ඉවත් වෙන්න ඕන කියලා. ඒත් ආණ්ඩුවේ ඉන්නවද නැද්ද කියලා තීරණය කරන්න කමිටුවක් දාලා ශ්‍රීලනිපය දිගටම ඉන්නද බලාපොරොත්තුව?

ජනාධිපතිතුමා එම කමිටුව පත් කළේ ඉන්නවද නැද්ද කියලා තීරණය කරන්න නෙමෙයි, මේ ආණ්ඩුවේ ගිවිසුම අලුත් කරන්න. විශේෂයෙන් ඉදිරි මාස 18 තුළ රට වෙනුවෙන් එජාපය සමඟ වැඩ කරන්නෙ කෙසේද? ප්‍රතිපත්ති මොනවද කියලා හොයන්න තමයි ඒක පත් කළේ. ඒ දේවල් සූදානම් කරන්න කියලයි ජනාධිපතිතුමා ගියේ. ඇත්තටම එජාපයත් ශ්‍රීලනිපයත් ජාතික ආණ්ඩුවත් සැකසීම ගැන සතුටු වෙනවා. නැත්නම් වුණේ මිනිස්සු  බොරුවට රණ්ඩු වුණු එක විතරයි. තව දෙයක් කියන්න ඕනෙ. මේ ජාතික ආණ්ඩුවේ ප්‍රශ්න හැදුවේ එජාපයේ කිපදෙනකුයි ශ්‍රීලනිපයේ කීපදෙනකුයි. එතැනයි ප්‍රශ්නෙ. ඒකට හේතුව තමයි හොඳ ටික අපි ගන්නත් නරක ටික එයාලට දෙන්නත් ගිය එක.

දැන් ඔබට ශ්‍රීලනිප මහ ලේකම් හැටියට කියන්න පුළුවන්ද අර අවුල් කරපු අය ආණ්ඩුවේ නෑ කියලා?

මම හිතන්නෙ අපේ පක්ෂයේ තියෙන අභ්‍යන්තර ප්‍රශ්න මාධ්‍ය ඉදිරියේ කතා කරන්න යන්න ඕන නෑ. ඒක ඔබතුමාලගේ පැත්තෙන් ඔබතුමාලා විග්‍රහයක් කරගන්න. එහෙම නැතුව ප්‍රශ්න හන්දියෙ ඉඳගෙන ප්‍රශ්න විසඳන ක්‍රමයක් මට නෑ.

ඉවත් වුණු අය කියනවා ශ්‍රීලනිපයත් ඒකාබද්ධයත් එකතු කරලා නැවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනගනවා කියලා. ඒකට මහ ලේකම් හැටියට ඔබ සූදානම්ද?

මම අහන්නේ එක ප්‍රශ්නයයි. 2014 නොවැම්බර් 21 වැනිදා ජනාධිපති මෛත්‍රීපාල මහත්තයත් මමත් එළියට බැස්සේ මොන කාරණය නිසාද? ඒ පවුල් පාලනය, බලය අනිසි ලෙස පාවිච්චි කිරීම, සුදු වෑන් සංස්කෘතිය වගේ දේවල්වලට විරුද්ධව. දැන් ඒ අය ඒකාබද්ධ විපක්ෂයේ නැද්ද? අනික පවුල් පාලනයට එළියට බැස්ස අපිට දැන් අහන්න වෙන්නේ මොකක්ද? 2020 ජනාධිපතිවරයා බැසිල් හරි ගෝඨාභය හරි කියලා. ඒ කියන්නේ නැවත පවුල් වාදය. දැන් අපිට කියන්න පුළුවන්ද හරි ෂෝක් කියලා. දැන් තව විවිධ චෝදනා තියෙන අය ඉන්නවා. පරීක්ෂණ මඟහැරපු අය ඉන්නවා. ඔබතුමාලා කියන්නේ ඒ අය එක්ක මේ ගමන යන්න කියලද? මේක නිවැරදි කළේ නැත්නම් අපේ දරුවන්ට යන අනාගතය මොකක්ද?

කවදා හරි සියලු දෙනා එකතු වුණොත් දුමින්ද දිසානායක ගන්නේ මොනවගේ තීරණයක්ද?

සියලුම දේවල් පැත්තකින් තියලා කවුරු හරි ඒ වැඩේ කරනවා නම් දුමින්ද දිසානායකට කොන්දක් තියෙනවා. එදත් මරණ සහතිකයක් අරන් ආණ්ඩුවෙන් එළියට බැස්සා. අදත් වැරදි දෙයක් වෙනවා නම් ඒ තීරණය ගන්න දුමින්දට කොන්දක් තියෙනවා. සමහර අයට කොන්ද මතක් වෙන්නේ වාසියට. හැබැයි බර්ටිගේ පුතා දුමින්දට ඒ කොන්ද හැමදාම තියෙනවා.

දුමින්ද දිසානායකට රාජපක්ෂවරු සමඟ අවුලක්ද තියෙන්නේ?

අනේ නෑ. ඒ අය සමඟ කිසිම පෞද්ගලික ආරවුලක් නෑ. හැමතැනකදීම හම්බවෙනවා. ඔය අහලා බලන්න 2015 ඡන්දය දිනලා පාර්ලිමේන්තු ආපු වෙලාවේ ඔය අද කතා කරන කට්ටිය කතා කළේ නෑ. හැබැයි මම තමයි එතුමව අරගෙන අතින් අල්ලගෙන ගිහින් ඉස්සරහෙන් වාඩි කළේ. පෞද්ගලික ප්‍රශ්න නෑ. හැබැයි දේශපාලන ප්‍රශ්නයක් තියෙනවා. මොකද එතුමලා සමහර හොරු ආරක්ෂා කරනවා. ඒ දේවලට අනුමත කරනවා. අන්න ඒ දේවල්වලට විරුද්ධයි.

අවසාන වශයෙන් ඔබෙන් අහන්නේ මේ වෙනකොට ජවිපෙ විසින් 20 වැනි සංශෝධනය ගේනවා. විධායකය අහෝසි කරන්න හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයත් එකඟයි. ශ්‍රීලනිපය කොතැනද ඉන්නේ?

ශ්‍රීලනිපය එදා ඉඳන් දැරුවේ විධායකය අහෝසි කළ යුතුයි තැන. චන්ද්‍රිකා නෝනාගේ කාලයේ ඉඳන් එන්නේ. හැබැයි මහින්ද මහත්තයට එනකල් මේක වෙනස් වුණේ නෑ. දැන් තමන්ට ඉල්ලන්න බැරි නිසා කැමති ඇති මේක අහෝසි කරනවට. හැබැයි තමන්ගේ බලය අයින් කරන්න කියලා තමන්ගේ පෑනෙන්ම අත්සන් කළ පුද්ගලයා තමයි මෛත්‍රීපාල සිරිසේන මහත්තයා. ඒ නිසයි අද එතුමට බලතල අඩු. පෞද්ගලිකව මම කැමතියි විධායක ජනාධිපතිවරයෙක් ඉන්නවට රටට. ඒ ජනතාවගේ බහුතරය නියෝජනය කරන කෙනා වීම නිසා.

► ගයාන් ගාල්ලගේ

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00