2018 අප්‍රේල් 13 වන සිකුරාදා

දිනන්න තිබුණු සටන පිරිසක් පාවා දුන්නා

 2018 අප්‍රේල් 13 වන සිකුරාදා, පෙ.ව. 06:00 182

රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන හිටපු රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන

රාජපක්ෂලට බැන්නට මිනිස්සුන්ගෙ හිත් හැදෙනවද?  
ඔළුගෙඩි මාරු මොකටද තව අවුරුදු එකහමාරනෙ  
විපක්ෂයට යන්න අපි තීන්දු කළා  
මේ ආණ්ඩුවට වැරදුණේ නිලධාරී තරහ කරගත්ත නිසයි 
එ.ජා.ප. ශ්‍රී.ල.නි.ප. සම්මුතියට පාක්ෂිකයා විරුද්ධයි 
යූ.ඇන්.පී. ආණ්ඩුවෙන් ගැලවුණාම ඒකාබද්දෙට අපි එක්ක ගැටලුවක් නැහැ

 

ඒකාබද්ධ විපක්ෂයෙන් ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවෙන් ජයග්‍රහණය කළේ අගමැතිවරයා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය. හැබැයි මේ සිද්ධියත් එක්ක ආණ්ඩුව පුපුරන්න හදනව වගේ පේන්නෙ?

ආණ්ඩුවේ විතරක් නෙවෙයි, එක්සත් ජාතික පක්ෂය ඇතුළෙත් ප්‍රශ්නයක් ඇතිවෙලා තියෙනවා. ආණ්ඩුවේ ප්‍රශ්නය වුණේ අපි විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දුන්න එක. ඒ වගේම අපි ඊට පහුවෙනිදා ආණ්ඩුවෙන් ඉවත් වෙනවා කිව්වා. ඒ විතරක් නෙවෙයි, තව පිරිසක් ඡන්දය නොදී හිටියා. අන්න ඒ අය තීරණය කරන්න ඕන පක්ෂයක් හැටියට ආණ්ඩුවෙන් ඉවත් වෙනවද කියලා. එහෙම ඉවත් වුණොත් පක්ෂයට හොඳයි. එතකොට එජාපයටත් හොඳයි. එයාලට තනි ආණ්ඩුවක් හදාගෙන යන්න පුළුවන්.

පක්ෂයක් හැටියට එකට යමු කිව්වට කට්ටියක් ඉන්නෙ වෙනම තීන්දුවක. එහෙම බෙදුණු පිරිසක් එක්ක ගමනක් යන්නෙ කොහොමද?

ඔව්. එහෙම කට්ටිය ඉන්නෙ පෞද්ගලික න්‍යාය පත්‍රවල. ඒ අයට පොරොන්දු පත්‍ර දීල එක්සත් ජාතික පක්ෂයෙන් තරග කරන්න. ඒ වගේම ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීකම්, වරප්‍රසාද, ඒ දේවල් ගන්න බලාපොරොත්තු ඇති. ඒ අයගේ හිතේ මොනවාහරි දෙයක් තියෙන්න ඇති.

ඇයි ඔබලා මේකට පක්ෂ වුණේ...?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කමිටුවක් හැදුවා බැඳුම්කරය ගැන හොයන්න. අන්න ඒ කමිටුව මගින් කරුණු 15 ක් ඉදිරිපත් කළා. ඉන් 11 ක් මේ විශ්වාසභංගය තුළ තියෙනවා. එහෙම වෙද්දී අපිට විරුද්ධ වෙන්න පුළුවන්ද? ඒ නිසා අපි ඡන්දය දුන්නා. ඒ වගේම අපි විරුද්ධ පක්ෂයට යන්න තීන්දු කරලා තියෙන්නෙ.

ඔබ කියනවා ඡන්දය නොදුන්න අයට පෞද්ගලික න්‍යාය පත්‍ර තිබ්බා කියලා. ඒත් පක්ෂයේ සභාපතිවරයාටත් ඒ ගැන නිශ්චිත අදහස් තිබුණෙ නෑනේ විශ්වාසභංගය ගැන?

සභාපතිවරයා කියන්නෙ ජනාධිපතිවරයා. ඔහු රටේ ජනාධිපති. ජනාධිපතිට ආණ්ඩුවේ ඉන්න අගමැතිට කියන්න පුළුවන් පෞද්ගලිකව ඔහුට යන්න කියලා. ඒක එතුමා කිව්වා. හැබැයි එතුමාට බලකරන්න බෑ මන්ත්‍රීවරුන්ට මේකට ඡන්දය දෙන්න හෝ එපා කියලා. එතුමා කිව්වා හොඳ තීරණයක් ගන්න කියලා. ඒත් ඒ හොඳ තීරණය ගත්තෙ නෑ.

ඒකාබද්ධ විපක්ෂයෙන් කියන්නෙ සටන පාවාදුන්නා කියලා ශ්‍රීලනිපය. කවුද ඇත්තටම පාවාදුන්නේ?

ඇත්තටම මම නම් වශයෙන් කියන්න කැමති නෑ. හැබැයි දිනන්න තිබුණු සටනක් පාවාදුන්නා.

සටන පාවාදුන්න මිනිස්සු එක්කද එකට යන්න හදන්නෙ?

ඡන්දයක් එනකොට පුද්ගලයෝ ගැන බලන්නෙ නෑ. රස්තියාදුකාරයොත් ඕනෙ. පොහොසතුන්ගෙ, දුප්පතුන්ගෙ ඡන්දයත් ඕන. ඒ වගේම පක්ෂයකටත් යම් යම් අදහස් මතිමතාන්තර තියෙන මන්ත්‍රීවරැන් නම් ඔවුනුත් අවශ්‍යයි පක්ෂයට. එහෙම පක්ෂයක් එක්ක යනකොට භේද තියාගන්න අමාරුයි. අපි හදාගන්න ඕන.

ඒ හදාගන්න ඕන නිසාද ශ්‍රීලනිප සහ එජනිස මහලේකම්වරු දෙදෙනා ඉවත් කරන්න ඕන කිව්වේ?

ඒක තවම අපි කෙළින් කතා කරලා කියලා නෑ. ඒක ජනාධිපතිතුමාගේ තීන්දුවක්. හොඳ නම් තියාගනියි. නැත්නම් යවයි.

ඔබලාට හානියක් නෑ ඔවුන්ගෙන්?

පෞද්ගලිකව නෑ.

පක්ෂය පැත්තෙන්ද?

පක්ෂය පැත්තෙන් ඔවුන්ගේ යුතුකම් ඉෂ්ඨවෙලා නෑ.

එදා විශ්වාසභංගයේදී ඡන්දය දීම ගැන ෆවුසි ඇමැතිවරයා එකක් කිව්වා. ඔබ එකක් කිව්වා. කොහොමද මත දෙකක් එළියට ආවේ?

ඒකයි කනගාටුදායක තත්ත්වය. එදින ජනාධිපතිතුමා කිව්වේ එතුමා ඉදිරියේ තීරණ ගන්නෙ නැතිව ළඟ තැනකට ගිහින් තීරණ ගන්න කියලා. ඉතින් අපි කිට්ටුම තැනක් හැටියට තීන්දුව ගත්තෙ මහින්ද අමරවීර ඇමැතිතුමාගෙ ගෙදර. උදේ 9.00ට එතැනට ආවේ. බහුතර පිරිසක් හිටියා. අපි තමයි තීන්දු කළේ මේකට පක්ෂව ඡන්දය දෙන්න ඕන කියලා. ඒක කරන්න කලින් තමයි ෆවුසි මහතා එහෙම කිව්වේ. ඒක ෆවුසි ඇමැතිතුමාගේ පෞද්ගලික තීරණයක්.

ඔබ කිව්වා මේ විශ්වාසභංගය නිසා එජාපය තුළත් ගැටුමක් ඇතිවෙලා කියලා. ඒත් එජාපය ශක්තිමත් වෙලා. දැන් ශ්‍රීලනිපයනෙ ගහගන්නෙ. කැබිනට් වර්ජන, විශ්වාසභංග එන්නෙ ශ්‍රීලනිපයට විරුද්ධව?

ඔබලාට පේනවනෙ එජාපයේ ප්‍රතිසංවිධානයේ ස්වභාවය මොකක්ද කියලා. මොනවද වෙලා තියෙන්න. කිසිම එකක් වෙලා නෑ. මම දන්නවනෙ ඔය එජාපයේ හතරවැනි කැරැල්ල. පළවෙනි කැරැල්ලේ ආපු කතාව තමයි මේකෙත් තියෙන්නෙ. ඔය කිසිම දෙයක් එජාපය ඇතුළෙ ජීවිතේට වෙන්නෙ නෑ. 

දැන් ඔබලා අගමැතිවරයාට විරුද්ධව ඡන්දය දීලා පස්සෙ සමහරු කියනවා ආණ්ඩුවේ ඉන්නවා කියලා. ඒ තුළ සදාචාරසම්පන්නභාවයක් නෑ නේද?

නෑ. මාධ්‍ය ඒක වැරදි ලෙස භාවිත කරලා තියෙනවා. එතැන අදහසක් හැටියට ගත්තම ඡන්දය දුන්න අය තමන්ගෙ ඡන්දය ප්‍රකාශ කළේ නැවත කැබිනට් එකක ඉන්න බලාගෙන නෙමෙයි. ඒ අය කියලා තිබුණේ ඉවත් කරනවා නම් එක එක්කෙනාව ඉවත් කරන්න බෑ. ඒක ජනාධිපතිතුමා කළ යුතුයි කියලා. ඒක තමයි මාධ්‍යයෙන් වැරදි විදිහට භාවිත කළේ. හැබැයි ඡන්දය දුන්න දහසයම යන්න තීන්දු කළේ.

ඇයි ඡන්දය දෙන්න කලින් ඉවත් නොවුණේ?

ඡන්දය දීලා මාරුවෙන්න අපේ අදහසක් තිබ්බා. හැබැයි අපි හිතුවා ඇමැතිවරු හැටියට ඉඳලා ඡන්දය දෙන එකට වටිනාකමක් තියෙනවා කියලා. එහෙම කළාම අපිට හොඳ කොන්දක් තියෙනවා කියලා ජනතාවට පේනවා.

විශ්වාසභංගයෙන් පස්සෙ ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් කිව්වා සම්මුතිවාදී ආණ්ඩුව දිගටම ගෙනියනවා කියලා. ඒත් ඔබලා සූදානම් නෑ පක්ෂයේ නායකයෝ සූදානම් වුණාට?

සම්මුතිවාදී ආණ්ඩුව කියන්නෙ ශ්‍රීලනිපය නෙවෙයි. ගිවිසුම ගහලා ආණ්ඩුව යනවා. හැබැයි මෙයාලට පුළුවන් වෙනත් පක්ෂ එක්ක එකතුවෙලා සම්මුතිවාදී ආණ්ඩුවක් හදන්න අපි නැතුව. ජනාධිපතිවරයා දුන්නේ ඒ පණිවිඩය. හැබැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මෙතන ඉඳලා අනාගතයක් නෑ.

මධ්‍යම කාරක සභාවේදී අමාත්‍ය අනුර ප්‍රියදර්ශන මහත්තයා ප්‍රකාශ කළා පක්ෂයක් හැටියට රජයෙන් ඉවත් වෙමු කියලා. ඔබත් ඊට එකඟද?

ඔව්. යෝජනා කළා. මම තමයි ඒක සභාගත කළේ. 

ජනාධිපතිවරයා මොකද කිව්වේ?

එතුමාටත් මේක පේනවා. රට යන්නේ කොහෙද කියලා. එතුමාට දේශපාලනය නොතේරෙනවා නෙමෙයි. අනික මේ විරෝධය එතුමට විරුද්ධව නෙමෙයි. මෙතන තියෙන්නේ එජාපයි, ශ්‍රීලනිපයයි අතර තියෙන සම්මුතියට තියෙන විරුද්ධත්වයක් මේ. මේ සියලු දේවල් මධ්‍යම කාරක සභාව ඉදිරිපත් කළ ලේඛනයේ තියෙනවා.

ජනාධිපතිවරයා කිව්වේ නැද්ද ඉවසන්න කියලා...?

කොයි වෙලාවෙවත් කිව්වේ නෑ.

දැන් ඔබලා ආණ්ඩුවෙන් ඉවත්වෙලා ස්වාධීන වෙන්න හදනවා. හැබැයි ජනාධිපතිතුමා නේද ඒකෙන් තනිවෙන්නේ ආණ්ඩුව ඇතුළේ?

චන්ද්‍රිකා මැතිනිය එජාප ආණ්ඩුවක් යටතේ හිටියනේ. ඒ නිසා බලය පාවිච්චි කරලා ඉන්න පුළුවන්. හැබැයි අපි ජනාධිපතිතුමාට උදව් කරනවා විරුද්ධ පක්ෂයේ ඉඳලා.

ඔබලා ආණ්ඩුවෙන් ඉවත් වෙලා ඒකාබද්ධය එක්කද වාඩිවෙන්නේ?

ඒකාබද්ධ විපක්ෂය කියන්නේ කවුද? ඒ අය එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරු. අපි දෙගොල්ලො අතර තියෙන මතගැටුම මොකක්ද? අපි යූ.ඇන්.පී. ආණ්ඩුව තුළ ඉන්නවා කියන එක. ඉතින් අපි ආණ්ඩුවෙන් ඉවත් වෙලා ආපුවම අපිට ගැටුමක් තියෙනවාද? හැබැයි අපිට අනන්‍යතාවයක් තියෙනවා. ශ්‍රීලනිප මන්ත්‍රිවරු හැටියට තමයි අපි ඉන්නේ. ඒ අය සන්ධානයේ සහ ශ්‍රීලනිපයේ අය. අපිට එකට වැඩ කරන්න කිසි ප්‍රශ්නයක් නෑ. අපි හිටියේ ශ්‍රීලනිපයේ සභාපති එක්ක. ඒකේ වරදක් නෑ. ඒකාබද්ධ විපක්ෂයත් ජනපති සමඟ ගැටුමක් නෑ. ඔය යූ.ඇන්.පී අය කියනවානේ ජනාධිපතිට විරුද්ධව දෝෂාභියෝගයක් ගේනවා කියලා. පුළුවන් නම් ගේන්න කියන්න මන්ත්‍රීවරු එකට ඉන්න හැටි පෙන්නන්න.

මංගල ඇමැතිතුමා කිව්වේ අගමැති හරහා එන්නේ ජනාධිපතිට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙනල්ලා රාජපක්ෂලා බලයට ගේන්න හදන උත්සාහයක් කියලයි?

ඒ රාජපක්ෂ භීතිකාව. ඔය කාටත් ඒ භීතිකාව තියෙනවා. ඒ භීතිකාව නැති කරන්න රාජපක්ෂලාට වඩා වැඩ කරන්න ඕන. එහෙම නැතුව රාජපක්ෂලාට බැණලා මිනිස්සුන්ගේ හිත දිනාගන්න බෑ.

ඔබලා ආණ්ඩුවෙන් එළියට ආවා. තව කට්ටියක් ආණ්ඩුවේ ඉන්නවා. තවත් කට්ටියක් පොහොට්ටුව වටා. මේ ශ්‍රීලනිපය සීසිකඩ වෙලානේ?

ඇයි පොහොට්ටුවක් හැදුවේ. එහෙම පක්ෂයක් හැදුණේ ඇයි? අපි ආණ්ඩුවේ හිටිය නිසා. වෙනම ඡන්ද ව්‍යාපාරයක් කළේ ඒකනේ. ඒ අය විපක්ෂය නියෝජනය කළේ. ඒකට ලකුණක් තියෙන්න ඕන. දැන් අපි එකට ඉන්න කොට ඒ ප්‍රශ්නය නෑ.

බැසිල් රාජපක්ෂ මහත්තයා නම් කියන්නේ පොහොට්ටුව තමයි මීට පස්සේ ලකුණ කියලා?

ගොඩාක් දේවල් අනාගතයේදී වෙනස් වේවි.

එජාපය චෝදනා කරනවා ඔබලයි කකුලෙන් ඇදලා එජාපයේ සංවර්ධන ව්‍යාපෘති විනාශ කළේ කියලා?

නටන්න බැරි මිනිහට පොළව ඇදයිලුනේ. ඒ අය ඒකනේ ඔය කියන්නේ. ඒ අය ඉස්සෙල්ලම කළේ නිලධාරීන් තරහ කරගත්තා. අමාත්‍යාංශයේ ලේකම්ගෙ ඉඳලා සමෘද්ධි නිලධාරීයාට යනකම් බණින්න ගත්තා. මේ අයට සංවර්ධන සැලැස්මක් තිබ්බේ නෑ.

ඕනෑම විපක්ෂයක් ආණ්ඩුවට විරුද්ධයි. ඒත් මෙවර විපක්ෂය ආණ්ඩුවට පක්ෂ වුණා. ඒ කියන්නේ ඔබලට හොඳ නැති ආණ්ඩුව ඔවුන්ට හොඳයි නේද? ආණ්ඩුව සාර්ථකයි නේද?

ඔය විපක්ෂයේ අයගේ ඡන්දයට මොකද වෙන්නේ කියලා බලන්න තිබ්බා අපේ අය එකට හිටියා නම්. අපේ අය බෙදිලා කියලා පෙනුණට ඒ අයට තියෙන බලාපොරොත්තුව මොකක්ද? අපේ අයම කිව්වනේ ඒ අය අද එන්නේ නෑ කියලා ඡන්දය දෙන්න. එහෙම කිව්වේ නැත්තම් විපක්ෂයේ කීදෙනෙක් හිටියද ඡන්දය දෙන්න.

කොච්චරක් හිටියද?

විසිහයකට වඩා හිටියා.

ඒ කියන්නේ ඔබලගේ කණ්ඩායමේ පාවාදීම තමයි මෙයට හේතුව?

විශ්වාසභංගයේ පරාජය ඇතිවුණේ අපි නිසා. අපේ බෙදීම නිසා. 

දැන් ඔබලා ආණ්ඩුවෙන් ඉවත් වෙලා මොකද කරන්නේ?

ශ්‍රීලනිපය ප්‍රතිසංවිධානය කරලා ඊළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අපේක්ෂකයාව ජයග්‍රහණය කරවලා අපි එනවා ඊළඟ මහ මැතිවරණය ජයග්‍රහණ කරන්න.

ඔබලා ආණ්ඩුවෙන් ඉවත් වුණාම ඔබලාට එපාවුණු එජාපය නිදහසේ ආණ්ඩු කරයි?

කමක් නෑ. රටේ ජනතාවට පෙනෙයි ඇත්ත. අපි ඉඳලා තමයි ගොඩක් දේවල් පාලනය කළේ. ඒ බව ජනතාවට පෙනෙයි. ජනාධිපතිතුමා තමයි ගොඩක් දේවල් නැවැත්තුවේ. අපි ගියහම ජනාධිපතිතුමාටත් කරන්න දෙයක් නැතිවෙයි එතකොට.

ඉතින් ඔබලට බැරිද ආණ්ඩුව වට්ටන්න?

ඔළුගෙඩි මාරුවකින් බෑ. මේක රටේ ජනතාවගේ ඡන්දයෙන් ආපු ආණ්ඩුවක්. කුමන්ත්‍රණවලින් ආණ්ඩු පෙරළුවම ඒක ජනතාවට කරන අසාධාරණයක්. ජනතාව දුන්න බලය ඉවරවෙනකල් ඒ අයට දෙන්න. තව අවුරුදු එකහමාරයිනේ.
ඔබලා මේ කරන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කරන මෙහෙයුමක්ද?

මෛත්‍රීපාල සිරිසේන මහත්තයා අපේක්ෂකයා හැටියට ආවේ අන්තිම දවස් 45 දී. ඒ නිසා අද අපිට කියන්න බෑ කවුද අපේක්ෂකයා කියලා. හැබැයි අපි හොඳම අපේක්ෂකයා ගේනවා. කාටත් පිළිගත හැකි අපේක්ෂකයෙක් ගේනවා.

► ගයාන් ගාල්ලගේ 
 සේයාරුව I සුමුදු හේවාපතිරණ