2018 අප්‍රේල් 13 වන සිකුරාදා

අවසන් ජයග්‍රාහකයා

 2018 අප්‍රේල් 13 වන සිකුරාදා, පෙ.ව. 06:00 195

කැබිනට් රැස්වීම් අමාත්‍යවරුන් විසින් වර්ජනය කිරීම අපේ රටේ විරල සිදුවීමකි. එවැනි බරපතළ තීන්දුවකට ඇමැතිවරුන් යොමුවන්නේ නිසැකවම ඊළඟට තබන දේශපාලන පියවර පිළිබඳව අවබෝධයෙනි. බොහෝවිට එය ආණ්ඩු පෙරළියකි. නැතහාත් පක්ෂ මාරුවක පෙරමඟ ලකුණකි. නැත්නම් නායකයකුට එරෙහි කැරුල්ලකි.

සාමාන්‍යයෙන් අපේ රටේ තනි පක්ෂයක් එනම් ශ්‍රී.ල.නි.ප හෝ යූ.එන්.පීය මූලික වී ආණ්ඩුවක් හැදූවිට එවැනි ආණ්ඩුවක ඇමැතිවරුන් තමන්ට කොතරම් අවාසිදායක කරුණු යෙදුණත් කැබිනට් වර්ජනයකට යන්නේ නැත. එය අපේ රටේ දේශපාලනයේ ස්වභාවයයි. නමුත් සභාග ආණ්ඩු නැතහොත් හවුල් ආණ්ඩු දේශපාලනය තුළ බොහෝ අවුල් වියවුල් හදයි. මේ දිනවල අපේ රටේ දේශපාලන භූමිකාවේ රඟදැක්වෙන්නේ එම අවුලේ උපරිම රංගනයකි.

ලංකාවේ මින් පෙර ලොකුම කැබිනට් වර්ජනයක් පිළිබඳව සඳහන් වෙන්නේ 1958 වසරේදීය. එවකට අගමැතිවරයා වූයේ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායකයි. කුඹුරැ පනතට එරෙහිව පිලිප්ලා සහ සී.පී.ලා එකතුව කැබිනට් රුස්වීම් වර්ජනය කර පෙළපාළි ගියහ. 1956දී බලයට පත්වූ බණ්ඩාරනායක ආණ්ඩුවට එම කැබිනට් වර්ජනයෙන් පසුව ආයුෂ තිබුණේ තව අවුරුද්දක් පමණි. 1959 සැප්තැම්බර් 26 වැනිදා බණ්ඩාරනායක මහතාට එල්ල වූ වෙඩි පහර හේතුවෙන් ඔහුගේ ආයුෂ කෙළවර වෙද්දී ආණ්ඩුව ද අවසානයට ළඟා විය. එය ඉතිහාසයයි. නමුත් වර්තමාන කතාව ඊට වඩා වෙනස්ය.

වත්මන් ආණ්ඩුව ශ්‍රී.ල.නි.පත් නොවේ යූ.එන්.පීත් නොවේ. මේ දෙකේම සංකලනයකි. කලවම් ආණ්ඩුවකි. පැති දෙකක් නියෝජනය වීම නිසා මුල සිටම ආණ්ඩුවේ තිබුණේ දෙපැත්තට අදින ස්වරූපයකි. සමහරැ කියන්නේ හරියට කළේ බැඳුම්කර මගඩිය පමණක් බවය. එය හරියට කළ වැඩක්ද යන්න විවාද සම්පන්න මාතෘකාවකි. නමුත් බැඳුම්කර මගඩිය නිසැකවම මේ කලවම් ආණ්ඩුව හරි මැදින් ඉරා දැම්මේය. මෙවර සිදුවූ කැබිනට් වර්ජනය එහි අග්‍රඵලයයි.

දැන් තිබෙන යහපාලන සම්මුති ආණ්ඩුවේ ප්‍රධාන භාරකරු වශයෙන් සැලකෙන්නේ යූ.එන්.පී.ය බව ඔවුන්ගේ මතය වී තිබේ. ඊට හේතුව ඔවුන්ට ආසන 106ක් ලැබී තිබීමය. නමුත් ආසන 106කින් බහුතර ආණ්ඩුවක් පිහිටුවිය නොහැක. එවැනි අවස්ථාවක සාමාන්‍යයෙන් සිදුවන්නේ අනෙක් පැත්තෙන් තවත් මන්ත්‍රීවරුන් කිහිපදෙනකු වරදාන හරහා කරණම් ගස්සවාගෙන තනි ආණ්ඩුවක් පිහිටුවා ගැනීමය. නමුත් කලින් ගිවිසගත් පරිදි ඒ වෙනුවට ශ්‍රී.ල.නි.පය සම්බන්ධ කරගනිමින් යූ.එන්.පීය සම්මුති ආණ්ඩුවක් පිහිටුවාගත්තේය. එම ආණ්ඩුවට එරෙහිව මහින්දට සහාය දක්වන මන්ත්‍රීන් පිරිසක් වෙන් වී යාමෙන් පසුව සම්මුති ආණ්ඩුව හැදුණේ ශ්‍රී.ල.නි.ප බාගයකින් සහ යූ.එන්.පීයෙනි. 

කැඩී ගිය ශ්‍රී.ල.නි.ප කොටස වෙන්වී ගියදා පටන්ම සම්මුති ආණ්ඩුවට එරෙහිව එම පාර්ශව දෙක අතර විරසකයක් ඇති කිරීමට සැලසුම් සහගතව ක්‍රියා කළේය. එම ක්‍රියාව වළක්වා ගැනීමට ශ්‍රී.ල.නි.ප පාර්ශවයට ඕනෑකමක් තිබුණ ද යූ.එන්.පීයට එවැනි ඕනෑකමක් තිබූ බවක් පෙනුණේ නැත. ඇතැම් විට මහින්ද පාර්ශවයෙන් එල්ලවෙන තර්ජනවලදී යූ.එන්.පී පෙන්නුවේ බොහෝ ලිහිල්ව ගිය ප්‍රතිචාරයකි. නමුත් ශ්‍රී.ල.නි.පයේ ආණ්ඩුවට සම්බන්ධ වී සිටි පිරිසෙන් බහුතරය මේ තත්ත්වය යොමුවන්නේ සම්මුති ආණ්ඩුවේ අවසානයට බව සැක පහළ කර තිබිණි. එවැනි අවස්ථාවකදී තමන්ගේ දේශපාලන අනාගතයට විය හැකි දේ මේ බොහෝ දෙනා තුළ බියක් මැවූ බවත් පැහැදිලිය. එවැනි අවිනිශ්චිත තත්ත්වයක සිටි ආණ්ඩුවේ ශ්‍රී.ල.නි.ප පාර්ශවයට බැඳුම්කර මගඩිය ප්‍රබල අත්වැලක් සැපයුවේය. ඔවුන් සියලු දෙනා එහි එල්ලීම ගැන පුදුම වීමට කාරණයක් නැත.

යූ.එන්.පී මෙහිදී මුල සිටම වැරදි තක්සේරුවක සිටි බව පැහැදිලිය. බැඳුම්කර මගඩිය වෙනත් කාරණා පෙන්වා පහසුවෙන් යටපත් කළ හැකි බවට ඔවුන් තුළ වැරදි අදහසක් තිබිණි. ආණ්ඩුව තමන්ගේ බවට හැමවිටම ඔවුන් තුළ තිබූ අදහස එයට හේතු වන්නට ඇත. ආණ්ඩුව තමන්ගේ වුණත් එහි ප්‍රධානියා ජනාධිපති බවත් ජනාධිපති සතුව බලතල ඉතා විශාල ප්‍රමාණයක් තවමත් පවතින බවත් ඔවුහු පහසුවෙන් අමතක කර සිටියහ. එය වැරදි තක්සේරුවක් බව ඔවුන්ට අවබෝධ වන්න ඇත්තේ අර්ජුන මහේන්ද්‍රන්ට මහ බැංකු අධිපති පදවිය ගහලා ගිය දවසේය. එතැනදී යූ.එන්.පී නායකත්වයට පැහැදිලිව තීන්දු කළ යුතු දෙයක් තිබිණි. ඒ අවස්ථාවේදී රැකගත යුතු වන්නේ අර්ජුන මහේන්ද්‍රන්ද රජයද යන්නය. හරි නම් රැකගත යුතුව තිබුණේ රජයයි. නමුත් ජනාධිපතිවරයාට කළ හැකි දේ ගැන යූ.එන්.පී.ය එහිදී ද අඩුවෙන් තක්සේරු කළ බව පැහැදිලිය. යහපාලන රජය ගෙන ඒමට මූලික වූ සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් පවා අගමැතිගෙන් ඉල්ලා තිබුණේ රජය පිහිටුවීමට පාදක වූ හේතු කාරණා පිළිබඳව යළි සිතා බැලීම අවශ්‍ය බවය. ඒ සියල්ල බීරි අලින්ට වීණා ගැයුමක් පමණක්ම විය.

එහි ප්‍රතිඵලය අද වන විට යූ.එන්.පීයට ආණ්ඩුව තිබුණත් එයින් පලක් ගැනීමට තරම් ශක්තියක් නොතිබීමය. අගමැතිට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමය. ආණ්ඩුවේ ප්‍රධානියා වන ජනාධිපතිවරයා සමඟ තවදුරටත් එකට ගමනක් යාමට අසීරු වීමය. ඒ සියල්ලටමත් වඩා රටේ ජනතාව තුළ තමන් කෙරෙහි තිබූ විශ්වාසය බරපතළ හෝදාපාළුවකට ලක්වී තිබීමය. එය පසුගිය පෙබරවාරි 10 වැනිදා පැවැති පුංචි ඡන්දයෙන් පැහැදිලිවම පෙනුණේය. එම ප්‍රතිඵලය යූ.එන්.පිය එතෙක් තමන් තුළ තිබූ අධිතක්සේරුව කපා බිම හෙළීමක් විය. ඒ යූ.එන්.පීයේ පැත්තයි.

මීළඟට ශ්‍රී.ල.නි.පයට අද සිදුවෙමින් පවතින්නේ කුමක්ද යන්න සැලකිල්ලට ගත යුතුය. ඇමැතිවරු 16ම සිය තනතුරැ අතහැරීම සලකා බැලීමට එම විමසුම අවශ්‍යය. කිසිම ඇමැතිවරයකු තම දේශපාලන අනාගතයට යහපතක් නොවන්නේ නම් කිසි විටෙකත් තනතුර අත්නොහරින බව අප මුලින්ම සඳහන් කළ කරුණ මෙතැනට අදාළය. එක්කෝ මේ පිරිස ආණ්ඩුව සමඟ තවදුරටත් කටයුතු කිරීම සැබැවින්ම අපහසු නිසා මේ තීරණය ගත්තා විය යුතුය. නැතහොත් මීළඟ මහ මැතිවරණයේදී තමන් දේශපාලනික වශයෙන් අනාථ වීම වළක්වා ගැනීම සඳහා පාලමක් විය හැකි අන්තර් කාලසීමාවක් වශයෙන් ඉදිරි කාලය යොදවා ගැනීමට අපේක්ෂා කරනවා විය යුතුය. වැඩි දෙනකුට අදාළ වන්නේ දෙවැනි කාරණාව බවට සැකයක් නැත.
මේ 16 දෙනා විශ්වාසභංගයේදී අගමැතිවරයාට එරෙහිව ඡන්දය භාවිත කිරීමෙන් පසුව තවදුරටත් ඇමැති මණ්ඩලය තුළ සාමාජිකයන් වශයෙන් කටයුතු කිරීමට සාදාචාරාත්මකව හැකියාවක් නැත. නමුත් අපේ රටේ දේශපාලනය තුළ සදාචාරයට ලැබෙන්නේ අඩු පිළිගැනීමකි. දේශපාලන සදාචාරය ඉදිරියට දමාගෙන තීන්දු ගන්නා මැති ඇමැතිවරු සිටිතියි පිළිගන්නා කිසිවකුත් නැත. මේ නිසා 16 දෙනාගේ තීන්දුව සැලකිය යුතු වන්නේ අනාගතයේදී මහින්දගේ නායකත්වයෙන් පවතින පොහොට්ටුවට ජැක් ගැසීමක් වශයෙනි. ඒ වෙනුවෙන් ශ්‍රී.ල.නි.පය සමඟ සියලු ගනුදෙනු අතහැරීමට වුවද ඔවුන් සූදානම් නොවූවොත් පුදුමය.

තනතුරුවලින් ඉල්ලා අස්වීම පිළිබඳව ජනාධිපතිවරයාට දැනුම් දුන් බව මාධ්‍යවලට ප්‍රකාශ කළ ශ්‍රී.ල.නි.ප මාධ්‍ය ප්‍රකාශක ඩිලාන් ප්‍රකාශ කර තිබුණේ තමන් සියලු දෙනා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වය යටතේ ශ්‍රී.ල.නි.පය තුළ දිගටම කටයුතු කරන බවය. ලක්ෂ්මන් යාපා ප්‍රකාශ කර තිබුණේ තමන් තනතුරුවලින් ඉල්ලා අස්වූයේ ජනාධිපතිවරයාගේ ආශිර්වාදය මත බවය. ඔවුන්ගේ තනතුරැ එනම් ඇමැති ධූර ශ්‍රී.ල.නි.ප පිරිසකටම හිමිවනු ඇති බවද සඳහන්ය. ශ්‍රී.ල.නි.පයෙන් ඉවත් වූ 16 දෙනා අතර සිටි කැබිනට් ඇමැතිවරුන් 06 දෙනා වෙනුවට ශ්‍රී.ල.නි.පයේම සිටින රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිවරුන් 06 දෙනකු පත් කිරීමට තීරණය වූ බවත් එම පත් කිරීම් බ්‍රහස්පතින්දා (12) සවස සිදුවන බවත් දැනගන්නට ලැබිණි. දෙවැනි වරට සිදුවන බවට සැලකුණු කැබිනට් සංශෝධනය එපමණක් බවද එය එසේ වූවොත් නුදුරු අනාගතයේදීම රජය තවත් අර්බුදයකට යාමට ඉඩ තිබෙන බව පැහැදිලිය. යූ.එන්.පීය තුළ අලුතින් ඇමැති පදවි බලාපොරොත්තුවෙන් සිටි පිරිස අපේක්ෂා භංගත්වයට පත්වීම හේතුවෙන් එම අර්බුදය හටගනු ඇත.

මේ සමඟම තවදුරටත් ජනාධිපතිවරයා සමඟ රැඳී සිටින ශ්‍රී.ල.නි.ප මැති ඇමැතිවරුන් ද තම දේශපාලන අනාගතය පිළිබඳව මේ වනවිට කේන්දර හදමින් සිටිනවා විය යුතුය. ඒ අතුරින් ශ්‍රී.ල.නි.ප මහලේකම් දුමින්ද දිසානායක සහ සන්ධාන මහලේකම් මහින්ද අමරවීර යන ඇමැතිවරැන් දෙදෙනා විශේෂය. මේ දෙදෙනාගේම කථාබහෙන් තේරුම් යන්නේ ඔවුන් යළිත් රාජපක්ෂලා නායකත්වය දෙන පක්ෂයකට හෝ සන්ධානයකට එකතු වීමට සූදානම් නැති බවය. ඔවුන් දෙදෙනා සහ එම අදහස් දරණ සෙසු පිරිස මෛත්‍රීපාල සිරිසේන මහතා නායකත්වයේ රැඳී සිටිනතාක් ‍ශ්‍රී.ල.නි.පයේම මැති ඇමැතින් වශයෙන් සිටිනවාද නැත්නම් වෙනත් තීන්දුවක් මත පිහිටා කටයුතු කරනවාද යන්න තවම පැහැදිලි නැත. එහෙත් තීන්දුවක්වත් ගැනීමට ඊළඟ මහ මැතිවරණය තෙක් බලා සිටීම නම් ඇඟට ගුණ නැත.

දැනට පවතින තත්ත්වයේ අවසන් ජයග්‍රාහකයා වී සිටින්නේ මහින්ද රාජපක්ෂ බව ඉතාම පැහැදිලිය. ඔහු එක ගලෙන් කුරුල්ලන් දෙදෙනකු නොව කිහිප දෙනකුම බිම දමාගැනීමට සමත්ව සිටින බව පැහැදිලිය. මහින්ද මුල සිටම දැන සිටි කරුණක් වූයේ මේ ආණ්ඩුවේ ඉදිරි ගමන වැළැක්වීමට නම් සම්මුතිය, එනම් ශ්‍රීලනිප - යූ.එන්.පි. දීගය කඩා දැමීම අවශ්‍ය බවය. ඒ වැඩේට මහින්ද කෙළින්ම අත තිබ්බේ නැත. ඉත්තන් කිහිපදෙනකු එහා මෙහා කොට ඔහු ඒ ගේම් එක ගැහැව්වේය. බැඳුම්කර මගඩිය මහින්දට ඒ සඳහා හොඳම පොටක් පාදා දුන්නේය. මහින්ද තම දේශපාලන ජීවිතයේදී එවැනි පොටවල් කවදාවත් වරද්දා ගත්තේ නැත.

දැන් පෙනෙන හැටියට ආණ්ඩුවේ පාර්ශව දෙකම ඉන්නේ අර්බුද මැදය. යූ.එන්.පීයට විශ්වාසභංග කඩුල්ල පැනගත්තාට ප්‍රතිසංවිධාන කඩුල්ල පැනගැනීම නම් පහසු නොවනු ඇත. වරින් වර නොයෙකුත් යෝජනා ආවත් මේ මාසයේ 30 වැනිදාට සිදුවන බව කියන ප්‍රතිසංවිධානයේ හැඩතල විසින් එම පක්ෂයේ ඉදිරි ගමන තීරණය කරනු ඇත. ශ්‍රී.ල.නි.පය සහ එහි නායකත්වය ද පවතින වාතාවරණය හමුවේ හුදෙකලා වන තැනකට තල්ලු වෙමින් සිටී. එම පක්ෂයේ කලින් තිබූ දෙකට කැඩීම දැන් තුනට කැඩීම දක්වා වර්ධනය වී තිබේ. නමුත් එම කැඩිල්ලේ වාසිය දැන් ලැබෙන්නේ යූ.එන්.පියට නොවේ. මහින්දටය.

 ශශීන්ද්‍ර

 

 2018 නොවැම්බර් 24 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 දෙසැම්බර් 01 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 නොවැම්බර් 24 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 නොවැම්බර් 24 වන සෙනසුරාදා, ප.ව. 12:30