2018 අප්‍රේල් 13 වන සිකුරාදා

පානබොක්කේ කොළේ ඉරා ගනී

 2018 අප්‍රේල් 13 වන සිකුරාදා, පෙ.ව. 06:00 136

අනගාරික ධර්මපාලතුමා, ඕල්කොට් හා ජිනවරවංශ හිමි යන තුන් දෙනාටම එක පොදු අරමුණක් තිබුණේය. එනම් ථෙරවාදී බුද්ධාගම බටහිරට හඳුන්වාදීමයි.  ඔවුන් තුන්දෙනාම ථෙරවාදි බුද්ධාගම යනුවෙන් හැඳින්වූයේ සිංහල බුද්ධාගම නොවේ. ඔවුන් එය නිර්වචනය කළේ පාලි සුත්‍රවල සඳහන්ව තිබූ ධර්මය හැටියටයි.  ඒ අනුව එම පාලි සුත්‍ර ඉංග්‍රිසි බසට පෙරළා ප්‍රකාශයට පත් කරන ලදී.  එයට මුල් වූයේ රීස් ඩේවිස් හා එම මැතිනියත් රොබර්ට් චාමර්ස් වැනි පාලි භාෂා විශාරදයන් සමුහයකි. මහාචාර්ය මලලසේකර ද මේ කණ්ඩායමේ සාමාජිකයෙක් විය. මලලසේකර එම සම්ප්‍රදාය ලංකා සරසවියට හඳුන්වාදෙමින් විජේසේකර, ධීරසේකර, කේ. ඇන්. ජයතිලක, ආනන්ද ගුරුගේ හා ඩබ්ලිව්. ඇස්. කරුණාරත්න වැනි පාලි භාෂා විශාරද කණ්ඩායමක් බිහි කළේය.  හික්කඩුවේ සුමංගල හිමි, වැලිවිට සෝරත හිමි, වල්පොල රාහුල හිමි හා රේරැකානේ චන්දවිමල හිමි වැනි බහුශ්‍රැතයන් බෞද්ධ ග්‍රන්ථ පාලි භාෂාවෙන් සිංහල හා ඉංග්‍රීසි භාෂාවලට පෙරළුෑහ.  පසුකල සිංහල සංඝ සමාජය මේ ගණයේ බුද්ධිමතුන් බිහි කිරීමට සමත් වූයේ නැත.  දැන් ඔවුන් තමන්ගේ ප්‍රධාන කාර්යය වූ පාලි බුද්ධාගම පිළිබඳ අවබෝධය වැඩි දියුණු කරනු වෙනුවට ඉතිහාසය, සමාජ විද්‍යාව, අර්ථ ශාස්ත්‍රය, දර්ශනය හා නීතිය වැනි ක්ෂේත්‍රවලට යොමු වී ඇත. ඔවුන්ගේ පාලි භාෂාව පිළිබඳ දැනුම අල්පවීමත්, වාණිජ සාර්ථකත්වය පිළිබඳ කෑදරකමත්, සිංහල භාෂාව පමණක් දත් බෞද්ධ බුද්ධිමතුන් ඇති විය හැකියැයි කියන ව්‍යාජ වැටහීමත් එයට හේතු වශයෙන් දැක්විය හැකිය. මා මුලින්ම සඳහන් කළ තුන් කට්ටුව මේ ලෞකික විද්‍යා හඹා ගිය භික්ෂූන් නිර්දය ලෙස අපහාසයට හා උපහාසයට ලක් කළෝය.  එවැන්නන් විස්තර කිරීමට ධර්මපාලතුමා යොදාගත් වචන මේ ලිපියේ ඇතුළත් කිරීමට පවා මා මැලිවෙමි. අද සංඝ මෙන්ම ගිහි බෞද්ධ සමාජයේ පිරිහීම සනිටුහන් කරන හොඳම මාපකයකි පාලි භාෂාව කෙමෙන් කෙමෙන් අභාවයට යෑම. අද පාලි භාෂාව රැඳී පවතින්නේ ගම්වල විහාර භාර උගත් වයෝවෘද්ධ හිමිවරුන් මතය. පැරැණි විදුදය හා විදුලකර පිරිවෙන්වලින් උගත් මේ වයස්ගත හිමිවරුන් පාලි දැනුම තවමත් රැකගෙන සිටිති.  ඇත්ත වශයෙන් ටියුෂන් පන්ති බවට පෙරළී ඇති පිරිවෙන් අධ්‍යාපනය තුළින් පාලි භාෂාව හැදෑරීමට එතරම් අනුබලයක් නොලැබේ. මේ ප්‍රවණතාවය නිසා බුදුන් වදාළ දහම පිරිහී, දැනුම අඩුවී ඒ වෙනුවට ව්‍යාජ ජාති ආලයක් වපුරනු ලැබේ.

පාලි බුද්ධාගම දියුණු කිරීමට අනගාරික ධර්මපාල තුමා අපමණ උත්සහයක් දරුවේය.  ඔහු කල්කටා විශ්වවිද්‍යාලයේ සුප්‍රසිද්ධ උප කුලපති අසුතෝෂ් මුකර්ජි සමඟ සාකච්ඡා කර එහි ප්‍රාචීන අංශය තුළ පාලි පාඨමාලා ආරම්භ කළේය. වර්ෂයේ දක්ෂතම පාලි සිසුවා වෙනුවෙන් ස්වර්ණ මුද්‍රිකාවක් ඔහුගේ වියදමින් පරිත්‍යාග කළේය. පසුකලෙක සුප්‍රසිද්ධ බෞද්ධ බුද්ධිමතුන් වූ බරුවා, පාචෝ හා කොසම්බි වැනි අය බිහිවූයේ ධර්මපාල තුමාගේ මේ මැදිහත්වීම නිසයි.

මේ සංවාදයට ජිනවරවංශ හිමි සියම් රජතුමාව ද පටලවා ගත්තේය. සියමේ බෞද්ධ පුනරුදයේ පුරෝගාමියා වූ මොංකුට් (රාමා) රජතුමා පාලි භාෂාව ප්‍රගුණ කළ කෙනෙකි.  රජ පවුලේ අවුල්වලින් බේරීමට ඔහු කලක් සසුන්ගතව සිටියේය. ලංකාවේ වැලිවිට සරණංකර සංඝරාජ හිමියන් මෙන් මොංකුට් රජතුමාත් සංඝ සමාජය පිරිසුදු කළේය. ඔහු පාලි භාෂාව රට තුළ දියුණු කළේය. එපමණක් නොව ගැමි සිරිත් හා යාග හෝමවලින් දූෂිතව තිබූ සියම් සංඝ සංස්ථාව පිරිසුදු කිරීම සඳහා “ධම්ම යුත්තික” නමින් ඔහු අලුත් නිකායක් ආරම්භ කළේය. රජතුමා ලංකාවේ සංඝයා සමඟ ගනුදෙනු කළේ පාලි භාෂාවෙනි.  ඔහුගේ මිත්‍ර බුලත්ගම සුමනතිස්ස හිමියන් සමඟ පාලි බසින් ලියන ලද ලියුම් හුවමාරු කර ගත්තා පමණක් නොව දකුණේ බෞද්ධ කටයුතු සඳහා මුදල් ආධාර ද එවීය. හික්කඩුවේ සුමංගල හිමි පවා කරලියට පැමිණියේ මොංකුට් රජතුමාගේ තෑගි මුදලින් මිලදී ගන්නා ලද මුද්‍රණාලයක් සඳහා බෞද්ධ ග්‍රන්ථ සම්පාදනය කරමිනි.

ජිනවරවංශ හිමි ථෙරවාදි බුද්ධාගම බටහිරට ගෙන යෑමට යත්න දැරීමට තවත් හේතුවක් විය. පැවිදි වීමට පෙර ඔහු තානාපතිවරයකු වශයෙන් ලන්ඩන් නුවර පදිංචිව සිටියේය. ඒ අනුව උසස් ඉංග්‍රිසි සාමාජයේ සිරිත් විරිත් ගැන ඔහු තුළ මනා අවබෝධයක් තිබිණි.  ලංකාවේදී ඔහු ඉංග්‍රිසි ආණ්ඩුකාරවරයා හා උසස් නිලධාරීන් සමඟ කිට්ටු සම්බන්ධයක් ඇති කර ගත්තේය. මේ සම්බන්ධය අනගාරික ධර්මපාලතුමාගේ සැකයට ද බඳුන් විය.  ජිනවරවංශ හිමියන් පමණක් නොව ඕල්කොට් ද ඉංග්‍රීසි පාලකයන් සමඟ කිට්ටු සම්බන්ධතා ඇති කර ගත්තෙකි. වෙසක් පෝය දින නිවාඩුවක් හැටියට බ්‍රිතාන්‍ය රජය පිළිගත්තේ ඕල්කට් විසින් ඒ ඉල්ලීම ලන්ඩන් නුවරට යොමු කළ නිසාය. එහෙත් ජිනවරවංශ හිමියන්ගේ න්‍යාය පත්‍රයේ තවත් කරැණක් තිබුණේය. ඒ වනවිට ඔහු සියම් රජ හා තම ඥාතිවරයකු වූ චූලාලංකාර රජතුමා සමඟ විරසකව සිටියේය. මුලු බෞද්ධ ලෝකයටම නායකයා ලෙස චූලාලංකාර පිළිගත යුතුයැයි ඔහු යෝජනා කරමින් චූලාලංකාරගේ සිත නැවතත් දිනා ගැනීමට ඔහු බලාපොරොත්තු වූයේය.

ඒ සඳහා ඔහු ගත් එක් පියවරක් මුලට සාර්ථක විය. විදේශ සංචාරයක යෙදී එන ගමන් ලංකාවේ ද ගොඩ බැස දන්තධාතුව වැඳ පුදා ගැනීමට විධිවිධාන යොදා ගත හැකි බව ජිනවරවංශ හිමි රජතුමාට දන්වා නැවතත් ඔහු සමඟ සම්බන්ධතාවයක් ගොඩනැගීමට මහන්සි ගත්තේය. එහෙත් එය භයානක ඇබැද්දියක් බවට පත්වූයේ උඩරට නායකයකු වූ පානබොක්කගේ ක්‍රියා කලාපය නිසාය. මුළු බෞද්ධ ලෝකයේම ප්‍රබලයා ලෙස පිළිගැනීම පැතූ චූලා රජ කොළඹට පැමිණ දුම්රියෙන් නුවර බලා පිටත් විය.

මහනුවරදී ඔහුව මහත් හරසරින් පිළිගෙන දළඳා මන්දිරය වෙත ගෙන එන ලදී. ධාතු මන්දිරයේදී දන්තධාතුව වැඳ නමස්කාර කළ මහරජ එය මොහොතකට තම දෑත මත වඩා හිඳවන ලෙස ඉල්ලා සිටියේය. මීට පෙර ඔහුගේ ඥාති සියම් කුමරකුට මෙන්ම රුසියාවේ කිරීටය හිමි  කුමරාට ද එවැනි ගෞරවයක් හිමි වූ බව සියම් රජ දැන සිටියේය.

එහෙත් සිදුවූයේ කවුරුත් බලපොරොත්තු නුවු දෙයකි. පානබොක්කේ රජුගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය. එපමණක් නොව රජු විසින් ඉල්ලන ලද ඇරුණි පුස්තකයක් පවා ලබා දීමට පානබොක්කේ අදිමදි කළේය. පානබෝක්කගේ මේ අමනෝඥ ක්‍රියාව නිසා කොළඹ බෞද්ධ නායකයෝ බලවත් සේ කම්පා වූහ. ධර්මපාල තුමා ඔහුගේ සහෝදරයකු හා පියදාස සිරිසේන වැනි බෞද්ධ නායකයන් මහනුවරට එවා පානබොක්කට විරැද්ධව මහමලුවේ රැස්වීමක් සංවිධානය කළේය. මේ සිද්ධියෙන් පසුව සියම් රජතුමා සකල බෞද්ධයන්ගේ නායකයා වීමේ අදහස අතහැර ලංකා බෞද්ධයන්ට දෙන ආධාර ද නැවැත්විය. ජිනවරවංශ හිමි කබලෙන් ලිපට වැටුණේය. ටික කලකින් පානබොක්ක ද මාළිගාවේ සේවාවෙන් ඉවත් කරන ලදී.

 2018 සැප්තැම්බර් 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 සැප්තැම්බර් 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 සැප්තැම්බර් 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 සැප්තැම්බර් 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 සැප්තැම්බර් 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00