2018 අප්‍රේල් 07 වන සෙනසුරාදා

දැන්වත් ආර්ථිකය හදමුද?

 2018 අප්‍රේල් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 45

අලුත් අවුරුද්ද කටේ ඉඳගෙන අගහිඟකම් ගැන කතා කිරීම තේරුමක් නැති වැඩක් බව කෙනකුට පැවසිය හැකිය. නමුත් අලුත් අවුරුද්දට බඩු ගන්න කියා මේ දිනවල සාප්පු සවාරියේ යෙදෙන ඕනෑම කෙනකුට මේ කියන ඇත්ත දැකගත හැකිය. ඇතැම් නගරවල පේමන්ට් එකේ පටන් සෙනඟ සිටිති. එහෙත් බඩු භාණ්ඩ මිලට ගන්නේ ඉතා අඩුවෙනි. පේමන්ට් තට්ටුවල වෙනදා මේ කාලෙට සිං - සිං ගා විකිණෙන ඇඳුම් පැළඳුම් එම තට්ටුවලම ගොඩගැසුණු ගමන්ය. පැය හතරකදී ඇඳුම් කෑලි විකුණාගත හැකිවූයේ තුනක් පමණක් බවට එක් වෙළෙන්දකු අපගේ වාර්තකරැට කළ ප්‍රකාශය මේ තිත්ත ඇත්තේ එක් හරස්කඩක් පෙන්නුම් කරයි. පසුගිය වසරවලට වඩා මේ වසරේ අවුරුදු සාප්පු සවාරි යන පිරිස ද අඩු බවක් පැහැදිලිව පෙනේ.

රටේ ආර්ථිකයේ වර්තමානයේ පවතින සැබෑ තත්ත්වය තේරුම් ගැනීමට ආර්ථික විශ්ලේෂකයන්ගේ විවරණ අවශ්‍ය නැත. ඉහත දැක්වූ ප්‍රායෝගික කාරණා අද කුමන වෙළෙඳපොළකට ගියත් දැකගත හැකිය. භාණ්ඩ අලෙවි නොවීමෙන් වෙළෙන්දෝ අමාරුවේ වැටී සිටිති. අතේ තිබෙන මුදල අත්‍යවශ්‍යම වියහියදම් වෙනුවෙන් වෙන් කළ විට අවුරුද්දට කියා වෙනම මිලදී ගැනීම් සිදු කිරීමට ජනතාවගේ අතේ තඹ දොයිතුවක් ඉතිරි වන්නේ නැත. සෑම භාණ්ඩයකටම මිල ගණන් වැඩි වෙමින් පවතී. අප්‍රේල් 1 වැනිදා සිට ක්‍රියාත්මක වන නව බදු පනත හේතුවෙන් ඇතැම් සේවා සහ භාණ්ඩ මිල තව දුරටත් ඉහළ යනු ඇත. එම බදු පනතේ සියලු විධි විධාන අවර ගණයේ යැයි අපි නොකියමු. රටේ ආර්ථිකයටත් ජනතාවගේ අවශ්‍යතාවලටත් යහපතක් වන කාරණා ද එහි ඇතුළත් බව බැලූ බැල්මට පෙනී යයි. නමුත් පවතින තත්ත්වය පෙන්වා දෙන්නේ රටේ ආර්ථිකය දැන් පවතින තත්ත්වයෙන් ගොඩට ගැනීමේ ඉක්මන් ක්‍රියාමාර්ග ගැනීම මූලික කාරණයක් බවය. ඒ සඳහා රජයේ අවධානය වහාම යොමු වීම අවශ්‍යය.
මුළු රටම වෙලාගත් අධික ණය බරින් ගොඩ ඒමට රජයට විධිමත් වැඩපිළිවෙළක් තිබිය යුතුය. තවමත් අප දකින්නේ අපට දැනෙන්නේ රජය ඒ පිළිබඳව කතාබස් කරන බවක් පමණි. ප්‍රායෝගික වැඩපිළිවෙළක් නැත. පසුගිය කාලය තුළදී රටේ පැවැති දේශපාලන අස්ථාවරභාවය ආර්ථික තත්ත්වය තවදුරටත් දුර්වල කිරීමට හේතු වූ බව පිළිගත යුතුය. කලකට පසු 2017වසරේ ජාතික ආර්ථිකයේ වර්ධන වේගය 3.1%ක් තරම් පහළ මට්ටමට ඇද වැටී තිබුණි.  ආර්ථිකය බේරා ගැනීමට වඩා ආණ්ඩුව බේරා ගැනීමට ප්‍රමුඛත්වය දීමට සිදු වීම හේතුවෙන් සියලු දෙනාගේ අවධානය යොමු වී තිබුණේ ඒ දෙසටය. අඩුම වශයෙන් දැන්වත් තම තමන්ගේ ප්‍රශ්න විසඳාගැනීමට මුල්තැන දීමට වඩා රටේ ආර්ථිකය ගොඩගැනීමට පූර්ණ අවධානය යොමු කරන්නැයි අපි රජයෙන් ඉල්ලා සිටිමු.

මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි වරින් වර මේ කාරණය පෙන්වා දී තිබිණි. පසුගිය සතියේ පැවැති සාකච්ඡාවේදී ද ඔහු කියා තිබුණේ රටේ දේශපාලන කටයුතු අඛණ්ඩව ගලා යායුතු බවය. එසේ වනවිට රට තුළ ස්ථාවරභාවය ගොඩනැංවෙන බවත් අස්ථාවරභාවය රටේ සංවර්ධන කටයුතු කෙරෙහි අහිතකර ලෙස බලපාන බවත්ය. රජය මගින් රට තුළ ගෙනයායුතු වන සංවර්ධන වැඩපිළිවෙළ, ආර්ථික කටයුතු මෙහෙයවීම, රජය මගින් ජනතාව වෙනුවෙන් සැපයිය යුතු මූලික සේවා සහ සැලසුම් අඛණ්ඩව ඵලදායී ලෙස ක්‍රියාත්මක විය යුතු බව ද ඔහු පෙන්වා දී තිබිණි. 

කෙසේ වුවත් රජය මෙවැනි උපදෙස් කෙරෙහි සැළකිලිමත්ව ක්‍රියා කරන බවක් දකින්නට නොතිබීම අවාසනාවන්ත තත්ත්වයකි. රටේ ආර්ථික ප්‍රතිපත්ති මෙහෙයවන විශේෂඥයන්ගේ අදහස් නොසළකා ක්‍රියා කිරීමේ ප්‍රතිඵල මහා භයානක වනු ඇත. රජයේ ප්‍රතිපත්ති, විශේෂඥයන්ගේ අදහස් සමඟ විධිමත් ලෙස ගලපා ගැනීම වඩාත් යහපත් ප්‍රතිඵල ලබා දීමට සමත් වන බව තේරැම් ගැනීම අවශ්‍යය. සියල්ල දත් න්‍යාය අනුව ක්‍රියා කිරීම ආර්ථිකය තවතවත් වළ පල්ලට තල්ලු කිරීමක් පමණි. එයින් අත්වන සුගතියක් නැත.

තමන්ගේ අතමිට හිඟවෙන විට වෙනදා කළ ආකාරයට අවුරුදු සැමරීම අපහසු වෙන විට ජනතාව බයිට් එකට ගන්නේ ආණ්ඩුවය. නමුත් බයිට් එකෙන් පමණක් ජනතාව නොනවතින බව පසුගිය පෙබරවාරි 10 වැනිදා පැවති පුංචි ඡන්දයේ ප්‍රතිඵලය මඟින් පැහැදිලිව පෙන්වා දී තිබේ. ලෝකයේ ලොකුම ඇමැති මණ්ඩලයක් තිබුණත් ආර්ථිකය ගැන සොයා බලා කටයුතු කිරීමට ඇමැතිවරුන් ගණනාවක් සිටියත් ජනපති සහ අගමැති විසින් මෙහෙයවන ආර්ථික කමිටු, ආර්ථික සභා තිබුණත්, ආර්ථිකය හබක් නම් එයින් පෙන්වන්නේ ආණ්ඩුවේ අසමත්භාවයයි. ඒ ගැන හිටපු ආණ්ඩුවට තවදුරටත් බැණ වැදීමෙන් පළක් නැත. දැන් ඒ චෝදනාවල කාලය ඉකුත් වී ගොසිනි. ජනතාව වත්මන් ආණ්ඩුව පත්කර ගත්තේ එම ගැටලු විසඳාගෙන තමන්ට වඩාත් සුරක්ෂිත අනාගතයක් බිහිකර ගැනීමටය. එහෙත් කටයුතු සිදුවන ආකාරයෙන් අපට වැටහෙන්නේ රජය ජනතාවගේ අනාගතය කෙසේ වෙතත් තමන්ගේ අනාගතය සුරක්ෂිත කරගැනීමට ඉහළම ප්‍රමුඛත්වය දී ඇති බවය. එය කිසිසේත්ම යහපාලන අරමුණ ඉටුකර ගැනීම සඳහා යන ඉදිරි ගමනක් නොවන බව නම් සහතිකය.