2018 අප්‍රේල් 07 වන සෙනසුරාදා

අගමැතිට විරුද්ධව ඡන්දය දීලා කැබිනට් එකේ ඉන්න බෑ

 2018 අප්‍රේල් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 50

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරිවසම්

♦ අපට චෝදනා කළ ඇමැතිලාටත් චෝදනා තිබෙනවා 
♦ එ.ජා.ප.යයි ජනාධිපතියි අතර ගැටුමක් නැහැ  
♦ ආණ්ඩුවට තුනෙන් දෙකේ බලය තාම තියෙනවා  
♦ අගමැතිගේ සංවර්ධන යෝජනා කල් ගියේ ශ්‍රී.ල.නිප ඇමැතිලා නිසා  
♦ රජයක් හැටියට සමහර දේවල් අපෙන් ඉටු වුණේ නෑ 
♦ ටී.එන්.ඒ එකෙන් පොඩි පොඩි ඉල්ලීම් ආවා
♦ සමහරු කියපු විදිහට ඉතින් දැන් ඉර පායන්නත් බැහැනේ  

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංගය ඔබලා ජයග්‍රහණය කළා. දැන් ඊළඟ අභියෝගය මොකද්ද?

ඇත්තටම අභියෝගයක් නෑ. ඔය විශ්වාසභංගයත් අභියෝගයක් නෙමෙයි. ඒකනේ අපි පරාජය කළේ. සමහර මාධ්‍යවල සමහර දේශපාලනඥයන් කියපු කතා අහපුවම දැන් ඉර පායන්න විදිහකුත් නෑනේ. එච්චර විශ්වාසයෙන්නේ විශ්වාසභංගය ගෙනාවේ. හැබැයි අපි මුල ඉඳලම කිව්වා අපි දිනනවා කියලා. අපේ පක්ෂයේ ඔක්කොම ඡන්දය දුන්නා. අනිත් අයත් සහයෝගය දුන්නා.

ඔබ කියනවා අභියෝගයක් නෑ කියලා. හැබැයි එ.ජා.පයේ සමහර මැති ඇමතිවරු විශ්වාසභංගයට විරුද්ධව ඡන්දය දුන්නේ එ.ජා.පයේ ප්‍රතිසංවිධාන පොරොන්දුව මත. ඒකත් දැන් අභියෝගයක් නේද?

ඔව් ඉතින්. කිව්වා වගේම අපි පක්ෂය ප්‍රතිසංවිධානය කරනවා.

මේ ප්‍රතිසංවිධානයේ එක් පියවරක් හැටියටද අමාත්‍ය කබීර් හෂීම් මහත්මයා පක්ෂ මහ ලේකම්කමින් ඉවත් වුණේ?

ඒකනම් මම දන්නේ නෑ. ඒකත් සමහර විට වෙන්න ඇති. ඇත්තටම මම හරියට දන්නේ නෑ. 

ඒ ප්‍රතිසංවිධානයේ තවත් එක් කොටසක් ද ඔබට පක්ෂ මහ ලේකම්කම දෙන්න යන්නේ?

ඒකත් ප්‍රතිසංවිධානයේ යෝජනාවක් හැටියට යෝජනා වෙලා තියෙනවා. ඒක පක්ෂය තමයි තීරණය කරන්නේ.

ඒ කියන්නේ එහෙම යෝජනාවක් තියෙනවා..?

ඔය මන්ත්‍රීවරු කිහිපදෙනෙක් යෝජනා කරලා තියෙනවා. හැබැයි පක්ෂය තමයි තීන්දු කරන්නේ.

පක්ෂය ඇතුළේ මේ ගැන යම් යම් මතවාද මතුවෙමින් තියෙනවා. ඔබට හැකිවෙයිද එවැනි වගකීම් සහගත තනතුරක් මේ මතවාදවලට ලක්වෙමින් දරන්න?

මට එවැනි වගකීමක් දරන්න හැකියාවක් තියෙනවා. දැනටත් මම නියෝජ්‍ය මහ ලේකම් හැටියට ඉන්නේ පක්ෂයේ. මම පක්ෂයේ තනතුරු ගණනාවක් හොබවලා තියෙනවා. ඒ වගේම රටේ අධ්‍යාපන ඇමති හැටියට දැනුත් කරන්නේ බාරදූර රාජකාරියක් තමයි.

ශ්‍රී.ල.නි.පයේ මැති ඇමතිවරුන් විශ්වාසභංගයට ඡන්දය ප්‍රකාශ කිරීමේදී යම් ප්‍රහේලිකාවක් ඇතිවුණා. ඔබලා හිතනවද ප්‍රශ්න මැද්දේ ඉදිරියට යන්න පුළුවන් කියලා.

නෑ අපි සාකච්ඡා කරලා තීරණයක් ගන්නවා. අගමැතිතුමා ජනාධිපතිතුමා හම්බවෙලා කතා කරයි. ඊට පස්සේ තීරණය ගනියි.

විශ්වාසභංගය දවසෙම මන්ත්‍රීවරු 33ක් අත්සන් සහිත ලියමනක් බාරදෙනවා විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දුන් ශ්‍රී.ල.නි.ප ඇමතිවරු ආණ්ඩුවට ගන්න එපා කියලා.

කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියාට විරුද්ධව ඡන්දය දුන්නම සදාචාරාත්මක අයිතියක් නෑ ඔවුන්ට කැබිනට් මණ්ඩලයේ ඉන්න. මේකෙන් ලැබෙන වරප්‍රසාදවලට රහවැටිලා හිටියොත් ඇරෙන්න සදාචාරාත්මක අයිතියක් නෑ පක්ෂව ඡන්දය දුන්න අයට කැබිනට් මණ්ඩලයේ ඉන්න. කැබිනට් මණ්ඩලය කියන්නේ සාමූහිකත්වය රැකෙන තැනක්.

ඔබ ‍මෙවැනි මතයක් දරුවට අග්‍රාමාත්‍යවරයා පැවසුවේ ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කරලා මේ සම්මුතිවාදී ආණ්ඩුව ඉදිරියට රැගෙන යන බව.

සම්මුතිවාදී ආණ්ඩුව ගෙනියන එක ප්‍රශ්නයක් නෑ. එ.ජා.පයේ කැබිනට් ඇමැතිවරු අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡාවක් තිබ්බා. එහිදී ඔවුන් කිව්වා මේ අය කැබිනට් මණ්ඩලයේ ඉන්න බෑ කියලා. රාජිත සේනාරත්න ඇමැතිතුමා කිව්වා ඒ අය ඉන්නවානම් කැබිනට් මණ්ඩලයේ ඉඳගන්නෙත් නෑ කියලා.

ඒ කියන්නේ කැබිනට් විරෝධයකට ලෑස්ති වෙනවද?

නෑ. එහෙම කියන්න බෑ. හැබැයි බහුතර ඇමැතිවරු ඉන්නේ එක්සත් ජාතික පෙරමුණේ. ඒ නිසා අගමැතිතුමා ජනාධිපතිතුමා එක්ක කතා කරයි.

විශ්වාසභංගයට ඡන්දය දුන් ශ්‍රී.ල.නි.ප ඇමැතිවරු අමාත්‍ය මණ්ඩලයට ගන්න බෑ කියද්දී අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රතිචාරය කොහොමද?

ඒ ගැටලුව පිළිබඳ එතුමත් එකඟතාවය පළ කළා. කැබිනට්ටුවේ ඉන්න බෑ කියලා එතුමත් ඒ මතයේ ඉන්නේ. හැබැයි ජාතික ආණ්ඩුව ජනාධිපතිතුමා එක්ක ඉස්සරහට යා යුතුයි කියන මතයේත් ඉන්නවා. ශ්‍රීලනිපයේ අමාත්‍යවරු ගණනාවක් ඉන්නවනේ මේ විශ්වාසභංගයට ඡන්දය නොදී මගහැරිය. අන්න ඒ අය එක්ක ඉදිරි ගමන යමු කියන මතය තමයි බහුතරයකගේ අදහස. ඒකට අගමැතිතුමත් එකඟ වුණා.

ඔබලා එහෙම කිව්වට පක්ෂව ඡන්දය ලබා දුන්න ශ්‍රී.ල.නි.ප ඇමතිවරු  කිව්වා ඔවුන් අමාත්‍යධූරවලින් ඉවත්වෙන්නේ නෑ කියලා.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව අගමැතිතුමාගේ බලතලත් ජනාධිපතිතුමාගේ බලතලත් ව්‍යවස්ථාවේ සඳහන් කරලා තියෙනවා. ඉස්සර ජනාධිපතිගේ බලතල නෙමෙයි දැන් තියෙන්නේ. ඒ වගේම කැබිනට් ඇමති ධූරය භුක්ති විඳින්න ඕනනම් ඔය වගේ දේවල් කියන්න වෙනවා. බලමු මොකද වෙන්නේ කියලා.

මේ විශ්වාසභංගයේදී ශ්‍රී.ල.නි.ප මතය බෙදිලා ගියේ. ඔබලට ජනාධිපතිවරයා මොනවගේ සහයෝගයක්ද ලබා දුන්නේ?

විශ්වාසභංගයේදී එතුමා ස්වාධීනව හිටියා කියලා හිතනවා. කාටවත් බලකරලා කිව්වේ නෑ විපක්ෂවත් පක්ෂවත් දෙන්න කියලා. අපේ අදහස නම් මේක ශ්‍රී.ල.නි.පයේ මතය. එතුමා කියලා තියෙනවා ගන්න තීරණයක් එතුමාගෙන් බැහැරව ගන්න කියලා.

ඒ කියන්නේ එ.ජා.පයයි ජනාධිපතිවරයයි අතර ගැටුමක් නෑ.

නෑ.. නෑ...

විශ්වාසභංගයේදී පක්ෂව ඡන්දය දෙන්න හිටිය අයව සල්ලි මලු සහ පොරොන්දු මත නවාගත්තා කියන එක ඇත්තද?

ඒක සම්පූර්ණ බොරු. සල්ලි මලු තියෙන්නේ එයාලා ගාවයි.. ඒ අය තමයි හොරකම් කළේ. ඒකනේ පළාත් පාලන මැතිවරණයේදී එක් අපේක්ෂකයකුට ලක්ෂ 05 ගානේ එයාලා බෙදුවේ. සල්ලි මලු ගැන දන්නේ එයාලා. එයාලා තමයි සල්ලි මලු දුන්නේ.

ඒත් සල්ලි මලු කෙසේවෙතත් ඔබලා දෙමළ ජාතික සන්ධාන සහාය ලබාගත්තේ පොරොන්දු පත්‍රයකට එකඟ වෙලා නේද?

එයාලා දේශපාලන පක්ෂයක්. එයාලා ජනතාවට වගකියන කණ්ඩායමක්. එයාලගේ පොඩි පොඩි ඉල්ලීම් ආවා අපි හැම ජන කොටසකටම ඉටු කළ යුතු දේවල්. කවුරු මොනවා කිව්වත් ඔය මුදල් කතා බොරු. දෙමළ ජාතික සන්ධානයේ ඉන්නේ ඉතා හොඳ මන්ත්‍රීවරු. ඔවුන්ව මුදලට ගන්න බෑ.

විශ්වාසභංගයේදී ඉදිරිපත් කළ කරුණු 14න් 13ක්ම බැඳුම්කර සිද්ධිය ගැන. ඇයි ආණ්ඩුවට මේ ප්‍රශ්නය විසඳන්න බැරි.

මීට වැඩිය මොනවා කරන්නද. අගමැතිවරයාව කොමිසන් සභාවෙන් පවා නිදොස් කරලා තියෙනවා. අගමැතිවරයා විෂය බාර අමාත්‍යවරයා හැටියට ඒ පාඩු වෙච්ච මුදල ආරක්ෂා කරගන්නත් කටයුතු කරලා තියෙනවා. ඉතින් මීට වඩා මොනවද? 

ඊට පස්සේ නීතිය ක්‍රියාත්මක කරන්න. ඔය පත්වීම ගැනත් ගැටලුවක් නෑනේ. සුදුසුකම්වලට වඩා සුදුසුකම් තිබ්බා කියලා දක්වලා තියෙනවා. ඕක නෙවෙයි ප්‍රශ්නය. 2008 ඉඳලා සිදුවෙච්චි බිලියන 4000 ගැන කතා කරන්නේ නෑ. ඒවට කොමිෂනුත් නෑ.

ඔබලා ඒ ගැන හොයන්න එපැයි. ඒක ඔබතුමාලගේ යුතුකමක්. එහෙම නොවීම නිසානේ මෙවැනි තත්ත්වයක් ආවේ.

ඒකටත් හේතු තියෙනවා. ඔය සමහර තැන්වලට ස්ථාන ගතකරලා තියෙන නිලධාරීන් රාජපක්ෂවරු විසින් ස්ථාන ගත කරපු අයනේ. සමහර දේවල් අපි ඉදිරියේදී වෙනස් කරනවා. ඇත්ත. සමහර දේවල් අපි රජයක් හැටියට අපි සිදුකළේ නෑ.
රාජපක්ෂවරුන්ගේ කට්ටිය හිටියා කියලා බේරෙන්න බෑනේ. ඔබලගේ ආණ්ඩුව මේක.

බෑ කියන්නේ ඇයි? රටේ නීති රීති තියෙනවා. අපිට බලපෑම් කරන්න බෑ. ඒවා තුළ අපි හැසිරෙන්න ඕන ක්‍රම තියෙනවා. සමහර දේවල් ගැන අපිට සැකයක් තියෙනවා.

රාජිත සේනාරත්න ඇමැතිවරයා කිව්වා හෙට ඉඳන් අලුත් ඇමැති මණ්ඩලයක් ඉන්නේ කියලා. ඇත්තද?

අලුත් ඇමැති මණ්ඩලයක් ගැන ජනාධිපතිතුමයි අගමැතිතුමයි තීරණය කරයි.

ඒකාබද්ධ විපක්ෂය කිව්වා ආණ්ඩුවට තුනෙන් දෙක අහිමි කළා කියලා. කොහොමද බහුතරය නැතුව ඉදිරියේ අණපනත් සම්මත කරගන්නේ?

ආණ්ඩුවේ තුනෙන් දෙක රැකිලා තියෙන්නේ. පිරිසක් අපිට සහය දක්වන්න ආවෙත් නෑ.  එහෙම බැලුවම 150ක් විතර ඉන්නවා.

ඒ කියන්නේ දෙමළ ජාතික සන්ධානයේ සහය දිගටම තියෙනවා..?

ඒ අයත් හොඳ දේවල්වලට උදව් කරයි. ඒ අයගේ සහයෝගයෙන් තමයි ජනාධිපති පත්වුණේ.

සුසිල් ප්‍රේමජයන්ත ඇමතිවරයා ආණ්ඩුවට විශාල චෝදනා වගයක් එල්ල කළා. ඒවා බරපතළයි.

එතුමටත් ඒ වගේ චෝදනා තියෙනවා. මන්ත්‍රීවරු කිව්වේ. ඕවා එළියේ කතා කරන්න කලින් කැබිනට් මණ්ඩලයේ කතා කරන්න කියලයි.

හැබැයි පළාත් පාලන මැතිවරණයෙන් පස්සේ ආණ්ඩුව හෙල්ලෙන්න ගත්තා. කවදාවත් එහෙම වුණේ නෑ.

ඒකටත් හේතුව ශ්‍රී.ල.නි.ප ඇමතිවරු. ඔවුන් කකුලෙන් ඇද්දා. වැඩ කරන්න දුන්නේ නෑ. ඔය වගේ බරපතළ ප්‍රශ්න රැසක් තිබ්බා. අපි හැබැයි ජනවාරි 08 ජනවරම රුකගත්තා. කොච්චර කයිය ගැහුවත් රාජපක්ෂලට 45%ක ඡන්ද ප්‍රමාණයක් ගන්න බැරි වුණානේ. කොහොම වුණත් අපි ඉදිරියේ අපේ ආණ්ඩුවක් හදනවා.

පසුගිය කාලේ කරේ අත දාගෙන හිටියට ආණ්ඩුව ඇතුළේ කචල්.

ඇතුළේ ප්‍රශ්න තිබ්බනේ. ඔය සංවර්ධන ව්‍යාපෘති සඳහා අගමැතිතුමා ගෙනාව යෝජනා ගොඩක් කල් ගියා. ඒ ඔය ශ්‍රී.ල.නි.ප ඇමතිවරුන්ගේ විවේචන නිසා. දැන් තමයි තේරෙන්නේ.

ඒ කියන්නේ හොරු රැක්කේ ආණ්ඩුවෙන්.

දන්නේ නෑ ඉතින්. අපිටත් ආරංචියි සමහර අය රැකලා තියෙනවා කියලා.

►ගයාන් ගාල්ලගේ
සේයාරුව I සුමුදු හේවාපතිරණ