2018 මාර්තු 31 වන සෙනසුරාදා

සූභූති හිමි හා සියම් කුමාර භික්ෂුව

 2018 මාර්තු 31 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 135

ලංකා බෞද්ධ පුනර්ජීවනයේදී සුවිශේෂී කාර්යභාරයක් ඉටුකළ යතිවරයාණ කෙනෙකි වස්කඩුවේ සුභූති නායක හිමියෝ. ඉන්දියාවේ පුරාවිද්‍යා කටයුතුවලදී කනිංහැම් නමැති පුරාවිද්‍යාඥයාට බොහෝසේ උපකාරීවූ උන්වහන්සේගේ සේවය පිළිබඳව පසුගිය ලිපියකින් මම සටහනක් තැබුවෙමි. උන්වහන්සේගේ ශාස්ත්‍රීය දැනුම නිසා අසෝක අධිරාජ්‍යයා හා වෙනත් බෞද්ධ නරපතියන් පිළිබඳ විස්තර හෙළි පෙහෙළි කර ගැනීමට කනිංහැම්ට පුළුවන් විය. එම උපදෙස මෙන්ම ජෝර්ජ් ටර්නර් විසින් ඉංග්‍රීසියට පරිවර්තනය කරන ලද මහාවංශයේ අඩංගු විස්තර භාරතයේ බෞද්ධ උරුමය පිළිබඳ අලුත් කරුණු රැසක් එළිදරව් කළේය. අසෝක අධිරාජ්‍ යා ගැන දැන් දැන් ලියැවුණ ග්‍රන්ථ මේ විස්තර සටහන් කර තිබේ. එපමණක් නොව නූතන බෞද්ධ ඉතිහාසය ගැන පොත් කීපයක් ලියා ඇති ආචාර්ය ආනන්ද ගුරුගේ ගේ කාර්යභාරය ද කෘතඥ පූර්වකව සඳහන් කළ හැකිය. උසස් ලේඛකයෙකු වූ ආනන්ද ගුරුගේ ගේ සේවය ගැන මනා තක්සේරැවක් ඉදිරිපත් වී නොමැති බව කනගාටුවෙන් ප්‍රකාශ කළ හැකිය.

වස්කඩුවේ සුභූති හිමියන්ගේ ශාස්ත්‍රීය දැනුම තායිලන්තයේ බෞද්ධ ප්‍රභූන්ගේ ගෞරවයට ලක්විය. මේ බව තහවුරු වන්නේ තායි රජ පවුලේ කෙනකු වූ ප්‍රිස්දා ජුම්සායි නමැති බුද්ධිමතා සුභූති හිමියන්ගේ ශිෂ්‍ය නමක් හැටියට ලංකාවේදී පැවිදි වූ හෙයිනි. උන්වහන්සේ “ජිනවරවංශ” යන නමින් අමරපුර නිකායට ඇතුළුවිය. කලක් සුභූති හිමියන්ගෙන් උපදෙස් ලබාගත් ජිනවරවංශ හිමියන් හෙවත් “ සියම් කුමාර හිමියන්” පසුව කොටහේනේ පිහිටුවන ලද අමරපුර නිකායට අයිති දීපදුත්තාරමයේ වැඩ සිටිසේක. සියම් ක්‍රමයට එහි විහාරයක් තනා ඇති නිසාත් සියම් කුමාර හිමි එහි පදිංචිව සිටි නිසාත් මෙම පන්සල සියම් පන්සල යනුවෙන් අදත් හඳුන්වනු ලබයි. දැන් බොහෝ කාලයක් තිස්සේ ක්‍රියාත්මක වන සියම් සම්ප්‍රදායක් තිබේ. එනම් ලංකාවට ගොඩ බසින සෑම සියම් රජෙකුම වැඳ පුදා ගැනීමට මෙම පන්සලට පැමිණීමත් එයට වටිනා තෑගි භෝග පිරි නැමීමත්ය. තවද වාර්ෂිකව කඨින පූජාවක් සියම් රජ පවුලේ දායකත්වයෙන් සිදු කෙරේ. පසුගියදා මියගිය අතුලතේජ භූමිපාල රජතුමා ද පාසල් දරුවකු හැටියට මෙම විහාරයට පැමිණි වැඳපුදා ගත් බව තහවුරැ කරන ඡායාරෑප එම පන්සල තුළ මා දැක ඇත. ලංකාවේ සියම් පන්සලත් තායි රජ පවුලත් අතර ඇති මේ සම්බන්ධතාවය නූතන ජාත්‍යන්තර බෞද්ධ සබඳතා අතර සුවිශේෂ තැනක් ගනී. 

දැනට මාසයකට පමණ පෙර බැංකොක් නුවර පිහිටි සුප්‍රසිද්ධ චූලාලොන්ග්කෝර්න් සරසවියේ දේශනයක් පැවැත්විණි. එහි මාතෘකාව වූයේ “ලංකා තායි සබඳතා” යන්නයි. මගේ දේශනයට අමතරව සුපුරුදු පරිදි මම බැංකොක්හි පිහිටා ඇති සියම් ශාස්ත්‍ර සංගමය හෙවත් “සියම් සොසයිටි” නමැති ශාස්ත්‍රාලයට ද ගියෙමි. එහිදී ඉතාම වැදගත් නිවේදනයක් කෙරෙහි මාගේ අවධානය යොමුවිය. එම නිවේදනයේ සඳහන් කර තිබුණේ ප්‍රිස්දං ජුම්සායිගේ (ජිනවරවංශ හිමි)  වටිනා පුස්තකාලයේ තිබූ පොත පත පිළියෙල කර ළඟදීම ප්‍රදර්ශනයට ඉදිරිපත් කරන බවයි.  විශාල උනන්දුවෙන් මෙම පොත් ප්‍රදර්ශනය ගැන කරැණු සෙවූ මට දැනගන්නට ලැබුණේ එම වටිනා පුස්තක දැන් සකස් වේගෙන යන බවත් තව මාස කීපයකින් ඒවා මහජනයාට දැන ගැනීම පිණිස ප්‍රදර්ශනය කරන බවත්ය. මේ ප්‍රදර්ශනය අප දෙරටේ බෞද්ධ ඉතිහාසය හදාරන අයට බොහෝ ප්‍රයෝජනවත් වන බව නොඅනුමානය. ජිනවරවංශ හිමියන්ගේ පොත පත තුළ නූතන බෞද්ධ ඉතිහාසයට වැදගත් කරැණු බොහෝමයක් සැඟවී ඇතැයි මට අනුමාන කළ හැකිය.

අනගාරික ධර්මපාලතුමා විසින් “සියම් කුමාර හිමියන්” හැටියට නම් කළ ජිනවරවංශ කවුද? ඔහු සියම් රජ පවුලේ සාමාජිකයකු වූයේ කෙසේද?  ප්‍රිස්දං ජුම්සායි සියම් රජවරයකු වූ තුන්වෙනි රාමාගේ පුත්‍රයෙකි. එනම් ලංකා බෞද්ධ පුනරුදයට බෙහෙවින් උපකාරී වූ මොංකුට් රජතුමාගේ මුණුබුරෙකි. කුඩා කලම ඔහුට බටහිර ඉංග්‍රීසි අධ්‍යාපනයක් ලබාදීම පිණිස එංගලන්තයට යවන ලදී. ඉන් ඉක්බිතිව ඔහු ලන්ඩන් නුවර සියම් තානාපති කාර්යාලයේ ප්‍රධානියකු වශයෙන් පත්කරන ලදී. මෙය බෞද්ධ ග්‍රන්ථ විභාග කිරීම හා ප්‍රකාශයට පත් කිරීමට එංගලන්තයේ දැඩි උනන්දුවක් තිබූ කාලයකි. පාලි පුස්තකමාලා නමින් රිස් ඩේවිඩ්ස් හා රොබර්ට් චාමර්ස් වැනි අය පාලි ග්‍රන්ථ ඉංග්‍රීසියට පෙරළා පොත් වශයෙන් ශාස්ත්‍රීය ලෝකයට සපයන ලදී. එකල එංගලන්තයේ විසූ බහුශ්‍රැතයෝ බොහෝ දෙනෙක් මේ පාළි පුස්තකමාලා නිසා බුද්ධාගම ගැන මහා දැනුමක් ලබා ගත්හ. ඔවුන් අතර ශ්‍රේෂ්ඨ පඬිවරයකු වූ මැක්ස් මුලර් ද විය.

සියම් රජවරුන්ට බිරින්දෑවරු සමූහයක් සිටියෝය. දරුවෝ සිය ගණනක් සිටියෝය.  ජිනවරවංශ ද එවන් දරුවෙකි. නමුත් මේ යුගයේ සුවිශේෂ ලකුණක් වූයේ එකී විශාල දරු පිරිස අතර වාදභේද හා ඊර්ෂ්‍යාකම් ඇතිවීමයි. මේ බලු පොරයෙන් හෙම්බත් වූ සියම් කුමාරයා වස්කඩුවේ සුභූති හිමියන් සමඟ බුද්ධාගම පිළිබඳ ලිපි හුවමාරු කරගත්තේය. මෙම සම්බන්ධය කෙළවර වූයේ නායක හිමියන්ට වියට්නාමයේ සයිගොන් නුවර (වර්තමානයේ හෝචිමින් නගරය) සිට ලිපියක් එවමින් අමරපුර නිකායේ භික්ෂුවක ලෙස පැවදිවීමට අවසර ඉල්ලා සිටිමෙනි. සුභූති හිමියන් ද මෙම යෝජනාවට කැමැත්ත දැක්වූයෙන් සියම් රජ පවුලේ වැදගතකු මෙන්ම දක්ෂ තානාපතිවරයකු වූ කුමාරයා ලංකාවට පැමිණ ජිනවරවංශ නමින් කොළඹ දී සසුන් ගතවිය.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00