2018 මාර්තු 31 වන සෙනසුරාදා

ජෝකර් වැඩ

 2018 මාර්තු 31 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 65

මස්කෙළිය ප්‍රාදේශීය සභාවට නව සභාපතිවරයකු පත් කර ගැනීම සඳහා පැවැති රැස්වීම අවසානයේ කෙළවර වී තිබුණේ අලි ගුටි කෙළියකිනි. එහි උණුසුම කොතරම්ද යන්න අදාළ සිද්ධිය රූපවාහිනී සහ වෙබ් මාධ්‍ය ඔස්සේ සජීවී ආකාරයෙන් දැනගැනීමට මේ රටේ ජනතාවට හැකි විය. එය පසුගිය පළාත් පාලන මැතිවරණයේ පසු කම්පනවලින් එකක් පමණක් බව සඳහන් කිරීම ප්‍රමාණවත්ය.

සාමාන්‍යයෙන් පසු කම්පන ඇතිවන්නේ භූමිකම්පාවකින් පසුවය. අපේ රටේ පසුගිය දිනවල භූමිකම්පාවක් නම් තිබුණේ නැත. එහෙත් වරින්වර කල් දැමුණු පළාත් පාලන ඡන්දය නම් පැවැත්විණි. එය රටේ දේශපාලන කරළිය තුළ භූමිකම්පාවක් බවට පෙරළී තිබෙන බව මේ සිදුවීම්වලින් පැහැදිලිය. මස්කෙළියේ සිදු වූ මළ කෙළිය පසුකම්පනයක් බව අප ප්‍රකාශ කරන්නේ එබැවිනි. එපමණක් නොවේ. හම්බන්තොට මහ නගර සභාවේ මුල්ම රැස්වීම් වාරයට මන්ත්‍රීවරැන් 11ක් නොපැමිණීම නිසා එම රැස්වීම පැවැත්වීමට අවශ්‍ය ගණ පූරණය නොමැති විය. මේ නිසා සභාව කල් තැබීමට සිදු වූ අතර හම්බන්තොට මහ නගර සභාවට නගරාධිපතිවරයකු පත්කර ගැනීමට තව මාසයක් බලා සිටීමට සිදුවනු ඇත.

ඡන්දයක් දේශපාලන භූමිකම්පාවක් බවට පත් වී ඇත්තේ කාගේ වරදකින්ද? මෙයට පිළිතුරැ දීමට හැකියාවක් තිබුණත් මෙහිදී වඩාත්ම වැදගත් වන්නේ එහි වින්දිතයන් බවට පත් වන්නේ ඡන්දය දුන් මහජනතාව වීමය. පළාත් පාලන ඡන්දය මොනතරම් අපභ්‍රංසයක් වීද යත් ඇතැම් පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්, නගරාධිපතිවරුන් පත් වෙන්නේ එම ආයතනය ජයග්‍රහණය කළ පක්ෂයෙන් නොවේ. තවත් ආයතනවල ඡන්දයෙන් පරාජය වූ අපේක්ෂකයෝ ලිස්ට් එකෙන් මන්ත්‍රීවරු බවට පත්ව සිටිති. තවත් සමහර ආයතනවල ප්‍රධානීන් පත්වෙන්නේ සල්ලි මලු විසි කිරීමෙන් ලබාගන්නා සහ නිශ්ක්‍රීය  කෙරෙන ඡන්දවල අනුහසිනි. අරණායක සභාපති තේරීමේ රහස් ඡන්දයේදී තමන්ට රැපියල් ලක්ෂ 2ක මුදලක් අල්ලස් වශයෙන් ලබාදුන් බව එක් මන්ත්‍රීවරියක් පවසන්නීය. ඇය මේ බව ප්‍රකාශ කළේ හොර රහසේ නොව මාධ්‍ය සාකච්ඡාවක් තබා ප්‍රසිද්ධියේමය. මේවා පසු කම්පන වශයෙන් හැඳින්වීමට පවා තරම් නොවන බව අපගේ වැටහීමය. ඡන්දයක ප්‍රතිඵලය මේ තරම් නෝන්ජල් වූ අවස්ථාවක් මින් පෙර නොතිබූ බව නම් ඉතාම පැහැදිලිය.

අලුත් ඡන්ද ක්‍රමයේ ප්‍රායෝගික ගැටලු රාශියක් පැවති බව මැතිවරණ කොමිසම ඡන්දය පැවැත්වීමට පෙර සිටම කියා සිටියේය. ඒවා නිරාකරණය කර ගැනීම පිණිස ඔවුන් උත්සාහයන් ගණනාවක් දැරෑ බවද මේ ගැටලු විසඳාගත් බවද පසුව දැනගන්නට ලැබිණි. නමුත් නොවිසඳූ ප්‍රශ්න රාශියක් ඇති බව ඡන්දය පැවැත්වීමෙන් පසුව ප්‍රතිඵල නිකුත් වීමේ ප්‍රමාදයේ පටන්ම අද දක්වාම පවතින මහා වියවුල් සහගත තත්ත්වයෙන් පෙනී යයි. 

පළාත් පාලන නව පනත යටතේ පවත්වන ඡන්දයෙන් කිසිම පක්ෂයකට පැහැදිලි බහුතරයක් ලබා ගැනීමට නොහැකි වනු ඇතැයි ඡන්දයට පෙර සිටම බොහෝ විද්වත්හු පෙන්වා දුන්හ. නිසි බලධරයන් කිසිවකුත් ඊට කන් දුන් බවක් නොපෙනිණි. නැතහොත් ඊට වඩා බරපතළ ගැටලු ඔවුන්ට තිබෙන්නට ඇත. නමුත් මේ කටයුතු සිදුවන ආකාරයට හැඟෙන්නේ සිතාමතාම ඡන්දය අච්චාරුවක් බවට පත් වීම බලාපොරොත්තුවෙන් සමහරැන් කටයුතු කර ඇති බවකි. ඡන්දය පවත්වා මාස දෙකකට කිට්ටු කාලයක් ගත වෙද්දීත් එහි පාලනය පිහිටුවා ගැනීමට අසමත් වීම ජනතාවගේ අසමත්කමක් නම් නොවේ. මේ සිදුවෙන්නේ පාලකයන්ගේ වරදින් ජනතාවට දුක් විඳින්නට සිදුවීම මිස වෙනකක් නොවේ.

ඡන්දය පැවැත්වූ පළාත් පාලන ආයතන අතුරින් අඩක් පමණ මේ තත්ත්වයට මුහුණ පා සිටී. ඇති වී තිබෙන ගුටි කෙළ ගැනීම්, අල්ලස් ගැනීම්, ගණ පූරණය නොමැති වීම වැනි අස්වාභාවික සිදුවීම් හේතුවෙන් හරියට පිහිටුවාගෙන තිබෙන ආයතනවල පාලනය ද හොඳින් කරගෙන යාමට බාධා ඇති විය හැකි බවත් සියලු දෙනා තේරැම් ගත යුතුය. කෝටි 300ක් වියදම් කර පැවැත්වූ ඡන්දයේ අවසන් ප්‍රතිඵලය මෙසේ නම් එම මුදලින් වසර පුරාම කාක්කන්ට ආප්ප අරන් දුන්නා නම් මීට වඩා ප්‍රයෝජනවත් යැයි රටේ ජනතාව තව ටික දවසකින්ම කියන්නට ඉඩ තිබේ.

මෙහිදී ඇසිය යුතු තවත් ප්‍රශ්නයක් වන්නේ මේ තරම් කුඩා රටක පළාත් පාලනය සඳහා මන්ත්‍රීවරැන් අටදාහකට අධික සංඛ්‍යාවක් පත් කර ගැනීමේ තේරුම කුමක්ද යන්නය. තවමත් හරිහැටි පාලනය පිහිටුවා ගැනීමට නොහැකි ආයතන රට පුරා පැවතීමෙන් අපට පෙනෙන්නේ කලින් සිටි මන්ත්‍රීන් සංඛ්‍යාව ඒ සඳහා ඉහටත් උඩින් ප්‍රමාණවත් බවය. පළාතට, ප්‍රදේශයට අවංකව සේවය කළ හැකි සුළු පිරිසක් පත් කරගැනීම අල්ලස් ලබා දී, ගුටි ඇනගෙන පත්වෙන සභාපතිලා, නගරාධිපතිලා බිහි වෙනවාට වඩා ප්‍රයෝජනවත්ය. එවැනි ක්‍රමයකට මගපෑදූ සියලු මැති ඇමැතිවරැ මේ වැරුද්දේ වගකීම භාරගත යුතුය. රටේ ඡන්ද ක්‍රමය රටත් ලෝකයත් හිනස්සන වැඩක් බවට පත් කිරීම සමාව දිය හැකි වරදක් නොවේ. නමුත් කරුමය  නම් මේ වැරුදි කවදාවත් ඔවුන් වැරදි හැටියට නොදැකීමය.