2018 මාර්තු 24 වන සෙනසුරාදා

කාමරේ අලියෙක්

 2018 මාර්තු 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 92

වත්මන් ආණ්ඩුව බලයට පත්වූ වහාම රටේ මහජනතාව තුළ කාර් සිහිනයක් මවනු ලැබීය. මෝටර් සයිකලය, ත්‍රීවිලරය වෙනුවට තමන්ගේම කාර් එකක් දැරිය හැකි මිලකට ලබාදීමට ආණ්ඩුව පොරොන්දුවක් ලබාදීම ඊට හේතුව විය.

විශේෂයෙන් ධාරිතාව අඩු කුඩා මෝටර් රථවලට අය කළ බදු අඩුකිරීම නිසා එවැනි වාහන ලියාපදිංචිය එකවර ඉහළ ගියේය. ඒ සමඟ තෙල් මිල ද අඩුවීම වාහන අලුතෙන් මිලදීගත් අයටත් කලින් සිටම තමන්ගේ වාහන පාවිච්චි කළ අයටත් මහත් සහනයක් විය. එහෙත් අද ඒ සියල්ල කනපිට පෙරළෙමින් තිබේ. ජනතාවගේ සිහින එකින් එක බිඳවැටෙමින් තිබේ.

ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති රන්ජන් පීරිස් මහතා අපගේ සහෝදර (ලංකාදීප) පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ වෙළෙඳපොළේ වාහන මිල ගණන් ඉහළ ගොස් තිබෙන බවය. රුපියලට සාපේක්ෂව අමෙරිකානු ඩොලරය ඇතුළු අනෙකුත් විදේශීය මුදල්වල අගය ඉහළ යාම ඊට හේතුව වී තිබේ. ඩොලරයට අමතරව ජපන් යෙන්, ස්ටර්ලින් පවුම් ඉහළ යාම නිසා වාහන මිල පාලනය කර ගැනීම අපහසු වී ඇති බවත් ඉදිරියේදී එම මිල ගණන් තවත් වැඩි විය හැකි බවටත් ඔහු අනතුරු අඟවා තිබිණි. මේ හේතුවෙන් රජයේ බදු සහන ලැබූ වාහනවල මිල ගණන් ද දැන් පෙර පැවැති මිලට හෝ ඊටත් ඉහළට හෝ ගොස් තිබෙන බව දැකිය හැකිය.

වාහන මිල ගණන් කතා කරන විට අපේ ජනතාවට වඩාත් අදාළ වන්නේ ඩොලරය නොව ජපන් යෙන් ය. යෙන් එකක ගාණේ හැටියට දැන් ජපානයෙන් වාහනයක් ගෙන්වා ගැනීම යනු අත්හළ යුතු අවශ්‍යතාවක් බවට පත්වෙමින් තිබේ. එය එසේ නොවිය යුතුව තිබිණි. නමුත් ආණ්ඩුවේ අයහපත් ආර්ථික කළමනාකරණයේ එක් ඍජු ප්‍රතිඵලයක් වී තිබෙන්නේ ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටුකිරීමට ආණ්ඩුව අසමත් වී තිබීමය. කාර් මිල ඉහළ යාමද එහි එක් අංශයකි. ජනතාව තුළ බලාපොරොත්තු ඇතිකර පසුව ඒ පිළිබඳව කිසිදු සැලකිල්ලක් නොදක්වා කටයුතු කිරීම කනගාටුවකි. ජනතාව කලකිරීමට පත් කරවන්නකි.

මේ අව් අස්සේ කොරේ පිටට මරේ කිව්වාක් මෙන් අප්‍රේල් 1 වැනිදායින් පසුව වාහන හිමියන්ට අලුතෙන් බද්දක් වැදීමට ද නියමිතය. ඒ අනුව වාහනයේ ලයිසන් ගාස්තුව පවා තුනෙන් එකකින්, එනම් සීයට 30කට අධික ප්‍රමාණයකින් වැඩිවනු ඇත. එය කාබන් බද්දක් වශයෙන් අයකරගනු ලබන බවද ප්‍රකාශිතය. කාර් හිමියන්ගෙන් කාබන් බද්දක් අයකර ගන්නවා නම් ඒ මගින් එකතු වන මුදල් යෙදවිය යුත්තේ වාහන නිසා සිදුවන පරිසර දූෂණය අවම කිරීමේ කටයුතුවලටය. එහෙත් මේ බදු හරහා ජනතාවගෙන් ලබාගන්නා බද්ද කිසිමදාක එවැනි කාර්යයකට යොදවා නොගන්නා බව කැට තබා කිවහැකිය. එහෙම ක්‍රමානුකූලව වැඩ සිද්ධවුණා නම් අපේ රට අද මේ තරම් ආර්ථික ආගාධයකට වැටෙන්නේ ද නැත.

රුපියල බාල්දු වීමේ එකම ප්‍රතිවිපාකය වාහන ගෙන්වීම අඩාල වීම, බදු වැඩිවීම පමණක් නොවේ. සියලුම ආනයනික භාණ්ඩ සඳහා මේ බර එකතු වෙයි. බෙහෙත්වලටද එසේය. අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවලටද එසේමය. ලංකාව ඇතුළත නිෂ්පාදනය කෙරෙන භාණ්ඩ සඳහා පිටරටින් ගෙන්වාගත යුතු අමුද්‍රව්‍යවලටද බලපාන්නේ මේ තත්ත්වයමය. ඒ අතර බිත්තර වැනි රට තුළ ප්‍රමාණවත් නිෂ්පාදනයක් ඇති භාණ්ඩ ද මැති ඇමැති අනුහසින් ආනයනය කෙරේ. ඒවාටද විදේශ විනිමය වැයකොට අලුතෙන් බදු පැනවූ විට රට තුළ නිපදවෙන භාණ්ඩවල මිල ගණන් ද ඉහළ යාම වැළැක්විය නොහැක. මේ මිල නැගීම් නහයටත් උඩින් යාමට පෙර වළක්වා ගැනීමට ආණ්ඩුව අපොහොසත් වුවොත් එයින් පොදු මහජනතාවට තවත් බැටකන්නට සිදුවීම නියතයකි. එසේ පීඩනයට ලක්වන ජනතාව පෙරළා බැටදෙනු ඇත්තේ කාටද යන්න ද නියතයක් බවත් තේරුම් ගත යුතුය.

දැන් රටේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි පසුගියදා අපූරු ප්‍රකාශයක් කර තිබිණි. රටේ දැන් පවතින්නේ “කාමරය ඇතුළේ අලියෙක්” ඉන්න තත්ත්වයක් බවත් සියල්ලටම වඩා දැන් වැදගත් වන්නේ රට තුළ දේශපාලන ස්ථාවරභාවය හැකි ඉක්මනින් ඇති කිරීම බවත් ඔහුගේ එම ප්‍රකාශයේ සඳහන් විය. දේශපාලන ස්ථාවරභාවයක් නොමැතිව ආර්ථිකය ඉදිරියට යන කිසිදු රටක් තමා දැක නොමැති බවද ඔහු සඳහන් කර තිබිණි. අපට කියන්න තිබෙන්නේත් ඒ ටිකමය.

කෙසේ වුවත් මහ බැංකු අධිපතිවරයා එම කතාව කියන දවසට වඩා දැන් තත්ත්වය තවත් සංකීර්ණ බවට පෙරැළී තිබේ. එනම් තිබුණාටත් වඩා අස්ථාවර තත්ත්වයකට රට වැටී තිබේ. අගමැතිට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය මගින් විශ්වාසභංග යෝජනාවක් බාරදීම ඊට හේතුවය. මේ තත්ත්වයෙන් හැකි ඉක්මනින් ගොඩ ඒමට ආණ්ඩුව වහාම ක්‍රියා කිරීම අවශ්‍යය. ආණ්ඩුව බලයට පත්ව සිටින්නේ තම තමන්ගේ දේශපාලන ප්‍රශ්නවල එල්ලී සිටිමින් ඒවා විසඳාගැනීමට නොවේ. ජනතාවගේ ප්‍රශ්න විසඳා දීමටය. දැනට නම් පෙනෙන්න තිබෙන්නේ ආණ්ඩුවේ නායකයන්ට නම් රටේ ජනතාවගේ ප්‍රශ්න එකක්වත් නොපෙනෙන බවය. නැත්නම් වැඩ අවුල් වී රුපියල මෙතරම් කඩාවැටෙන්නට ඉඩක් නැත.
අපට දැනෙන හැටියට රට තුළ පැනනැගී තිබෙන ව්‍යාකූල තත්ත්වය ඉදිරියේදී තවත් බැරෑරුම් අතට හැරෙනු ඇත. අවිනිශ්චිත, අස්ථාවර බවක් තුළ රාජ්‍ය යාන්ත්‍රණයම කිසියම් අකර්මණ්‍ය වීමකට ලක්වීම බලාපොරොත්තු විය යුතුය. රජය වහාම මේ තත්ත්වයෙන් රට ගලවාගැනීමට කටයුතු කළ යුතු අතර ඒ සඳහා විපක්ෂ කණ්ඩායම්වල සහාය ලබාදීම ද අවශ්‍යය. ඉදිරියේදී තමන් බලයට පත්වන විට පාලනය කිරීම සඳහා රටක් තිබිය යුතු බව විපක්ෂය ද අමතක නොකළ යුතුය.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00