2018 මාර්තු 17 වන සෙනසුරාදා

වල්ගෙ පාගා ගැනීම

 2018 මාර්තු 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 229

මේ රටේ නිදහස ලබා ගෙවුණු වසර හැත්තෑව තුළම වරින්වර වාර්ගික සහ ආගමික ගැටුම් ඇතිවිය. නිදහස ලැබීමට පෙරද එවැනි ගැටුම් අතීතයේ සිටම වාර්තා වුවද රටේ වඩාත්ම අවධානය යොමුවන්නේ නිදහසින් පසුව ඇතිවූ ගැටුම්ය. රටට නිදහස ලබාගැනීමේ සටනට සිංහල බෞද්ධ නායකයන් සමඟ දමිළ හින්දු සහ මුස්ලිම් ඉස්ලාම් ජන නායකයන් ද එක්ව සිටීමත් පසු කාලයක දේශපාලන බලය හේතුවෙන් මේ ඇතැම් නායකයන් අතර විරසකකම් ඇතිවීමත් අරගලවලට පාර කැපුවේය. පසුගිය සතියේ අප දුටුවේ එම අරගලවලම කොටසක්දැයි හරිහැටි කිව නොහැකිය. එහෙත් නිසැකවම දේශපාලනික කාරණා හේතුවෙන් එම ගැටුම් ඉක්මනින් අවසන් කරගැනීමට තිබූ අවස්ථාව අහුරා දැමූ බව නම් පෙනෙන්නට තිබේ.

නිදහස ලැබීමෙන් පසුව මේ රටේ භයානකම වාර්ගික සටන වූයේ 83 කළුජූලියෙන් පසුව ඇතිවූ යුද්ධයයි. එම යුද්ධය පැවැති කාලසීමාවේදී සිංහල - මුස්ලිම් ගැටුම් ඇති නොවූ බව පැහැදිලිව පෙනෙයි. ත්‍රස්තවාදී යුද්ධයේ බිහිසුණු සහ බියකරු බව මේ රටේ සියලු ජන වර්ග වෙලාගෙන තිබීම ඊට හේතුවක් වන්නට ඇත. වෙනෙකක් තබා උතුරෙන් මුස්ලිම් ජනතාව අනුකම්පා විරහිතව පැය 24ක නියෝගයකින් එළවාදැමූ අවස්ථාවේදී වුවද, ඒ වෙනුවෙන් හඬ නැගීමට රටේ කිසිදු මුස්ලිම් සංවිධානයක් ඉදිරියට පැමිණ සටන් කළේ නැත. ඔවුන් එම එළවාදැමීමට එරෙහිව සියලු විරෝධතා පැවැත්වූයේ මාධ්‍ය සාකච්ඡා තැබුවේ දකුණේ ඉඳගෙනය. උතුරින් එළවාදැමුණු පිරිස් යුද්ධය අවසන් වන තුරැම වැඩිපුරම රැඳී සිටියේ පුත්තලම දිස්ත්‍රික්කයේ තාවකාලික කඳවුරුවලය. ඇතැම් මුස්ලිම් නායකයන් ඒ කාලයේ පුත්තලමට පවා ගියේ දැඩි ආරක්ෂක රැකවල් දමාගෙනය. උතුරින් අවතැන් වූ මුස්ලිම් ජනතාවට ආපසු යාමට ලැබුණේ යුද්ධයෙන් පසුවය. ඔවුන් බහුලව කතා කරන භාෂාව දමිළ වුවද කොටි ත්‍රස්තවාදීන්ගෙන් හෝ එකල සිටි දමිළ දේශපාලන නායකයන්ගෙන් හෝ කිසිම බුරැලක් ලැබුණේ නැත. කෙසේ වුවද සිංහල සහ මුස්ලිම් අන්තවාදී කොටස් ද ඒ කාලයේ නිහඬව සිටියත් යුද්ධයෙන් පසුව තත්ත්වය වෙනස් විය.

යුද්ධයෙන් පසුව ගෙවීගිය කාලය තුළදී මේ වන විට සිංහල - මුස්ලිම් ගැටුම් 5 ක් සිදුව තිබේ. මේ ගැටුම් ප්‍රචණ්ඩකාරී ඒවා විය. සිංහල අන්තවාදී සුළු පිරිසක් මගින් විවිධ අරමුණු ඇතිව දියත් කරන ලද මුස්ලිම් විරෝධී ගැටුම් හේතුවෙන් මුස්ලිම් ජාතිකයන්ට අයත් බොහොමයක් දේපොළවලට හානි සිදුවිය. 2014 වසරේ ජූනි මාසයේ දී අලුත්ගම සහ බේරැවල සිදුවූ ගැටුම් මේ අතරින් කෙටිම කාලයක් තුළ විශාල ජීවිත හා දේපොළ හානියක් සිදුකළ ගැටුම වශයෙන් කැපීපෙනෙයි. එය දින ගණනාවක් ඇදී යා නොදී වළක්වා ගැනීමට එවකට සිටි රාජපක්ෂ ආණ්ඩුව සමත් වුවත් එම ගැටුමේ එක ප්‍රතිඵලයක් වූයේ රටේ මුස්ලිම් ප්‍රජාවගේ බහුතරයේ ඡන්දය ජනාධිපතිවරණයේදී මහින්දට අහිමි වීමය. බොදුබල සේනාව මූලිකව ඇතිකරමින් තිබූ ආවේගකාරී දේශපාලන වටපිටාව මගින් එම ගැටුම සිදුවන විටද මුස්ලිම් ඡන්ද මහින්දගෙන් ඈත් කරනු ලැබ තිබුණි. මුස්ලිම් ඡන්ද බහුතරයේ සහයෝගය ලැබුණේ පොදු අපේක්ෂකයා වූ මෛත්‍රීපාලටය.

ඉන් පසුව මහියංගණය, ගිංතොට සහ අම්පාර අඩු මට්ටමේ ගැටුම් තුනකට මඟ පෑදුවේය. එහි අවසන් ගැටුම දිගනින් පටන්ගෙන මහනුවර දිසාවේ තෙල්දෙණිය ඇතුළු ප්‍රදේශ ගණනාවක පැතිරගිය අතර අවම වශයෙන් ජීවිත දෙකකට හානි සිදුවිය. දේපොළ සහ ආගමික ස්ථානවලට සිදුව තිබූ හානිය ඉතා බරපතළය. ඒ ප්‍රමාණය කොතරම්දැයි වන්දි ගෙවීමේ කටයුතු අවසන් වීමෙන් පසුව දැනගත හැකිවනු ඇත.

මෙම ගැටුම් බැලූ බැල්මට සිංහල ජනයා විසින් මුස්ලිම් ජාතිකයන්ට එරෙහිව සිදුවූවක් බව පෙනීගියද එය සැබෑ තත්ත්වය නොවේ. සිංහල අතිබහුතරය මෙවැනි ගැටුම්වලට සම්බන්ධ නැත. ඔවුහු මේවා ගැන විරෝධය පානවා පමණක් නොව ගැටුම් ඇතිවූ ප්‍රදේශවල මුස්ලිම් ජාතික පවුල්වලට රැකවරණ ලබාදීමටද ඉදිරිපත් වූහ. ඇතැම් මුස්ලිම් පවුල්වලට ආරක්ෂාව සැලසුණේ පන්සල් වලිනි. ගැටුම් ඇතිවූ සතියේ සිකුරාදා දහවල් මුස්ලිම් පල්ලිවල සුපුරැදු යාච්ඥා කාලසීමාවේදී මුස්ලිම් ජාතිකයන් පල්ලිවලට කැඳවාගෙන යාමට ඒ ඒ ප්‍රදේශවල පන්සල්වල ස්වාමීන් වහන්සේලාද ඉදිරිපත්ව සිටියහ. මේ ගැටුම සිංහල - බෞද්ධ සහ මුස්ලිම් ඉස්ලාම් ගැටුමක් නම් එසේ විය හැකිද? යාච්ඥා සඳහා පල්ලියට යාමට බියෙන් සිටි මුස්ලිම් ජනතාවගේ එම බිය නැති කිරීමට ක්‍රියා කිරීම මෛත්‍රිය දැක්වීමක් මිස වෛරය පෙන්වීමක් නොවේ. වෛරය පවතින්නේ අතලොස්සක් අතර පමණය. එම වෛරය සමාජ ජාලා හරහා සමාජගත කිරීම ද සිදුකරන්නේ සුළු පිරිසක් විසිනි. එහෙත් එය ලක්ෂ සංඛ්‍යාත පිරිසකගේ අවධානයට ලක්වෙයි. මහනුවර තදින්ම ඇවිලී ගියේ සමාජ මාධ්‍ය ජාලාවලින් සැපයුණු ඉන්ධන හේතුවෙන් බව පැහැදිලිය. නමුත් එසේ වූ පමණින් සමාජ මාධ්‍ය වාරණයකට හසුකිරීම නිවැරුදිම පියවර නොවේ. තාවකාලිකව තත්ත්වය පාලනය කිරීමෙන් පසුව ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාලා තහනම ඉවත් කිරීමට ආණ්ඩුව කටයුතු කිරීම ඒ අනුව යහපත් පියවරකි. ඒකාබද්ධ විපක්ෂය නම් කිව්වේ මේ හදන්නේ ආණ්ඩුව තමන්ට විරුද්ධව ක්‍රියාත්මක වන සමාජ මාධ්‍ය ජාලා වසාදැමීමට බවය.

කෙසේ වුවද ෆේස්බුක් තහනම ආණ්ඩුවට එරෙහිව ප්‍රබල සටන් පාඨයක් බවට පත්කර ගැනීමට ඒකාබද්ධ විපක්ෂය ක්‍රියා කළ බව නම් පැහැදිලි විය. පසුගිය 2015 ජනාධිපතිවරණයේදී සමාජ මාධ්‍ය ජාලා මගින් ගෙන යන ලද මහින්ද විරෝධී ප්‍රචාරක යාන්ත්‍රණය ඔවුන්ගේ සිත්වලට තදින්ම කාවැදී තිබෙන බවට එම සටන් පාඨ හොඳම උදාහරණයක් විය. නමුත් ඒකාබද්ධ විපක්ෂය තේරුම්ගත යුත්තේ සමාජ මාධ්‍ය ජාලා ප්‍රචාරයක් මගින් පමණක් රටක ජනමතයට බලපෑම් කළ නොහැකි බවය. ජාතිවාදී, ආගම්වාදී අන්තවාදී අදහස් පැතිරවීමේදී සමාජ මාධ්‍ය ජාලාවලට තීරණාත්මක ලෙස බලපෑම් කළ හැකි වුවද දේශපාලනයේදී එය වෙනස් වන බවට ඕනෑ තරම් උදාහරණ තිබේ. මෙහිදී තේරුම්ගත යුත්තේ කිසියම් ආකාරයකින් රටට යහපත් ලෙස ජනතාවගේ උවමනා එපාකම් පිළිබඳ අවබෝධයකින් පාලනය ගෙන යන ආණ්ඩුවකට එරෙහිව සමාජ මාධ්‍ය ජාලවලට කළ හැකි බලපෑම ඉතාම අල්ප බවය. නමුත් ආණ්ඩුවක් ජනප්‍රියත්වයෙන් පිරිහෙන විට, ජනතා විරෝධී වැඩ කරන විට, ආණ්ඩුවේ වැඩ ජනතාවගෙන් බහුතරයකට එපාවෙන විට සමාජ මාධ්‍ය ජාලා උපරිම ක්‍රියාකාරී බලවේගයක් බවට පත්වෙයි. 2015 ජනවාරි 08 වැනිදා මහින්ද පරාජය වී මෛත්‍රීපාල දිනුවේ සමාජ මාධ්‍ය ජාලා මගින් ඇති කරන ලද විප්ලවය හේතුවෙන් යැයි කිසියම් දේශපාලන පක්ෂයක් කල්පනා කරන්නේ නම් එය නිසැකවම පොට වරද්දා ගැනීමකි. මීට හොඳම උදාහරණයක් බොදුබල සේනාවෙන්ම පෙන්වාදිය හැකිය.

බොදුබල සේනාවට නායකත්වය දෙන ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ඇතැම් දේශපාලන නායකයන්ගේ සිතිවිල්ල වී තිබුණේ රටේ සිංහල බෞද්ධ බහුතරයේ පිළිගැනීමට උන්වහන්සේ ලක්ව සිටින බවය. ඒ හිමියන්ගේ නොයෙක් ක්‍රියාකාරකම් ඒ දවස්වල සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ඔසොවා තබන අවස්ථා තිබුණේය. ඇතැම් මාධ්‍ය ජාලාවලට ගලගොඩඅත්තේ හාමුදුරැවෝ හොඳ &හිට්* එකක් වී තිබුණි. උන්වහන්සේ අලුත්ගම - බේරැවල ගැටුම්වලින් වසරකට පසුව එළඹුණු 2015 අගෝස්තු මැතිවරණයේදී කළුතරින් තරග කළහ. බොදුබල සේනාව ද ඡන්දයට ඉදිරිපත්ව සිටියේය. සිංහල බෞද්ධ ජනගහණය 70.4%ක් වන ඡන්දදායකයන්ගෙන් බොදුබල සේනාවට ලැබී තිබුණේ ඡන්ද 22,377 ක් පමණි. කළුතර දිස්ත්‍රික්කයෙන්ම ඥානසාර හාමුදුරැවන්ට ලැබී තිබුණේ මනාප 5,727 ක් පමණි. මෙය අන්තගාමීත්වය මුළුමනින්ම සිංහල බෞද්ධයන් විසින්ම ප්‍රතික්ෂේප කිරීමක් නොවන්නේද? දිස්ත්‍රික්ක 16කින්ම ඔවුන්ට ලැබී තිබුණේ 0.18%ක් පමණි. රටේ ජනමතය සහ අන්තගාමීත්වය අතර වෙනසක තරම මෙම ප්‍රතිඵලවලින් හොඳින්ම පෙන්නුම් කරයි. අඩුම වශයෙන් ෆේස්බුක් හරහා බොදුබල සේනාවේ ක්‍රියාකාරීත්වයට ලැබී තිබූ ලයික් ප්‍රමාණය හෝ එම ඡන්ද ප්‍රතිශතයෙන් පිළිඹිඹු වී නොතිබිණි. ෆේස්බුක් වැනි මාධ්‍ය ජාලා වැරදියට යොදාගැනීමෙන් රටවල් ගිනිතැබිය හැකිය. එහෙත් රටක ජනතාවගේ කැමැත්ත දිනාගත නොහැකිය. මේ බව ඒකාබද්ධ විපක්ෂය තේරැම් ගත යුතුය.

ඒකාබද්ධ විපක්ෂය පමණක් නොව ආණ්ඩුවද ෆේස්බුක් මිත්‍යාවෙන් බැහැරවීමට කැමැත්තක් නොදක්වන බව පසුගිය දිනවල කියුම් කෙරැම්වලින් පැහැදිලි වී තිබුණි. ආණ්ඩුව එම ගැටුම් වළක්වා ගැනීමට ක්ෂණිකව ක්‍රියාත්මක නොවීමේ හේතු කාරණා සෙවීම පසෙක තබා වැඩිපුර කාලය වැය කළේ ෆේස්බුක් ඇතුළු මාධ්‍ය ජාලා වාරණය කිරීමටය. ඒකාබද්ධ විපක්ෂය ද කළේ වාර්ගික - ආගමික ගැටුම්වලින් රටට සිදුවන හානිය ගැන කතා කිරීමෙන් වැළකී ආණ්ඩුව තමන්ට එරෙහිව නැගෙන මහජන විරෝධය මැඩපවත්වා ගැනීමට ෆේස්බුක් තහනම් කිරීමට යන බව කියමින් ආණ්ඩුවට පහර ගැසීමය. මේ දෙපිරිසම රටේ අතිබහුතර සිංහල - බෞද්ධ සහ මුස්ලිම් - ඉස්ලාම් ජනතාවගේ ඕනෑ එපාකම් අමතක කරදමා ආත්මාර්ථකාමී ලෙස දේශපාලන න්‍යාය පත්‍ර මත කටයුතු කිරීම අවාසනාවකි.

මේ ගෙවීගිය සති කිහිපය තුළ රටේ ජනතාවගේ ප්‍රශ්න අමතක වීම ආණ්ඩුවට නම් තාවකාලිකව යම් අස්වැසිල්ලක් විය හැකිය. බැඳුම්කරය හේතුවෙන් පැටලී ඇති පඹගාල, අගමැතිට එරෙහි විශ්වාසභංගය, කැබිනට් එක තවමත් හරිහැටි පිහිටුවා ගැනීමට නොහැකි වීම, පළාත් පාලන (සංශෝධන) පනතේ අවුල්සහගත බව නිසා පුංචි ආණ්ඩු පිහිටුවාගැනීමට නොහැකි වීම මේ සියල්ලම අද යටපත් වෙමින් පවතී. ජනාධිපතිවරයා සතියක් තිස්සේ හිටියේ රටින් පිටය. ලබන සතියේ යළිත් දින කිහිපයකට රට යාමට නියමිතය. අගමැතිවරයා ඉන්නේ දැඩි නිහඬ පිළිවෙතක රුඳිලාය. මහින්ද යන යන තැන මාධ්‍යවලට වොයිස් කට් දෙමින් සිල්ලර දේශපාලනයට තල්ලු වෙමින් සිටී. මේවා දකින රටේ ජනතාවට අනේ අපට වෙච්ච දේ කියා නොසිතෙනවා නම් පුදුමය.

 ශශීන්ද්‍ර

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00