2018 මාර්තු 10 වන සෙනසුරාදා

වැඩ ගොඩ වීම

 2018 මාර්තු 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 142

නවසිය අසූ තුන වසර මේ රටේ ඉතිහාසය ආපස්සට හැරවූ වසර හැටියට හැඳින්විය හැකිය. ඒ වනවිට පැවැතියේ ජේ.ආර්.ගේ විධායක ජනාධිපති පාලනයයි. පාර්ලිමේන්තුවේ හයෙන් පහක බලයක්ද විධායක බලතලවලට අමතරව ජේ.ආර්.ට තිබුණේය. විපක්ෂය තුනට හතරට කැඩී තිබිණි. ශ්‍රීලනිපයේ සිරිමාගේ නායකත්වය ප්‍රජා අයිතිය අහිමි කිරීමේ කුණාටුවට හසුවී කරකැවි ඇඹරෙමින් තිබිණි. 82 පැවැත්වූ ජනමත විචාරණයෙන් පාර්ලිමේන්තුවේ කාලය හයෙන් පහක බලය තිබියදීම තවත් වසර පහකට දික්කරනු ලැබීය. කිසිම ප්‍රශ්නයක් ආණ්ඩුවට පෙනෙන්න තිබුණේ නැත. දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුව වර්ජනය කර තිබීම හේතුවෙන් විපක්ෂ නායකයා වශයෙන් කටයුතු කරමින් සිටියේ අනුර බණ්ඩාරනායකය.

මෙහෙම හිටපු ආණ්ඩුවට උතුරේ පීඩනය පුපුරා හැලෙනතුරු එහි තරම දැනුණේ නැත. කොළඹ ඇතුළේ දකුණේ සාමාන්‍ය ජනතාවටද එහි වගක් නොතිබිණි. නමුත් සියල්ල කනපිට පෙරළුණේ උතුරේ හමුදා සෙබළු 13 දෙනකු ඝාතනය විමත් සමඟය. ගැටලුවේ යථාර්ථය හරි හැටි වටහා නොගෙන තිබීමත් ජාතිවාදී අදහස් මත ක්‍රියාකළ ආණ්ඩු පක්ෂයේම දේශපාලනඥයන් කිහිප දෙනකුත් විසින් මෙහෙයවන ලද පිරිස් කොළඹ ඇතුළු ප්‍රධාන නගරවල කලකෝලාහල ඇති කිරීමත් සමඟ දෙමළ ජනතාව යාපනයට පළවා හරිනු ලැබූහ. ඊට පසුව රට යළි යථා තත්ත්වයට පත්වීමට වසර 30 කට ආසන්න කාලයක් ගත විය. එහෙත් වසර 30ක යුද්ධයකින් පසුවද ජාතිවාදී, ආගම්වාදී සහ ජාතීන් අතර බෙදීම් සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයන් වශයෙන් උගත යුතුව තිබූ පාඩම් කිසිවක් තවමත් ඉගෙන ගෙන නැති බව මහනුවර ඇවිලුණ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් පෙන්වා දෙන ප්‍රධානම කාරණාවය.

එදා පැවැති රජයට එල්ල වූ චෝදනාවක් වූයේ ආණ්ඩුව එම ගැටුම ඇවිලෙන්නට ඉඩදී බලා සිටි බවය. දේශපාලන වශයෙන් වාසි ලබා ගැනීමටත් විරුද්ධවාදී දේශපාලන පක්ෂවලින් සහ දේශපාලනඥයන්ගෙන් පලිගැනීමටත් එම අවස්ථාව යොදාගත් බවය. ජනතා විමුක්ති පෙරමුණ තහනම් කරනු ලැබීම ඊට එක් උදාහරණයකි. ඒ සමඟ කොමියුනිස්ට් සහ නව සම සමාජ පක්ෂ දෙකත් තහනම් කෙරිණි. කෙසේ වුවද මේ අවස්ථාවේදී ඇතිවූ ගැටුම දුරදිග යා නොදී නවත්වා ගැනීමට ආණ්ඩුව සමත් වූ බව සැබෑය. එහෙත් ආණ්ඩුවට එල්ල වන්නේ එදා 83 දී එල්ල වූ චෝදනාවමය. එනම් ගැටුම උත්සන්න වනතුරැ එය වළක්වා ගැනීමට ක්‍රියා නොකළ වය. පොලීසියට අවශ්‍ය උපදෙස් සහ නියෝග ලබාදී නැති බවය. මේ හේතුව නිසා කෙටිදුරකින් නවතා ගත හැකිව තිබූ සිදුවීම් කිහිපයක් රටට ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් මහත් හානියක් ගෙන දෙන මට්ටමට වැඩි වූ බව විපක්ෂ දේශපාලනඥයන්ගේ මතය වී තිබේ. එයින් ආණ්ඩුව දේශපාලන වාසි ලබා ගන්නා බවද ඔවුහු කියති. එදා එල්ල වූයේද මේ චෝදනාවමය. 

එවකට පැවැතියේද අද මෙන්ම යූ.එන්.පී. ආණ්ඩුවකි. ශ්‍රීලනිපය තිබුණේ දෙකට කැඩිලාය. වර්තමානයේදී ශ්‍රීලනිපය දෙකට කැඩී තිබුණත් පසුගිය පළාත් පාලන ඡන්දයේ ප්‍රතිඵලය විසින් පෙන්වා දී ඇත්තේ ශ්‍රීලනිපයේ අති බහුතරය අලුත් පොහොට්ටුවට එකතු වී ඇති බවය. එදත් අදත් අතර එය එක් කැපී පෙනෙන වෙනෙසකි. ඒ එක්කම ආණ්ඩුව චෝදනා කරන්නේ මහනුවර සිද්ධිය පිටුපස දේශපාලනඥයන් සිටිනා බවය. ඔවුන් කවුදැයි කියා හෙළිකර නැත. එසේම ඔවුන්ට විරුද්ධව පියවර ගන්නා බවක් හෝ තවම කියා නැත.

කෙසේ වුවද මහනුවර ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් දේශපාලන කරළියේ පෙළ ගැසීම්ද වෙනස් විය. රට නොසන්සුන් වෙද්දී වඩාත්ම සන්සුන් තත්ත්වයකට පත්වූයේ අගමැති රනිල්ය. ඔහුට එරෙහිව ගෙනඒමට සූදානම් වෙමින් තිබූ විශ්වාසභංගය කල්යාම ඊට හේතුවය. එසේම ආණ්ඩුවට විශේෂයෙන්ම යූ.එන්.පී.යේ බලයට විශාල අභියෝගයක් විය හැකිව තිබූ නුගේගොඩ රැලියද කල් ගියේය. බැඳුම්කරය පිළිබඳ කතා, අර්ජුන මහේන්ද්‍රන් කැඳවා ගැනීම වැනි සිදුවීම්ද තාවකාලිකව යටපත් විය. නමුත් මේ වනතුරු බාරගන්නට කෙනකු නැතිව සිටි නීතිය හා සාමය ඇමැති පදවිය රන්ජිත් මද්දුමබණ්ඩාරට පිරිනැමිණි. ඇත්තෙන්ම එය බාර නොගෙන බැරි තැනකට ඔහු තල්ලු වී සිටියා යැයි කීම වඩාත් නිවැරුදිය.

හදිසි නීතිය පැනවීමට තරම් තත්ත්වය දුරදිග යාම ආණ්ඩුවට බලවත් ගැටලුවක් වුවද එය නොකර බැරි විය. 2011 වසරට පසුව රටේ හදිසි නීතිය පළමුවරට පනවනු ලැබුවේ මේ වරය. 2011 වසරේ අගෝස්තු 31 වැනිදා හදිසි නීතිය ලිහිල් කරන තුරු 1971 වසරේ පටන් මේ රට බොහෝ කාලයක් පැවැතියේ හදිසි නීතිය යටතේය. එතෙක් බලයට පැමිණි හැම රජයක්ම මාසෙන් මාසෙට හදිසි නීතිය දික් කළා මිස එය ලිහිල් කිරීමට කටයුතු කළේ නැත. මහා මැතිවරණය පැවැත්වීම සඳහා 1977 වසරේදී මාස කිහිපයකට සිරිමාවෝ විසින් හදිසි නීතිය ලිහිල් කරනු ලැබූ අතර ඒ නිසා 71 කැරැල්ල හේතුවෙන් සිරගතව සිටි රෝහණ විජේවීර ඇතුළු කැරැල්ලේ නායකයන්ට සිරෙන් නිදහස් වී එළියට පැමිණීමට හැකි විය. නමුත් ඉන්පසුව ජේ.ආර්.ගේ ආණ්ඩුව හදිසි නීතිය පනවන ලද අතර 83 කලබල සමඟ විජේවීරගේ පක්ෂයද තහනම් කළේය. වත්මන් ආණ්ඩුව තව කොපමණ කාලයක් හදිසි නීතිය පවත්වා ගනීද යන්න කීම අපහසුය. පෙනෙන්නට තිබෙන්නේ හැකි ඉක්මණින් හදිසි නීතිය ඉවත් කිරීමට රජය කටයුතු කරනු ඇති බවය.

පවතින තත්ත්වය ගැන පසුගිය බ්‍රහස්පතින්දා (08) විශේෂ ප්‍රකාශයක් කළ අගමැති රනිල් කියා තිබුණේ වසර තිහක කුරිරු යුද්ධයකින් පීඩා විඳි ජනතාවට දැන් අවශ්‍ය වී තිබෙන්නේ සාමයෙන්, සහජීවනයෙන් ජීවත්වීමට මිස ජාතිවාදයෙන් වෙලී කුළල් කා ගැනීම නොවන බවය. කඩාකප්පල්කාරී සුළු පිරිසක් විසින් සිදුකරන ලද මේ අනුවණ ක්‍රියාවන් නිසා සමාජීය සහ ආර්ථික වශයෙන් රටට බරපතළ හානියක් සිදුව ඇතැයිද ජාත්‍යන්තර වශයෙන්ද රට අපකීර්තියට පත්වී යැයිද කී අගමැතිවරයා මෙම සිද්ධීන් ඉතා කුඩා පිරිසක් විසින් සංවිධානාත්මකව ඇතිකරන ලද තත්ත්වයක් බවද සඳහන් කර තිබේ. 

මේ අතර හිටපු ජනපති මහින්ද මේ කලබල අවස්ථාවේ සන්සුන්ව කටයුතු කරන්නැයි සියලු පාර්ශ්වවලින් ඉල්ලීමක් කරමින් ප්‍රකාශයක් නිකුත් කර තිබිණි. ඔහු හමුවීමට පැමිණි මුස්ලිම් ආගමික නායකයන් පිරිසකගේ ඉල්ලීමක් පරිදි මහින්ද මේ ප්‍රකාශය කළේය. එසේම පසුගිය බදාදා (07) අනුරාධපුරයේ රැවන්වැලි සෑය වැඳපුදා ගැනීම සඳහා ගිය මහින්ද මාධ්‍යවේදීන්ට මෙසේ කියා තිබිණි.

එදා අපේ ආණ්ඩුව කාලෙ බේරැවලදී සිංහල මුස්ලිම් කලබලය ඇතිවූ අවස්ථාවේ විපක්ෂයේ සියලු දෙනා එකතුවෙලා ජනාධිපති හැටියට මමයි ආරක්ෂක ලේකම්වරයා හැටියට ගෝඨාභයයි, ඇතුළු රාජපක්ෂවරැන් වගකියන්න ඕනැයි කියලා කිව්වා. ඒ වෙලාවේ අපි දෙන්නම ලංකාවේ හිටියෙ නෑ. ඒ දේවල් කරපු අය මේ ආණ්ඩුවෙ ඉන්නවා. කොහොම හරි අපි ඒ කලබල පැතිරෙන්න දුන්නෙ නෑ. ඇඳිරි නීතිය දැම්මෙ නැහැ. පැය 24න් සියල්ල සන්සුන් කළා. ආරක්ෂාව තහවුරු කළා.

ආණ්ඩුවේ ඉන්න සමහරු මේවා ඇති කළේ විපක්ෂය බවට චෝදනා කරන බවද කියූ මහින්ද එසේ නම් ආණ්ඩුව කළ යුත්තේ අකුලාගෙන යාම බවද සඳහන් කළේය.

කෙසේ වුවද අම්පාරෙන් මහනුවර පැමිණි ජාතිවාදයේ ගිනිදැල් එතරම් දුරට පත්තු වෙනතුරැ බලා සිටීම ගැන ආණ්ඩුවට හැම පාර්ශ්වයකින්ම ඇඟිල්ල දිගුවෙමින් පවතී. ආණ්ඩුව ඇතුළේම සමහරුද ආණ්ඩුවටම දොස් කියති. තත්ත්වයේ බරපතළකම හේතුවෙන් ජනාධිපතිවරයා සතියේ කැබිනට් රැස්වීම සඳහා පැමිණ සිටි ඇමැතිවරැන් උඩුමහලේ වෙනම රැස්වීම් ශාලාවකට කැඳවා තත්ත්වයේ බැරෑරුම්කම විස්තර කර තිබිණි. ඔහු කියා තිබුණේ පවතින තත්ත්වය බරපතළ වීම නිසා කැබිනට් රැස්වීම පැවැත්වීම සවස්වරුවට කල් දමා ගතයුතු පියවර ගැන කතා කළ යුතු බවය. එතැන සිටි සියලු ඇමැතිවරැ ජනාධිපතිගේ අදහස්වලට එකඟ වූ බවත් හදිසි නීතිය පැනවීම සිදුවුණේ ඒ අනුව බවත් සඳහන්ය. එහිදී රිෂාඩ් බදියුදීන් සහ රවුෆ් හකීම් ඇමැතිවරු දැඩි ලෙස අදහස් දක්වා තිබූ අතර පොලීසිය උදාසීනව කටයුතු කළ බවට චෝදනාද නැගූහ. චම්පික රණවක ඇමැතිවරයා කියා තිබුණේ නීතිය රුකීම සඳහා දැඩි පියවර ගත යුතු බවය. රජයේ එක් පොදු එකඟත්වයක් වී තිබුණේ වෛරී අදහස් ප්‍රචාරය කිරීම තත්ත්වය බරපතළ තත්ත්වයට හැරවූ බවය. එසේ වුවද මැදහත් විචාරකයන්ගේ අදහස මෙවැනි තත්ත්වයකට මගපෑදෙන වාතාවරණයක් ගොඩනැගෙමින් පවතිද්දී ආණ්ඩුව ඒ කෙරෙහි ප්‍රමාණවත් තරම් සැලකිල්ලක් නොදැක්වීමෙන් වැඩ ගොඩ වූ බවය.

ඒ අනුව සලකා බලන විට මේ රජය බලයට පත්වූ දවසේ සිටම වඩාත්ම භාවිතයට ගනු ලැබූ වචනයක් වන සංහිඳියාව වැඩකට නැති වචනයක් බවට පත්වී තිබේ. එසේත් නැත්නම් සංහිඳියාව සිංහල සහ දමිළ ජන කොටස් අතර පමණක් පැවැතිය යුතු දෙයක් වශයෙන් සලකා කටයුතු කර තිබේ. ඒ හේතුවෙන් සිංහල සහ මුස්ලිම් ජන කොටස් අතර ගැටුමකට මඟ පෑදෙන කාරණා පුළුල් වෙමින් පැවැතියත් ඒ පිළිබඳව අවධානයක් යොමුකර නැත.

සංහිඳියාව වචනයට පමණක් සීමා කිරීමේ ප්‍රතිඵලයක් නැති බව මහනුවර සිදුවීම් මගින් පෙන්වා දෙනු ලැබ තිබේ. එය ආණ්ඩුවේ විශ්වාසනීයත්වයට ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් බලපැම් එල්ල කරන තත්ත්වයකි. අනෙක් අතට සංහිඳියාව අවශ්‍ය වන්නේ ආණ්ඩුවට පමණක් නොවේ. ඊළඟට බලය ලබා ගැනීමට ගණං හදාගෙන සිටින අයද තමන් ජීවත්වන රටේ ජන සංයුතිය ගැන අවබෝධයකින් කටයුතු කිරීම අවශ්‍යය. බලය ලබාගැනීමට සහ එය පවත්වාගෙන යාමට ජාතිවාදී ගැටුම් උපකාරී වනු ඇතැයි කිසියම් නායකයකු හෝ පක්ෂයක් හෝ සිතන්නේ නම් විධායක බලයත් හයෙන් පහක බලයක් ඇති පාර්ලිමේන්තුවකුත් අතේ තබාගෙන ජේ.ආර්. වෝඩ් පෙදෙසේ ගෙදරට කොටු වී සිටි හැටි මතක් කර ගැනීම පමණක් ප්‍රමාණවත්ය.

 ශශීන්ද්‍ර

ඡායාරූපය - මහනුවර පාළුවට ගිය  වීදි දිගේ ඇවිදයන සංචාරක යුවළක් (- රොයිටර්)

 2018 ජුනි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 ජුනි 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 ජුනි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 ජුනි 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00