2018 මාර්තු 10 වන සෙනසුරාදා

අපේ නායකයා ප්‍රශ්න විසඳුවා අද රටට නායකයෙක් නැහැ

 2018 මාර්තු 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 83

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ
තව සති දෙකකින් විශ්වාසභංගය ගේනවා 
මීළඟ ජනාධිපතිවරණයේදී අපේ තේරීම ගෝඨාභය  
ආණ්ඩුවෙ කල්ලි කණ්ඩායම් තෙල්දෙණිය ගිනි තිබ්බා  
ජෙහාන් කව්ද කියලා රටම දන්නවා

ඔබ රටට ළැදි ජාතිකවාදී පකෂ නායකයෙක්. එවන් ඔබ පසුගියදා මහනුවර ඇතිවුණු සිද්ධිය දකින්නේ කොහොමද?

කාලයක් තිස්සේ මුස්ලිම් ජන සමාජය කෙරෙහි සිංහල ජන සමාජයට සැකයක් ඇති වෙලා තියෙනවා. ඒකට මුස්ලිම් ජන සමාජයේ යම් යම් දේවලුත් හේතු වෙලා තියෙනවා. ඒ වගේ අතිශෝක්තියෙන් කරුණු වාර්තා කරන පිරිසකුත් මේ කණ්ඩායම් දෙකේම ඉන්නවා. මේ නිසා ඕනෑම කෙනකුට ගිනි තියන්න පුළුවන් වාතාවරණයක් රට පුරා ඇති වෙලා තිබ්බා. මෙතන වෙන්නේ ඒ වාතාවරණය මැද අර තෙල්දෙණියේ සිංහල තරුණයකුගේ ඝාතනයත් එක්ක ආණ්ඩුව සම්බන්ධ කල්ලි කණ්ඩායම් අවුලවලා තිබ්බ එක.

ආණ්ඩුව කොහොමද මේකට සම්බන්ධයි කියලා ඔබ සෘජුව කියන්නේ?

ආණ්ඩුව සම්බන්ධයි කියන්නේ පොලීසිය මේ ගින්න ඇතිවෙන්න ඉඩ දීලා තියෙනවා. ඒ වගේම එක රාත්‍රියක් විදුලිය විසන්ධි කරලා තියෙනවා. ඇඳිරි නීතිය දාලා ඒක කඩාකප්පල් ක්‍රියා සිදු කළ පිරිසට පමණක් නිදහසේ හැසිරෙන්න අවසර දීලා තියෙනවා. ඒ වගේම ගිනි තබන සිද්ධීන්වලට සම්බන්ධ වෙලා තිබ්බේ බැහැරින් ආපු පිරිස. මේ ඔක්කොම එක්ක බලද්දී 83 කළු ජූලිය වගේ. එදා ආණ්ඩුවත් සංවිධානය වෙලා කළා වගේ මෙවරත් ඒ දේ කරලා තියෙනවා. එදා මාමා අද බෑණා. මේ දෙවැනි වටය.

රාජිත සේනාරත්න අමාත්‍යවරයා පසුගියදා මාධ්‍ය හමුවකදී කියනවා මේකට දේශපාලන පක්ෂයක පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දෙදෙනකුත් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු කීපයකුත් සම්බන්ධයි කියලා. මේ වටෙන් කියන්නේ පොහොට්ටුව ගැන නේද?

ඒක තමයි මම කිව්වේ කළු ජූලියට සමානයි කියලා. කළු ජූලිය කළේ කවුරුවත්. අන්තිමට වටේ පක්ෂ ටික තමයි තහනම් කළේ. ඒ නිසා පසුකාලීනව රට ලේ විලක් බවට පත් වුණා. ඒ ජනතා විමුක්ති පෙරමුණ තහනම් කරලා.

ඒ අස්සේ ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහත්මයා කියනවා ලොහාන් රත්වත්තේ, දිලුම් අමුණුගමයි අත්අඩංගුවට ගන්න යනවා කියලා..?

ඔව්. මම පාර්ලිමේන්තුවේදිත් කිව්වා සී.අයි.ඩී ප්‍රධානියෝ නුවරට ගිහින් තියෙනවා බොරු චෝදනා හදලා අපේ මන්ත්‍රීවරු අත්අඩංගුවට ගන්න. ඒ වගේම කියන්න ඕන හදිසි නීතිය ගෙනාවෙත් මේ නිසා. මේ ජේ.ආර්ගේ ක්‍රමයම තමයි බෑණා ගෙනියන්න යන්නේ. ඡන්දය දිනන්න බැරි වුණ නිසා ජේ.ආර්ගේ ක්‍රමයට රට පාලනය කරන්න යනවා.

හැබැයි ආණ්ඩුව කියන්නේ දේශපාලන ස්ථාවරය රැකගන්න අවුලපු ගින්නක් කියලා මේක

ඔය කතාව මුස්ලිම් ජනතාවවත් පිළිගන්නේ නෑ. හිතන්නකෝ අපේ කවුරුහරි මේ පිටිපස්සේ ඉන්නවා නම් පොලීසිය අර විදිහට හැසිරෙයිද? පොලීසිය එහෙම හැසිරුණෙත් ඉහළින් ආපු නියෝග නිසානේ. අපි සම්බන්ධ නම් ලයිට් නිවලා දෙනවද? ඇඳිරි නීතිය අස්සේ ගහන්න දෙනවද? කල්පනා කරලා බලන්නකෝ. අර අම්පාරේ වඳ පෙති සිද්ධියට සම්බන්ධ වුණේ එක්සත් ජාතික පාක්ෂිකයෙක් වෙච්චි මංජුල කියන කෙනාගේ මල්ලි. කුලියාපිටියේ කඩ පේළිය ගිනි තියන්න ආපු අයගේ වාහනය අයිති එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනකුට. ඒ නිසා පැහැදිලිව එදා අපේ ආණ්ඩුවේදී අලුත්ගම සිද්ධිය ඇවිලුවෙත් ආණ්ඩුවේම හිටිය ජාතිවාදී කල්ලියක්. අද ගින්න අවුලන්නේ ඒ වගේම ජාතිවාදී කල්ලියක්. 

අකිල විරාජ් ඇමැතිතුමා කිව්වා ඔබ ජාතිවාදය අවුස්සනවා. කුලියාපිටියේ එවැනි කඩ ගිනිතැබීමක් නෑ කියලා.

නෑ. මම කිව්ව දේට උත්තර තියෙන්න එපායැ. මම කිව්වේ අර වාහනයේ අයිතිකාරයා ඉතින් ඒක හෙළි කළේ නැහැනේ.

අර ඉස්සෙල්ලා පිළිතුරේදී කිව්වා අලුත්ගම සිද්ධියටත් එදා ආණ්ඩුවේ හිටිය පිරිසක් උදව් කළේ කියලා. ඔබලත් හිටිය ආණ්ඩුවේ කවුද ඒ වාගේ කළේ?

ඒ කාලේ අපි විතරක් නෙමෙයි පාඨලී චම්පික රණවකලත් ආණ්ඩුවේනේ. මේ ආණ්ඩුවෙත් එයාලා ඉන්නවනේ. බලන්නකෝ, එදා නම් ඒ ප්‍රශ්නය ජනාධිපතිවරයා විසඳුවා. ඒත් අද බලන්නකෝ නායකයෙක් නෑනේ.

ඔබ පාර්ලිමේන්තුවේ දිග කතාවක් කරලා කියනවා මේ දේ කළේ කොළඹින් දින්න ජාතික ඇඳුම අඳින උස හාදයෙක් කියලා. ඔහු කූඹියෝ නාට්‍යයේ ජෙහාන් වගේ කියනවා. කවුද මේ ජෙහාන්?

දැන් කවුරුත් දන්නවනේ කවුද කියලා.

ඔබලගේ ආණ්ඩු කාලෙත් ජෙහාන්ලා වැඩ කළාද?

ඒ ජෙහාන් ඒ ගේම් එක ගැහුවා.

ඔබත් එක්ක කලක් දේශපාලනය කළ අනුර කුමාර සහෝදරයා කියනවා රාජපක්ෂලා ගෙන ආපු ජාතිවාදය තමයි මේ යන්නේ කියලා.

මේ අය ජාතිවාදය කියන්නේ බෙඳුම්වාදයට. එයට විරුද්ධ වෙන එකත් ජාතිවාදය. එට්කා ගිවිසුමට විරුද්ධ වෙන එකත් ජාතිවාදය. ජාතික සාමය වෙනුවෙන් පෙනී ඉන්න එකත් ජාතිවාදය. මේ අය ජාතිවාදය කියලා මේ දේවල්වලට විරුද්ධ වෙන කණ්ඩායම් මර්දනය කරන්න ලෑස්ති වෙන්නේ. එදා ජාතිවාදී කණ්ඩායමක් හැටියට ජනතා විමුක්ති පෙරමුණ හැඳින්වුවෙත් ඔය විදිහටයි. ජනතා විමුක්ති පෙරමුණ කොයි වෙලේවත් දෙමළ ජාතියට මුස්ලිම් ජාතියට විරුද්ධ වුණේ නෑ. හැබැයි දෙමළ බෙඳුම්වාදයට විරුද්ධ වුණා. එහෙව් ජනතා විමුක්ති පෙරමුණේ උදව් අරගෙන බෙදුම්වාදයට විරුද්ධ පක්ෂවලට අද අලවන්න හදනවා ජාතිවාදී ලේබලය. ඒකයි ජනතා විමුක්ති පෙරමුණේ එදයි අදයි වෙනස.

ඔබ කිව්වා එදා අලුත්ගම සිද්ධිය සම්බන්ධයෙන් ආණ්ඩුව පරීක්ෂණයක් නොකළේ ඇයි කියලා?

ඇත්ත කතාව මුස්ලිම් නායකයොත් ඔය ආණ්ඩුවේ ඉන්නවා. ඇයි කොමිෂන් සභාවක් දැම්මේ නැත්තේ. එහෙම කළානම් ආණ්ඩුවේ ඉන්න ජෙහාන්ගේ ගාවට පරීක්ෂණය එනවා. එහෙම කරා නම් සමහර මුස්ලිම් නායකයන්ගේ ඇඟෙත් ගෑවෙනවා. 

ඔය සිද්ධිය වුණේ ඔබලගේ ආණ්ඩුවේ. මේ ආණ්ඩුවෙන් ඒ ගැන හොයන්න කියන්න පෙර ඔබලට තිබ්බනේ ඒ ගැන පරීක්ෂණයක් කරන්න?

ඇත්තටම ඒ කාලෙත් ඒ ගැන පරීක්ෂණයක් කළනම් ඔය මුස්ලිම් ජනතාවගේ කඩා වැටීම පාලනය කරගන්න තිබ්බා.

ඒ කියන්නේ ඔබලා ඒ ප්‍රශ්නය වැහුවා?

ඔය ගැන මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පරීක්ෂණයක් කරන්න කියලා ආරක්ෂක අංශවලට කියලා තිබුණේ. ඒත් එයින් එහාට ගිහිල්ලා කොමිෂන් සභාවක් දාන්න තරම් කාලයක් තිබ්බේ නෑ.

හැබැයි එදා ඒ ගැටලුවලට මූලික වුණු භික්ෂූන් වහන්සේලා, සංවිධාන එකට හිටගත්තේ ඔබලගේ ආණ්ඩුවේ ඇමැතිවරු සහ රජයේ නිලධාරීන් එක්ක. එතකොට ජනතාව ඒකත් ආණ්ඩුවේ වැඩක් කියලා හිතන්න පුළුවන්ද?

ඒ සැලසුමේම කොටසක් තමයි ඔය සංවිධානවල භික්ෂූන් වහන්සේලා ආණ්ඩුවත් එක්ක සම්බන්ධයි කියලා පේන විදිහට හැසිරුණා. රාජපක්ෂ පාලනය පෙරළා දැමීමේ කුමන්ත්‍රණයේ එක් කොටසක් මෙය.

හැබැයි ඒ භික්ෂූන් වහන්සේලා අද දරන්නෙත් ඔබලා දරන මතයමනේ. කට්ටිය එක සභාවෙනේ?

ඒ මේ ආණ්ඩුව තියෙන නිසානේ. ඒ සංවිධානවලට එදා ඕන වුණේ බල පෙරළියක්. ඒක වුණා. දැන් ආණ්ඩුව එක්ක හැප්පෙන්න යන්නේ නෑ.

ආණ්ඩුවෙන් කියන්නේ පොහොට්ටුවේ ජයග්‍රහණයත් එක්ක තමයි මේ අවුල පටන් ගත්තේ කියලා.

ආණ්ඩුවෙන් ඕක කිව්වට කවුද පිළිගන්නේ. සිද්ධියට මුහුණ දුන්නු හැම මිනිහම දන්නවා මේක ආණ්ඩුවේ වැඩක් කියලා. අනික අපි මේ වගේ දෙයක් කරලා අපිට ලැබෙන වාසිය මොකද්ද? මෙවැනි දෙයක් කළා කියලා අපේ ඡන්ද ප්‍රමාණය වැඩි වෙන්නේ නෑ.

ආණ්ඩුවෙන් කරන්නේ ඇයි ඔවුන් බලයේ ඉන්නකොට නැවත වරක් බලය අහිමි කරගන්න සූදානම් වෙයිද මෙවැනි දෙයක් කරලා?

දැන් මේ ආණ්ඩුව යන යකා කොරහත් බිඳගෙනනේ යන්න හදන්නේ. දැන් මේ ආණ්ඩුවට අනාගතයක් නෑ. ආණ්ඩුව දන්නවා මළගමට දැන් යන්නේ කියලා. ඒකයි මෙහෙම හැසිරෙන්නේ. මේ ආණ්ඩුවේ දිවි බේරා ගැනීමේ සටනක් දැන් තියෙන්නේ.

අග්‍රාමාත්‍යවරයාගේ යටතේ නීතිය හා සාමය තිබ්බේ. ඔහු එවැනි දෙයකට ඉඩ දෙයිද?

ඇයි නැත්තේ. අගමැතිට විරුද්ධ යූ.ඇන්.පී කැරුල්ල යටගියා. අගමැතිට විරුද්ධ විශ්වාසභංගය යට ගියා. ආණ්ඩුවේ අස්ථාවරභාවය, ආර්ථික අර්බුදය අමතක වුණා. ඒ වගේම බටහිරයට රණවිරුවන් දංගෙඩියට රැගෙන යන වැඩේ මේ ආණ්ඩුව විසින් ඉටු කළා. ඒ මේ ජාතිවාදී වැඩෙන්. දැන් හැමෝම ඒ දුම දිහා බලාගෙන ඉන්නේ.

ඔබලා දෙගොල්ලොම දෙගොල්ලන්ට ඇඟිල්ල දිගුකරනවා. ජනතාව කවුද හරි වැරදි කියලා තෝරගන්නෙ?

ජනතාවට ආණ්ඩුව කෙරෙහි විශ්වාසයක් නෑ. මුස්ලිම් සමාජය තුළත් ඒ විශ්වාසය බිඳවැටිලා ඉවරයි. ඒ නිසා වැඩි බහුතරයක් ආණ්ඩුව කෙරෙහි විශ්වාසය අත්හැරලා ඉවරයි. රට අරාජික වෙලා ඉවරයි. ආණ්ඩුවේ නීති රීති ජනතාව ගණන් ගන්නෙ නැති තැනට පත්වෙලා.

දැන් ඔබ කිව්වා අගමැතිට එරෙහිව විශ්වාසභංගය යට ගියා කියලා. යට යන්නෙ කොහොමද? ඔබලනේ ඒ විශ්වාසභංගය ගේන්නෙ?

නෑ නෑ. මම කිව්වේ විශ්වාසභංග මාතෘකාව යට ගියා. ගේන එක ගේනවා.

ඇත්තද හිටපු ජනාධිපතිතුමා මේ විශ්වාසභංගය ගේන්න එපා කිව්වා කියන්නෙ?

කිසිසේත්ම නෑ. තව සතියක් දෙකක් ඇතුළත ගේනවා.

මේකට ආණ්ඩුවේ අයගේ සහාය තියෙනවද?

ඔව්. ආණ්ඩුවේ පක්ෂ කිහිපයක සාමාජිකයන්ගේ අත්සනින් මේක ගේනවා.

නීතිය හා සාමය අමාත්‍ය ධූරය සරත් ෆොන්සේකාට දෙන්න ගියා. ඇත්තද ඔහුට ඒක දෙන්න එපා කියලා ඒකාබද්ධයේ මන්ත්‍රීවරු ජනාධිපතිගෙන් ඉල්ලුවා කියන්නෙ?

කවුද කියන්නෙ. අපි කියන හැටියටද ජනාධිපතිවරයා ඇමැති තනතුරු දෙන්නෙ. අගමැතිට අගමැතිකම දුන්නෙ අපි කියන විදිහටද?

ඒ නිසා නෙමෙයිද මේ විශ්වාසභංගය කතාව යට ගියේ?

ජනාධිපති දෙන ඇමැතිකමකුයි විශ්වාසභංග යෝජනාවයි කොහොමද ගනුදෙනුවක් වෙන්නෙ. ඔබ කියන හැටියට විශ්වාසභංග යෝජනාව එන්නෙ නෑනෙ. එහෙනම් බලන්නකො සතියක් යනකොට ලැබෙන උත්තරේ.

ඔබලා මේ විශ්වාසභංගය ගේන්නෙ අග්‍රමාත්‍යවරයා සම්බන්ධයෙන්. මැතිවරණයෙන් පසුව ආපු අවස්ථාවේදී අලුත් අගමැති කෙනෙක් එක්ක ආණ්ඩුවක් පිහිටුවගන්න තිබ්බනෙ?

අපි බලාපොරොත්තු වෙන්නෙ මැතිවරණයකින් මහජනතාවගේ අතින්ම බලය නිර්මාණය කරගන්න. නමුත් රට ඇතුළේ තිබෙන තත්ත්වයත් එක්ක ඒකාබද්ධ විපක්ෂයේ සාකච්ඡාවක් තියෙනවා එතෙක් නොසිට යම් ක්‍රියාමාර්ගයකට යා යුතුයි කියලා.

ඔබලා කුමන පදනමක් යටතේ ද නිමල් සිරිපාල ද සිල්වා ඇමැතිවරයා අග්‍රාමාත්‍යවරයා කිරීමට එකඟ වුණේ?

අපි නිමල් සිරිපාල කියන පුද්ගලයාට හෝ වෙනත් පුද්ගලයකුට සහාය දෙනවා කියලා නෑ. අපි කියන්නේ රනිල් වික්‍රමසිංහ අයින් කරලා වෙන අග්‍රාමාත්‍යවරයෙක් යටතේ වෙන ආණ්ඩුවක් පිහිටුවනවා නම් රට අරාජික වීමට ඉඩ නොදී විරුද්ධ පක්ෂයේ ඉඳලා සහයෝගය ලබාදෙන්නම් කියලා.

රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා නොමැතිව යූ.එන්.පී එකේ වෙන කෙනෙක් ආවත් උදව් කරනවද?

නෑ නෑ. යූ.එන්.පී එකත් එක්ක නෙමෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක.

පහුගිය කාලයේ මැතිවරණයෙන් පස්සෙ ඔබත් බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයාත් අතර පොඩි සීතල යුද්ධයක් සිද්ධ වුණාලු? 

ඔය කතාව ගොඩක් කල් තිස්සෙ කියනවනෙ.

වර්තමානය වන විට දන්නා දෙයක් තමයි තව වසරකුත් මාස කිහිපයකටත් පස්සෙ ජනාධිපතිවරණයක් තියෙනවා කියලා. ඔබලා මේ වෙනකොට පවතින තත්ත්වයත් එක්ක ඊළඟ ජනාධිපති අපේක්ෂකයා තෝරලා ඉවරද?

ජනාධිපතිවරණය එන්නෙ 2019 දෙසැම්බර් වල. ඔක්තෝබර් වෙනකොට ජනාධිපතිවරණය කැඳවන්න ඕන. අපිට ඒ සඳහා සුදුසු අපේක්ෂකයෝ ඉන්නවා. ඒ අපේක්ෂකයන් අතරින් සුදුසු අපේක්ෂකයා හැටියට ජාතික නිදහස් පෙරමුණ තීරණය කරලා තියෙනවා ගෝඨාභය රාජපක්ෂ කියලා. ඒක ජාතික නිදහස් පෙරමුණේ මතය.

ඒකාබද්ධ විපක්ෂයේ මතයක් ඒකමද?

ඒකාබද්ධ විපක්ෂය අනුව කවුද කියන එක තීරණය කරලා නෑ තවම.

ඔබලා දරන පුද්ගල චරිතයට බැසිල් රාජපක්ෂ පාර්ශ්වයෙන් යම් විරෝධයක් තියෙනවා කියන්නේ ඇත්තද?

මගේ මතය අනුව එවැනි දෙයක් පේන්නෙ නෑ.

ගෝඨාභය රාජපක්ෂ කියන චරිතය සමහරු සිංහල ජාතිවාදී නායකයෙක් හැටියටයි සලකන්නෙ. මේ නිසා සුළු ජාතික ඡන්ද ලැබෙයි කියලා හිතන්න පුළුවන්ද?

දැන් ඔය සිංහල ජාතිවාදය කියන එක මාර කතාවක්. රටට ජාතියට ආදරෙයි නම් සිංහල ජාතිවාදය කියනවා. එහෙම නොවෙන මිනිහා මොකෙක්ද? හොඳ මහත්තයද? ඒ හොඳ මහත්වරුන්නේ වැඩි කලක් රට පාලනය කළේ. මොනවද වුණේ. මහින්ද රාජපක්ෂටත් කිව්වනෙ සිංහල ජාතිවාදියා කියලා. ඒත් ඔහුගේ ජාතිවාදීකම නිසානේ යුද්ධය දින්නේ. ගෝඨාභය රාජපක්ෂ කියන්නෙ ජාතිවාදී පුද්ගලයෙක් නෙමෙයි. ඔහු රටට ආදරේ කරන පුද්ගලයෙක්. එතුමාගේ දෙමළ හෝ මුස්ලිම් අය කෙරෙහි වෛරීසහගත අදහසක් නෑ.

► ගයාන් ගාල්ලගේ
සේයාරුව I සුමුදු හේවාපතිරණ