2017 ජනවාරි 14 වන සෙනසුරාදා

අගමැතිකම පිනට දුන්නට භාරගන්නේ නැහැ

 2017 ජනවාරි 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 155

 

අපි ඔබව හඳුනාගන්නේ රාජපක්ෂ පවුලේ නිහඬ දේශපාලන චරිතය විදියට. අදටත් වීදි සටන්වලට සූදානම් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ වැඩිමහල් සහෝදරයා විදියට ඇයි ඔබ මේ නිහඬ භූමිකාවක් රඟදක්වන්නේ?

නිහඬව හිඳීමෙන් හොඳ අධ්‍යයනයක් කරන්න පුළුවන්. දීර්ඝව, සමබරව යම් දෙයක් ගැන හිතලා අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්. අනික අනවශ්‍ය ගැටුම්වලට යන්නෙත් නෑනේ එතකොට.

ඔබ අවුරුදු 27ක් පාර්ලිමේන්තුව නියෝජනය කරනවා. මුලින්ම පාර්ලිමේන්තු එන්නේ එච්චර හොඳ කාලයක නෙවෙයි?

ඔව්. ආවේ 89දි. රටේ භීෂණය හැමතැනම තිබුණ කාලේ. ඡන්දයක් ඉල්ලන්න තියා පාරේ බැහැලා යන්නත් බය කාලේ.

එදා සහ අද පාර්ලිමේන්තු දකිද්දී මොනවගේ හැඟීමක්ද දැනෙන්නේ?

ඒ කාලේ පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ දෙකේම ප්‍රබල පිරිසක් හිටියා. යමක් ගැන දැනුමක් තියෙන වගේම ඒ දැනුම භාවිතා කරලා වැදගත් සංවාද ගොඩනගන්න පුළුවන් පිරිසක්. ඒ කාලේත් පාර්ලිමේන්තුවේ රණ්ඩු දබර වුණා. හැබැයි හොඳ හරවත් වාද විවාද තිබුණා. අද ගැටලුව තියෙන්නේ පාර්ලිමේන්තුවේ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ අහන ප්‍රශ්නවලට ආණ්ඩු පාර්ශවය අවධානයකින්, ඕනෑකමකින් සත්‍ය පිළිතුරු ලබා නොදීම.

වර්තමාන පාර්ලිමේන්තුවටත් එක්කද ඔය කිව්වේ?

ඔව්. දැන් තියෙන පාර්ලිමේන්තුවේ වෙන අනිත් කාරණය තමයි ප්‍රශ්නයක් ඇහුවාම ඒකට උත්තර දෙන එක පැත්තක තියලා හිටපු පාලකයන්ගේ වැරුදි කියවා කියවා දඟලනවා. ඒකෙනුත් රටට ජනතාවට ඇති සුගතියක් නෑ. දැන් අලුතෙන් එන මන්ත්‍රීවරුත් ඡන්දේ ඉල්ලන කාලේ වේදිකාවේ කතා කරන දේවල් පාර්ලිමේන්තුවට ඇවිල්ලත් කියනවා. එහෙම නෙවෙයි. පාර්ලිමේන්තුවට ආවාට පස්සේ ඒක ඇතු‍ෙළ් පක්ෂ දේශපාලනය වැඩක් නෑ. රටට ජනතාවට යහපතක් වෙනදේවල් කරන්න ඕනි.

සාමාන්‍යයෙන් නිහඬ වුණාට ඔබ පහුගිය දවස් ටිකේ හඬ අවදිකළා. ඔබට එරෙහිව අධිකරණ නියෝග පවා නිකුත් වුණා. මොකද මේ හදිස්සියේම නින්දෙන් අවදිවෙලා වගේ?

සිදුවෙන දේවල්වලට නින්දෙන් අවදිවෙන්න වෙනවා.

ඔබේ ආණ්ඩුව සමයේ හම්බන්තොට ආරම්භ කළ වරාය හා ගුවන්තොටුපොළ අද වෙද්දී රටට ලොකු බරක්වෙලා කියලා ආණ්ඩුව චෝදනා කරනවා?

ඒවා හැදුවේ මේ ආණ්ඩුවට ලාභගන්න නෙවෙයි. දුර බලලා. චන්ද්‍රිකා මැතිනියත් මේ වගේ ව්‍යාපෘතිවලට සූදානම් වුණා. ගාල්ල, මාතර, හම්බන්තොට හා මොණරාගල ප්‍රදේශවල තමයි එහෙම කරන්න හැදුවේ. ඒකයි දක්ෂිණ සංවර්ධන අධිකාරිය ඇති කළේ. ඉස්සර හම්බන්තොට කිව්වාම දුෂ්කර දිස්ත්‍රික්කයක්. අපි ඒක වෙනස් කළා. දැන් හම්බන්තොට කියන්නේ උසස්පෙළ විශාල ප්‍රමාණයක් සමත් වෙන, විශ්ව විද්‍යාල වරම් විශාල ප්‍රමාණයක් ලබාගන්න දිස්ත්‍රික්කයක්. මේ ළමයි අපි හේන් කොටන්න යවන්නද... කොළඹ අරගෙන ගිහින් රස්සා දෙන්නද... බෑ.. අපි මේ මෙගා ව්‍යාපෘති හැදුවේ හම්බන්තොට ඉදිරි රැකියා අර්බුදයට විසඳුමක් ලෙස. ඒ විතරක් නෙවෙයි රටේ අනාගතය වෙනුවෙන් හිතන්න බොහෝ දේවල් තිබුණා. ඒ දුර බලලා මේවා කළේ.

පාර්ලිමේන්තුවෙ ප්‍රශ්න ඇහුවම ගිය ආණ්ඩුවට බණිනවා

කරන්න හේතු තිබුණාට, ඒවා සිදුකළ ආකාරය නිසා රටට පාඩුවක් වුණා කියන එකයි චෝදනාව?

නෑනේ. ඔය කතාව කියන්නේ ගුවන්තොටු‍ෙපාළට. වරායට කවුරුවත් බණින්නේ නෑ. ධර්මසිරි සේනානායක මහත්තයා ඉන්න කාලේ ගුවන්තොටුපොළක් හඟුරන්කෙත හදන්න ගියා. තව එක්කෙනෙක් මතුගම හදන්න ගියා. අනික ලොකුම විහිළුව තමයි මත්තලට බැන්නට මේකට මුලින්ම මුල්ගල තිව්වේ 2004දි වර්තමාන අගමැතිතුමා. ඔහු ගිහිල්ලා මුල්ගල තිව්වේ කුඩාඔය. ඊට පස්සේ මංගල සමරවීර ගිහින් කුඹුරක් මැද මුල්ගලක් තියලා ආවා. අනිත් පැත්තෙන් දැන් ජේ.වී.පී. එකට මතක නැති වුණාට 1999දි ජනාධිපතිවරණයට නන්දන ගුණතිලක ජවිපෙන් ඉදිරිපත් වෙද්දී ඔවුන්ගේ ප්‍රධාන ආර්ථික දර්ශනය වුණේ හම්බන්තොට වරාය. එකම වෙනස මේ හැමෝම කියව කියව හිටියා. අපි ඒවා කළා. දැන් අපිත් එක්ක වෛර බැඳලා හරියන්නේ නෑ.

හම්බන්තොට වරාය ඔය කියන තරම් සාර්ථක නම් ඇයි ඒකට මෙච්චර බැණුම් අහන්න වුණේ?

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා යුද්දේ අවසන් කළේ 2009දි. ඔබට මතකද හම්බන්තොට වරාය තමන්ගේ මෙහෙයුම් පටන් ගත්ත අවුරුද්ද. 2011දි. යුද්ධය අවසන් වෙලා කෙටි කාලෙකින් මෙතරම් තැනකට එනවා කියන්නේ ලොකු ජයක්. මහවැලිය හදලා දැන් හොඳ කිව්වාට ඒ කාලේ ගාමිණි දිසානායක මහත්තයාට හැමතැනම බැන්නා. දූෂණය අල්ලස වැහිවැහැලා කිව්වා. ඇපල්වතු තියෙනවා කියලා කිව්වා. පාර්ලිමේන්තුවේදිත් බැන්නා. මට මතකයි ප්‍රේමදාස මහත්තයාම සැරයක් පාර්ලිමේන්තුවේදි කියනවා මහවැලියෙන් 60‍%ක් දූෂණය කියලා. ලලිත් ඇතුළත්මුදලි මහත්තයා නැව් සංස්ථාවට නැව් හතක් ගත්තා. ඒ ගත්ත ආකාරයටත් චෝදනා තිබුණා. බිලියන ගණන් යටිමඩි ගැහුවා කිව්වා. ඔන්න ඔහොමයි ඕවා.

ඔබ කාලයක් දකුණු පළාතේ ජල ප්‍රශ්නයට විසඳුම් සොයමින් සිටියා නේ. මොකද්ද එදා ඒ වෙනුවෙන් කළේ?

ඔය ප්‍රශ්නය අහන්නේ මම කිසිදෙයක් කළේ නෑ වගේ ස්වරයෙන්. අපි හම්බන්තොට ඇතුළු අවට ජල ප්‍රශ්නයෙන් 80‍%ක් විසඳලා ඉවරයි. දැන් පහුගිය දවස්වල පොලොන්නරුව, අනුරාධපුර නියඟයෙන් පෙළෙද්දී හම්බන්තොට වැව්වල වතුර තිබුණා. 1994දි ආරම්භ කළ මව්ආර අවසන් කළා. මැණික් ගඟෙන් වෙහෙරගල ජලාශය හැදුවා. උමා ඔය ආරම්භ කළා. දැන් හදාගෙන යනවා.

උමාඔය මේ වෙද්දී සෑහෙන්න ඛේදවාචකයක් වෙලා නේද?

ප්‍රශ්න තියෙනවා. ඒක අපි පිළිගන්නවා. ඒවා විසඳගන්න පුළුවන් ඒවා. ඕකට පස්සේ ගිංගඟෙන් චන්ද්‍රිකා වැවට වතුර ගේන්න ඇළ මාර්ගයක් අපි සැලසුම් කළා.

ඔබේ සහෝදරයා, හිටපු ජනාධිපතිවරයා ඒකාබද්ධ විපක්ෂයේ ඉඳගෙන විවිධ දේශපාලන සටන්වලට අර අදින බව පේනවා. හැබැයි අපිට ඒ සටන්වල ඔබව පේන්න නෑ. ඔබ සහෝදරයාගේ දේශපාලන ගමන අනුමත කරන්නේ නැද්ද?

හැමදේටම යන්නෙ නැහැ. සමහර ඒවාට යනවා.

අනුමත කරන්නේ නැත්තේ මොනවද?

හැමෝම එයා එක්ක පාරට බැස්සොත් කාටවත් පෙරහර පේන්නේ නෑ. ඒ නිසා මම පිට ඉඳගෙන පෙරහර දිහා බලන් ඉන්නවා අවශ්‍ය තැනදි එහාට මෙහාට හරවන්න.

ඔය කියන විදියට ඔබ එකඟ නොවන කාරණාවලදී සහෝදරයාට අවවාද ලබාදීලා තියෙනවාද?

සාමාන්‍යයෙන් මම එහෙම මැදිහත් වෙන කෙනෙක් නෙවෙයි. හැබැයි මගෙන් ඇහුවොත් මම උපදෙස් දෙනවා. ඇත්තටම අපි 94 ඉඳලා බලයේමයි හිටියේ. ඒ නිසා අපිට මිනිස්සුන්ගේ සමහර දුක පෙනුණේ නෑ. දැන් මේ අවුරුදු 2ක් නිස්කලංකව ඉද්දී තමයි මේවා දැක්කේ. මේ පහුගිය 17 වැනිදා මම මහින්ද මහත්තයා ඉස්සරහම මොණරාගල බලමණ්ඩලයේදි ඒවා කිව්වා. අපිට ඒ කාලේ මිනිස්සුන්ගේ දුකට ඇහුම්කම් දෙන්න වෙලාව තිබුනේ නෑ.

මත්තල ගුවන් තොටුපොළට මුලින් මුල්ගල් තිබ්බෙ රනිල් මහත්තයා

ඔබේ සහෝදරයාට ඔහුගේ ජනපතිධූර සමයේ එල්ල වුණ ලොකුම චෝදනාව තමයි පවුල් පාලනය. ඔබත් මේ පවුලේ හිටියේ. ඔබ ඒ පාලනයට හවුල් වුණා?

එහෙම කියන්න බෑ. මම පාර්ලිමේන්තු ආවේ 89දි. 94දි තමයි චන්ද්‍රිකා මැතිනියගේ නායකත්වයෙන් ආණ්ඩුවක් හැදුවේ. මම රාජ්‍ය සේවයේ ඉඳලා අත්දැකීම් බහුලව හිටියත් 94දි මට නියෝජ්‍ය ඇමැතිධූරයක්වත් ලැබුණේ නෑ. මම ඉල්ලුවෙත් නෑ. හරි.. ඒ චන්ද්‍රිකා මැතිනිය කියමු. 2005දි මහින්ද මහත්තයා බලයට ආවානේ. එයා ඇවිල්ලත් මට කිසිම ඇමැතිකමක් දුන්නේ නෑ. මම එයාගෙන් ඉල්ලුවෙත් නෑ.

හැබැයි පසුව ඔබට ඇමැතිධූරයක් ලැබෙනවා?

ඔව්. මට ලැබෙනවා. ඒ ලැබෙන්නේ ප්‍රධාන ඇමැතිධූරයක කොටසක් විතරයි. මාව කෘෂිකර්ම සංවර්ධන ඇමැතිවරයා ලෙස පත් කළා. මගේ විෂයයේ ඇමැති පදවිය දීලා තිබුණේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට. එතුමා තමයි කෘෂිකර්ම ඇමැති. මහින්ද මහත්තයා තමන්ගේ අයියාව තිව්වේ ඔහු යටතේ.

එතකොට වරාය හා ගුවන්සේවා ඇමැතිකම?

ඒක හරිම අහඹු සිද්ධියක්. මංගල සමරවීර මැතිතුමා තමයි ඔය ඇමැතිකමේ හිටියේ. එයා හිටි හැටියේ ගියානේ. ඒ ගියාම මහින්ද ජනාධිපතිතුමා කිව්වේ ආපහු මංගල අරගන්න ඕන. එයා එනකම් මේ ඇමැතිකම් දැනට තියාගන්න කියලා. වෙන කෙනෙක්ට දුන්නොත් මංගල ආපහු ආවාම ඉල්ලලා දෙන්න බැරි නිසා මට දුන්නේ. එහෙමයි ඒක ලැබුණේ.

හැබැයි ඔහොම කියලා පවුල් පාලනයක් තිබුණේ නෑ කියලා බේරෙන්න බෑ. රාජපක්ෂ පවුලම හිටියේ පහුගිය රජයේ තීරණාත්මක තැන්වල?

එහෙම කියන්න ඔබට බැහැ. මහින්ද මහත්තයා රාජපක්ෂලා කාවවත් බලෙන් පාර්ලිමේන්තු ගෙනාවේ නෑ. රටේ ජනතාවයි ඡන්දෙන් පත්කරලා එව්වේ. පවුල් පාලනය කරනවා නම් මහින්ද මහත්තයා කාටත් වඩා මටයි සලකන්න ඕන. එයා ඔතෙන්ට ආවේ 77දී මම කළ කැපකිරීම නිසා. මහජන ඡන්දයෙන් පාර්ලිමේන්තු ආවේ නැත්තේ ගෝඨාභය මහත්තයා විතරයි. එයා 71දි හමුදාවට බැඳිලා ලුතිතන්වරයෙක් හැටියට උතුරේ විජය විමලරත්න, කොබ්බෑකඩුව වගේ අය යටතේ වඩමාරච්චි සටන කරලා යුද්ධය පිළිබඳ හොද අවබෝධයක් තිබුණ කෙනෙක්. ඔහු අමෙරිකාවට යන්නේ දශක දෙකක හමුදා සේවය අවසන් වුණාම. රාජපක්ෂ කෙනෙක් නොවුණත් ඔහු තමයි ආරක්ෂක ලේකම්ධූරයට හොඳම කෙනා. ඒකට 2009 වෙද්දි හිටිය ඕනම හමුදා නිලධාරියෙක් සාක්ෂි දරාවී.

දැන් සහෝදර සමාගම විසිරිලා වෙලාවට එකතුවේවී

එතකොට ඔහු රාජපක්ෂ කෙනෙක් වීම ආරක්ෂක ලේකම්ධූරයට එන්න සුදුසුකමක් වුණේ නෑ කියලද කියන්නේ?

දේශපාලනය ගැන ඔබේ දැනුම මට ගැටලුවක්. ඒ වගේ තනතුරකට විශ්වාසය අතිශයින් අවශ්‍යය වෙනව. ඔබ දන්නවාද කර්නල් සී.ඒ. ධර්මපාල කියලා ආරක්ෂක ලේකම් කෙනෙක්. ඔහු ලෙඩින් එකතැන්වෙලා ඇඳේ ඉන්න ගමන් තමයි ආරක්ෂක ලේකම්කම කළේ. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා ලෙඩ වෙලා ඇඳේ හිටිය නැගිටින්නත් බැරි කෙනෙක් ආරක්ෂක ලේකම් කළේ විශ්වාසය තියන්න පුළුවන් කෙනා එයා නිසා. මොකද ඔවුන් දෙදෙනාත් ඥාතීන්. මහින්ද මහත්තයා මානුෂිය මෙහෙයුම පටන් ගත්තේ අනිත් අය වගේ අතගාන්න නෙවෙයි. අවසන් කරන්න. එහෙනම් එතෙන්ට සුදුසුම විශ්වාසවන්තයා වුණේ ඒ හිටපු ලේකම්තුමා තමයි.

බැසිල් රාජපක්ෂ මහත්තයාට තමයි පහුගිය ආණ්ඩුව වැට්ටුවා කියන දරුණුම චෝදනාව එල්ල වුණේ?

ඒක ඔහුට ලබාදීපු අමාත්‍යාංශයේ ගැටලුවක්. ඒ අමාත්‍යාංශයට රජයේ අනෙක් අමාත්‍යාංශය බොහොමයකට බලපෑම් කරන්න පුළුවන් වුණා. මම හිතන්නේ ප්‍රශ්නය ඇතිවුණේ එතන. දැන් කියන විදියේ ඔය සුපිරි අමාත්‍යාංශයක් වුණා ඒක.

දැන් කෝ ඔය කියන සහෝදර සමාගම?

දැන් සහෝදර සමඟම විසිරිලානේ ඉන්නේ. එයාලා තනි තනිව තමන්ගේ හැකියාවන් පෙන්වනවා. වෙලාව ආවාම එකතු වේවී.

මහින්ද රාජපක්ෂ රජයට 2015 ජනවාරියේදී ඒ ඉරණම අත්වේවි කියලා ඔබට ඊට පෙර දැනුණාද?

ඒ කාලේ දවසක් මම ඇඹිලිපිටියේ තිබුණ සමසමාජ පක්ෂයේ සම්මේලනයකට සහභාගී වුණා ප්‍රධාන අමුත්තා විදියට. මම එතෙන්දි කිව්වා දැන් යුද්දේ ඉවරයි, දැන් ජනාධිපතික්‍රමය අහෝසි කළ යුතුයි කියලා. ඒ කාලෙම මිනිස්සුන්ගේ බඩ ගැන කතා කළා. ඒ එක්කම ජනවාරි 08 මැතිවරණයේ අඩුපාඩු කිව්වා. ඒක පරාජය වෙන බවත් කිව්වා.

ඒ කිව්ව එක ඇහුවද?

නෑනේ. ඇහුවා නම් ඔහොම වෙන්නේ නෑ.

පක්ෂය සමගි කරන්න මට තනතුරු ඕන නැහැ

හරි... රාජපක්ෂවරයෙක් විදියට, ඔබට අනුව මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට වැරදුණේ කොතනද?

වැරදුණේ කියන්නේ ඒ ආණ්ඩුව පරාජය වෙන්න එක හේතුවක් යම් යම් කරැණු නිසා ඇමැතිවරු අතර තිබුණ නොසතුට. අනික සමාජයේ වැරදි කළ පුද්ගලයන් ආරක්ෂා කිරීම. මන්ත්‍රීවරුද ඇතුළුව ඔවුන්ට නිදැල්ලේ ඉන්න ඉඩ හදලා දීපු එක. ඒ වගේම ඒ කාලේ රජයට එල්ල වුණ විවේචනවලට නිසි පිළිතුරු ලබානොදීම. ඒ වගේම රජය කළ විශාල වැඩ කොටස ජනතාවට නිවැරදිව සන්නිවේදනය නොවීම. ප්‍රේමදාස මහත්තයාගේ කාලේ ලංකාවේ කොහේ හරි නළළිඳක් ගැහුවත් ලංකාවේම පෝස්ටරයක් වදිනවා.

ආණ්ඩුවේ දැවැන්ත දූෂණයත් හේතුවක් නේද?

පහුගිය අවුරුදු 10 ගැන විතරක් කතා කරන එක නතර කරමු. මොකද අපි අතීතයත් එක්කයි මේවා බලන්න ඕන. මම ඉස්සෙල්ලා කිව්වා ගාමිණි, ලලිත් දෙන්නාගේ අතීතය ගැන. දැන් ඔය ඉන්න සමහරු වගේම එක්කෙනෙක් කියලා ඉස්සර හිතුව ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂම කියලා එකක් මැතිනිය ඇතිකරලා අක්කර 50ට වැඩි ඉඩම් යම් අයෙක්ට තියෙනවා නම් ඒවා රජය යටතට ගන්න. ජේ.ආර්. කලේ එයාගේ මුඩු ඉඩමක් රජයට දීලා අර කොමිෂම හරහා සාමාන්‍ය වැසියෙක්ගෙන් ගත්ත ඉතාම මිලෙන් වැඩි ඉඩමක් තමන්ගේ නමට ලියාගත්තා. රොනීද මැල් මුදල් ඇමැතිවරයාගේ ගී කියන වත්ත මේ කොමිෂමෙන් ගත්තා. හැබැයි එයා පස්සේ ආණ්ඩු බලය ආවගමන් ඒක ගත්තා. මම මේ කිව්වේ අතීතයේ හිටිය කට්ටිය ගැන.

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව මාධ්‍ය මර්දනය කළා කියන චෝදනාවත් ගෙදර යන්න හේතුවක් නේද?

රිචර්ඩ් සොයිසා මැරුවේ කවුද? 88 - 89 රටේ හැම හන්දියේම තරුණයෝ ටයර්වල දාලා ප්‍රසිද්ධියේ ගිනි තිව්වේ කවුද? ලංකාවේ වදකාගාර බරගාණක් සාක්ෂි සහිතවම කරගෙන ගියේ කවුද? ඔබ දේශපාලනික වශයෙන් සමබර නම් මේ අතීතයත් එක්ක සසඳලා බලන්න ඕන. මේ කිව්ව ඒවා සාක්ෂි සහිතව පස්සේ කාලෙක සමාජය පිළිගත්ත කාරණා. අපිට තියෙනවා වගේ චෝදනා නෙවෙයි. අපි ඝාතනය කළා කියන මාධ්‍යවේදීන් සම්බන්ධ පරීක්ෂණ දැන් සිද්ධ වෙනවානේ. ඇයි ඒවා මඟ නැවතිලා තියෙන්නේ. අපිත් කියන්නේ ඒවා අවසන් කරලා රටේ මිනිස්සුන්ට ඇත්ත කියන්න කියලා.

දැන් ඔබ කියන්නේ ගිය ආණ්ඩුවට එල්ලවෙන ඒ චෝදනා සත්‍යයෙන් තොරයි කියලාද?

මිනිස්සු එක්ක පෞද්ගලික තරහවල් තියෙද්දිත් මිනිස්සු මරාගන්නවා. ඒවාට ආණ්ඩුව විදියට අපිට කරන්න දෙයක් නෑ. මම ඉස්සෙල්ලා කිව්ව කාලේ එහෙම නෙවෙයි. පොලීසිය හා හමුදාව කෙලින්ම මැදිහත්වෙලා මිනිස්සු මරනවා.

ඔබේ ආණ්ඩුවට චෝදනා එල්ල වුණා හමුදාව විවිධ නීතිවිරෝධී කාරණාවලට යොදාගත්තා කියලා?

අපේ ආණ්ඩුව කාලයේ යුද්ධය උච්චතම අවස්ථාවට ඇවිල්ලා තිබුණේ. ඒකාලේ ත්‍රිවිධ හමුදාවට පොලීසියට සිද්ධ වෙනවා යම් යම් දේවල් ක්‍රියාත්මක කරන්න. ඒ වෙලාවල්වලදී සිද්ධවෙන දේවල් පස්සේ එලව එලවා යන්නත් වැඩක් නෑ. මොකද එහෙම නොවුණා නම් තමයි ප්‍රශ්නේ. ඔබ අහපු ප්‍රශ්නයට උත්තරය හොයද්දී බලන්න ඕන 88, 89, 90 තරම් කාලයේ වගේ විශාල චෝදනා තිබුණාද කියලා. එහෙම නෑ. සිද්ධ වුණේ පුන පුනා කියද්දී මිනිස්සු බොරුව ඇත්ත කියලා හිතුවා.

ගිය ආණ්ඩුව වැරුදි කළ සමහරු රැක්කා

ඔබ කරන්නේ ප්‍රශ්නය මඟ අරින එක නේද පෙර ආණ්ඩු ඇදලා අරගෙන?

හරි. එහෙනම් මෙහෙම කියමු. දැන් ඔය සුදු වෑන්වලින් පැහැරගෙන ගියා කියලා කියනවානේ රට වටේම. මේ වෙද්දී රටම දන්න සිදුවීම තුනකට අදාළ පරීක්ෂණ යනවා. අමෙරිකාවේ කැනඩාවේ ගිහිල්ලත් තවම ඒවාට අපිව පටලවන්න දැඟලුවාට හරි ගියේ නෑ. ඒ ඇරුණාම පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරු දෙසීය ගාණගෙන්ම අහන්න තමන්ගේ බලප්‍රදේශවල සුදුවෑන්වලින් කාව හරි පැහැරගෙන ගියා කියලා පැමිණිලි තියේද කියලා. මම කියන්නේ චෝදනා නෙවෙයි, පැමිණිලි. ඔබ උත්සාහ කරන්නේ වර්තමාන රජයට නැඟුණු අදටත් විසඳිලා නැති චෝදනා ගැන මම කතා කරන එක නතර කරන්න.

නෑ. අපිට එහෙම කිසිම ඕනෑකමක් නෑ?

නැත්තම් ගිහින් ලියන්න. දේශපාලන බලයට කෑදර නිසා ප්‍රේමදාස යුගයේ මේ කොළඹ ශ්‍රීලනිප සංවිධායකවරයා පවා ඝාතනය කළ මිනිස්සු මේ ඉන්නේ. මහියංගනේ ශ්‍රීලනිප සංවිධායක මරලා දැම්මා. මේ වගේ පක්ෂ සංවිධායකලාම කීයක් මරලා දැම්මාද දන්නවාද?

මල්ලිලා, ඥාතීන් හැමදාම වගේ උසාවි, පොලීසි යනවා. ගෙදර ඉඳන් ඒවා බලද්දී මොකද හිතෙන්නේ?

එතන වෙන්නේ මොකද්ද කියලා මිනිස්සුන්ට තේරෙනවා. මටත් තේරෙනවා. කරන්න දෙයක් නෑ. බලාගෙන ඉන්නවා.

අපි දන්න විදියට ඔබේ සහෝදරයන් ඔබට ගෞරව කරනවා. ඇයි ඔබට බැරිවුණේ ඔවුන්ව දේශපාලනික වශයෙන් පාලනය කරගන්න?

පාලනය කරන එක මගේ ක්‍රමය නෙවෙයි.

ඔබේ පියාගේ දායකත්වයත් එක්ක ගොඩනැගුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද වෙද්දී පිල් දෙකකට කැඩිලා. මේ පිල් දෙක එකතු කරන්න මැදිහත්කරුවෙක් විදියට ඔබව ඉහළට ගන්න පහුගිය කාලයේ මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරයා ඔබට ආණ්ඩුවේ ඉහළ තනතුරක් ලබාදෙන්න උත්සාහ කළා කියලා ආරංචියක් තියෙනවා?

එහෙම තනතුරක් ගැන නම් දන්නේ නෑ. හැබැයි සමඟිය ඇති කරන්න නම් මමත් පෙරමුණ ගන්නවා. මෛත්‍රිපාල සිරිසේන ජනපතිවරයා දැන් මේ සහයෝගය දෙන්නේ එදා එතුමා දැඩිසේ එරෙහි වුණ 2001දි එක්සත් ජාතික පක්ෂය අරගෙන ආපු යළි පුබුදමු ශ්‍රී ලංකා ගැටයට. එතුමාට ඒක තේරැම් යන දවසට පක්ෂය නැවත ශක්තිමත් කරන්න අපි හැමෝම ඉන්නවා. ඒකට තනතුරු ඕනෑ නැහැ.

හැබැයි මේ දවස්වල තිරය පිටුපස ඔබ හෝ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අගමැති කිරීමේ සැලැස්මක් ක්‍රියාත්මක වෙනවාද?

නෑ. මම දැනුම්වත් තරමින් නෑ.

වැරදිලා හරි අගමැති තනතුරට ආරාධනාවක් ලැබුණොත් බාරගන්නාවාද?

මහ මැතිවරණයකින් අපි ජයග්‍රහණය කරලා ආවොත් බාරගන්නවා. නැතිව පිනට දුන්නට භාරගන්නේ නෑ.

අපි මුලින් හම්බන්තොට වරාය ගැන කතා කළා. දැන් ඒ වරාය චීන සමාගමකට ලබාදෙන්න මේ රජය කටයුතු කරලා තියෙනවා කියලා සමාජයෙන් දැවැන්ත චෝදනාවක් නැගෙනවා. පසුගියදා රටම කැළඹුණා මේ නිසා?

ඔව්. චීන සමාගමකට හම්බන්තොට වරාය හා ඒ අවට අක්කර 15000ක ඉඩම් ප්‍රමාණයක් ලබාදෙන්න යනවා කියන සාකච්ඡාවක් සිද්ධ වෙනවා. මේකට අදාළ අවබෝධතා ගිවිසුමක් සමාගමක් සමඟ අත්සන් කළා කියලත් කියැවෙනවා. මේ ආණ්ඩුව කරන්නේ එයාලා කරනවා කිව්ව දේවල් නෙවෙයි. අපි වරාය, ගුවන්තොටුපොළ හදනවා කියලා මහින්ද චින්තනයෙන් කිව්වා. අපි ඒවා කළා. මෙයාලා කරනවා කිව්ව කිසිදෙයක් කළේ නෑ. කරන දේවල් ඔක්කොම කලින් කියපුවා නෙවෙයි.

පහුගිය සතියේ මේ ආණ්ඩුවේ හම්බන්තොට සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කරන අවස්ථාවේ විශාල කලබලයක් වුණා. ඔබට හා නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට මේ ප්‍රදේශයට එන්න එපා කියලා අධිකරණ නියෝගයක් තිබියදී ඔවුන් අදාළ ප්‍රදේශයට ගිහින් ජනතාව සමඟ උද්ඝෝෂණය සංවිධානය කළා කියලා දැන් චෝදනා එල්ල වෙනවා?

අපි වැරදි දේකට වැරදියි කිව්වාමත්, ඒක අහවල්ලු අහවල්ලු චෝදනා කරනවා කියලා ඔබ ප්‍රශ්න හදනවා. ඒකෙන් කියවන මිනිස්සු හිතන්නේ ඒ වැරදි කරන අය හරි වැරැද්ද පෙන්නන අපි වැරැදියි කියලා.

මම අහපු ප්‍රශ්නයට ආපහු ගියොත්?

ආණ්ඩුව කළ අවිනිශ්චිත ප්‍රකාශයන් නිසා ප්‍රදේශයේ ගරුතර ස්වාමීන් වහන්සේලා තමයි ජනතා නායකත්වය කළේ. අපි කාවවත් සංවිධානය කළේ නෑ. ආණ්ඩුව නිවැරදි කළේ නැහැ අක්කර 15,000ක් පවරාගන්නවා කියන එකයි. වරාය චීන සමාගමකට 99 අවුරුද්දකට බදු දෙනවා කියන එකයි. මේ පාගමනට මටත් ස්වාමීන් වහන්සේලා ආරාධනා කළා. මම ඒ ආරාධනය අනුවයි ඊට සහභාගි වුණේ.

ඇයි අධිකරණ නියෝගයක් තියෙද්දී පාගමනක් ගියේ?

පාගමන ගියේ ප්‍රදේශයේ සංඝරත්නය. උන්වහන්සේලාට අවශ්‍ය වුණා මේ උත්සවයට එන උදවියට පෙන්වන්න මේකට දැඩි විරෝධයක් තියෙනවා කියලා.

ආවේ පාගමනක් නම් ඇයි අර තරම් ලොකු ගැටුමක් ගියේ?

ඔව්. හොඳ ප්‍රශ්ණයක්. ආවේ සාමකාමී පාගමනක්. ඒත් රජය කළේ අම්බලන්තොට නගරයේ ඉඳලාම එක පාරට පාරවල් වැහුවා. පාගමන ආපු මිනිස්සු අම්බලන්තොට හා හම්බන්තොට කිෙලා්මීටර් පහක් දහයක් අතරේ හිර වුණා. පස්සේ ඒ හිරකරගත්ත මිනිස්සුන්ට කඳුළු ගෑස් ගහන්න පටන් ගත්තා. ඉතින් මිනිස්සු ප්‍රකෝප වුණා.

මෙතන ඩොලර් බිලියනයක ආයෝජනයක් සිදුවෙනවා. ලක්ෂයකට රැකියා දෙනවා කියලා චීන තානාපතිවරයා කිව්වා. දැන් ඔබ කියන්නේ මේ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතිය එපා කියලද?

ඔය ආයෝජන කතා කිව්වේ පස්සේනේ. අපි විරුද්ධ ආයෝජනයට නෙවෙයි. භූමිය පවරා ගැනීමට හා චීන සමාගමකට අනූනම අවුරුද්දකට මේක දෙන එකටයි විරුද්ධ.

හැබැයි රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශයක් කළා නේද ඔය කියන ඉඩම් පවරා ගැනීමේ කටයුත්ත සාගල රත්නායක අමාත්‍යවරයා හා ඔබට පවරලා තියෙනවා කියලා. එතකොට එක පැත්තකින් විරෝධය දක්වන අතරේ ඔබ මේ කටයුත්තට අනෙක් පැත්තෙන් සහාය දෙනවාද?

ඒක වුණේ මේකයි. මමයි ඔය ප්‍රදේශයේ අවුරුදු ගාණක ඉඳලා සංවර්ධන කටයුතු කරන්නේ. ඒ නිසා මම දන්නවා ප්‍රදේශයේ තියෙන මුඩු ඉඩම් මොනවාද, පන්සල් මොනවාද, මිනිස්සු ඉන්නේ කොහේද, ගොවි ඉඩම් මොනවද හැමදෙයක්ම. අනික අපි දක්ෂිණ සංවර්ධන අධිකාරිය යටතේ විශාලා හම්බන්තොට කියලා ව්‍යාපෘතියක් සැලසුම් කළා. මේ සියල්ලම දන්නේ මම. දැන් මේ සිද්ධ වෙන්නේ පාර්ශව දෙකම එකතුවෙලා නිවැරදිභූමිය හඳුනාගෙන සංවර්ධන ආයෝජනය ක්‍රියාත්මක කිරීම. මම දකින විදියට ඒක තමයි වෙන්න ඕන.

හැබැයි දේශපාලක විචාරකයෝ කියනවා හම්බන්තොට චීනයට විකිණීමේදී එන ජනතා විරෝධය ආණ්ඩුව විසින් සියුම් ලෙස රාජපක්ෂලාගේ පිට පැටෙව්වා කියලා?

මම නම් එහෙම හිතන්නේ නෑ. අපි ඔය වරාය හැදුවේ කොහොමත් හම්බන්තොට වරාය ප්‍රදේශයේ විශාල සංවර්ධනයක් බලාපොරොත්තුවෙන්. දැන් මේ වෙන්නෙත් ඒකම තමයි. ප්‍රශ්ණ තියෙනවා. බලමු ඉතින් විසඳගන්න පුළුවන් වුණොත් අපි ඉස්සරහට යමු.

♦ ප්‍රසාද් අබේවික්‍රම