2018 මාර්තු 03 වන සෙනසුරාදා

කමිටුද? කතා සාප්පු ද?

 2018 මාර්තු 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 49

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වන ආර්ථික කළමනාකරණ කමිටුවෙන් වැඩක් වී නැති බවත් පසුගිය කාල සීමාව තුළදී එම කමිටුවෙන් සිදු වී ඇත්තේ රට නොමඟ යවන සුළු ප්‍රකාශ සිදු කිරීම පමණක් බවත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පසුගිය කැබිනට් මණ්ඩලයේදී ප්‍රකාශ කර තිබිණි. එම කමිටුව අහෝසි කළ යුතු බවද ඔහුගේ ප්‍රකාශයේ සඳහන් විය.

ජනාධිපතිවරයාගේ ප්‍රකාශයට අගමැති එකඟත්වයක් පළ කර නොතිබිණි. ඔහු ප්‍රකාශ කර ඇත්තේ එම කමිටුවෙන් පසුගිය කාලය තුළ විශාල වැඩ කොටසක් ඉටු කළ බවකි. එම ප්‍රකාශයට මංගල සමරවීර සහ මලික් සමරවික්‍රම ඇමැතිවරුන්ගේ සහාය ද ලැබිණි. එහෙත් රාජිත සේනාරත්න ඇමැතිවරයා කියා තිබුණේ සෞඛ්‍ය අමාත්‍යංශයට ලැබිය යුතු ආයෝජන ව්‍යාපෘති කිහිපයක්ම ආර්ථික කළමනාකරණ කමිටුව හේතුවෙන් වසර එකහමාරක් ප්‍රමාද වූ බවය. මේ විස්තරය ලොකු කතාබහක කොටසක් පමණි. ඒ තුළ තිබෙන දේශපාලන විරසකකම්වල දිග පළල මැනීම අපගේ කාර්යයක් නොවේ. එහෙත් මේ කතාව රටේ යහපතට අදාළ කර ගැනීමේදී අපට ද පහළ වන අදහස් කිහිපයක්ම තිබේ.

මුලින්ම ඕනෑම අයකුගේ සිතට පහළ වෙන අදහසක් වන්නේ රටේ මුදල් ඇමැතිවරයකු සිටියදී අමාත්‍ය මණ්ඩලයක් තිබියදී ආර්ථික කටයුතු සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමට වෙනත් කමිටුවක අවශ්‍යතාව කුමක්ද යන්නය. මේ ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව දෙගොඩ තලා යන ගංවතුරක් ලෙසින් සංවර්ධන වැඩ පිළිවෙළක් ආරම්භ වූවානම් මෙවැනි කමිටු එකක් නොව දහයක් පිහිටුවූවත් කමක් නැත. සංවර්ධන වැඩ කඩිනම් කිරීමටත් වඩාත් සුදුසු ව්‍යාපෘති තෝරා ගැනීමට එවැනි කමිටු උදව් වනු ඇත. එහෙත් ඒ වෙනුවට අපට දැකගත හැකි වූයේ ඉතාම මන්දගාමී ස්වරූපයකින් ක්‍රියාත්මක වූ රටට නොදැනෙන සංවර්ධන වැඩපිළිවෙළක් සිදුවන බවයි. එවැනි අවස්ථාවකදී මෙවැනි කමිටුවලින් සිදුවන්නේ තවදුරටත් ප්‍රමාද වීම් සහ බාධා ඇති කිරීම් පමණක් බව දන්නෝ දනිති. 

ආර්ථික කටයුතු පිළිබඳ සියලු අයිතිය තිබෙන්නේත් තීන්දු ගැනීම් සිදු කළ යුත්තේත් පාර්ලිමේන්තුව බව අග්‍රාමාත්‍යවරයාම වරින්වර සිදු කරන ප්‍රකාශයකි. එසේනම් තීන්දු තීරණ ගැනීමට වෙනත් කමිටු කුමටද යන්න ගැටලුවක් නොවේද? රටක සියලු ප්‍රශ්න විසඳීම කමිටුවලට භාර දෙනවානම් එවැනි රටකට ආණ්ඩුවක් අවශ්‍ය නැත. රැස්වන දවසකට රැපියල් මිලියන 45ක් වැය කරන පාර්ලිමේන්තුවක් අවශ්‍ය නැත. කමිටු කිහිපයක් පිහිටුවා ඒවාට වැඩ කටයුතු සැලසුම් කිරීම බාර දීම පමණක් ප්‍රමාණවත් වනු ඇත. මෙය ප්‍රායෝගික නොවන බව ඕනෑම කෙනකුට තේරුම් ගත හැකිය. 

අනෙක් අතට ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබූ පරිදි රටට පැමිණි ජර්මන් සහ කටාර් ආයෝජන රඳවා ගැනීමට හෝ මේ ආර්ථික කළමනාකරණ කමිටුව අසමත්ව තිබේ. හරිනම් කමිටුවක් දැමිය යුත්තේ රටට එන එවැනි ආයෝජන ආපසු හරවා යැවූ භූතයන් කවුදැයි සොයා බැලීම සඳහාය. අපේ රටේ සාමාන්‍යයෙන් ජන ව්‍යවහාරයේ පවතින්නේ රටට පැමිණි ආයෝජකයකු සද්ද නොකර ආපසු ගියානම් ඊට ප්‍රධානම හේතුව කොමිස් කුට්ටි ප්‍රශ්නයක් බවය. අග්‍රාමාත්‍යවරයා කළ යුතුව තිබුණේ රටට පැමිණෙන ආයෝජකයන් ආපසු හැරීම පිළිබඳ කරැණු සොයා බැලීමෙ කමිටුවක් දැමීම බව අපද විශ්වාස කරන්නේ ඒ හේතුවෙනි.

ජනතාව ආණ්ඩුවක් පිහිටුවා ගන්නේ රටටත් තමන්ටත් බලපාන බරපතළ ගැටලුවලට විසඳුම් සොයා ගැනීමටය. මේ රජය බලයට පත් වී දැන් හරියටම වසර දෙකහමාරක් පසු වී ගොසිනි. රජය බලයට පත්වනවිට තිබූ බොහොමයක් ආර්ථික ගැටලු තවමත් එසේම පැවතීම කමිටු ක්‍රමය අසාර්ථක බව පෙන්නුම් කරන සාධකයකි. විශේෂයෙන් කැබිනට් මණ්ඩලයක් තිබියදී සියලු ආර්ථික ගැටලු, ආයෝජන, ව්‍යාපෘති සියල්ලම සාකච්ඡාකොට ඉක්මන් තීන්දු ගැනීමට හැකියාව තිබියදී තවත් සාකච්ඡා දිග්ගස්සන කමිටු ක්‍රියාත්මක වීම ඵල රහිතය. වැඩක් සිදු නොවී නිකම් සාකච්ඡා කරමින් කාලය කා දමන නමට පමණක් තිබෙන කමිටු, මණ්ඩල, රැස්වීම් සාමාන්‍ය ජනවහරට අනුව හැඳින්වෙන්නේ කතා සාප්පු වශයෙනි. දැන් මේ රටට අවශ්‍ය වන්නේ කතා සාප්පු නොවේ. වැඩ කරන ශක්තිමත් පාලන තන්ත්‍රයකි. ඒ බව පැහැදිලිව පසුගිය පළාත් පාලන ඡන්දයේදී රටේ ඡන්ද දායකයන් විසින් ආණ්ඩුවට පෙන්වා දී තිබේ.

අපේ රටට ආර්ථික ගැටලුවලින් ගොඩ ඒමට නම් ඩොලර්, යූරෝ ආයෝජන අවශ්‍ය බව රහසක් නොවේ. ආණ්ඩුව මුල සිටම කමිටු පත් කරමින් නොසිට ක්‍රියාකාරීව වැඩට බැස්සානම් මේ වනවිට එවැනිම ආර්ථික ජයග්‍රහණ කිහිපයක්ම අත්පත් කර ගැනීමට හැකියාව තිබූ බව අපේ විශ්වාසයයි. යුරෝපය අපේ මත්ස්‍ය අපනයනයට දමා තිබූ තහනම ඉවත් කරවා ගැනීමට ක්‍රියා කිරීම මේ රජයේ එවැනි හොඳ පියවරක් බව සඳහන් කළ යුතුය. එම තීරණ ක්‍රියාත්මක කරවා ගැනීමට හැකි වූයේ රජය ඒ සඳහා කැපවීමෙන් ක්‍රියා කිරීම හේතුවෙන් මිස කමිටු දැමීමෙන් නොවේ. එය එක් උදාහරණයකි. 

එසේම රටේ සාමාන්‍ය මිනිසුන්ට බලපාන දවසින් දවස ජීවන වියදම ඉහළ යාම, සේවා ගාස්තු වැඩි වීම, ගොවීන්ට පොහොර ටික නැති වීම, වී, එළවළු, කිරි ගොවීන්ගේ නිෂ්පාදන මිලට ගැනීමට ක්‍රමවත් වැඩපිළිවෙළක් නොමැති වීම වැනි අත්‍යාවශ්‍ය කාරණා බොහොමයකට ආර්ථික කළමනාකරණ කමිටුවට පිළිතුරැ නොතිබූ බවද පැහැදිලිය. රටේ ජනතාවට නිදහසට කරුණු කීමෙන් පළක් නැත. ජනතාවට අවශ්‍ය තමන්ගේ ප්‍රශ්නවලට උත්තරය. ඒ උත්තර නොලැබෙනවිට ඔවුන් උත්තර දෙන්නේ කතිරයෙනි.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00