2018 මාර්තු 03 වන සෙනසුරාදා

මහින්ද මහත්තයා ජනප්‍රියයි කියලා අගමැතිකම ගන්න බැහැ

 2018 මාර්තු 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 95

- ශ්‍රීලනිප මහ ලේකම් දුමින්ද දිසානායක 

 

♦ ආණ්ඩුවේ අර්බුදය හැදුවෙ තිලංග සුමතිපාල
♦ යූ.ඇන්.පී.යේ ප්‍රශ්න මගෙන් අහන්න එපා
♦ දෙදාස් විස්සේ ජනාධිපති අපේක්ෂකයා ගෝඨාභය මහත්තයා නොවේ
♦ ඡන්ද ප්‍රතිඵලයට පොහොර ප්‍රශ්නෙත් බලපෑවා
♦ අනාගතේ අපි හොරු නැති ආණ්ඩුවක් හදනවා

පළාත් පාලන මැතිවරණයේ දී ඔබත් ඔබේ පක්ෂයේ අයත් උදම් ඇනුවා ශ්‍රීලනිපය විශිෂ්ට ජයග්‍රහණයක් ලබනවා කියලා. ඒත් විශාල පරාජයක් ලැබුවා. මොකද වුණේ?

මේ පරාජයට හේතුව තමයි ශ්‍රීලනිප වේදිකාවේ මාතෘකාව වුණෙත් අපිට ප්‍රතිවිරුද්ධ වේදිකාවේ මතය. මේ නිසා ශ්‍රීලනිප පාක්ෂිකයෝ හිතන්න ඇති ආණ්ඩුවේ ඉඳන්ම ආණ්ඩු විරෝධී මතවාදයක් අරගෙන යනවා නම් අපි මොකටද ආණ්ඩුවට ඡන්දය දෙන්නේ කියලා. ඒක එක හේතුවක්. හැබැයි ශ්‍රීලනිප පාක්ෂිකයෝ ශ්‍රීලනිපය පරාජය කරන්න කල්පනා කළා කියලා හිතන්න බෑ. මොකද අපි ජනතාවට සහන වගේම ජීවත් වීමේ නිදහසත් ලබාදුන්නා. ඒ වගේම අපි බලයට එනකොට හොරු අල්ලනවා කිව්වා. ඒත් ඒ දේ මන්දගාමී වුණා. ජනතාව ඒකට උත්තරයක් දුන්නා දැන් හොරු අල්ලන්න කාලය කියලා. ඒ නිසා මේක තාවකාලික පරාජයක්. ඒ වගේම ජනතාව ඇන්න ටොක්කක් හැටියටයි මම දකින්නේ.

ඔබ ඔය වක්‍රාකාරයෙන් එජාපයටත් චෝදනා කරනවා නේද?

නෑ. ආණ්ඩු පක්ෂය හැටියට අපි සියලු දෙනාටම. 

ඔබ මේ පරාජයට පක්ෂයේ මැතිවරණ මෙහෙයුම් කමිටුව වගකියන්න ඕන කියලා කියනවා. ඒ ඇයි?

නෑ. අපේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙක් කියලා තිබ්බා මේ පරාජයට ශ්‍රීලනිප ලේකම් වගකියන්න ඕන කියලා. මම ඒ නිසයි කිව්වේ. එහෙම නැතුව කාටවත් මඩ ගහන්න නෙමෙයි. මම සාමාන්‍යයෙන් ගේ ඇතුළේ දේවල් පිටට දෙන්නේ නෑ. හැබැයි මම කල්පනා කළා ඒ අය ගේ ඇතුළේ කරන්න ඕන දේවල් හතරමං හන්දියේ කරනවා නම් ඒ දේවල්වලට මම උත්තරයක් දෙන්නෙ නැත්තම් මමයි වැරදිකාරයා වෙන්නේ කියලා. ඒ නිසා තමයි මම ඒක පොඩ්ඩක් මතක් කරලා දුන්නේ. දැන් ඒක ඉවරයි.

ඔබට ඒ චෝදනාව එල්ල කළේ ජෝන් සෙනවිරත්න අමාත්‍යවරයා. ඔහු පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙක්. ජ්‍යෙෂ්ඨයෙක් එහෙම කටට එන දේවල් කියන්නෙ නෑනේ?

මෙහෙමයි. වයසට ගිය පමණින් ජ්‍යෙෂ්ඨයෙක් වෙනවා නම් ඔය කියන කාරණය හරි. ඒත් නායකයෙක් ජ්‍යෙෂ්ඨයෙක් කරන්න ඕන එවැනි පරාජයක දී පක්ෂයේ වෙනස්කම් කරලා පක්ෂයේ සාමාජිකයන්ගේ විශ්වාසය දිනාගෙන ඉදිරි මැතිවරණයකට යන එක. එහෙම නැතුව පරාජයේ වගකීම කාගේ හරි අතේ තියලා බේරෙන එක ජ්‍යෙෂ්ඨයෙක්ගේ ගුණාංගයක් වෙන්නෙ නෑ.

පක්ෂයක පරාජයක දී කෙළින්ම ඇඟිල්ල දිගුවෙන්නෙ පක්ෂයේ නායකයාටයි ලේකම්වරයාටයි. ඔවුන් ඒ වගකීම ගන්න ඕන නේද?

ඒකනෙ එදා පැහැදිලිවම කිව්වේ වගකීම බාරගන්න මම සූදානම්. හැබැයි ඒකෙන් සියලු ප්‍රශ්නවලට පිළිතුරක් ලැබෙනවා නම් කමක් නෑ. උත්තරයක් හම්බවෙන්නෙ නෑ. පක්ෂයේ පරාජය ලේකම්වරයා විතරක් බාරගන්නවා නම් පක්ෂයේ ඉදිරි ගමනට ඒ තුළින් වාසියක් වෙන්නෙ නෑනේ. කරන්න ඕනෙ පක්ෂ අභ්‍යන්තරයනේ. එහෙම නැතුව මාධ්‍ය ඉදිරියේ ඔයාලා එක්ක කතා කරන එක නෙමෙයිනේ. පක්ෂ අභ්‍යන්තරයේ කතා කරන්න ඕන කොතැනද අපිට වැරදුණේ කියලා. එහෙම නැතුව එක්කෙනෙක්ට දෙන්නෙක්ට ඇඟිල්ල දික් කරලා මේක විසඳෙන්නේ නෑනේ.

ඒ කියන්නේ මේ වෙනකොට පක්ෂය ඇතුළේ දෙවැනි කැරැල්ලක් පටන් අරගෙන?

නෑ. කිසිම ගැටලුවක් නෑ. මේක මාධ්‍යයෙන් හදපු ගැටලුවක්. එහෙම නැතුව ජෝන් සෙනවිරත්න ඇමැතිතුමයි මගෙයි අතර එහෙම ගැටලුවක් නෑ.

ඔබලා පහුගිය කාලයේම මහින්ද රාජපක්ෂ මහත්තයා ප්‍රමුඛ පොදුජන පෙරමුණ හෑල්ලුවට ලක් කළා. ඒ හෑල්ලු කිරීම ශ්‍රීලනිපයේ පසුබෑමට බලපෑවා වෙන්න බැරිද?

නෑ. පොහොට්ටුව අපි හෑල්ලුවකට ගත්තෙ නෑ. අද පොහොට්ටුවට කතිරය ගහපු අයටත් තේරිලා තියෙනවා වෙච්ච වැරැද්ද? ඔබලත් දකින්න ඇතිනේ මහින්ද රාජපක්ෂ මහත්තයා මෙහෙයුවේ පළාත් පාලන මැතිවරණයක් නෙමෙයි 11 වැනිදයින් පස්සෙ එතුමා අගමැති වෙන ඡන්දයක්. ඒ නිසා එදා පොහොට්ටුවට කතිරේ ගහපු අය අහස දිහා බලන් ඉන්නවා මොකද වුණේ කියලා. රැවටුණා නේද කියලා ඒ අය හිතනවා. පළාත් පාලන මැතිවරණයකින් අගමැතිවත් ජනාධිපතිවත් වෙනස් කරන්න බෑ. අපි පුන පුනා කිව්වා. දැන් බලන්න මහරගම එකම පවුලේ 9 දෙනෙක් ඡන්දය දිනලා තියෙනවා. කොටින්ම ඒ අය මහරගම පදිංචිත් නෑ. ඒකෙන් පැහැදිලියි නේද රැවටිලා ගහපු කතිරයක් මේක කියලා. සමහර මන්ත්‍රීවරු ඉන්නවා දිනලා තියෙනවා. මිනිහා මැරිලා. මිනිහා ඉන්නවද අතපය තියෙනවද කියලත් බලලා නෑ.

ඒකෙන් හිතන්නෙ නැද්ද පොහොට්ටුවෙන් ඕන කෙනෙක් දැම්මත් ජනතාව ඡන්දය දෙන්න බලාගෙන හිටියා කියලා?

අනේ නෑ. මහින්ද රාජපක්ෂ මහත්තයාට අපේ රටේ ජනතාවගේ විරෝධයක් නෑනේ. කැමැත්තක් තියෙනවා. ජනප්‍රිය, ආකර්ෂණීය, හැමෝටම කුළුපහ නායකයෙක් කියලා. ඒක එතුමාට තියෙන පෞද්ගලික හැකියාවක් සහ වාසනාවක්. හැබැයි පෞද්ගලික හැකියාවයි වාසනාවයි හැමතැනදීම පාවිච්චි කරන්න බෑ කියලා තහවුරු වෙලා තියෙනවා. මහින්ද මහත්තයා ජනප්‍රියයි තමයි. ජනප්‍රියකමට ඡන්දය දුන්නා කියලා හිතුණ හිතුණ වෙලාවට අගමැති කරන්න බෑනේ. ආණ්ඩුව ගන්නත් බෑනේ. ඒ නිසා මේ කාරණය ගැඹුරින් බලන්න ඕන කාරණයක්.

ඔබ පිළිගන්නවාද මහින්ද රාජපක්ෂ මහත්තයා කඩාගත්තේ ශ්‍රීලනිපය සතු ඡන්ද කියලා?

නෑ. පැහැදිලිවම ශ්‍රීලනිප අපි පහුගිය අවුරුදු දහයම මොන දේ කළත් කතා කළේ වැඩ ගැන නෙමෙයි මහින්ද රාජපක්ෂ මහත්තයා ගැන. හැමදේටම කිව්වේ මහින්ද රාජපක්ෂ කියන නම. අවුරුදු දහයක් තිස්සෙ අපි ජප කරලා ජප කරලා ඔළුවට දැම්ම පණිවිඩේ අපිට අවුරුදු තුනකින් ගලවන එක ලේසි නෑ. අමාරුයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බහුතරය අද මහින්ද රාජපක්ෂ මහත්තයා සමඟ සමීපව ඉන්නවා. ඒ වගේම කියන්න ඕන මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ජනාධිපති වෙලත් පක්ෂයේ නායකයා වෙලත් කවදාවත් අපිට කියලා නෑ මේක මෛත්‍රීගේ මෛත්‍රීගේ කියන්න. අපි දැන් තමයි පක්ෂය ගොඩනගන්නේ. ඒ නිසා ඔය මහින්ද මහත්තයට ළංවෙච්ච කට්ටියට එතුමාට අගමැති වෙන්නවත්, ජනාධිපති වෙන්නවත් බෑ කියලා තේරෙන්න කාලයක් යනවා.

මැතිවරණයට පෙර ඔබ දිගින් දිගටම කිව්වා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට විරුද්ධව විනය පියවර ගන්නවා කියලා. ඒ වගේම ඔහුත් එක්ක ඉන්න ශ්‍රීලනිපයටත්. අවසානයේ ජනතාව විනය ක්‍රියාමාර්ග ගත්තේ ඔබලාට විරුද්ධවයි. මේ කිව්ව දේවල් පරදින්න හේතු වුණා නේද?

නෑ. කිසිම පාඩමක් පක්ෂය පැත්තෙන් පාඩමක් උගන්වලා නෑ අපිට. මේ මැතිවරණයේ දී දුන්න ප්‍රතිඵලය හැම එකටම ළං කරන්න බෑනේ. මේ ප්‍රතිඵල රටටයි අතනටයි මෙතනටයි ලඝු කරන්න එපා අපි පක්ෂයක් හැටියට ගන්න ඕන ක්‍රියාමාර්ග ගත යුතුයි. නැත්තම් ඒක පක්ෂයට බලපානවා. ඒ දේට මේ ප්‍රතිඵල හිලව් කරන්න එපා. ඒක බොළඳ තර්කයක්.

ඒක ඔබ නියෝජනය කළ කොට්ඨාසය, දිස්ත්‍රික්කය, ඒ වගේම ජනාධිපතිවරයාගේ දිස්ත්‍රික්කයත් පරාජය වුණා. ගමේ මිනිස්සුවත් පිළිගන්නෙ නැති තැනට ඔබලව පත්වෙලානෙ?

මේක අපි පිළිගන්නවද නැද්ද කියන කාරණය නෙමෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැටියට අපි අතින් වෙච්ච හොඳ දේවලුත් තියෙනවා. ජනතාව බලාපොරොත්තු වෙච්ච දේවල් නොවිච්ච එකකුත් තියෙනවා. ඒ ටික සිද්ධ නොවුණාම අපිත් එක්ක ඉන්න ජනතාව ටොක්කක් අනින අවස්ථා තියෙනවා. එවැනි අවස්ථාවක් මේක. අනිත් හැම දිස්ත්‍රිකයම දිනලා ජනාධිපතිතුමාගෙයි මගෙයි දිස්ත්‍රික්ක දෙක පැරදුණා නම් ඔය කතාව කියන්න පුළුවන්.

ඔබලා නියෝජනය කරන ප්‍රදේශ ගොවි ජනපද? ඒ මිනිස්සුන්ට අවශ්‍ය කරන පොහොර ටිකවත් වෙලාවට දෙන්න බැරිවුණා. ඒකත් බලපෑවා නේද?

පැහැදිලිවම පොහොර ප්‍රශ්නය ජනතාවට බලපෑම් කළේ නෑ කියන්න බෑ. මෙට්‍රික් ටොන් 40000 ක් පකිස්තානයෙන් ගේන්න හැදුවා. අන්තිමේ ඔවුන් ඒක අපනයනය කරන්නෙ නෑ කියලා තීරණය කළාම මේ පොහොර ගැටලුව බලපෑවා. මොකද පොහොර කියන දේ වැඩිපුර අපි ගෙනත් තියාගෙන නෑ. හදිසියට ගන්න තැනක් නෑ. හිරවෙනවා.

ඇයි මේ කවදාවත් පළාත් පාලන මැතිවරණයකින් පස්සෙ නොවුණ විදියට ආණ්ඩුව දෙදරන්න ගත්තෙ?

ඇත්තටම මම විශ්වාස කරනවා ආණ්ඩුවක් හැටියට අපේ දැඩි දුර්වලතාවයක්. මොකද පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලයත් එක්ක. ඒක ආණ්ඩුවට බලපානවාද නැද්ද කියලා කලබල වෙන එක ආණ්ඩුවේ ලොකු දුර්වලතාවයක්. මම මේක හොඳක් හැටියට දකින්නේ නෑ. මොකද මේ ප්‍රතිඵලයෙන් අපිට ආණ්ඩු හදන්න ජනතාව දුන්න ජනවරම නැතිවෙන්නෙ නෑ. මේක විහිළුවක්. මේ විහිළුව ආණ්ඩුව නවත්වන්න ඕන.

හැබැයි මේ දේවල් කළේ ජනාධිපතිවරයනෙ. ඒ බව ඇමැතිවරුත් සනාථ කළානෙ?

ජනාධිපතිතුමා මේ සියල්ල කතා කළේ අභ්‍යන්තරයේ. හැබැයි මේ අභ්‍යන්තරයේ කතා කරපු දේවල් අපේම කණ්ඩායමක් එළියට දැම්මා. එහෙම නැතුව ජනාධිපතිවරයා අත්දැකීම් නැති කෙනෙක් නෙමෙයිනේ. එතුමාට හික්මීමක් තියෙනවා. නමුත් වුණේ එතුමා ගාවම ඉන්න අපේ කණ්ඩායම්. එහෙම හිතුවට ඒ අය අපේ නෙමෙයි. ජනාධිපතිට හිතවත් කණ්ඩායමකුත් නෙමෙයි. මේ අය තමයි අවුලක් කළේ. එහෙම නැතුව ජනාධිපතිතුමාගේ වුවමනාවක් නෙමෙයි. නමුත් ආණ්ඩුව අවුල් කරන්න ඕන අය මේක එළියට දැම්මා.

දැන් ඔබ කියනවා මේවා අභ්‍යන්තරයේ කතා කරපුවා කියලා. ඒත් සන්ධාන මහ ලේකම් අමරවීර නිවේදනයක් නිකුත් කළා සම්මුතිවාදී ආණ්ඩුවෙන් ඉවත් වෙනවා කියලා. මොකක්ද මේ දෙබිඩි කතාව?

නෑ. ඒක බොරුවක්. ඒකට සන්ධාන ලේකම් අත්සන් කරලත් නෑ. එවැනි ලිපියක් දීලත් නෑ. ඒක පට්ටපල් බොරුවක්.

එතකොට කවුද මේ මහ ලේකම්වරුන්ටත් උඩින් ඉන්න පුද්ගලයෝ?

ඒක ඔබතුමා මහින්ද අමරවීර මහත්තයගෙන් අහන්න. එතුමා එවැනි ලියුමක් ගැහුවේ නෑ. තිලංග සුමතිපාල මහත්තයා අර්බුදයක් හදන්න සිදුකරපු කුමන්ත්‍රණකාරී වැඩක්.

ඇයි තිලංග සුමතිපාලට එවැනි අවශ්‍යතාවයක්. ඔහුත් ඔබේ පක්ෂයේ යාවජීව සාමාජිකයෙක්?

අපි ඉදිරියට බලමු. එක එක්කෙනා ඉන්නවනේ තමන්ගේ පෞද්ගලික අරමුණු ඉෂ්ඨ කරගන්න බලාපොරොත්තු වෙන කට්ටිය. ඒ වගේම වෙනම ගමන් යන්න බලාපොරොත්තු වෙන කට්ටිය ඉන්නවා. ඉදිරියේ දී තීන්දුවක් ගන්න ඕන. පක්ෂයක් වුණාම මාධ්‍ය ප්‍රකාශක හැටියට පක්ෂයේ තීන්දුවක් එළියට දෙනවා මිසක් තමන්ගේ වුවමනාවට තමන්ගේ යටිකූට්ටු වැඩවලට මාධ්‍ය ප්‍රකාශ දීලා වැඩක් නෑ. තිලංග සුමතිපාල මහත්තයා බ්‍රේකින් නිව්ස් එකක් හැටියට යැව්වෙත් පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කළෙත් ඒක. නමුත් ජනතාව දන්නවනේ එහෙම දෙයක් වෙලා නෑ කියලා. නීතිපතිගෙන් විමසලත් නෑ. නියෝජ්‍ය කතානායක වෙච්ච එතුමා කිව්වේ මේක නීතිපතිගෙන් විමසන්න යවලා තියෙනවා කියලා. ඒ සියල්ල බොරුනේ. ඔබතුමාලා හරි පව්. මගෙන් නෙමෙයි ඔය ප්‍රශ්න අහන්න ඕන තිලංග සුමතිපාල මහත්තයගෙන්.

එවැනි ප්‍රශ්නයක් නැත්තම් ඇයි මේ හදිසියේ කැබිනට් මණ්ඩලය වෙනස් කළේ?

නෑ. කැබිනට් මණ්ඩලයේ වෙනස් කිරීමට ජනාධිපතිවරයාට ඕනෑම වෙලාවක බලය තියෙනවා. මේ වෙලාවේ යම් වෙනසක් කිරීමත් දේශපාලන උපක්‍රමයක් ලෙස කටයුතු කරනවා.

ඒක පුදුම උපක්‍රමයක් නේ. ඇයි ශ්‍රීලනිප ඇමැතිලා වෙනස් නොකළේ. ශ්‍රීලනිපයට වෙනම හැන්දක්නෙ?

නෑ. අපි කිව්වනේ ශ්‍රීලනිපයේ ඇමැතිවරු කිහිපදෙනෙක් රටෙන් බැහැරවෙලා නිසා තමයි ඒක කළේ නැත්තේ කියලා. ඒ නිසා සති දෙකක් ඇතුළතදී ඒක සිද්ධවෙනවා. අපිත් එදා ගියේ බලාපොරොත්තුවෙන්. ඒත් ඒක සිද්ධවුණේ නෑ.

අපිට දැනගන්න ලැබුණා සන්ධානය වෙනම ආණ්ඩුවක් හදන එකට විරුද්ධ වුණේ ඔබ කියලා. ඇත්තද?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය එකතුවෙලා හදපු ආණ්ඩුවෙන් අපි ජනතාවට දුන්න පොරොන්දු තියෙනවා. ඒ වගේම මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ජනවාරි 8 වැනිදා පත්වුණේ කාගෙවත් වුවමනාවකට නෙමෙයි. දැක්මක් ඇතුව පත්වෙච්ච නායකයෙක්. එදා එතුමාට හිටියේ කවුද? එදා එතුමාගේ ආත්ම ශක්තියත් එක්ක එළියට බහිනවා. එදා එතුමා එක්ක එළියට බැස්ස අනිත් කෙනා තමයි මම. එතකොට එතුමයි අපියි ජනතාවට ලබාදුන්න මහා චිත්‍රයක් තියෙනවා. ඒ චිත්‍රය අපි අංගසම්පූර්ණ කළ යුතු වෙනවා. ඒ බලාපොරොත්තු ඉටුකිරීමට ජනාධිපතිවරයාට වගේම මටත් තියෙනවා. ඒක යුතුකමක්. ඒක මගේ වගකීම. ඒ වෙනුවෙන් මම ජනාධිපතිවරයා එක්ක ඉන්නවා.

ඒ කියන්නෙ ඔබට හීනයක් නැද්ද කවදාවත් ශ්‍රීලනිප ආණ්ඩුවක් හදන්න?

පැහැදිලිවම තියෙනවා. 2020 දී අපි තනි ආණ්ඩුවක් හදනවා. හැබැයි ඒ ආණ්ඩුව හොරු නැති ආණ්ඩුවක් වෙන්න ඕන.

එතකොට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයගේ සහයෝගයට විරුද්ධ වුණේ ඒ නිසාද?

නෑ. බලන්නකෝ. බැසිල් රාජපක්ෂ මහත්තයට නඩු තියෙනවා. අපි කොහොමද රෙද්දක් ඇඳගෙන එතුමා එක්ක වාඩිවෙන්නේ. 2015 දී හොරා හොරා කියලා නඩු දාලා. අයිතිකාරයෙක් නැති ගෙවල් තියෙනවා. මේවා ජනතාවට කියලා අපි කොහොමද මේ ඔක්කොම අමතක කරලා ෂෝක් කියන්නද?

හැබැයි කවදාහරි ශ්‍රීලනිප සියලු දෙනා මහින්ද රාජපක්ෂ මහත්තයා සමඟ එකතු වුණොත් ඔබ මොකද කරන්නෙ?

අපි ශ්‍රීලනිපය බින්දුවේ ඉඳන් හදනවා. ශ්‍රීලනිපයට හොරුත් එක්ක යන්න ඕන ගමනක් කියලා නෑ. අපි විරුද්ධ හොරකම වංචාවටනේ. ඒක දුමින්ද කළත් හොරකමක්. මහින්ද රාජපක්ෂ කළත් හොරකමක්. බැසිල් රාජපක්ෂ කළත් හොරකමක්. ගෝඨාභය කළත් හොරකමක්. මහින්ද අමරවීර කළත් හොරකමක්. 2015 මේ රටේ බලාපොරොත්තු වුණේ සිස්ටම් චේන්ජ් එකක්. එහෙම නැතුව මහින්ද වෙනුවට මෛත්‍රී වාඩිකරන්න නෙමෙයි. එහෙම නැතුව ඔළුගෙඩි මාරුවක් නෙමෙයි. ඒකයි අපිට කිසිම බලයක් නැතුව ජයගන්න පුළුවන් වුණේ.

හැබැයි මේ සිස්ටම් චේන්ජ් එක වැරදුණා නේද?

වැරදිලා නෑ. අඩුපාඩු තියෙනවා. සාමාන්‍යයෙන් සිස්ටම් චේන්ජ් කරන එක ලේසි නෑ. වචනයෙන් කිව්වට ඒක සංකීර්ණ වැඩක්.

මේ තත්ත්වය මත එජාපයේ අභ්‍යන්තර ගැටලු ඇතිවෙලා. අගමැතිවරයාට විරුද්ධව පක්ෂයෙන්ම කැරැල්ලක් ඇතිවෙලා?

එක්සත් ජාතික පක්ෂයේ දේවල් මගෙන් අහන්න එපා. මම එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයෙක් නෙමෙයි.

නෑ. මම අහන්නේ අගමැතිවරයාට විශ්වාසභංගයක් ආවොත් ශ්‍රීලනිපය ඉන්නේ කොතැනද?

පක්ෂයක් හැටියට තීරණයක් ගන්න ඕනෙ. විශ්වාසභංගයක් නැතිකොට විශ්වාසභංගයක් බාරගන්නෙත් නෑ. එජාපයේ අභ්‍යන්තර ප්‍රශ්න අපිට අදාළත් නෑ.

මේ මැතිවරණ ප්‍රතිඵලයත් එක්ක ඉදිරි පළාත් පාලන මැතිවරණය කොයි වගේ අභියෝගයක් වෙයිද?

ඉදිරි පළාත් පාලන මැතිවරණය පුළුල් සන්ධානයකින් අපි තරග වදිනවා.

ඒ සන්ධානයට පොහොට්ටුව අයත්ද?

ඉදිරියට බලාගන්න පුළුවන්. මාධ්‍යයෙන් ඉල්ලීමක් කරනවා. මේ මාධ්‍ය තමයි විශාල ප්‍රශ්න තොගයක් ඇති කරන්න මූලික වුණේ. අපිට පක්ෂයක් හැටියට ඉඩ දෙන්න සන්ධානගත වෙන්න. ඇත්තටම මේවා මාධ්‍යයට අනවශ්‍ය දේවල්නෙ. පක්ෂ අභ්‍යන්තරයේ සාකච්ඡා කරන්න අවස්ථාවක් දෙන්නකෝ.

මේ වෙනකොට 2020 ජනාධිපතිවරයා හැටියට ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ගේන්න තීරණය කරලා එක් කඳවුරක්.  ශ්‍රීලනිපය මෛත්‍රීපාල මහත්තයා ගේන්න තීන්දු කරලා. දැන් කවුද මෙතන බලවත් සාධකය?

පැහැදිලිව කියනවා මොනම හේතුවකින්වත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා වෙන්නෙ නෑ 2020. ඒක වෙන්න බෑ.

ඇයි එහෙම කියන්න හේතුව?

හේතුව 2020 දී ඔබලා බලාගන්න.

♦ ගයාන් ගාල්ලගේ

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00