2018 පෙබරවාරි 24 වන සෙනසුරාදා

සිත නිවන කතාවලින් පරාජය වහගන්න බැහැ

 2018 පෙබරවාරි 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 67

එ.ජා.ප හිටපු මහ ලේකම්  තිස්ස අත්තනායක

♦ මම පක්ෂයෙ ඉද්දි ආපු කැරලිවලදි නායකයා රැක්කා  
♦ එ.ජා.ප.ය රාජකීය රෙජීමයකට යටවෙලා 
♦ රාජපක්ෂලට ගැහුවට ජනතාවට වුණ සෙතක් නැහැ 
♦ ජනාධිපතිවරණයේදි හිටගන්නෙ රට ගැන හිතන කෙනෙක් එක්කයි  
♦ තවමත් අපේ මන්ත්‍රීලා මට දුක කියන්න එනවා 
♦ අද මට ගල් ගහන අයට ළඟදිම හරි සිතුවිලි පහළ වේවි

 

 

 

පළාත් පාලන මැතිවරණයත් සමඟ එක්සත් ජාතික පක්ෂය ඇතුළේ දරුණු කුණාටුවක් ඇති වුණා. කොහොමද එවැනි අවස්ථාවක පක්ෂය ඊට මුහුණ දෙන්නේ.

මම දැක්කා මේ මැතිවරණ ප්‍රතිඵලත් එක්ක එක එක පක්ෂ මේ ජය පරාජය අර්ථ ගන්වනවා. කවුරැ මොනදේ කිව්වත් ජනතාව මතයක් ඉදිරිපත් කරලා තියෙනවා ආණ්ඩුවට විරුද්ධව. ඒකෙන් තේරෙන්නේ පසුගිය ජනවාරි 08 දුන්න ජනවරම නිවැරදි ලෙස ආණ්ඩුව භාවිත නොකළ නිසා ඊට විරුද්ධවයි මේ ඡන්දය ප්‍රකාශ කරලා තියෙන්නේ. ඒ වගේම ජනතාවගේ ආර්ථික අපහසුතාවයත් මේ ඡන්ද ප්‍රතිඵලවලට බලපෑවා. විශේෂයෙන් මෙතනදී ජාතිකත්වය කියන කාරණය ප්‍රධාන වශයෙන් ඉස්මතු වී තියෙනවා.

එතැනදී එ.ජා.ප.යට ඡන්දය අහිමි වීමට හේතුව?

එ.ජා.ප.යට වෙච්ච මූලික කාරණය තමයි පාක්ෂිකයන් නොසලකා හැරීම. ඒ පාක්ෂිකයන්ව උද්ෙයා්ගිමත් කළේ නෑ. මේ කාරණා තමයි හේතුව. ඉතින් මේ නිසා එ.ජා.ප. පාක්ෂිකයන් ඡන්ද පොළට ගිහින් තමන්ගේ විරුද්ධත්වය ප්‍රකාශ කිරීම සාධාරණයි. ඒකට හේතුව තමයි මේ මැතිවරණයේදී සැලසුම් සහගත මැතිවරණයක් කළේ නෑ. මේ නිසා ආණ්ඩුවටත් එ.ජා.ප.යටත් පැහැදිලි රතු එළියක් දීලා තියෙනවා මේ ආණ්ඩුව වෙනස් කරන බවට.

ඔබ එලෙස අර්ථ ගැන්වූවාට එ.ජා.ප.යේ වර්තමාන ඇමැතිවරු කියන්නේ තවමත් රාජපක්ෂ විරෝධී බහුතරය ක්‍රියාත්මකයි. සැබෑ ජයග්‍රහණය එ.ජා.ප.ය කියලා.

මේ වගේ දේවල්වලට කියන්නේ සිත නිවන කතා කියලා. ඔය හිත හදාගන්නනේ කියන්නේ. මේ පරාජය පේනවා. ඒත් එහෙම නෑ කියලා ඒත්තු ගන්වන්න තමයි ඔය වගේ කතා කියන්නේ. ඇත්තටම වැරැද්ද පිළිගන්න. එ.ජා.ප.ය ඊළඟ සැරේවත් හදාගන්න. අනික රාජපක්ෂ මහත්තයගේ පක්ෂය විතරද බලයක් ඉල්ලුවේ. නෑ. එ.ජා.පය, ශ්‍රීල.නි.පය වෙන වෙනම බලය ඉල්ලුවා. ඉතින් ඔවුන්ටත් ලැබෙන්න එපැයි. ඒ නිසා මේ පරාජය ගැන හිතන්න ඕන. හිතලා ගණන් හිලව් හද හදා ඉන්නේ නැතුව ජයග්‍රහණය කරා මෙහෙයවන්න ඕන. දැන් ඉස්සරහට පළාත් සභා එනවා. ඒ නිසා ඔහොම හිතුවොත් වෙන්නේ සිය දිවි නසාගන්න.

ඔබ හිටපු එ.ජා.ප. මහ ලේකම්. ඔබ හිටියා නම් අද මොකද කරන්නේ?

ඇත්තටම මම මෙතැනදී කරණා දෙකක් හිතනවා. එකක් මම හිටියා නම් අද මෙවැනි දෙයක් එ.ජා.ප.යට සිද්ධ වෙන්න දෙන්නේ නෑ. ඒක කරන්නේ හාස්කමකින් නෙමෙයි. පළමු දේ තමයි මම දන්නවා අපි වෙනුවෙන් දුක් විඳපු එ.ජා.ප. පාක්ෂිකයෝ. ඊට පස්සේ වෘත්තීය සමිති, බිම් මට්ටමේ නිලධාරීන්. ඒ නිසා ඔවුන් වෙනුවෙන් මම හිටියානම් මොනවා හරි කරලා දෙයක් කරනවා. එ.ජා. පක්ෂයේ අයට අමතකයි ජනාධිපතිවරණය දිනෙව්වේ ජනතාව කියලා. අපේ වෘත්තීය සමිති පවා මේ වෙනකොට කඩා වැටිලා. ඇත්තටම මම හිටියා නම් මේවා රැකගන්න තැනට යනවා. මොකද මට එ.ජා.ප පාක්ෂිකයන් ගැන කැක්කුමක් තියෙනවා. හැබැයි මට දෙවැනියට හිතෙනවා එක අතකින් මේකට කර නොගහා හිටිය එක හොඳයි කියලා. හැබැයි මොනදේ කළත් දුකක් තියෙනවා පාක්ෂිකයන්ට සලකන්න බැරි වුණාම. 

දැන් ඔබට වඩා පක්ෂයත් එක්ක බැඳිච්ච පක්ෂයේ පුද්ගලයෝ ඉන්නවනේ. ඇයි  ඔවුන්ට නොතේරෙන්නේ?

මටත් හිතාගන්න අමාරු ඔතන. අපි මේ වින්ද දුක් වේදනා දන්න සුළු පිරිසක් ඔතන ඉන්නවා. හැබැයි ඒ අයට හඬක් නෑ. ඒ වගේම අලුත් අයට ඒ ගැන අවශ්‍යතාවයකුත් නෑ. කොහොම වුණත් පක්ෂ නායකයාගේ වටේ ඉන්න කට්ටිය මේවා ගැන හොයලා බලන්න ඕන. එහෙම නැතුව රාජපක්ෂලාට ගැහුවා කියලා හොරු ඇල්ලවා කියලා පාක්ෂිකයන්ට අත්වුණු සෙතක් නෑනේ. මේ දේවල්වලට හේතුව තමයි පක්ෂය රාජකීය රෙජිමයකට යටවෙලා තියෙන්නේ. ඒ නිසයි මේ අපරාදය සිද්ධ වුණේ. ඒ නිසා වෙනස් වෙන්න ඕනේ අපේ පක්ෂය. ඒ වෙනස නොවුණොත් යන්නේ කනත්තට.

මේ මැතිවරණ ප්‍රතිඵලයෙන් පස්සේ නායකත්වය ගැනත් ගැටලුවක් ආවා. අද ඔබ පක්ෂයේ ලේකම් වුණා නම් කාගේ පැත්තද ගන්නේ?

ඇත්තටම මම නිතර ගත්තේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ පැත්ත. ඔහුව ආරක්ෂා කරන්න පියවර ගත්තා. එතුමට එරෙහිව ගැසූ කැරලි ගණනාවක් තිබ්බා. 1997දී තමයි මුල්ම විරෝධය ආවේ. එදා අපි එතුමාව ආරක්ෂා කළා. අන්තිමට එතුමා ගාමිණි අතුකෝරළ මහත්තයව පක්ෂ ලේකම්කමින් අයින් කරලා දේශපාලනයේ නැති කෙනෙක් දැම්මා. එදා පක්ෂයේ මේ නිසා බෙදීමක් ඇති වුණා. ඒකට වග කියන්න ඕන රනිල් වික්‍රමසිංහ මහත්තයා. ඊට පස්සේ 2004දීත් ඔයිට වඩා ආවා. අන්තිමට එදත් ලිස්සලා ගියා. ප්‍රති සංවිධාන කරනවා කියලා. අවසානයේ පක්ෂයෙන් 17ක් යනකල්ම කිසිදෙයක් වුණේ නෑ. හැබැයි 2006දී මම මහ ලේකම් හැටියට වැඩ බරගත්ත දවසේ ඉඳලා පක්ෂය එකතු කළා. පක්ෂය දැන් අලුත් මුහුණුවරකින් යන්න ඕන.

ඒ කියන්නේ පක්ෂ නායකත්වයේ වෙනසක් ඕන නෑ?

මම පැහැදිලිවම කියනවා එක්සත් ජාතික පක්ෂයේ පැහැදිලි වෙනසක් පාක්ෂිකයන් පවා බලාපොරොත්තු වෙනවා. දැන් එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කරන්න ඕන ඊළඟ ජනාධිපති අපේක්ෂකයට පාර හදන්න. ඒක එක්සත් ජාතික පක්ෂ කළ යුතු දෙයක්.

ඔබ එ.ජා.පය අත ඇරලා ගියේ මහින්ද රාජපක්ෂ ගාවට. දැන් ඔවුන් වෙනත් පක්ෂයකින් බලය පෙන්නුවා. අලුත් පක්ෂයට ඔබට ආරාධනාවක් නැද්ද?

දේශපාලනයේ මහා පරිවර්තනයක් කරපු පුද්ගලයෙක් තමයි මහින්ද රාජපක්ෂ කියන්නේ. ඔහු දේශපාලන හැකියාව පෙන්නපු කෙනෙක්. ඔහුගේ චරිතයටයි ජයග්‍රහණය ලැබෙන්නේ. ඔහුට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැතුව, රාජ්‍ය බලයක් නැතුව, ඔහුට පහර දෙද්දී ඔහු තනියම නැගී සිටියා. ඒක විශිෂ්ට ගනයේ නායකත්වයක්. ඔහු පරාජය වූ තැන ඉඳලා දේශපාලනය කළා. ඒක මහා දේශපාලන පිම්මක් වුණා. මේ දේවල් නිසා අද මට රටේ අයත් කියන්නේ නිවැරදි තැන මට හිටගන්න කියලා. ඒක වාසියකට කියලා එදා කිව්වට නිවැරදි තීරණය ඒක. එදා මට තේරුණා මේ පොදු අපේක්ෂක කතාවත් එක්ක එජාපයට සිදුවන පරිහානිය. ඒ දේවල් හිතලා තමයි ඉවත් වුණේ. ගොඩක් අය අහනවා මම දැන් මොකද කරන්නේ කියලා. මගේ ලේත් තියෙන්නේ එක්සත් ජාතික පක්ෂය එක්ක. හැබැයි මහින්ද රාජපක්ෂ මහත්තයත් ඉල්ලීම් කරනවා එකතුවෙලා වැඩ කරන්න.

ඊළඟ ජනාධිපතිවරණයේදී ඔබ ගත්ත තීරණය මොකක්ද?

ඉදිරි ජනාධිපතිවරණයේදී මම තීරණාත්මක සාධකයක් වෙයි. අද මට ගල්ගහන අය එදාට හිතයි තිස්ස අත්තනායක මොනවගේ චරිතයක්ද කියලා. ඒත් දැන්ම කියන්න බෑ. මට පුළුවන් ඉදිරි ජනාධිපතිවරණයේදී ලක්ෂ දෙක තුනක වෙනසක් ඇති කරන්න. හැබැයි රට ගැන හිතන කෙනෙක් එක්ක තමයි එතනදි මම හිටගන්නේ.

ඔබ එක්සත් ජාතික පාක්ෂිකයෙක්ද තවමත්?

ඔව්. මම එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයෙක්. මට කණගාටුයි කියන්න මම ජනාධිපතිවරණයේදී තීරණයක් ගත්තා කියලා බන්ධනාගාරය ඇතුළේ ඉන්නකොට පක්ෂයෙන් ඉවත් කළා. මෙච්චර පක්ෂය වෙනුවෙන් වැඩකරපු මට එහෙම කරපු එක වැරදියි.අපේම අය මගේම ගෝලයෝ මාව මාස ගණනක් වැලිකඩ රැඳෙව්වා. ඒ දේවල් මම සියල්ල ඉවසුවා. පසුගිය අවුරුදු තුනේදී පාක්ෂිකයෝ කිව්වා මාව නැවත පක්ෂයට ගන්න කියලා. ඒ ඔවුන්ගේ අදහසයි.

ඒ කියන්නේ ඔබ පක්ෂයට එක්වෙන්න ගියේ නැද්ද?

මම උත්සාහ දරනවා නෙමෙයි මගේ පාක්ෂිකයින්, මිත්‍රයන් උත්සාහ ගන්නේ. මම කාගේ ගාවවත් දණින් වැටෙන්න සූදානම් නෑ තැනක් ඉල්ලලා.

ඔබ එනවට කන්ද උඩරට සමහර දේශපාලනඥයන් අකමැති වුණා කියන්නේ ඇත්තද?

එහෙම කටකතා තියෙනවා. සමහර අය කිව්වා එජාපය නියෝජනය කරන රාජකීය රෙජීමයේ දෙන්නෙක් තුන්දෙනෙක් මට විරුද්ධව කතා කරලා තියෙනවා. ඒ අය බයයි මම එනවට. ඔබ ඔය කියන කන්ද උඩරට එක්කෙනත් මම තමයි එජාපයට එක්කන් ආවේ. කොහොම වුණත් එජාපයේ අනාගතය අඳුරුයි. හැබැයි ගොඩක් දෙනෙක් බලාපොරොත්තු වෙනවා මම නැවත ඇවිත් නායකත්වය ගනියි කියලා.

ඇත්තද ඔබ තවමත් මන්ත්‍රීවරුන්ගේ දුක්ගන්නාරාළ කියන්නේ?

ඇත්තටම ඔව්. තවමත් මන්ත්‍රීවරු ඇවිත් දුක් කියන්නේ මට. ඒ වගේම පාක්ෂිකයනුත්. හේතුව කාගෙවත් දුක අහන්න කෙනෙක් දැන් එජාපයේ නෑ. ඔය මන්ත්‍රීවරු තවමත් එනවා දුක කියන්න. මමත් අහනවා. දවසට හත අටක් එනවා. ඔවුන් මාව අමතක කර නෑ.

ඇත්තද ඔබට දෛවඥයන් කිව්වා කියන්නේ හොඳ අනාගතයක් ඉදිරියේ තියෙනවා කියලා?

මෙහෙමත් කතාවක් කියනවා. කන්දක් නැග්ගොත් පල්ලමක් තියෙනවා කියලා. ඒ වගේ තත්ත්වයක් තමයි මට තියෙන්නේ. හැමදාම ජයග්‍රහණයක් නෑ. පරාජයකුත් නෑ. හැබැයි අනාගතේ මගේ නරක කාලය ඉවත් වෙලා හොඳ කාලයක් උදා වෙයි. ජේ. ආර්. ජයවර්ධන මහත්තයා පරාජය වෙලා ගෙදරට වෙලා හිටියා. පස්සේ එතුමා ඇවිත් ජනාධිපති වෙනකල් උඩට ගියා. ප්‍රේමදාස මහත්තයත් එහෙමයි. මහින්ද රාජපක්ෂ මහත්තයත් එහෙමයි. ඩී. බී. විජේතුංග මහත්තයත් එහෙමයි.

ඔබගේ දුවත් පසුගිය කාලයේ දේශපාලන කරළියේ කතා බහට ලක් වුණා. ඇය දේශපාලනයට එන්න අදහසක් නැද්ද?

මගේ දරුවෝ කවුරුවත් දේශපාලනයට එන්නේ නෑ. මගේ දරුවන්ගේ ජීවිත කාලයෙම මම දේශපාලනය කළා. මේ නිසා මම ගොඩක් දේවල්වලට පැටලුනා. ඒ හැමදෙයක්ම ඒ අය දැක්කා. මේ නිසා ඒ අය දේශපාලනයට කැමැත්තක් නෑ. දේශපාලනය ගැන විශ්වාසයක් නෑ. මම යාළුවෙකුටවත් එන්න දෙන්නේ නෑ මේ දේශපාලනයට. ඒ තරම් මඩ ගොඩක්.

අවසාන වශයෙන් ඔබ හිතනවද මේ ඡන්ද ප්‍රතිඵලයෙන් ආණ්ඩුව ඉවත් වෙන්න ඕන කියලා?

නෑ. මේක ආණ්ඩු මාරු කරන ඡන්දයක් නෙමෙයි. හැබැයි අගමැතිතුමා කිව්වා බ්‍රිතාන්‍ය සම්ප්‍රදාය අනුගමනය කරන්නේ කියලා. එහෙනම් ඒ දේවල් එහෙමම කරන්න. කොහොම වුණත් ආණ්ඩුව මේ ජනමතය ගැනත් හිතන්න ඕන. මේ ප්‍රතිඵලය මත ආණ්ඩුව අස්ථාවර නම් හොඳම දේ තමයි පාර්ලිමේන්තු මැතිවරණයකට යන එක. ඒකට නීතිමය බාධාවක් තියෙනවා. ඒක වෙනස් කරන්නත් පාර්ලිමේන්තුවට බලයක් තියෙනවා. ඒ ජනමතයට ආණ්ඩුව එකඟ වෙලා කටයුතු කරන්න ඕන.

► ගයාන් ගාල්ලගේ

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00