2018 පෙබරවාරි 17 වන සෙනසුරාදා

ආණ්ඩුව හොල්ලන යූ.එන්.පි.යේ අර්බුදය

 2018 පෙබරවාරි 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 217

ඊළඟට මොකද වෙන්නේ? පුංචි ඡන්දයේ ප්‍රතිඵල ලැබීමෙන් පස්සේ බොහොමයක් දෙනාගේ ප්‍රශ්නය වුණේ ඒකය. එසේ අසන්නේ ඡන්දයෙන් තේරීපත් වූ මන්ත්‍රීවරැන් ගමේ ආණ්ඩු හදාගෙන වැඩ කරගෙන යන එක ගැන නොවේ. මහ ආණ්ඩුවට මොකද වෙන්නේ කියන එකය. ඒකට හේතුව ලංකාවේ පළමු වතාවට බලයේ පවතින ආණ්ඩුවක් පැවැත්වූ පුංචි ඡන්දයකින් එම ආණ්ඩුවට දරුණු පරාජයක් අත්වී තිබීමය. විධායක ජනාධිපතිවරයකු සහ ජාතික රජයක අගමැතිවරයකු සිටින රජයක් යටතේ මෙහෙම වෙන්න විශේෂ හේතු තිබිය යුතුය.

ඒ ගැන කතාකිරීමට පළමුව ඡන්ද ප්‍රතිඵලයේ ප්‍රතිශතය කෙටියෙන් විමසා බැලීම සුදුසු වනු ඇත. මහින්ද රාජපක්ෂට ලැබී තිබුණු ඡන්ද ප්‍රතිශතය 44.7%කි. එය යූ.එන්.පී. විරෝධී ඡන්දය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන 13.4%ක් ලබාගෙන තිබුණි. ඡන්ද ව්‍යාපාරය තුළදී ජනාධිපතිවරයා දිගටම තදින්ම පහර දුන්නේ යූ.එන්.පී.යටය. එම ප්‍රතිශතයද යූ.එන්.පී. විරෝධීය. ජවිපෙත් තම ඡන්ද ව්‍යාපාරය තුළදී තදින්ම ගැහැව්වේ යූ.එන්.පී.යටය. ඔවුන් ලබාගත් ප්‍රතිශතය 6.3%කි. මේ සියලු යූ.එන්.පී. විරෝධී ඡන්ද ප්‍රතිශතවල එකතුව 64.4%කි. මෙය සිරිසේන - වික්‍රමසිංහ දෙදෙනාටම එරෙහි ඡන්දයක් හැටියට කෙනකුට කිවහැකි වුවත් වඩාත් නිවැරුදි වන්නේ යූ.එන්.පී. විරෝධී ඡන්දයක් ලැබී ඇති බවය. පසුගිය කාලය තුළදී රටේ පාලනයේ සියලු වැදගත් තීන්දු තීරණ ගනු ලැබුවේ අගමැති ප්‍රමුඛ යූ.එන්.පී. ඇමැති පිරිස වීම ඊට හේතුවය.

පවතින ආණ්ඩුවකට එරෙහිව මෙවැනි දැවැන්ත විරෝධයක් පැනනැගුණු තත්ත්වයක් තුළ පක්ෂ ඇතුළේ අරගල හට නොගත්තා නම් පුදුමය. යූ.එන්.පී.ය තුළ පමණක් නොව ශ්‍රීලනිපය තුළද මත ගැටුම් ගණනාවක් හටගෙන තිබිණි. මේ සටහන තබන සිකුරාදා පස්වරුව වනවිටද දේශපාලන ක්ෂේත්‍රය එකම ගිනිවිජ්ජුම්බරයක් බවට පෙරළී තිබිණි. අග්‍රාමාත්‍යවරයා මාධ්‍ය හරහා ජාතිය අමතා කියා සිටියේ තමන් ව්‍යවස්ථාවේ හැටියට අගමැති වශයෙන් දිගටම කටයුතු කරන බවය. ඊළඟට ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨයකු වන නිමල් සිරිපාල ජනාධිපති හමුවේ ප්‍රකාශ කර තිබුණේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රී 117කගේ සහාය තමාට හිමිවන බවය.

කෙසේ වුවද එදින උදය වරැවේ ජනාධිපතිවරයා විසින් කැඳවා තිබූ පුවත්පත් කතුවරුන් සහ මාධ්‍ය ප්‍රධානීන්ගේ හමුව නම් අවලංගු කර තිබුණි. ඒ වනවිටද අර්බුදය විසඳුමකට ළඟා නොවී දිග්ගැසෙමින් පැවතුණු බවට එය ලකුණක් විය. කවුද ඊළඟ අගමැති යන සාධකය වටේ මේ පක්ෂ දෙකම කරකැවෙමින් සිටි බව පැහැදිලිය.

මෙවැනි අතුරු ආන්තරාවකට සන්ධාන ආණ්ඩුවක් මීට පෙර මුහුණ දී තිබුණේ නැත. එහෙත් මීට වඩා වෙනස් තත්ත්වයක් යටතේ 2001 දෙසැම්බර් 05 වැනිදා මහ මැතිවරණයෙන් ජයගත් එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුවද වසර දෙකකට පසුව කඩා වැටුණි. එය කඩා වැටුණා නොව කඩා වට්ටන ලදී. ඒ අවස්ථාවේදීද අග්‍රමාත්‍ය ධුරය දැරුවේ රනිල් වික්‍රමසිංහය. එදා අමාත්‍යංශ දෙකක් පවරා ගනිමින් එම ආණ්ඩුව වැට්ටූ චන්ද්‍රිකා එවකට ජනාධිපති වූ අතර ඇයට කෙළින්ම සහාය දැක්වූයේ මංගලය. ඒ දෙදෙනාම මේ අවස්ථාවේදී සිටින්නේ රනිල් වික්‍රමසිංහගේ අගමැති ධුරය රුකදීමේ සටනේ වීම දෛවෝපගත සිද්ධියකි. එසේම ඒ අවස්ථාවේදී රනිල්ගේ කැබිනට්ටුවේ ප්‍රබල සාමාජිකයකු වූ මහාචාර්ය ජී.එල්. පීරිස් මෙවර රනිල්ගේ නායකත්වය ගිලටීනයට හසුකර ඇති පුංචි ඡන්ද ප්‍රතිඵලයේ මහින්ද වෙනුවෙන් ලොකු භූමිකාවක් ඉටුකළ පොදුජන පෙරමුණේ පක්ෂ සභාපතිවරයාය. දේශපාලන කරළියේ කාලය මැවූ වෙනසක අරුමය කොතරම්දැයි කීමට මේ උදාහරණය පමණක් ප්‍රමාණවත්ය.
යූ.එන්.පී. ප්‍රමුඛ ආණ්ඩුව චන්ද්‍රිකා වැට්ටූ ඒ අවස්ථාවේදීත් රනිල්ගේ නායකත්වයට ප්‍රශ්න ඇතිවුණේය. එහෙත් එය මේ තරම් ප්‍රබල වූයේ නැත. එවර ඇතිවූ අර්බුදය විසඳා ගැනීමේ එක් මාර්ගයක් හැටියට දෙපාර්ශ්වය අතර සාකච්ඡාවක් ඇති කෙරිණි. සුප්‍රකට මනෝ - මලික් සාකච්ඡා වශයෙන් හැඳින්වුණ එම කතාබහද සෑහෙන දුරට සාර්ථකව සිදුවුවද අවසානයේ ඡන්දයකට යා යුතුය යන මතයේ රනිල් දැඩිව රුඳී සිටි බැවින් එම සාකච්ඡාව අසාර්ථක විය. ඡන්දයකට නොයා ප්‍රශ්නය සමථයකට පත්කර ගන්නැයි කළ ඉල්ලීම්වලට රනිල් කන්දුන්නේ නැත. අන්තිමට ඡන්දයට ගිය යූ.එන්.පී.ය පැරදුණේය. අවුරුදු පහකට බලය ඇතිව ආණ්ඩුව ගත් රනිල් අවුරුදු දෙකකින් ගෙදර ගියේය. ඉන්පසුව යළිත් ආණ්ඩුවක් ලබාගැනීමට රනිල්ගේ නායකත්වයෙන් යුත් යූ.එන්.පී.යට අවුරුදු 13ක් බලා සිටීමට සිදුවිය. ඒ අතරවාරයේ තැබූ හැම ඡන්දයකින්ම රනිල්ගේ නායකත්වයෙන් යුත් යූ.එන්.පී. පරාජයට පත්වුණේය. අවසානයේ රනිල් අගමැති පදවියට පත්වන්නේ යූ.එන්.පී.යේ සහාය ඇතිව ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ජයගත් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ රජයේ අගමැති වශයෙනි. ඉන්පසුව අගෝස්තු මාසයේ පැවැත්වූ මහ මැතිවරණයෙන් රනිල් අගමැති පදවියට පත්වූයේ පාර්ලිමේන්තුවේ බහුතරයක් නැතිවය. අඩුව සම්පූර්ණ වූයේ ශ්‍රීල.නි.ප. මැති ඇමැතිවරුන්ගෙනි. දැන් රනිල් අගමැති පදවියෙන් යා යුතු යැයි කියන්නේ ඔහු අගමැති පදවියට පත්කළ ජනාධිපතිවරයාය. ඔහුට පාර්ලිමේන්තුවේ බහුතරය හදා ගැනීමට සහාය දැක්වූ ශ්‍රීලනිප මැති ඇමැතිවරුය.

රනිල් අගමැති පදවියෙන් යා යුතු යැයි කීමට ශ්‍රීල.නි.ප. නායකත්වයට හෝ ජනාධිපතිවරයාට අයිතියක් නැතැයි යූ.එන්.පී.යේ මතය වී තිබේ. අඩුම වශයෙන් එවැනි මතයක් එළියට පෙනෙන්නට තිබේ. යූ.එන්.පී. ප්‍රමුඛ එජාපේ මන්ත්‍රී කණ්ඩායම පසුගිය බ්‍රහස්පතින්දා (15) ඒකමතිකව තීරණය කර තිබුණේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ විධි විධාන අනුව කුමන හේතුවක් නිසාවත් අග්‍රාමාත්‍යවරයා තනතුරින් ඉවත් නොවිය යුතු බවය. 19 වැනි සංශෝධනයේ 46 වැනි පරිච්ඡේදය අනුව අග්‍රාමාත්‍යවරයා ඉවත් කිරීමට ජනාධිපතිවරයාට බලයක් නොමැති බවද එහිදී පෙන්වා දී තිබිණි.

එසේ වුවද යූ.එන්.පී.යේ ඇතැම් ජ්‍යෙෂ්ඨයන්ගේ අදහස ඊට වෙනස් බව දැනගන්නට තිබේ. ඔවුන් සමහර දෙනකුගේ මතය වී තිබෙන්නේ පක්ෂය ප්‍රබල ප්‍රතිසංවිධානයකට ලක්විය යුතු බවය. එහිදී රනිල් අගමැති පදවිය හෝ පක්ෂ නායකත්වය හෝ යන දෙකින් එකක් තෝරාගැනීම වඩාත් හොඳ බවය. පක්ෂය මෙතැනින් ඉදිරියට ගෙනයාමට නම් යූ.එන්.පී. පාක්ෂිකයාට දැනෙන වෙනසක් සිදුකළ යුතු බවය. තවදුරටත් පාක්ෂිකයන් අහිමි කර ගනිමින් ඉදිරියට යාම විනාශයක් බවත් ඔවුන්ගේ අදහස වී තිබේ. 

මෙවර ඡන්දයේ ප්‍රතිඵලය පෙන්වාදී තිබෙන්නේ යූ.එන්.පී. පාක්ෂිකයන්ගේ පවා ඡන්දය පක්ෂයට අහිමි වී ඇති බවකි. පක්ෂය ලැබූ ඡන්ද ප්‍රතිශතය 33.6% තරම් පහළ වැටී ඇත්තේ එබැවිනි. එය ප්‍රතිශතයක් වශයෙන් 2015 දී ලැබූ ප්‍රතිඵලයට වඩා 13%කින් අඩුය. අහිමිව ඇති ඡන්ද ප්‍රමාණය ලක්ෂ 15කට ආසන්නය. යූ.එන්.පී.ය බලයේ සිටියදී පවත්වන ඡන්දයකදී ඔවුන්ගේ ප්‍රතිශතය මේ ආකාරයට පහළ බසින්නේ නැත. මෙය පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගේ දැඩි අවධානයට ලක්වී තිබෙන කාරණයක් වී තිබේ.

යූ.එන්.පී. මෙතරම් පසුබෑමකට ලක්ව තිබියදී තනියෙන් ආණ්ඩු හදන්න යාම දැලි පිහියෙන් කිරි කෑමක් වීමට ඉඩ තිබේ. ශ්‍රීලනිපයේ සහාය නැතිව ආණ්ඩුවක් ගෙනයාමට නම් ඔවුන් එක්කෝ ශ්‍රීලනිපය හෝ ඒකාබද්ධය හෝ නියෝජනය කරන මන්ත්‍රීවරුන් අඩුම වශයෙන් හය දෙනකු තමන්ගේ පැත්තට ගත යුතුය. මහින්ද ලබා ඇති ජයග්‍රහණයත් සමග එවැන්නකට කිසිදු ඉඩක් නැති බව සහතිකය. එසේ නම් යූ.එන්.පී.යට සිදුවනු ඇත්තේ ටී.එන්.ඒ. කෙරෙහි විශ්වාසය රැඳවීමටය. එය පහසු කටයුත්තක් වන්නේ නැත. අවශ්‍යම අවස්ථාවකදී තමන්ගේ සහාය ලබාදීමට නම් ටී.එන්.ඒ. විවිධ කොන්දේසි දමන බවට සැකයක් නැත. එවැනි අවස්ථාවකදී සුළුතර ආණ්ඩුවකට විකල්ප ඇත්තේ බොහෝම අඩුවෙනි. එය යූ.එන්.පී.යට දේශපාලන හරාකිරි කර ගැනීමක්ද විය හැකිය.

මෙහි තවත් පැත්තක් තිබේ. තනියම හදන යූ.එන්.පී. ආණ්ඩුවකට එරෙහිව බැඳුම්කර චෝදනා බොහොම පහසුවෙන් එල්ල කිරීමේ අවස්ථාව අනෙක් සියලුම පාර්ශ්වවලට හිමිවෙයි. යූ.එන්.පී.යට නාගරික මට්ටමේත්, උගත්, බුද්ධිමත් පාක්ෂිකයන්ගේ ඡන්ද සෝදාපාළුවකට ලක්වීමට බැඳුම්කර මගඩිය හේතු වූ බව පැහැදිලිය. එසේම බැඳුම්කර වංචාවට සම්බන්ධ නඩු විභාග පැවැත්වීමේදී ඒ සියලු අපහසුකම්වලට යූ.එන්.පී. ආණ්ඩුවට මුහුණදීමට සිදුවන්නේ තනිවමය. වැදගත් පනතක් සම්මත කර ගැනීමේදී ද ආණ්ඩුවට සිදුවනු ඇත්තේ විශාල අවදානමක් ගැනීමටය.

පාර්ලිමේන්තුව තුළ පොදුජන පෙරමුණත් ශ්‍රීලනිපය ප්‍රමුඛ සන්ධානයත් එකතු වනවිට එය 60%ක් තරම් විශාල ඡන්ද ප්‍රතිශතයක් පෙන්නුම් කරයි. පොදුජන පෙරමුණු පාර්ලිමේන්තුව නියෝජනය නොකළද ඒකාබද්ධ විපක්ෂයට එකතු වී සිටි සියලුම ශ්‍රීලනිප සහ සෙසු පක්ෂවල මන්ත්‍රීවරැන් නියෝජනය කළේ පොදුජන පෙරමුණයි. ඒ අනුව නුදුරු අනාගතයේදී පැවැත්වෙන ඕනෑම ඡන්දයකදී යූ.එන්.පී. ඉතාම පහසුවෙන් පරාජය කිරීමට තරම් බලවේගයක් ඔවුන් මේ ඡන්දයත් සමග නිර්මාණය කරගෙන තිබේ. මේ තත්ත්වය යූ.එන්.පී. නායකයන් සහ ජ්‍යෙෂ්ඨයන් විසින් අවබෝධ කර නොගත්තද සාමාන්‍ය පාක්ෂිකයා ඉතාම පහසුවෙන් අවබෝධ කරගන්නා බව පැහැදිලිය.

මෙහිදී ඉතාම වැදගත් සාධකය වනුයේ යූ.එන්.පී.යේ නායකත්වය බවට විවාදයක් නැත. වසර 25කටත් අධික කාලයක් තිස්සේ ප්‍රධාන දේශපාලන පක්ෂයක නායකත්වයේ මේ ආකාරයට රැඳී සිටි වෙනත් නායකයන් ලොවේ සිටින්නේ ඉතාම සුළු පිරිසකි. පක්ෂයක් මෙහෙයවීමට සටකපට දේශපාලන උපක්‍රම පිළිබඳ දැන සිටීම, දේශපාලන ගේම් ගැසීම් පිළිබඳ විමසිලිමත් වීම, අවශ්‍ය බව සැබෑවකි. එහෙම වුණත් පක්ෂයක් ජයග්‍රහණය කරා මෙහෙයවීමට ඒවා පමණක් මදිය. ජනතා ආකර්ෂණයද අවශ්‍යය. ජනතාවගේ ආකර්ෂණය පක්ෂයට ලැබීමට නම් එම පක්ෂය සේම නායකත්වයද වරින්වර අලුත්වීම අවශ්‍යය. නායකත්වය වෙනස් වූ බොහෝ අවස්ථාවල අපේ රටේ දේශපාලන පක්ෂ මැතිවරණ ජයග්‍රහණ ලබා තිබෙන බව ඉතිහාසය පෙන්වා දෙයි. අලුත් නායකත්වයක් යටතේ එවැනි ජයග්‍රහණ ලැබීම වඩාත් පහසු වුවද නායකයන් එසේම සිටියදී අලුත් පක්ෂයක් බිහිවී එය මුහුණ දුන් පළමු මැතිවරණයේදීම සෙසු සියලු පක්ෂ පරාජය කළ හැකි නම් එය විශිෂ්ටම ජයග්‍රහණයකි. පොදුජන පෙරමුණ එම විප්ලවය කර තිබේ. එහිදී ජයග්‍රහණය ලැබීමට පොදුජන පෙරමුණට ලොකුම සාධකය වූයේ මහින්දගේ නායකත්වය මිස වෙන කිසිවක් නොවන බව වැදගත්ම කාරණයයි.

ඊළඟ ජනාධිපතිවරණයට හෝ මහා මැතිවරණයට යූ.එන්.පී.යට මුහුණදීමට සිදුවන්නේ එවැනි වාතාවරණයක් යටතේ බව දැන් සිටම සිත්හි තබා ගැනීම වැදගත්ය. එම ඡන්ද පැවැත්වෙන අවස්ථාවකදීත් යූ.එන්.පී.ය පවතින්නේ අද තිබෙන ආකාරයටම නම් එහි ප්‍රතිඵලය දැන් වුණත් කිව හැකිය.

 ශශීන්ද්‍ර

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00