2018 පෙබරවාරි 17 වන සෙනසුරාදා

මෙතනින් පස්සේ පොහොට්ටුව පමණයි

 2018 පෙබරවාරි 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 104

- බැසිල් රාජපක්ෂ

♦අපි මුල ඉඳන්ම ජනතාව ගැන විශ්වාසය තැබුවා 
♦ඊළඟට කරන දේ දැන්ම කියන්න බැහැ  
♦ඡන්ද ප්‍රතිඵලෙන් ජනතාව කිව්වේ මේ ආණ්ඩුව ෆේල් කියලා  
♦ජාතික නායකයකු හැටියට මහින්දට තිබෙන පිළිගැනීම ඉහළයි 
♦රාජපක්ෂවරු හැමදාම හිටියේ තිරෙන් ඉස්සරහ පැත්තේ

ඡන්දය පටන් ගන්නකොටම වගේම ඡන්දයට ළංවෙලත් අනාවැකි කිහිපයක් කිව්වා පොහොට්ටුව ලබාගන්නා ජයග්‍රහණය ගැන කොහොමද එහෙම ස්ථිර අනාවැකියක් කිව්වේ?

මම මැතිවරණය දින හතරක් තියලා කිව්වා පළාත් පාලන ආයතන 225ත් 250ත් අතර සංඛ්‍යාවක් ගන්නවා. ඒ වගේම කොට්ඨාසවලින් සියයට 70කට ආසන්න සංඛ්‍යාවක් ගන්නවා කියලත් කිව්වා. ඒ දේවල් කිව්වේ අපි විශ්වවිද්‍යාල අංශ එක්ක එකතුවෙලා විද්‍යාත්මක පරීක්ෂණ වගයක් කරලා. ඒ වගේම ජනතාවගේ ප්‍රතිචාරයන් දැක්කා. අපි මුල ඉඳලම ජනතාව කෙරෙහි විශ්වාසය තබලා තිබ්බා. ඒ නිසා එවැනි ප්‍රතිඵලයක් එයි කියලා විශ්වාස කළා.

2015 ජනවාරි 08 වැනිදා රාජපක්ෂ පාලන බිඳවැටුණාම එහි ලොකුම චෝදනාව ආවේ ඔබට. ඒත් ඔබ මේ මැතිවරණය මෙහෙයවලා ජයග්‍රහණය  කර මෙහෙයවූවා. කොහොමද ඒ විශ්වාසය නැවත ගොඩනගා ගන්නේ?

ඔය චෝදනාව එල්ල වෙන්න කලින් මම ඒ වගකීම බාරගත්තා. අපේ රටේ දේශපාලනයේදී පරාජයේ වගකීම බාරගන්න සිරිතක් නෑ. ඒ සංස්කෘතිය ඇතිකරන්නයි මම බාරගත්තේ. ඒ නිසා මම කියන්නේ නෑ පරාජයට මම වගකියන්න ඕන කියලා. හේතුව මැතිවරණයේ අවසන් කාලයේ ඒ මෙහෙයුම බාර වුණේ මට. මොකද අපි ගාව හිටිය මැතිවරණ මෙහෙයුම් ප්‍රධානියා තමයි ඒ පැත්තට ගියේ. මැතිවරණ රහස් ඒ නිසා ඒ පැත්ත දැනගෙන හිටියා වෙන්න ඕන. ඒක ලොකු අභියෝගයක්. අපේ යම් යම් අඩුපාඩුකම් එදා පෙන්නුවා ලොකුවට. ඒත් මෙවර අපි නැවුම් ගමනක් ආරම්භ කළේ හැමදේම අලුත්. ඒ නිසා විශාල පිරිසක් මේකට සම්බන්ධ වුණා.

අලුත් පක්ෂයකට මෙතරම් ජනතාවක් ඒකරාශි කරගත්තෙ කොහොමද?

මහින්ද ජනාධිපතිතුමාගේ ආකර්ෂණය තියෙනවා. ඒ තියෙන ජනතා කැමැත්ත, ආදරය, ගෞරවය වගේම, පක්ෂ නායකයෙක්ගෙන් පිටට ගිහිල්ලා ජාතික නායකයෙක් හැටියට තියෙන පිළිගැනීම තමයි මෙයට හේතුව. ඒ කැමැත්ත ගම් මට්ටමින් මෙහෙයවන්න අපේ ගම් මට්ටමින් හිටිය ක්‍රියාකාරීනුත් බලපෑවා.

මේ මැතිවරණ ක්‍රමය සකසන්න ඔබත් කාලයක් වෙහෙසුණා. ඒත් මේ ආණ්ඩුව වෙනම ක්‍රමයක් ගෙනාවා. ඒත් ඒ ක්‍රමයෙනුත් සමහර ජයග්‍රාහී පළාත් පාලන ආයතනවල බහුතර බලය සකසන්න බැරිවෙලා තියෙනවා නේද?

මේ මැතිවරණ ක්‍රමය ගේනකොට මටත් බැන්නනේ. ඔය දිනේෂ් ගුණවර්ධන කමිටුව පාර්ලිමේන්තු තුනක් යටතේ ක්‍රියාත්මක වුණා. අන්තිම කමිටුවට මමත් විශාල මහන්සියක් ගත්තා. අපිට එතනදී අභියෝග දෙකක් තිබ්බා. එකක් තමයි මනාප ක්‍රමය නැති කිරීම. දෙවැනි කාරණය තමයි ගමට වගකියන පුද්ගලයෙක් පත් කිරීම. ඒ වගේම අපිට වුවමනා වුණා සියලුම දෙනා නියෝජනය කරන්න. පොඩි පක්ෂ පවා හැම ඡන්දයක්ම නියෝජනය කළ යුතුයි කියන අවස්ථාවේ අපි හිටියා. ඒ දේවල් තමයි අපි මූලික කරගත්තේ. ඒකෙ හොඳ කොටසක් තියාගෙන අනික් කොටස අවුල් කළා. මහ රෑ ගෙනාපු පනත් නිසා ඔය මේකෙ තියෙන අවුල ලිහාගන්න ලේසි වෙන්නෙ නෑ. මේ ප්‍රතිඵල ගණන් කරන්නත් අසීරු තත්ත්වයක තියෙන්නේ මේ නිසා. මේ අවුල ගැන මහජනයා අවධානයෙන් හිටිය නිසා අපිට බොහෝ තැන්වල බහුතර බලය දුන්නා.

ඔබලාට බලය ආපු කාලයේදී මේ මැතිවරණ ක්‍රමය වෙනස් කරනවද?

අපි බලයට එන්න ඕන නෑ. හෙට අනිද්දට මේක වෙනස් කරන්න වෙනවා. මොකද නැත්තම් එකක්වත් ස්ථාපිත කරන්න බැරිවෙනවා. ඒ බව කොමිසම මගින් පැහැදිලි කරලා දුන්නා. ඒ බව ආණ්ඩුවේ අය වගකීම බාරගත්තා. ඊළඟ අවුල ඔය කාන්තා නියෝජනය. ඒ නිසා මේක සම්පූර්ණ අවුලක්. නමුත් මම ඡන්දයට කලින් කිව්වා ඕන පිච් එකක ඕන බෝලෙකට බැට් එකක් නැති නම් පොල්පිත්තෙන් හරි ගහනවා කියලා.

පළාත් පාලන මැතිවරණ ඉතිහාසයෙත් තිබිලා තියෙනවා ඒත් කවදාවත් නැතුව මෙවර මැතිවරණයෙන් මධ්‍යම ආණ්ඩුව අස්ථාවර වුණා. ඒ ඇයි?

හේතුව අවුරුදු තුනකට පස්සේ තමයි ජනතා මතය බැලුවේ. දෙවැනි කාරණය තමයි ඉතිහාසයේ පළවෙනි වතාවට බලයේ ඉන්න ආණ්ඩුවක් පරාජයට පත් වුණ පළාත් පාලන මැතිවරණය. ඉතිහාසයේ පළවෙනි වතාවට තුන්වන පාර්ශවයන් බලය ඇල්ලුවා. එතනදී ප්‍රශ්නයක් ඇති වෙනවා. මතකනේ යුරෝපා හවුලට ඉන්නවද නැද්ද කියලා එංගලන්තය ජනමත විචාරණය කරපු වෙලාවේ ආණ්ඩුව පැරදුණා. ආණ්ඩුව ඊට පස්සේ ඉල්ලා අස්වුණා. කිසිම අදාළත්වයක් නෑ.

ඔබ හිතන්නේ මෙවර ජනතාව පොහොට්ටුවට ඡන්දය පාවිච්චි කරන්න ඇත්තේ ඇයි?

එකක් තමයි තමන්ගේ ගමෙන් පුද්ගලයකු තෝරා ගැනීම. දෙවැනි කාරණය මේ අවුරුදු තුනේ ආණ්ඩුවේ ප්‍රගතිය ගැන වාර්තාවත් දුන්නා. එතනින් කිව්වා මේ ආණ්ඩුව ෆේල් කියලා. තුන්වන කාරණය තමයි මෙතන ඉඳලා ඉස්සරහට යන ආණ්ඩුවකට කැමතිද නැද්ද කියන එක. ඒ තුළ ජාතික සම්පත් විකිණීම වගේ දේවල්වල මේ කරුණු තුනම ගැන පැහැදිලි තීරණයක් අරගෙන තියෙනවා.

ඔබලා මහ මැතිවරණයක් ඉල්ලනවා. ඒත් එහෙම යන්න බලයක් නෑ. එහෙනම් කොහොමද ඉදිරියේ ස්ථාවර ආණ්ඩුවක් බිහි කරන්නේ?

ඒක බැරිකමක් නෑ. බලය අස්ථාවර නම් ඒවා ස්ථාවර කරන්න කටයුතු කරනවා. මේකත් ඒ වගේ නිවැරදි කරගන්න පුළුවන්. ව්‍යවස්ථාව කියන දේත් ස්ථාවර දෙයක් නෙමෙයිනේ. පැරණි ව්‍යවස්ථාව අනුව ජනාධිපතිට අවුරුද්දකින් ආණ්ඩුව විසුරුවන්න පුළුවන් කියලා තිබ්බා. ඒනිසා 2003 දී යූ.ඇන්.පී එක බැට කාලා තිබුණා. මේ කාරණය නිසා එ.ජා.ප ජනාධිපතිට විසුරුවන්න බැරි වෙන විදිහට වෙනස් කරගන්න ඕන වෙලා තිබ්බේ. ඒකත් සිදුකරගෙන මේ අය කළේ පාර්ලිමේන්තුවේ බහුතරයකින් විසුරුවන්න පුළුවන් කියන වගන්තිය අයින් කරලා ඒක තුනෙන් දෙකක බලපෑමින් විසුරැවන තැනට ගෙනාවා. එතැන තමයි 19යේ හැංගුණු අරමුණ. එනිසා 19යෙදි ජනතාවට පෙන්නුවේ එක දෙයක්. කළේ වෙන දෙයක්.

ඔබලා ඡන්ද ව්‍යාපාරයේදී කිව්වා ඊළඟ ආණ්ඩුවේදී මහින්ද රාජපක්ෂ අගමැති කරනවා කියලා. ඒත් ජයග්‍රහණයෙන් පස්සේ කියනවා බාරගන්නේ නෑලු. මේක ජනතාව මුලා කිරීමක්නේ.

නෑ.... නෑ... අපි කිව්වේ මේ ආණ්ඩුව දෙදරවීම සඳහා කටයුතු කරනවා කියලයි අපි කිව්වේ. ඒ කිව්ව විදිහට අද පේනවනේ සන්ධානය යහපාලන ආණ්ඩුවට සහය නොදක්වන බව දන්වලා තිබ්බා. ඒ නිසා අපිට ඕන දේ සිද්ධ වුණා. ඊළඟ පියවර තියෙනවා. ඒ ගැන මම කියන්න ලෑස්ති නෑ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොටසක් පොහොට්ටුවෙන් ඉල්ලලා දිනනවා. ආණ්ඩුවේ ඉන්න කොටසක් පරාජය වෙනවා. ආණ්ඩුවේ ඉන්න අය වෙනම ආණ්ඩුවක් හදනවා කිව්වට හිටපු ජනාධිපතිවරයා කියනවා සහය දෙනවා කියලා. දැන් ලැබුණු ජනවරමට පයින් ගැහීමක් නේද?

අපේ අරමුණ සහ ජනතාව අපෙන් ඉල්ලුවේ ජනතා විරෝධී ආණ්ඩුව ගෙදර යවන්න කියලා. ඒ දේ අපි කරනවා.

ජනතා විරෝධී ආණ්ඩුව හැටියට පෙන්නුම් කරන්නේ එජාපය විතරද? එජාපය විතරද ගෙදර යන්න ඕන?

එතනදී අපි කියන්නේ ආණ්ඩුවේ කොටස් ඉන්න පුළුවන්.  ඒ සියලුදෙනාම එකතුවුණාම හැදෙන ආණ්ඩුව තමයි ඉවත් කරන්නේ. හැබැයි මේ පරාජයෙන් පස්සේ ආණ්ඩුව කියන්නේ මොකක්ද කියලා හොයාගන්න බැරුව ඉන්නේ.

ජනතාව ප්‍රතික්ෂේප කරපු අය ඔබලා සමඟ එකතු වුණොත් එතන ප්‍රශ්නයක් නේද?

නෑ අපි එකතු කිරීමක් ගැන නෙමෙයි කතා කරන්නේ... පරිස්සමින් වචන පාවිච්චි කරන්න ඕන කතාවක්. මෙතන ආණ්ඩුව පවත්වාගෙන යන නීති රාමුවක් තියෙනවා. අන්න ඒ කාරණය තුළ තමයි අපි ක්‍රියා කරන්නේ.

එජාපයෙන් ගේන චෝදනාවක් තමයි රාජපක්ෂලා ආණ්ඩුව බිඳ හෙලන්නේ ඔවුන්ට තියෙන නඩුවලින් බේරෙන්න කියලා. ඇත්තටම එහෙමද?

දේශපාලන පලිගැනීම්වලට අනුව එක එක න්‍යාය පත්‍රවලට අපි බිල්ලට යන්න සූදානම් නෑ. අපි ඒ දේවල්වලට නීතිමය පැත්තෙන් මුහුණ දෙනවා.

මෙවර මැතිවරණයේදී පොහොට්ටුව සමඟ පක්ෂ ගණනාවක් එකතු වෙලා තරග කළා. පහුගිය කාලේ එම පක්ෂවල ඉල්ලීම්වලට පිටුපෑව කියලා ඔබත් සමග ගැටලු ඇතිවුණා. දැන් ඒ ප්‍රශ්නවලට මොනවා වෙයිද?

අපි පක්ෂ කිහිපයක එකතුවක්නේ. ඒ ඒ පක්ෂවල අයගේ න්‍යාය පත්‍රවලට අනුව පෙනී සිටීම වරදක් නෑ. මම සාමාජිකත්වය දරන පක්ෂය වෙනුවෙන් පෙනී සිටිනවා. හැබැයි එහෙම කියලා සහෝදර දේශපාලන පක්ෂවලට කන්නොදී ඉන්නේ නෑ.

දැන් මේ ජයග්‍රහණයෙන් පස්සේ හිටපු ජනාධිපතිවරයා යන යන තැන්වල ඒ කාලේ ජනතා අප්‍රසාදයට ලක්වුණු අය නැවත පෙනී සිටිනවා. දැන් ඒ අයත් එකතු කරගෙනද ගමන යන්නේ?

අපි සහතික කරනවා අපේ දේශපාලන ගමනට පිරිසිදු අය ගන්නේ. ඒ වගේම හිටපු අය අමතක කරන්නෙත් නෑ. හැබැයි විනය ප්‍රධාන වශයෙන් සලකනවා. එහෙම අය දැන් ඉන්නවා කියලා ඔබ කිව්වට මම විශ්වාස කරන්නේ නෑ. එවැනි දේවල් නොවෙන්න වග බලාගන්නවා. හැබැයි අංගුලිමාල වුණත් රහත් වුණා. මහින්ද මහත්තයත් නිවැරදි වන අයට අවස්ථාව දෙනවා.

මේ දේශපාලන පෙරළියත් සමඟ ආණ්ඩුවක් සැදීම යන කාරණය තුළ තීරක බලවේගය වෙලා තියෙන්නේ පොහොට්ටුව. ඒත් රාජපක්ෂවරු තිරෙන් එහා ඉඳන් ඉත්තෝ හසුවෙනවා. වැඩක් වෙන තැනට කටයුතු කරන්නේ නෑ.

නෑ. රාජපක්ෂවරු තිරයෙන් පිටිපස්සේ නෑ. ඉදිරියෙත් ඉන්නවා. හැබැයි පක්ෂ නායකයෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හමුවෙලා තමයි තීරණ ගන්නේ. මෙතන පොඩි කාරණයක් තියෙනවා. මෙතන ඒකාබද්ධ විපක්ෂය කියන්නේ පාර්ලිමේන්තු කණ්ඩායමක්. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන්නේ පක්ෂ ගණනාවක එකමුතුවක්. ඒ පෙරමුණට නායකත්වය දෙන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා. ඔබ කියන කාරණයේදී මැදිහත් වෙන්න ඕන ඒකාබද්ධ විපක්ෂය.

ඉතින් මේ ප්‍රශ්නය ඉවරනේ මහින්ද රාජපක්ෂ අගමැතිකම බාර ගත්තොත්?

ඔබ අනිත් පැත්තෙන් අහන්න පුළුවන් අගමැතිකම ගන්නද මේවා කළේ කියලා. මෙහෙ අපිට අවශ්‍ය වුණේ ජනතා විරෝධී ආණ්ඩුව බිදහෙලන්න විතරයි.

එජාපය කියන්නේ නම් මේ ලෑස්ති වෙන්නේ 2020 තවත් රාජපක්ෂ කෙනෙක් බලයට ගේන්න කියලා?

රාජපක්ෂ කියන වචනය අයින් කළොත් අනිත් සියලු දේ නිවැරදියි. අලුත් කෙනෙක් ගේන්න කටයුතු කරනවා.

ඔබලා හිතනවද විධායක ජනාධිපති ක්‍රමය තියෙන්න ඕන කියලා තවමත්?

ඒක තවමත් පැහැදිලි තීන්දුවක් අරගෙන නෑ. හැබැයි සිරිමාවෝ මැතිනියගේ කාලයේ ඉඳන් විධායකය අහෝසි කළ යුතුයි කියන තැන තමයි ශ්‍රීලනිපය හිටියේ. ඒ ස්ථාවරයේ බහුතරයක් අපේ පක්ෂයත් ඉන්නවා. හැබැයි රටේ ජනතාවට අනුව රටේ ඒකීය භාවයට හානි නොවන පරදි සිදුවිය යුතුයි කියන අදහසෙත් ඉන්නවා.

ජනාධිපති මෛත්‍රීපාල මහත්තයා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයා එකතු වුණොත් නැවත බුලත් කොළෙන්ද තරග කරන්නේ?

නෑ... නෑ.... මෙතනින් පස්සේ පොහොට්ටුව පමණයි. ලබන ඡන්ද පත්‍රිකාවෙත් තියෙන්නෙ පොහොට්ටුව.

අවසාන වශයෙන් පොහොට්ටුවේ අරමුණ මොකක්ද?

රට දිනවීම සහ ජනතාව දිනවීම.

► ගයාන් ගාල්ලගේ

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00