2018 පෙබරවාරි 10 වන සෙනසුරාදා

ඉදිරි පිම්ම

 2018 පෙබරවාරි 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 211

මහ සටනක් බවට පත් වූ පුංචි ඡන්දය දැන් අවසානය. අරමුණ ගමේ ආණ්ඩු පිහිටුවීම වුවද මෙවර ඡන්දය දකුණේත් උතුරේත් නායකයන්ගේ දේශපාලන අනාගතය ලියැවෙන සටනක් බවට අවසානයේ දී පත් වී තිබුණේය. ඡන්දයෙන් පස්සේ අලුත් මන්ත්‍රීවරුන් ගමට නගරයට පත්වෙනවාට අමතරව ප්‍රධාන දේශපාලන ධාරාවේ ද ප්‍රබල වෙනස්කම් සිදුවීමට දොර ඇර තිබේ.

මෙහිදී වඩාත්ම වැදගත් සාධකය වනු ඇත්තේ සම්මුති ආණ්ඩුව තවදුරටත් ගිවිසුමකින් ක්‍රියාත්මක වනු ඇතිද යන්නය. ඡන්ද වේදිකාවලදී ප්‍රකාශ වූ කරුණු මෙහිදී අමතක කළ හැකි වුවද පක්ෂ නායක මට්ටමින් ගනු ලැබූ ඇතැම් ක්‍රියාමාර්ග සහ සිදුකෙරුණු ප්‍රකාශ පසෙකට දැමිය නොහැකිය. එහි මුලටම ගැනෙන බැඳුම්කර වංචාවේ සැකකරුවන් වශයෙන් අර්ජුන ඇලෝසියස් සහ කසුන් පලිසේන අත්අඩංගුවට ගනු ලැබීමත් ඔවුන්ගේ ප්‍රකාශ සටහන් කර ගැනීමත් සැලකිය හැකිය. එය ආණ්ඩුවේ පක්ෂ දෙක අතර පැහැදිලි විවරයක් ඇති කර තිබේ. එම විවරය තවදුරටත් පුළුල් වනු ඇතිදැයි ඉදිරි දිනවලදී බලාගත හැකිවනු ඇත. ඡන්දයේ ප්‍රතිඵල ඒ සඳහා කරනු ලබන බලපෑම ද මෙහිදී සැලකිල්ලට ගත යුතුය.

ප්‍රධාන පක්ෂවලට පුංචි ඡන්දයේ ප්‍රතිඵල තීරණාත්මක වන්නේ තව වසර දෙකකටත් අඩු කාලයකදී ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිත වීම හේතුවෙනි. එම මැතිවරණය යූ.එන්.පී.යට, ශ්‍රීලනිපයට සේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ද එක සේ වැදගත්ය. ශ්‍රීලනිපය තවදුරටත් මෛත්‍රීපාල සහ මහින්ද වශයෙන් පාර්ශ්ව දෙකක් වශයෙන් පවතින්නේ නම් එහි අස්වැන්න නෙලාගනු ඇත්තේ යූ.එන්.පි.ය බවට සැකයක් නැත. ජනාධිපතිවරණයකදී වඩාත් වැදගත් වන සුළු ජාතික ඡන්ද ආකර්ශනය කර ගැනීම සඳහා වඩාත් නැඹුරුවක් ඇත්තේද යූ.එන්.පී.යටය. ශ්‍රීලනිපය තම අපේක්ෂකයා වශයෙන් වත්මන් ජනාධිපතිවරයා තෝරාගන්නේ නම් සහ ඔහු ඒ සඳහා තම කැමැත්ත ප්‍රකාශ කරන්නේ නම් මහින්ද නාමිකව නායකත්වය දෙන පොදුජන පෙරමුණ බරපතළ ගැටලුවකට මුහුණදෙනු ඇත. ඔවුන් පුංචි ඡන්දයේ දී විශාල බලපෑමක් කළ හැකි ඡන්ද ප්‍රතිශතයක් ලබාගන්නේ නම් එහිදී ගැටලු මතුවන්නේ වත්මන් ජනාධිපතිවරයා නායකත්වය දෙන ශ්‍රීලනිපයටයි. එම දෙපිලම පුංචි ඡන්දයේ දී ලබාගන්නා ඡන්ද ප්‍රතිශත එකතු කර බැලීමට රටේ සියලු ඡන්දදායකයන් කැමැති වනු ඇත.

සාමාන්‍යයෙන් ගමේ නගරයේ පාසල්, පොදු ප්‍රවාහන සේවා, උද්‍යාන, පුස්තකාල පමණක් නොව පොදු වෙළෙඳපොළ, පොදු වැසිකිළි වැනි විෂයයන් සම්බන්ධයෙන් වැදගත් වන පුංචි ඡන්දය මෙවර පක්ෂ නායකයන්ගේ ගල උඩ සටනක් බවට පෙරළනු ලැබුවේ ඉහත සඳහන් කරුණු හේතුවෙනි. එම ඡන්දය අවසානයේ ජාතික දේශපාලනයේ පොරපිටියක් බවට පත් වුණේය. මේ පොරපිටියේ ස්වභාවය පෙන්නුම් කිරීමට ප්‍රධාන පක්ෂ තුනට නායකත්වය දුන් ජනාධිපති, අගමැති සහ හිටපු ජනාධිපති අවසන් රැලිවලදී ඉස්මතු කළ ප්‍රධානම කාරණා පිළිබඳව සැලකිලිමත් වීම පමණක් ප්‍රමාණවත් වනු ඇත. මෛත්‍රීපාල ජනාධිපතිවරයා කිව්වේ තමන් කිසිදා වංචනිකයන් සමඟ අත්වැල් බැඳනොගන්නා බවය. රනිල් අගමැතිවරයා ආර්ථික න්‍යාය පත්‍රය කෙරේ අවධානය යොමුකරමින් ප්‍රකාශ කළේ 2015 දී ලබාගත් ජයග්‍රහණය ආපසු හරවන්න ඉඩදෙන්න එපා කියාය. හිටපු ජනාධිපති මහින්ද ප්‍රකාශ කළේ වත්මන් රජය විසින් විනාශ කර ඇති මේ රට යළිත් පාරාදීසයක් බවට පත් කරන බවයි.

ජාතික දේශපාලනයට පැනගැනීමේ මුල් කඩඉම වන පුංචි ඡන්දය මේ ආකාරයට නායකයන්ගේ ඡන්දය බවට පෙරළුණේ ඉදිරියේ පැවැත්වෙන ජාතික මැතිවරණවල රස්නය දැනෙන නිසා බව පැහැදිලිය. එසේ වුවත් පුංචි ඡන්දයෙන් තේරී පත්වෙන තම බිම් මට්ටමේ මන්ත්‍රීවරැන් හරිහැටි මෙහෙයවා ගැනීමට අසමත් වුවහොත් එය මහ ඡන්දවලට බලපෑමක් සිදුකිරීමට ඉඩ තිබේ. යම් උගත්කමක් තිබෙන ඕනෑම කෙනකුට ළඟාකරගත හැකි ඉහළ තාක්ෂණය හේතුවෙන් බිම් මට්ටමේ දේශපාලනඥයන්ගේ හොඳ වැඩ සේම නරක වැඩ ගැන ද රටේ ජනතාවට ඉක්මනින් කරුණු දැනගැනීමට අවස්ථාව තිබේ. එසේම පසුගිය කාලසීමාව තුළදී දැකගත හැකිවූ ප්‍රවණතාවක් වන්නේ ආණ්ඩු අතින් සිදුවන වංචා සහ දූෂණ ක්‍රියාවලට රටේ ජනතාවගෙන් දැඩි ලෙස විරෝධය එල්ල වීමය. එය රටේ යහපතට හේතු වුවද ඇතැම් දේශපාලන පක්ෂවල නායකයන්ට නම් දිරවන්නේ නැති වග පැහැදිලිය. හරියට ජනතාවගේ අවශ්‍යතා ඉටුනොකරන, වංචා සහ දූෂණ ක්‍රියාවලට සහ ජාවාරම්කාරයන්ට අතහිත දෙන ගෝලබාලයන් සම්බන්ධයෙන් ජනතාවගේ කැමැත්තක් නැති බව නායකයන් තේරුම් ගැනීම අවශ්‍යය. ඊළඟට තිබෙන ජාතික මැතිවරණයට එහි ප්‍රබල බලපෑම් එල්ල වීමට ඉඩ තිබීම ඊට හේතුවය.

ජනාධිපතිවරයා පවසන දූෂිතයන් සමඟ සබඳකම් නොපැවැත්වීම සහ අගමැතිවරයා පවසන ආර්ථික ඉලක්ක සහ 2015 ජයග්‍රහණය අතර සබඳතාවක් තිබේ. රටේ දැනට පවතින ආර්ථික තත්ත්වයේ පිරිහීම ඊට හේතුවයි. වංචා සහ දූෂණ වැඩිවීම ඕනෑම රටක ආර්ථික තත්ත්වය පිරිහීමට හේතු වෙයි. දූෂිත දේශපාලනඥයන් සමඟ ගනුදෙනු කිරීමට ලෝකයේ කිසිම කීර්තිමත් සමාගමක් කැමැති වන්නේ නැත. එහි අනිවාර්ය ප්‍රතිඵලය රටට ඍජු විදෙස් ආයෝජන නොලැබීමය. 

අද ශ්‍රී ලංකාවට බරපතළ ඍජු විදෙස් ආයෝජන හිඟයකට මුහුණ දීමට සිදුව තිබේ. එයට හේතුව දූෂණය ඉහවහා යාමද යන්න කෙළින්ම කිව නොහැකි වුවද එහි දැඩි බලපෑමක් තිබෙන බව නම් පෙනෙන්නට තිබේ. අගමැතිවරයා කියන ආර්ථික සමෘද්ධිය ළඟාකර ගැනීමට සහ 2015 ජයග්‍රහණය රැක ගැනීමටද වංචාව සහ දූෂණය පිටුදැකීම අවශ්‍යය. මහින්ද කියන පාරාදීසයද ඇතිකළ හැක්කේ ජාතික ධනය සූරාකන වංචනික දේශපාලනය අතු ගා දැමීමෙන් පසුවය. එහෙත් මේ කියන එකම පියවරක් හෝ ගැනීමට අවශ්‍ය දේශපාලන ධෛර්යය නායකයන්ට තිබෙනවාද යන්න ලොකුම ගැටලුවය. අවම වශයෙන් දූෂණයෙන් තොර රටක් බිහිකරන බවට ජනතාවට දැනෙන තරමින් වැඩකිරීමට හැකියාවක් තිබේ නම් එවැනි නායකයකු හෝ නායකයන් සමඟ ඉදිරියට යාමට ජනතාව අකැමැති නොවනු ඇත.

එසේ නම් පුංචි ඡන්දයේ ප්‍රතිඵල පැමිණ අලුත් මන්ත්‍රීවරුන් ද දිව්රැම් දී වැඩ ඇල්ලීමෙන් පසුව ජාතික දේශපාලනයේ සිදුවිය හැක්කේ කුමක්ද? පසුගිය කාල සීමාවේ සිදුකළ ප්‍රකාශවලට අනුව ක්‍රියාත්මක විය හැකිද? එසේ වුවොත් අප මුලින් කියූ පරිදි සම්මුති ආණ්ඩුව දිගටම පවත්වාගෙන යා හැකි වනු ඇතිද?

දැන් පෙනෙන්නට තිබෙන්නේ ඒ සියල්ලටම පෙර තම තමන්ගේ බර කිරා බලන තත්ත්වයකට ආණ්ඩුවේ බොහෝ මැති ඇමැතිවරුන් පත්වනු ඇති බවය. බර වැඩි පැත්තට සහාය දැක්වීමට ඉක්මන් වෙන මැති ඇමැතිවරුන්ද සිටිනු දැකගත හැකිවනු ඇත. ශ්‍රීලනිප දෙපාර්ශ්වයෙන් කවුරු කාගේ පිලට කරණම ගසන්නේදැයි තීරණය වීමට ශ්‍රීලනිපයත්, පොදුජන පෙරමුණත් ලබාගන්නා ඡන්ද ප්‍රතිශතය බලපෑමක් ඇතිකරන බව පැහැදිලිය.

මෙහිදී මෑතක දේශපාලන භූමියේ දැනෙන ජවයක් ආරෝපණය කරගත් මහින්දගේ නාමික නායකත්වයෙන් යුත් පොදුජන පෙරමුණ විසින් ශ්‍රීලනිපයේ ඡන්ද කොපමණ ප්‍රතිශතයක් සූරාගනු ඇතිද යන්න තීරණාත්මක සාධකයක් වනු ඇත. එය ශ්‍රීලනිපයේ අනාගත භූමිකාව තීරණය කිරීමට පමණක් නොව සම්මුති ආණ්ඩුවේ පැවැත්මද තීරණය කරන සාධකයක් වනු ඇත. පුංචි ඡන්දය ආරම්භයේ සිටම යූ.එන්.පී.යත් ශ්‍රීලනිපයත් තම තමන් විසින් වෙනම තනි ආණ්ඩු පිහිටුවන බවට කළ කතාවලට පණ ලැබීමටද එම කාරණාව බලපානු ඇත.

තනිව ආණ්ඩු හදන කතාවේදී ඉදිරියෙන් සිටින්නේ යූ.එන්.පී. බව පැහැදිලිය. ඔවුන්ට ඒ සඳහා අවශ්‍ය වන්නේ මන්ත්‍රීවරැන් 6 දෙනකුගේ එකතුවීම පමණි. ශ්‍රීලනිප ප්‍රමුඛ එජනිසට ඒ සඳහා මහින්ද සමඟ ඉන්න සියලු මන්ත්‍රීවරුන්ගේ සහාය ලැබීම පමණක් ප්‍රමාණවත් නැත. ඊට අතිරේකව තවත් මන්ත්‍රීවරුන් 17 දෙනකුගේ සහාය අවශ්‍යය. එය තරමක් දුෂ්කර කාර්යයකි. එසේම තනිවම රජයක් පිහිටුවනවා නම් අවශ්‍යම අවස්ථාවලදී පාර්ලිමේන්තුව තුළදී ටී.එන්.ඒ. සහාය පිළිබඳ විශ්වාසයක් තබාගැනීමද අවශ්‍යය. ඒ සඳහාද වඩාත් හැකියාව තිබෙන්නේ යූ.එන්.පී.යටය. නමුත් යූ.එන්.පී. මේ ආකාරයට තනිවම ඉදිරියට යාමට නම් ඔවුන්ද පුංචි ඡන්දයේදී ලබාගන්නා ඡන්ද ප්‍රතිශතය ඉතාම වැදගත්ය. එහි කිසියම් සෝදාපාළු වීමක් තිබුණොත් අවශ්‍ය මන්ත්‍රීවරැන් හය දෙනා සොයාගැනීම පවා ඉතාම අපහසු වනු ඇත.

යථාර්ථය නම් මේ පුංචි ඡන්දය ඔක්කොම දේශපාලන පක්ෂවල බලය උරගා බැලීමක් බවට පත් වූ බවය. එය දකුණේ පක්ෂවලට පමණක් නොව උතුරේ දේශපාලන පක්ෂ සම්බන්ධයෙන්ද සැබෑවකි. 2020 මැතිවරණය පමණක් නොව ඇතැම් පක්ෂ ඇතුළේ නායක අරගලද පුංචි ඡන්දය සමඟ ඉස්මතු විය. නමුත් මේ සියලු පක්ෂවලට බලය ලබාදෙන මහජනතාවට හැමදාමත් කළ හැකි වූයේ දේශපාලන පොර පිටියේ කරණම් ගසන දේශපාලනඥයන්ගේ හැසිරීම් දෙස බලාගෙන ඉඳීම පමණි. පක්ෂ දේශපාලනයෙන් තොරව තමන්ට හැබෑ සේවයක් තම නායකයන්ගෙන් ඉටුවන්නේ කවදාද කියා ඔවුන්ට සිතාගැනීමටත් අමාරුය.

 ශශීන්ද්‍ර

 2018 සැප්තැම්බර් 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 සැප්තැම්බර් 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 සැප්තැම්බර් 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 සැප්තැම්බර් 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 සැප්තැම්බර් 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00