2018 පෙබරවාරි 10 වන සෙනසුරාදා

“ධීවරයෝ” “සත් සමුදුර” හා “බඹරු ඇවිත්”

 2018 පෙබරවාරි 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 35

කලා ලෝකයේ කේන්ද්‍රස්ථානයක් වශයෙන් සැලකෙන පැරිස් නගරයේ වඩාත්ම දර්ශනීය ප්‍රදේශයට නම් දී ඇත්තේ ට්‍රොකඩේරෝ කියායි. අයිෆල් කුලුනට මුහුණලා ඇති මෙම ප්‍රදේශය දිනපතා දහස් සංඛ්‍යාත දේශීය හා විදේශීය සංචාරකයින්ගෙන් පිරී යයි. එම ප්‍රදේශයේත් වඩාත්ම සුන්දර තැනක “මියුසියම් ඔෆ් මෑන්” නැතහොත් මානවයාගේ ඉතිහාසය සනිටුහන් කරන විශාල ප්‍රදර්ශනාගාරයක් ඇත. එම ගොඩනැගිල්ල පළවෙනි මහා ලෝක යුද්ධයට පෙර ඉදි කරන ලද්දකි. දෙවෙනි යුද්ධය කාලයේ ජර්මන් හමුදා කෙටි සටනකින් පසු පැරීසිය යටපත් කර ගත්තෝය. තමාගේ හමුදාවෙන්ගේ බල පරාක්‍රමය ලොවටම විදහා දැක්වීමට හිට්ලර් සිය හිතවත් වාස්තු විද්‍යාඥයෙකු වන ඇල්බර්ට් ස්පීර් සමඟ පැරීසියට පැමිණියේය. ඔවුන් දෙදෙනා ට්‍රොකඩේරෝහි ප්‍රදර්ශනාගාර භූමියේ සිට අයිෆල් කුළුන නරඹන හැටි දැක්වෙන ඡායාරෑපය එම කාලයේ සුවිශේෂී සටහනකි.

මෙම ප්‍රදර්ශනාගාර ගොඩනැගිල්ල පහත මාලයේ එක් කොටසක් සිනමා සුරක්ෂිතාගාරයක් ලෙස දීර්ඝ කාලයක සිට පවති. මේ ගොඩනැගිල්ල අසල මගේ පැරීසියේ නි‍වෙස පිහිටා තිබුණ නිසා හැකි සෑම විටම සුරක්ෂිතාගාරයේ ඇති වටිනා චිත්‍රපට නැරඹීමට පුරුදුව සිටියෙමි. මේ පිළිබඳ තවත් කිවහැක්කේ සුමිත්‍රා පීරිස් ප්‍රංශයේ අප තානාපතිවරිය වශයෙන් කටයුතු කරන සමයේදී ද පදිංචිව සිටියේ මේ ප්‍රදර්ශනාගාරයට යාබදව බවයි. ලෙස්ටර් හා සුමිත්‍රා සමඟත් මා එම ප්‍රදර්ශනාගාරයට ගොස් තිබේ. නිතර සිනමා සංරක්ෂණාගාරයක අවශ්‍යතාවය ගැන කියූ ලෙස්ටර් එම ට්‍රොකඩේරෝ සුරක්ෂණාගාරය ආදර්ශයට ගත් බව නොඅනුමානය. සිනමාතෙක් නම් වූ මෙම සුරක්ෂණාගාරය ප්‍රංශ මෙන්ම යුරෝපීය සිනමාව නව අතකට හැරවීමට මුල් වූවකි. ප්‍රංශ “නව රැල්ලේ” චිත්‍රපට බිහිවීමට උපසම්මිත වූ ට්‍රෆෝ හා ෂබ්රොල් වැනි තරුණ සිනමා කරුවන්ගේ ශෛලීය හැඩගස්වන ලද්දේ මෙහි සිදුකළ සාකච්ඡා මෙන්ම චිත්‍රපටි නැරඹීම් තුළිනි. එමෙන්ම ජාත්‍යන්තර චිත්‍රපට අධ්‍යක්ෂකවරුන් පිළිබඳව කරන ලද තක්සේරු හා වර්ග කිරීම් ද මේ නව විචාරකයන් විසින් වෙනස් කරන ලදී. උදාහරණයක් වශයෙන් දෙකේ පංතියේ චිත්‍රපටි අධ්‍යක්ෂකවරයෙක් මෙන් සලකන ලද ඇල්ප්‍රඩ් හිච්කොක් නූතන සිනමාවේ පෙරගමන් කරුවෙක් හා දක්ෂ වෘත්තිකයෙකු ලෙස ප්‍රංශ විචාරකයන්ගේ ගෞරවයට ලක්විය. 

සිනමාතෙක්හි ප්‍රධානියා අලුත් විචාර මඟක් එළි පෙහෙළි කළේය. ඔහු කළේ එක් තේමාවක් අනුව විවිධ රටවල්වල චිත්‍රපට සංසන්දනාත්මකව විග්‍රහ කිරීමයි. එසේ කිරීමේ දී එම චිත්‍රපට තුළින් අප නුදුටු ගති ලක්ෂණ හෙළිදරව් කර ගැනීමට හැකි විය. නිදසුනක් වශයෙන් අමෙරිකානු චිත්‍රපටවල සුප්‍රසිද්ධ තේමාවක් වූ “තනි වූ අසරුවා” ගැන සිතන්න. මේ තේමාව විවිධ අමෙරිකානු චිත්‍රපට අධ්‍යක්ෂකවරුන් විසින් රිසි ලෙස හසුරුවා තිබේ. ඔවුන් අතුරින් සුවිශේෂ අධ්‍යක්ෂකවරයා වූයේ ජෝන් ෆොර්ඩ්ය. ඔහු තම ප්‍රස්තුත නළුවා හැටියට ජෝන් වේන් යොදා ගනිමින් අමෙරිකන් ඉතිහාසයේ වැදගත් චරිත වන තනි වූ අසරුවන්ගේ කාර්යභාරය පිළිබඳ මනා චිත්‍රපට හෙළිදරව්වක් කළේය. අසරුවන් අමෙරිකන් ඉතිහාසයේ ස්වර්ණමය යුගයක් නිරෑපණය කරනවා පමණක් නොව එම සංස්කෘතිය වැදගත් සේ සලකන ධෛර්ය්‍ය, ශක්තිය හා හුදකලා බව පිළිබිඹුවක් ද වෙයි. ජෝන් පොර්ඩ්ගේ චිත්‍රපට මනා ලෙස හැදෑරූ කුරෝසාවාගේ චිත්‍රපට සමඟ අපට එම ශෛලිය සන්සන්දනය කළ හැකිය. ෆොර්ඩ්ගේ චිත්‍රපට කතා කුරෝසාවා ජපානයේ සමුරායි යුගයේ වීරධීර අසරැවන් හා සම කරයි. එවැනි තුලනාත්මක චිත්‍රපට විග්‍රහයක් තුළින් නව අරැත් මතුවේ.

මේ න්‍යාය අනුගමනය කරමින් අපට සිංහල චිත්‍රපිටි තුනක් වෙත එළඹිය හැකිය. එනම් සිනමාස් සමාගමේ “ධීවරයෝ”, සිරි ගුණසිංහගේ “සත් සමුදුර” හා ධර්මසේන පතිරාජගේ “බඹරු ඇවිත්”ය. මේ චිත්‍රපට තුනට තේමාව වශයෙන් ගන්නේ මුහුදු යන්නන්ගේ සමාජය හා ජීවිතයයි. චිත්‍රපට තුන කෝණ තුනකින් එම ජීවිතය අප වෙත ගෙන එයි.

“ධීවරයෝ” දෙමළ චිත්‍රපටයක් අනුකරණය කරමින් මුදල් ගැරීම සඳහා සකස් කරන ලද නිර්මිතයකි. (එහි ඉන්දීය නම චම්මීන්) එම චිත්‍රපටයේ අවධානය යොමුවන්නේ ගාමිනී ෆොන්සේකා හා සන්ධ්‍යා කුමාරි අතර ඇති පෙම්කතාව වෙතයි. මුහුද නිතරම සිනමාරූපීය. එසේම ධීවරයින් නිරෑපණය කර ඇත්තේ ගාමිනී ‍ෆොන්සේකාගේ රුව ඇති හැඩි දැඩි කෙලිලොල් චරිතයන් හැටියටයි. එම නිරෑපණයට රූමත් මෙන්ම හොඳ අඟපසඟක් තිබූ සන්ධ්‍යා කුමාරි තකට තක ලෙස ගැලපෙයි.  ජනප්‍රිය සිංදුවක් අනුව අඟ පසඟ හොල්ලමින් කාමුක හැඟීම් උද්දීපනය කරන ඇය චිත්‍රපටියේ මූලික තේමාවට ආගන්තුකව ප්‍රේක්ෂකයා මන්මත් කරන්නීය.

“සත් සමුදුර” හා “බඹරු ඇවිත්” දකින්නේ ඊට හාත්පසින්ම වෙනස් වූ ධීවර සමාජයකි. සිරි ගුනසිංහ හා නිහාල්සිංහ කැමරාව යොමු කරන්නේ ධීවර ජීවිතයේ අවිනිශ්චිත බව වෙතටයි. කොයි වේලේ හෝ ඒ ජීවිතය කැඩී බිඳී යෑමට ඉඩ තිබේ. ඒ රාමුව තුළ වුවද මව්, අයියා හා පෙම්වතිය වැනි අය තුළින් කතානායකයාගේ කම්කටොලු ජීවිතය අප හමුවට ගෙනෙයි. පතිරාජගේ උත්සාහයේ අරමුණ පරස්පර භාවයෙන් අනූන ධීවර සාමාජය නිරෑපණය කිරීමත් වාම දේශපාලනඥයෙකුගේ භූමිකාව කොස්තාගේ චරිතය තුළින් කතාවට පමණක් සීමාවූ දේශපාලනයේ අසාර්ථකත්වයත් කියාපෑමටයි. ඒ ප්‍රතිවිරෝධතාවයන්ගෙන් යුතු උසස් සහ දුප්පත් සාමජය අතර ඇති ගැටුම ජය ගැනීමට එකල සැබැවින්ම ප්‍රේමවන්තයන් වූ විජය හා මාලිනීට හැකිවූයේද?

 2018 පෙබරවාරි 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 පෙබරවාරි 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 පෙබරවාරි 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 පෙබරවාරි 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00