2018 පෙබරවාරි 03 වන සෙනසුරාදා

කවුද හොරා?

 2018 පෙබරවාරි 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 297

ඡන්දයට පෙර ඡන්දය ගැන ඉරිදා පුවත්පතකට කතාකළ හැකි අවසන් දවස අදයි. ලබන සතියේ ඉරිදා වනවිට ප්‍රතිඵල ලැබී හමාරය. මෙවර ඡන්දය පැවැත්වෙන අලුත් නීති හේතුවෙන් මුදල් නාස්තිය පමණක් නොව ඡන්ද ප්‍රචණ්ඩ ක්‍රියාද අවම වී තිබෙනු පමණක් නොව ප්‍රතිඵලද වෙනදාට වඩා කලින් නිකුත් වනු ඇත. ඒ ගණන් කිරීම එක කතිරයකට පමණක් සීමා වී තිබීම හේතුවෙනි. 

පුංචි ඡන්දය සරලව, සියලු නීතිවලට අනුකූලව පැවැත්වීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ඇතුළු කොමිසමට රටේ බහුතරයකගේ පැසසුම් හිමිවන බවක්ද පෙනෙන්නට තිබේ. ඒ සමඟම පක්ෂවල නායකයන්ගේ වේගවත් කතා හේතුවෙන් රටේ දේශපාලන ක්ෂේත්‍රයම කැළඹීමට පත්වෙමින් තිබේ. ඡන්දයෙන් පස්සේ යහපාලන ආණ්ඩුවේ ඉදිරි කාලය ප්‍රබල ගැස්මකට මුහුණ පාන බව හැම අතින්ම පෙනෙන්නට ඇත.

වේදිකාවලදී නායකයන් විසින් එකිනෙකාට පිළිතුරු දීම අතරේ වඩාත්ම කැපී පෙනෙන්නේ ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් අතර සිදුවන අදහස් ගැටුමයි. මේ ගැටුම් හේතුවෙන් තවදුරටත් ආණ්ඩුව කරගෙන යාමේ අවදානමකට මේ නායකයන් දෙදෙනාම මුහුණ දෙමින් සිටිති. එකම ආණ්ඩුවක දෙපිරිසක් මේ ආකාරයට ප්‍රසිද්ධියේ විවේචනය කර ගන්නා අවස්ථාවක් ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ කලින් දැකගන්නට නොතිබුණි. තත්ත්වය කොතරම් දුරදිග ගොස් ඇත්දැයි කිවහොත් කථානායක කරැ ජයසූරිය ජනාධිපතිවරයා සහ අගමැතිවරයා හමුවී මේ ගැන කරුණු පහදාදීමට තීන්දු කළේය.

කථානායකවරයා නායකයන් දෙපළ හමුවේ කියා තිබුණේ මේ දේශපාලන විරසක කතා හේතුවෙන් ආණ්ඩුවේ යහපාලන අරමුණු සාක්ෂාත් කර ගැනීමට බාධා පැමිණෙන බවය. කොළඹ ජනපති නිවසේදී කථානායකවරයාගේ විශේෂ ඉල්ලීමකට අනුව සිදුවූ මේ කතාබහේදී ඔහු සඳහන් කර ඇත්තේ දේශපාලන වේදිකාවේ පමණ ඉක්මවා විරසකභාවය ප්‍රදර්ශනය කිරීම යහපාලන අරමුණුවලට අතිශය බාධාවක් විය හැකි බවය. තමා මේ ඉල්ලීම කරන්නේ දේශපාලනයකින් තොරව ස්වාධීනව බවද පමණ ඉක්මවා දේශපාලන වේදිකාවේ පළකරන අදහස් හේතුවෙන් රටේ ආර්ථිකය අස්ථාවර වීමට, ආයෝජකයන් බියවීමට, කොටස් වෙළෙඳපොළ කඩා වැටීමට ඉඩ තිබෙන බවද ඔහු නායකයන් දෙදෙනාටම පෙන්වා දී තිබේ. මේ ඉල්ලීම සම්බන්ධයෙන් නායකයන් දෙදෙනාගේ ප්‍රතිචාරය ඉතා සුහදශීලී වූ බවද දැනගන්නට අැත.

මේ ඉල්ලීම කෙසේ වුවත් ඊට පසුදා (01) යළිත් ආණ්ඩුවේ දෙපාර්ශ්වයේම කතා දෙකකින් යළිත් විරසකභාවය ඉදිරියට පැමිණියේය. අම්පාරේදී පැවැති රැලියේදී අගමැතිවරයා කියා තිබුණේ එජාපය කිසි විටෙකත් රාජපක්ෂලා ආරක්ෂා කරමින් අනෙක් අයට නඩු දැමීමේ දෙයාකාරයකට සැලකීමක් නොකරන බවය. එජාප අයට ආරක්ෂාවත් අනෙක් අය පිටුපසින් නිදහස් කිරීමත් නොකරන බවත් රාජපක්ෂට එක නීතියකුත් අනෙක් අයට තවත් නීතියකුත් ක්‍රියාත්මක නොකරන බවත් අගමැතිගේ කතාවේ සඳහන් විය.

රාජපක්ෂලා ආරක්ෂා කරන බවට චෝදනා නැගුණේ ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙනි. ජනාධිපතිවරයා අප පුවත්පතට ලබාදුන් සම්මුඛ සාකච්ඡාවේදී කියා තිබුණේ දූෂිතයන්ට වංචාකාරයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළයුතු අමාත්‍යංශ ඇත්තේ යූ.එන්.පී.ය අතේ බවය. රාජපක්ෂලා ආරක්ෂා කරන්නේ යූ.එන්.පී.යේ ඇමැතිවරැන් කිහිප දෙනෙකු විසින් බවට අදහසක්ද ඊට කලින් ප්‍රකාශ වී තිබිණි. අගමැතිගේ මේ රාජපක්ෂ කතාව ඊට ලබාදුන් පිළිතුරකි. විරසක කතා ලෙහෙසියෙන් අවසන් නොවන බවට ඊළඟ උදාහරණය සැපයුණේ ශ්‍රීලනිප මාධ්‍ය ප්‍රකාශක ඩිලාන් ඇමැතිවරයා ගෙනි.

ශ්‍රීලනිප මූලස්ථානයේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී ඔහු ප්‍රකාශ කර තිබුණේ මහින්ද රාජපක්ෂ මහතාගේ හෝ වෙනත් දේශපාලනඥයකුගේ හෝ ප්‍රජා අයිතිය අහිමි කිරීමට ශ්‍රීලනිපය ඉඩ නොතබන බවය. ප්‍රජා අයිතිය අහිමි කිරීම ජේ.ආර්.ගේ ප්‍රතිපත්තිය මිස ශ්‍රීලනිප ප්‍රතිපත්තිය නොවන බව කී ඩිලාන් සිරිමාවෝ මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම සම්බන්ධයෙන්ද සිහි කැඳවීමක් කළේය. කෙසේ වුවද බරපතළ වංචා හා දූෂණ කොමිසමේ වාර්තාව මගින් රාජපක්ෂ මහතාට එල්ල වී ඇති චෝදනා යටතේ නීතිමය පියවර ගැනීමක් සිදුවිය යුතු බවද එම කටයුතුවලට ශ්‍රීලනිපය ඇඟිලි ගැසීමක් නොකරන බවද ඔහු ප්‍රකාශ කර තිබුණේය. මේ මතවාදී ගැටුම ඉදිරියට ඇදී යද්දී එය තවත් අතකට පෙරළෙන ලකුණු සිකුරාදා (02) වනවිට පහළ වෙමින් තිබිණි. එනම් ජනාධිපතිවරයා විසින් වරින්වර කරන ලද ප්‍රකාශයක් ක්‍රියාත්මක කිරීමේ සූදානමකි.

බැඳුම්කර වංචාවේ චූදිතයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව ජනාධිපතිවරයා කිහිප වරක්ම ප්‍රකාශ කර තිබිණි. ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයන්ද මේ බව වරින්වර කියනු අසන්නට ලැබිණි. නමුත් බොහෝ දෙනා සැක පහළ කළේ මේවා කියනවා මිස නොකෙරෙන බවය. කෙසේ වුවද සිකුරාදා වනවිට දැනගන්නට ලැබුණේ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අර්ජුන ඇලෝසියස්ද එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේනද හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කිරීමේ නීතිමය ක්‍රියාමාර්ගය ඇරුඹුණු බවය. ඔවුන් ලබන 15 වැනිදාට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රකාශයක් සටහන් කර ගැනීමට මහේස්ත්‍රාත් අධිකරණය මගින් නියෝග කර තිබේ. සිංගප්පූරුවේ පදිංචි අර්ජුන මහේන්ද්‍රන්ට එරට පොලීසිය හරහා නොතීසි බාරදීමටද නියෝග කර ඇත.

මේ නීතිමය ක්‍රියාමාර්ග ලබන සතිය තුළදී ක්‍රියාත්මක වනු ඇතැයි දේශපාලන කරළිය තුළ ප්‍රබල කතාවක් ඇතිවී තිබේ. ජනාධිපතිවරයා පසුගියදා ලබාදුන් මාධ්‍ය සාකච්ඡාවේදී ලබන සතියේ ලොකු පෙරුළියක් වෙනවා යැයි කළ ප්‍රකාශයට මෙහි සම්බන්ධකමක් තිබෙන බවද කිව හැකිය. මේ රටේ බොහොමයක් දේශපාලන නායකයන් දූෂිතයන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බව කොතෙකුත් කිව්වද ඒ අනුව ක්‍රියා නොකරන බව රටේ පොදු මතය වී තිබේ. ජනාධිපතිවරයා ඊට වඩා වෙනස් මගක යාමට පියවර තබන බව පෙනෙන්නට තිබේ. මේ තත්ත්වය ඇතිවූයේ පළාත් පාලන ඡන්දය ජනාධිපතිවරයාගේ පාර්ශ්වයට මියෙම්වා රැකෙම්වා සටනක් බවට පත් වී තිබීම හේතුවෙන් බව පැහැදිලිය.

ජනාධිපතිගේ මේ ක්‍රියාකලාපය යහපාලන ආණ්ඩුවේ යූ.එන්.පී. පාර්ශ්වය බරපතළ ගැටලුවකට තල්ලු කරන බව හොඳින්ම පෙනෙන්නට තිබේ. ඔවුන් කිසිවිටෙකත් බැඳුම්කර මගඩිය වංචාවක් වශයෙන් දකින්නේ නැත. ඔවුන්ගේ ස්ථාවරය එතැනදී වැරුද්දක් සිදුවී නැති බවය. අදාළ දවසේ මහ බැංකුවේ වූ ඇතැම් සිදුවීම් සම්බන්ධයෙන් කරුණු සොයා බැලීම අවශ්‍ය බව පිළිගත්තත් එතැන මහා වංචාවක් සිදුවී ඇතැයි යන්න යූ.එන්.පී.ය ප්‍රතික්ෂේප කරයි. අභ්‍යන්තරයේ කෙසේ වෙතත් බාහිරව පෙනෙන්නේ යූ.එන්.පී.යේ එම ස්ථාවරයයි. රවි කරුණානායකට ඇමැති පදවිය අහිමිවූයේත් බැඳුම්කරය සම්බන්ධ අක්‍රමිකතාවක් හේතුවෙන් නොවන බවද ඔවුන්ගේ පිළිගැනීමය. එසේම මහ බැංකු අධිපතිවරයා වශයෙන් අර්ජුන මහේන්ද්‍රන් සියලු සුදුසුකම් සපුරා ඇති අයකු බවද යූ.එන්.පී.යේ අදහසය.

කරුණු එසේ නම් අර්ජුන මහේන්ද්‍රන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමක් ලැබුණොත් එහිදී යූ.එන්.පී. කුමන තත්ත්වයක පත්වනු ඇතිද? ඔහුගේ බෑණා වන අර්ජුන ඇලෝසියස් අත්අඩංගුවට පත්වුවොත් ඊළඟට සිදුවිය හැක්කේ කුමක්ද?

කුමක් වුවත් මේ පෙරළිකාර සිදුවීම ඡන්දය දිනට පෙර සිදුවුවහොත් එහි බලපෑම ප්‍රධාන පක්ෂ කිහිපයටම බලපෑම් ඇතිකරනු ඇත. විශේෂයෙන්ම යූ.එන්.පී.යටත් එසේම පොදුජන පෙරමුණටත් ශ්‍රීලනිපයටත් මේ බලපෑමේ තරම වැඩිපුර දැනෙනු ඇත. මහින්ද රාජපක්ෂ නායකත්වය ලබාදෙන පොදුජන පෙරමුණට ජනාධිපතිවරයාගේ මේ පියවර සිතන්නට යමක් ඉතිරි කරන බව පැහැදිලිය. ජනාධිපතිවරයා නායකත්වය ලබාදෙන ශ්‍රීලනිපය ප්‍රමුඛ එජනිස වෙත මුලසිටම එල්ල කරන ලද අභියෝගය විසින් ජනාධිපතිවරයා මෙවැනි දැඩි තීන්දු ගැනීමේ ස්ථාවරයක් දක්වා තල්ලුවන්නට ඇතැයි කෙනෙකුට තර්ක කළ හැකිය. 

මෙය ආරම්භ වූයේ මහින්දගේ ජනප්‍රියත්වය වටා ශ්‍රීලනිපයේ ඡන්ද ගොඩ ආකර්ෂණය වීමය. එය ජනාධිපතිවරයාගේ පැත්තෙන් අවාසියකි. රැලිවලට පැමිණෙන සෙනඟ සාර්ථකත්වය මැනීමේ එකම මිනුම් දණ්ඩ නොවුණද සංසන්දනාත්මකව මහින්ද යන රැලිවලට පැමිණෙන ජනකාය ඉහළ බව පෙනෙන්නට තිබේ. මේ පැමිණෙන සියලු ජනතාව ඡන්ද බවට පෙරළෙයිද නැද්ද යන්න තීරණාත්මක සාධකයකි. එහෙත් මේ තත්ත්වය ජනාධිපතිගේ අවධානයට ලක්වන්නට ඇති බව නිසැකය.

මහින්ද පසුගියදා මහරගමදී පැවැති රුලියේදී සිදුකළ කතාවේදී ජනාධිපති නිතරම කියන හොරැන් දූෂිතයන් කතාවට පිළිතුරක් දුන්නේ මෙසේය.

“දැන් මේ රටේ ජනාධිපතිතුමා කියනවා ජනවාරි 08 ජයග්‍රහණයෙන් පස්සේ ගෙවී ගිය වසර තුනේදී හොරකම් රැසක් වුණා කියලා. කැබිනට්ටුවට ගිහින් කියනවා ගම්මිරිස් අපනයනය ඇතුළු අපනයන රැසකින් ලැබෙන ආදායම යන්නේ ඇමැති කීපදෙනෙකුගේ සාක්කුවලට කියලා. මේවා මග ඇරලා යන්න බැහැ. අගමැතිට එරෙහි චෝදනාවලට උත්තර දෙන්න ඕනෑ. අපිට බැනලා ඒවා වහන්න බැහැ. අපිට අපරාධ චෝදනා නගනවා. අධිකරණයට ඉදිරිපත් කරන්න කතා කරනවා. නමුත් අපි නොවෙයි ජනාධිපතිතුමාම හොරු කියන කියන අයට එරෙහිව තවම කිසිම නීතිමය ක්‍රියාමාර්ගයක් නැහැ. අපේ සිවිල් අයිතීන් උදුරගන්න හදන අයට වැඩිකල් යන්න කලින් සිවිල් අයිතීන් නැතිව යාවි.”

මේ කතාවලට ජනාධිපතිවරයාගේ පිළිතුර කුමක් වේදැයි ඉදිරි දිනවලදී බලාගත හැකිවනු ඇත. ඒ සමඟ මහින්ද කියා තිබුණේ එකට ආණ්ඩු කරමු කියා තමන්ට බොරුවට ආරාධනා කර පස්සේ බණින බවය. වෙනෙකක් තබා මහින්ද වේදිකාවේදී බුලත් හුරුල්ලකින් පිළිගැනීමේ සිරිතද වෙනස් කලේ බුලත් කොළේට ලකුණු වැටෙන නිසාය. මේ සියලු කතාවලින් පෙනෙන්නේ ජනාධිපතිවරයා කොතරම් බුලත් දීමට හැදුවත් මහින්ද නම් දැනට එය නොපිළිගන්නා බවය. ඒ තත්ත්වය ඡන්දයෙන් පසුවත් එසේම පවතීදැයි යන්න තීරණය වනු ඇත්තේ ඡන්ද ප්‍රතිඵල ලැබීමෙන් පසුවය.

 ශශීන්ද්‍ර