2018 පෙබරවාරි 03 වන සෙනසුරාදා

වසර 70යි

 2018 පෙබරවාරි 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 56

අද - පෙබරවාරි 04 වැනිදා රටේ නිදහසේ කාහල නාදය නංවන දවසය. 1948 දී ලබාගත් නිදහසින් පසුව රටේ සිදුවූ පරිවර්තනය දෙස විමසුම් ඇසින් බැලීමට අද දවස අපට පෙළඹවීමක් ඇති කරයි. නිදහසේ හැත්තෑ වැනි සංවත්සරය යෙදී තිබීම ඊට විශේෂත්වයක් ආරෝපණය කර තිබෙන බවත් මෙහිදී සඳහන් කිරීම අවශ්‍යය.

බැලූ බැල්මට අපට හැඟෙන්නේ ගෙවී ගිය වසර හැත්තෑව තුළදී රටක් වශයෙන් අප ලබාගත් ජයග්‍රහණ පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි බවය. සෑම අංශයක්ම එසේ යැයි පැවසීමට අපි ඉක්මන් නොවෙමු. එහෙත් මෙතෙක් කාලයක් රටේ පාලනය හැසිරවූ නායකයන් රටේ ජනතාවගේ උවමනා එපාකම් සමඟ එකට සිටගත්තා නම් අප අද දකුණු ආසියාවේ දිදුලන, ආර්ථික වශයෙන් සමෘද්ධිමත් රටක් විය යුතුය. එහෙත් එය එසේ නොවන බව සඳහන් කරන්නේ කනගාටුවෙනි. මීට වඩා බොහෝමයක් ඉහළට යාමට තිබූ හැකියාව අපගේ ඇතැම් නායකයන්ගේ බලලෝභී, ආත්මාර්ථකාමී දේශපාලනය විසින් අපට අහිමි කරනු ලැබීය. ඒ සම්බන්ධයෙන් නිදහසින් පසුව රටේ දේශපාලනය හැසිර වූ සිංහල - දමිළ සියලු නායකයන් වගකිව යුතු බව අපගේ වැටහීමය.

1948 දී ශ්‍රී ලංකාවට නිදහස ලබාගැනීමේ සටනට එක්ව උරදුන් නායකයන් තුළ රට ඉහළට ඔසවා තැබීමට අවශ්‍යතාව තිබුණ ද එම අභිලාෂය දිගටම පවත්වා නොගැනීම බරපතළ අඩුවක් විය. බලලෝභී පටු දේශපාලනය විසින් රටට වඩා දේශපාලන පක්ෂවල න්‍යායපත්‍රවල අවශ්‍යතාවලට මුල්තැනක්දීම ඊට හේතුව විය. වසර 30කට ආසන්න කාලයක් ඇදී ගිය විනාශකාරී යුද්ධය ඊට ජීවමාන උදාහරණයක් සපයා දෙයි.

බ්‍රිතාන්‍යය අපට නිදහස ලබා දෙනා විට ඔවුන් රටට ශක්තිමත් ආර්ථික පදනමක් දමා නොතිබිණි. එය බ්‍රිතාන්‍යය විසින් සිතාමතා ක්‍රියාත්මක කළ රට තුළ බෙදීම් ඇති ඇතිකොට පාලනය කිරීමේ එක් ඍජු ප්‍රතිඵලයකි. එසේ වුවද බ්‍රිතාන්‍යයන් මේ රට අතහැර යනවිට රටට අවශ්‍යම කර තිබූ ඉතා ක්‍රමවත් දුම්රිය මාර්ග පද්ධතියක් ඇති කර තිබිණි. මහා මාර්ග පද්ධතියක මූලික සැලැස්මක්ද ක්‍රියාත්මක විය. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවට සුද්දන් විසින් හඳුන්වා දුන් තේ කර්මාන්තය සඳහා එම දුම්රිය මාර්ග සකස් කර තිබුණත් එම මාර්ග පද්ධතිය වසර සිය ගණනක් ඉදිරියට ප්‍රයෝජන ගැනීමට අවශ්‍ය අඩිතාලම ඔවුන් විසින් සකසා තිබිණි. නමුත් කරැමය වන්නේ නිදහස් ශ්‍රී ලංකාවේ නායකයන්ට අලුත් දුම්රිය මාර්ග ඉදිකිරීමට ඉන්පසුව වසර දශක 06කට ආසන්න කාලයක් ගතවීමය. ඒ එක් උදාහරණයක් පමණි.

බ්‍රිතාන්‍යයන් අපට හොඳ ආර්ථිකයක් උරුම කර නොතිබීම හරියට වටහා ගත්තා නම් සහ එය කනපිට පෙරළා රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට නිසි පියවර ගත්තා නම් ඇතැම් විට රටේ සිවිල් යුද්ධය පවා ඇති නොවීමට ඉඩක් තිබිණි. නිදහස ලබා වසර 70ක් සමරණ විටත් අප සිටින්නේ ආර්ථික අගාධයක වීම කනගාටුවක් නොවන්නේ දැයි අප අපගෙන්ම ප්‍රශ්න කළ යුතුය. නිදහස ලබද්දී අප සිටි තේ, රබර්, පොල් ආර්ථිකයෙන් ඔබ්බට යාමට අපට කොතරම් කාලයක් ගත වුණේදැයි සෙවීම පමණක් එම ප්‍රශ්නයට පිළිතුරක් වනු ඇත. ප්‍රධාන අපනයන වගාවන් දෙක වූ තේ සහ රබර් සඳහා අගය එකතු කරන නිෂ්පාදන හඳුන්වා දීමට කවුරුත් උනන්දු වූයේ නැත. ලෝකයේ රබර් මිල පහළ වැටෙන විට ඊට පිළිතුරක් අපට නොතිබිණි. තේ වෙළෙඳපොළට වෙනත් රටවලින් අභියෝග එල්ල වනවිට ඊට සරිලන ශක්තිමත් විකල්ප ආර්ථික ක්‍රමෝපායයන් අපට තිබුණේ නැත. වාසනාවකට මෙන් ශ්‍රී ලංකාවේ තේවල පවතින ස්වාභාවික රසයට අභියෝගයක් නොතිබීම හේතුවෙන් තේ වෙළෙඳාම තවමත් රටට ආර්ථික සම්පතක් වී තිබේ. එහෙත් පසුගිය දිනවල ඇති වූ රුසියානු තේ අර්බුදය නිදහස ලබා වසර 70ක් ගතවන විටත් අප ලබා ඇති ආර්ථික දියුණුවේ සහ අවබෝධයේ තරම පෙන්වූ අවස්ථාවක් බව සිහිපත් කිරීම අවශ්‍යය.

නිදහසේ වසර 70 අප සමරන විට රටේ ප්‍රධාන ආදායම් මාර්ගය වී ඇත්තේ විදෙස් රැකියා නියුක්තිකයන් විසින් එවනු ලබන මුදල වීම ගැන අප රටක් වශයෙන් ලැජ්ජා විය යුතු නොවේද? මහබැංකුවේ 2016 වාර්ෂික වාර්තාවට අනුව එම වසර තුළදී එමඟින් ලැබූ ආදායම බිලියන 14.3කි. ඒ වසරේ අපගේ අපනයන ආදායම වී තිබුණේ බිලියන 10.3ක් පමණි. එතෙර රැකියා යනු අරාබිකරයේ ගෘහසේවිකා රැකියා පමණක් නොවන බවත් මේ රටේ පුහුණු ශ්‍රමිකයන් විසින් එතෙර රටවල විවිධ ක්ෂේත්‍රවල කරන රැකියා ද ඊට ඇතුළත් බවත් සැලකීම අවශ්‍යය. පුහුණු සේවා සැපයුම අතින් අපේ රට ගෙවී ගිය වසර 70 තුළ කැපීපෙනෙන වර්ධනයක් ඇති කරගෙන තිබෙන බවද සඳහන් විය යුතුය.

මෙහිදී රට ලබාගත් ජයග්‍රහණ අතර සෞඛ්‍ය සහ අධ්‍යාපනය කැපීපෙනෙන ක්ෂේත්‍ර වෙයි. දකුණු ආසියාවේ බොහෝ රටවලට වඩා එම ක්ෂේත්‍ර දෙකින්ම අපේ රට සිටින්නේ ඉදිරියෙනි. එසේම රටේ ජනජීවිතය තුළ ක්‍රමනුකූලව වඩාත් පහසුකම් සහිත ක්‍රමවත් බවක් ද ඇති වී තිබේ. ඒවාද ජයග්‍රහණ වශයෙන් සැලකිය යුතුවන්නේ ඕනෑම රටක ලොකුම සම්පත එරට ජනතාව වන බැවිනි. කෙසේ වුවද මේ රට පාලනය කළ නායකයන් මීට වඩා රටේ අනාගතය ගැන සිතුවා නම් අද අප 70 වැනි නිදහස් සැමරුම සිදුකරන්නේ මීට වඩා අභිමානයකින් යුතුව බවද සඳහන් කළ යුතුය.