2018 ජනවාරි 27 වන සෙනසුරාදා

පුංචි කෑලි

 2018 ජනවාරි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 126

දේශපාලන සතෙක්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය සිකුරාදා (26) උදෑසන මාධ්‍ය ප්‍රධානීන් හමුවිය. වත්මන් රජය බලයට පත්වීමෙන් පසුව තම ජනප්‍රියත්වය මැනගැනීමට හැකි පළමු “ලිට්මස්” පරීක්ෂාව වන පළාත් පාලන මැතිවරණයට සති දෙකක් පමණක් තිබියදී සිදු වූ මේ හමුවේදී ජනාධිපතිවරයා සිදුකරන ප්‍රකාශය කෙරෙහි මාධ්‍යවල දැඩි අවධානය යොමුවීම අපේක්ෂා කළ යුත්තකි.

ජනාධිපතිවරයා එහිදී මුදල් අමාත්‍යාංශය සම්බන්ධයෙන් වැදගත් හෙළිදරව් කිරීම් දෙකක් සඳහන් කළේය. වසර 10 ක් තුළදී රජය රුපියල් ට්‍රිලියන 10 ක්, (කෝටි ලක්ෂයක්) ණය වශයෙන් ලබාගෙන තිබුණත් අමාත්‍යාංශ ලේඛනවල දැන් සඳහන් වන්නේ එය ට්‍රිලියන 01 ක්, (කෝටි දහදාහක්) පමණක් බවය. එසේම පසුගිය වසර 03ක කාලය තුළදී රජයේ ආදායම් සූක්ෂම ලෙස වෙනත් පෞද්ගලික සමාගම්වලට හරවා තිබෙන බවද ඔහු සඳහන් කළේය. වත්මන් ආණ්ඩුවේ ආර්ථික කළමනාකරණය සිදුවන්නේ යූ.එන්.පී. පාර්ශ්වය මගිනි. ජනපතිවරයා සඳහන් කළ ඒ කරුණු දෙකින් පසුගිය වසර 03ට අදාළ කාරණාව කෙළින්ම යූ.එන්.පී. දෙසට එල්ලවන චෝදනාවක් බව පැහැදිලිය.

එසේම තමන් මීළඟ වාරයේ ජනාධිපති පදවියට ඉදිරිපත් වනවාද නැද්ද යන්න තවම තීරණය කර නැතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බවද ඩේලිමිරර් (ඔන්ලයින්) ප්‍රකාශ කරයි. එහි තවදුරටත් සඳහන් වූයේ තමන් ජීවත්ව සිටිනතුරු දේශපාලනය කරන බවත් එය තමන්ගේ ජානගතව පවතින දෙයක් බවත්ය. එසේම තමා “දේශපාලන සතකු” බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. තනතුරක් තිබුණත් නැතත් රටට සේවය කිරීම තමාට ප්‍රශ්නයක් නොවන බවද ඔහු සඳහන් කළේය.

ජනාධිපතිවරයා මේ කරුණු සඳහන් කරන්නට ඇත්තේ ඡන්දයේ දී තමන් නායකත්වය දෙන ශ්‍රීලනිපයේත් එජනිසයේත් සටනට තල්ලුවක් දීමට බැව් පෙනෙන්නට තිබේ.

සොහොයුරාගේ සමාගම වෙනුවෙන් රාජිත

තිඹිරිගස්යාය පාරේ පිහිටි ටොරින්ටන් මහල් නිවාස ප්‍රතිසංවර්ධනය කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්නගේ සොහොයුරා අධ්‍යක්ෂ ධූරයක් දරන සමාගමකට ටෙන්ඩර් කැඳවීමකින් තොරව ලබාදීමට කැබිනට් මණ්ඩලය උපදෙස් දී තිබේ. ඇමැති රාජිත විසින් කරන ලද ඉල්ලීමක් හේතුවෙන් මේ උපදෙස් නිකුත් කර ඇති බව සඳහන්ය.

පසුගිය නොවැම්බරයේ දී මේ ව්‍යාපෘතිය සඳහා වන යෝජනාව කැබිනට්ටුවට ඉදිරිපත් කර තිබුණේ නිවාස අමාත්‍යාංශය මගිනි. නිවාස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා විසින් ඉදිරිපත් කෙරුණු කැබිනට් පත්‍රිකාවේ සඳහන්ව තිබී ඇත්තේ මේ ව්‍යාපෘතිය පිළිබඳ කටයුතු කිරීම 1973 මහල් නිවාස කළමනාකරණ අධිකාරි පනතේ විධි විධානවලට අනුකූලව එම අධිකාරියට පැවරීමට අනුමැතිය ලබාදෙන ලෙසටය. අදාළ ආයතන සමඟ කටයුතු කිරීමෙන් පසුව අවසන් සැලසුම් නාගරික සංවර්ධන අධිකාරිය සහ කොළඹ මහ නගර සභාව විසින් සකස් කරනු ඇති බවද එහි සඳහන් විය.

කෙසේ වුවද ඇමැති රාජිත විසින් මේ මාසයේ මුලදී පැවැති කැබිනට් රැස්වීමක දී ඉල්ලීමක් කර ඇත්තේ “ස්කයි මවුන්ට් හෝල්ඩිංස්” (පෞ) සමාගමට එම ව්‍යාපෘතිය බාරදෙන ලෙසටය. එහි අධ්‍යක්ෂවරුන් වන්නේ ඇමැති රාජිත සේනාරත්නගේ බාල සොහොයුරු මහීල් සේනාරත්න, ක්‍රිශාන්ත ද සිල්වා සහ ශාන්ත හේරත්ය.

ස්කයි මවුන්ට් හෝල්ඩිංස් ආයතනයට එම කොන්ත්‍රාත්තුව ලබාදීමට තවම තීන්දුවක් ගෙන නැත. ප්‍රකාශිත ක්‍රියාපටිපාටිය වන්නේ මෙවැනි ව්‍යාපෘතියක දී තරගකාරී මිල ගණන් කැඳවීමයි. එහෙත් එම සමාගමට අයත් වෙබ් අඩවියේ අදාළ ව්‍යාපෘතියට තම සමාගමට ඇති සම්බන්ධතාව පිළිබඳ කාරණා පසුගිය සැප්තැම්බරයේ සිට සඳහන්ය. සමාගම ලියාපදිංචි කර ඇත්තේ පසුගිය වසරේ ජුලි මාසයේදීය.
සන්ඩේ ටයිම්ස්