2018 ජනවාරි 27 වන සෙනසුරාදා

ඡන්ද ප්‍රතිඵලයෙන් පස්සේ හුඟක් පෙරළි සිදුවේවි!

 2018 ජනවාරි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 75

රාජ්‍ය පරිපාලන සහ කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර
දූෂණ වංචා කොමිසමේ වාර්තාව ශ්‍රීලනිපයටත් පොහොට්ටුවටත් පාරාවළල්ලක් 
සොයිසා ඇමැතිතුමා මොණරාගලට මොනවද කරලා තියෙන්නෙ 
අගමැතිතුමා හොරු හංඟලා නැහැ 
මට ආපු ප්‍රශ්නවල හැටියට පක්ෂ මාරුකරන්න වෙන්නෙ හුඟක් කලින් 
මෛත්‍රී මහත්තයා පත්වුණේ යූ.ඇන්.පී. ඡන්දවලින් 
ජනාධිපතිතුමා ගාව ඉන්නෙ ඡන්දෙ කාලෙ එතුමට බැණපු අය

වි‍ශේෂයෙන් මොණරාගල වමට බර දිස්ත්‍රික්කයක්. ඔබ එ.ජා.ප. දේශපාලනඥයෙක්. විශේෂයෙන් එළඹෙන පළාත් පාලන මැතිවරණයේ දී කොයි වගේ තැනක් තියෙයිද එ.ජා.ප.යට?

 

2010 මැතිවරණයේ දී අපිට සියයට 16ක්ම අඩුවෙලා තිබ්බා. ඒත් පහුගිය මහ මැතිවරණයේ දී සියයට 42ක් දක්වා වැඩිකරගත්තා. මේ සැරේදී මොණරාගල දිස්ත්‍රික්කයේ මැතිවරණ ව්‍යාපාරයත් එක්ක ඊට වඩා විශිෂ්ඨ ජයග්‍රහණයක් අපි ලබාගන්නවා. මොකද ශ්‍රී ලංකා මහින්ද පාර්ශ්වයේ අයත් අපිට එකතුවෙලා ඉන්නේ දැන්.

ඔබත් එක්ක ශ්‍රීලනිපයෙන් ඉන්නෙ විජිත් විජිතමුණි සොයිසා අමාත්‍යවරයා. ඔහුට ලැබිලා තියෙන අමාත්‍යාංශය මොණරාගල ජන ජීවිතයට සම්බන්ධ ඇමැතිකමක්. ඔබට ලැබිලා තියෙන විෂයයෙන් තරමක් අපහසුයි ප්‍රදේශයට වැඩක් කරන්න. වැඩි වාසිය සොයිසා අමාත්‍යවරයාට නේද?

මගේ අමාත්‍යාංශයෙන් රාජ්‍ය සේවකයෝ බලාගන්න විතරයි තියෙන්නෙ. ඒත් ඊට සමගාමීව තියෙනවා මහජන සම්බන්ධතා අමාත්‍යාංශය කියලා. ඒක යටතේ මම මොණරාගල දිස්ත්‍රික්කයේ විශාල වැඩ කොටසක් කරලා තියෙනවා. විශේෂයෙන් රැකියා, ජනතා සහන, සනීපාරක්ෂක කටයුතු, පූජනීය ස්ථානවලට ආධාර වගේ විශාල වැඩ කොටසක් කරලා තියෙනවා. විජිත් විජිතමුණි සොයිසා ඇමැතිතුමා වාරිමාර්ග ඇමැති හැටියට මොනවද කරලා තියෙන්නෙ කියලා මම අහනවා එයාගෙන්.
වෙනදාට ඡන්ද කාලේදී වැඩියෙන්ම චෝදනා කරගන්නෙ ආණ්ඩුවයි විපක්ෂයයි. මේ පාර ආණ්ඩුවේ පක්ෂ දෙක ඇණකොටා ගන්නවා. මණ්ඩලයේ කචල්ද?

අපි පැහැදිලිව කිව්වා එකට ආණ්ඩු කරලා දෙපැත්තට බෙදිලා ඡන්දය කරනවා කියලා. පැහැදිලිවම දන්නවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අය එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට එකතුවෙලා ඉන්නෙ. ජනාධිපතිතුමාත් කිව්වනෙ ආර්ථිකය පාලනය කළේ එක්සත් ජාතික පක්ෂය කියලා.

මේ දෙපැත්තෙ අය ගහගන්න මූලිකම කාරණය තමයි බැඳුම්කර වංචාව. ඔබ පිළිගන්නවාද මෙතන වංචාවක් වෙලා තියෙනවා කියලා?

ඇත්තටම බැඳුම්කර සිද්ධියේ වැරදිකරුවන්ට දඬුවම් දෙන්න ඕන. ඒකට අපි එකඟයි. ඒ වගේම එයාලගේ යුතුකම මීට කලින් වෙච්ච බැඳුම්කර සම්බන්ධවත් සියලු දේ හෙළිකිරීම. ඒ වගේම ඔය වාර්තාවට අමතරව බරපතළ මූල්‍ය වංචා කොමිසමෙන් දුන්න තව වාර්තා 34ක් තියෙනවා. අන්න ඒ ෆයිල් ටිකත් හෙළිකරන්න. ඒකෙ නෑ යූ.ඇන්.පී.කාරයන්ගේ ඒවා. එතන තියෙන්නෙ සන්ධානයේ ඒවා. අපිට දාලා තියෙන වාර්තාවෙනුත් අගමැතිතුමා නිර්දෝෂී වෙලා තියෙන්නෙ. කොහොම වුණත් මේ කොමිෂන් වාර්තාව ශ්‍රී.ල.නි.පයටත් පොහොට්ටුවටත් පාරා වළල්ලක් වෙලා ඉවරයි.

මේ බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් හැම මොහොතකම චෝදනා එල්ල වෙන්නෙ ඔබලාට. ඒත් එජාපය කොයිම වෙලාවකවත් මේ චෝදනාවලින් ගැලවෙන්න උත්සාහ කරන්නෙ නෑනෙ?

එජාපය පැහැදිලිවම කියලා තියෙනවා වැරදි කළා නම් දඬුවම් දෙන්න කියලා. ඉතාම පිරිසිදුභාවයෙන් අපි වැඩ කරලා තියෙනවා කිසිම ආණ්ඩුවක් නොකළ විදිහට. අද ඔය ආණ්ඩුවේ සමහර අය රාජපක්ෂලා එක්ක බැඳුම්කර වංචාවලට සම්බන්ධ අය. මම කියන්නෙ ඒ අයටත් දඬුවම් ඕන.

හැබැයි චෝදනාවලින් නිදහස් වෙනවා වෙනුවට එජාපයේ පසුපෙළ මන්ත්‍රීවරුන් ලවා ජනාධිපතිට ප්‍රතිප්‍රහාර දෙන්න ගත්තනෙ?

ඒක කවුරුවත් දාලා කරපු වැඩක් නෙමෙයි. ජනාධිපතිතුමාව පත්කළේ එක්සත් ජාතික පක්ෂ මිනිස්සු ඡන්දය දීලා. එහෙම නැතුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මිනිස්සු ඡන්දය දීලා නෙමෙයිනෙ. ඉතින් එතනදී එක්සත් ජාතික පාක්ෂිකයන්ටත් කවුරුහරි පහරදෙනවා නම් ඔවුන්ටත් රිදෙනවා. හැබැයි මම කියන්නෙ ජනාධිපතිතුමා හොරු අල්ලනවා නම් ඒ වැඩපිළිවෙළට අප සහයෝගය දෙන්න ඕන. ඒ වගේම පහුගිය කාලේ බැඳුම්කර චෝදනාත් එළිකරන්න කියලා ඉල්ලනවා. ඒ විතරක් නෙමෙයි, පහුගිය ආණ්ඩුවේ ඇමැතිවරුන්ගේ වැඩත් එළියට දාන්න කියනවා අපි. ඒකයි නියම ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ.

ඔබලා කියනවා හොරු අල්ලන්න ජනාධිපතිට උදව් කරනවලු. ඒත් ජනාධිපතිවරයා ඡන්ද වේදිකාවේදී හොරු අල්ලන්න අගමැතිගෙන් උදව් ඉල්ලනවා. එතනදී සැකයක් එනවා නේද එජාපය හොරු රකිනවාද කියලා?

අගමැතිතුමා කොහෙවත් හොරු හංඟලා නෑ. ඒ ප්‍රකාශය සම්බන්ධයෙන් මම නම් එකඟවෙන්නෙ නෑ. මොකද අගමැතිතුමා බැඳුම්කර කොමිසමට ගිහින් සාක්ෂි දීලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි, බැඳුම්කර සිද්ධියේ චෝදනා එල්ල වෙච්ච ඇමැතිවරුන්ට චෝදනා එල්ල වෙන්නත් කලින් ඇමැතිකම්වලින් අයින් වෙන්න කිව්වා. ඒ වගේම නීතිපතිට දන්වලා තියෙනවා මේ ගැන හොයාබලන්න කියලා. ඒ නිසා මේ ප්‍රකාශය කොහොම කළාද කියලා අපිටත් ප්‍රශ්නයක් තියෙනවා.

මේ සියලු දේ මැද්දෙ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි කියලා තිබ්බා එජාපයට පහර දුන්නොත් ජනාධිපතිට එරෙහිව දෝෂාභියෝගයක් ගේනවා කියලා. ඔබලත් ඒකට සහාය දෙනවද?

පක්ෂයක් හැටියට එහෙම තීන්දුවක් අරගෙනත් නෑ. සාකච්ඡා කරලත් නෑ. ඉතින් මම දන්නෙ නෑ ඒ ගැන. ඒක ඔහුගේ පෞද්ගලික මතය වෙන්න ඇති. කෙසේ නමුත් මේ මැතිවරණයෙන් පස්සෙ හැම පක්ෂයක්ම තමන්ට ලැබෙන ඡන්ද ප්‍රමාණය අනුව දේශපාලන විප්ලව, පෙරළිකාර තීන්දු ගන්න තැනකට තල්ලු වෙනවා. 

පහුගිය කාලයේ එජාපයේ පසුපෙළ මන්ත්‍රීවරු කිව්වා වැඩි ඡන්ද ගත්තොත් වෙනම ආණ්ඩුවක් පිහිටුවනවා කියලා. ඒ කියන්නෙ ඒක වෙන්න පුළුවන් නේද?

නෑ නෑ. කොහොමත් එක්සත් ජාතික පක්ෂ තනි ආණ්ඩුවක් බිහිකරන එක තමයි අපේ අරමුණ වෙලා තිබ්බේ. ඒක ඊළඟ මැතිවරණයේ දී කරනවාද නැද්ද කියන එක එහෙම සාකච්ඡා කරලත් නෑ. තීන්දු කරලත් නෑ. ඉදිරි අනාගතයේ දේශපාලන පැතිරීමත් එක්ක අපිට තීන්දුවක් ගන්න වෙනවා. හැබැයි තවම තීන්දුවක් අරගෙන නෑ අපි.

නාධිපතිවරයා පහුගිය දවසක වේදිකාවේ කියනවා රටේ ආර්ථිකය මෙහෙය වූයේ එජාපය. ඉදිරියේ දී ඒක අතට ගන්නවා කියලා. ඔය කියන හැටියට ජීවන බර ගැටලුවට එජාපය වගකියන්න ඕන නේද?

තිබ්බ ණයබර අඩුකළා. ඒ වගේම අපි ජනතාවට විශාල සහන දුන්නා. තෙල් මිල අඩුකළා. බෙහෙත් මිල අඩුකළා. කිරිපිටි මිල අඩුකළා. ගෑස් මිල අඩුකළා. දහදාහකින් වැටුප් වැඩිකළා. විශ්‍රාමික වැටුප් විෂමතාවයට විසඳුමක් දුන්නා. මහපොළ ශිෂ්‍යත්වය වැඩිකළා. සමෘද්ධිය වැඩිකළා. මේ සියල්ල ගෙනාවේ එජාපය කරපු ආර්ථික වැඩපිළිවෙළ නිසා කියලා ජනාධිපතිතුමත් පිළිගන්නවා නම් සතුටුයි.

ආණ්ඩුවේ දෙපාර්ශවය එකට වේදිකාවේ රෙදි ගලවගන්නවා. මේකෙන් වෙන්නෙ ජනතාවට විහිළුවක් වෙන එක නේද? එහෙම කියාගෙන එකට ආණ්ඩු කරන්න පුළුන්ද?

අද ජනාධිපතිතුමා ගාව ඉන්නෙ ජනාධිපතිට අපහාස කරලා එතුමාට විරුද්ධව ඡන්ද ව්‍යාපාර කරපු මිනිස්සුනෙ. ඒවා හා සසඳන කොට අපේ මන්ත්‍රීවරු ලොකු දෙයක් කියලා නෑ. දේශපාලනයේ හැටි ඔහොම තමයි. අපි එකතුවෙලා වැඩ කරනවා. හැබැයි ආර්ථිකය සම්බන්ධව මුදල් සම්බන්ධව තීන්දු තීරණ ගැනීමේ බලය තියෙන්නෙ පාර්ලිමේන්තුවට.

අගමැතිතුමා ප්‍රකාශ කළා මේ වංචාවේ දී රජයට අහිමි වූ මුදල ලබාගන්න පුළුවන් පර්පෙචුවල් ආයතනයෙන් කියලා. ඊටපස්සෙ රජයට පාඩුවක් නෑ කියලා. ඒ කියන්නෙ හොරකම් කරලා සල්ලි ආපහු ගත්තම හරිද?

එතන කාරණා දෙකක් තියෙනවා. මහ බැංකුව බාරව ඉන්නෙ අගමැතිතුමා. එතුමා තීරණය කරලා තියෙනවා අදාළ මුදල තහනම් කරලා තියාගන්න. ඒ නිසා මුදල අයකරන්න පුළුවන්. ඒ වගේම ඒ අයට දඬුවම් දෙන්නත් පුළුවන්. එතකොට ඔය වාර්තාවේම කියලා තියෙනවා 2008 ඉඳලා බිලියන 400ක වංචාවක් වෙලා තියෙනවා කියලා. එතකොට ඒ මුදල කොහෙද තියෙන්නෙ.

ඒක අපෙන් නෙමෙයි නේද අහන්න ඕන. ඔබලාට ජනතාව බලය දුන්නෙ ඒ ගැන හොයන්නනෙ?

මම කියන්නෙ මේ කොමිසමේ වාර්තාවට ක්‍රියාකරන ආකාරයටම ඒ දේවල්වලටත් ක්‍රියාකරන්න ඕන. මොකද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරුන් ඒකට සම්බන්ධද දන්නෙ නෑනේ. සමහරවිට ඒකද දන්නෙ නෑ පරක්කු වෙන්නෙත්. අපිට සැකයක් තියෙනවා.

දැන් ඔබලා කියනවා වැරදි කරපු අයට දඬුවම් දෙන්න කියලා. ඒත් 2015 ඡන්ද වේදිකාවේ කිව්ව රාජපක්ෂලාගේ එක චෝදනාවක්වත් ඔප්පු කරන්න බැරිවෙලා තියෙනවනෙ ආණ්ඩුවට?

දැනට නඩු 19ක් දාලා තියෙනවා. එතකොට බරපතළ වංචා කොමිසමෙත් තව ෆයිල් 34ක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් රටේ නීතිය අනුව හොරෙන් පොල් කැඩුවත් ඒකට දඬුවමක් දෙන්න අවුරුදු 4ක් 5ක් යනවා. ඒක නිසා තමයි ආණ්ඩුව තීරණය කරලා තියෙන්නෙ විශේෂ අධිකරණයක් පිහිටුවලා ඒ හරහා මේ නඩු ඉක්මන් කරන්න. ඉස්සෙල්ලා හිටිය අධිකරණ ඇමැතිතුමා තීන්දු තීරණ ගන්න ප්‍රමාද වුණා. ඒ නිසා පසුව එතුමා ඉවත්වුණා. හැබැයි අලුත් ඇමැතිතුමිය විශේෂ අධිකරණය පිහිටුවන්න කටයුතු කළා. ඒක අපි දුන්න පොරොන්දුවක්.

දැන් කොච්චර මොනවා කිව්වත් ඔවුන් වෙනම පක්ෂයක් අරගෙන ආණ්ඩුවට අභියෝගයක් වෙන තැනට ඇවිත්. ඔවුනුත් ඔබලාට හොරු කියනවා. දැන් ජනතාව කවුරු කියන දේද විශ්වාස කරන්න ඕන?

අපිට මේ මැතිවරණයෙන් පස්සෙ තීන්දු කරන්න පුළුවන් වේවි ජනතාව කාගේ පැත්තටද වැඩි නැඹුරුවක් තියෙන්නෙ කියලා. දැන් 2015 මැතිවරණයෙන් ජනතාව තීන්දුවක් දීලා තියෙනවා. ඒ තීන්දුවට එකඟව ඡන්දය දෙනවද නැත්තම් එයට විරුද්ධව ඡන්දය දෙනවද කියලා ජනතාව තීන්දු කරාවි. අපි 11 වැනිදා උදේට බලමු.

ශ්‍රීලනිප ඇමැතිවරු කියන්නෙ මේ මැතිවරණයෙන් පස්සෙ කොයිම වෙලාවකවත් එජාපය සමඟ ගමේ ආණ්ඩු පිහිටුවන්නෙ නෑ. පිහිටුවන්නෙ නෙළුම් පොහොට්ටුවත් එක්ක කියලා?

ඇමැතිවරුන්ගේ දෙබිඩි ප්‍රතිපත්තියම ඒකෙන් පේනවනෙ. ආණ්ඩුව ඇතුළෙදි එක ප්‍රතිපත්තියක්. ගමට ගියහම තව ප්‍රතිපත්තියක්. අපි බලමු එයාලා ගන්න තීන්දුව මොකක්ද කියලා. මේ ආණ්ඩුවේ කොහොම කළත් බහුතරය තියෙන්නෙ එක්සත් ජාතික පක්ෂයට. එයාලා ගන්න තීන්දුව අනුව එජාපයටත් තීන්දුවක් එදාට ගන්න වෙනවා.

ඔබලා ජනතාවට දුන්න පොරොන්දුවක් තමයි රැකියා දසලක්ෂයක් බිහිකරනවා කියන එක. ඒත් ඒවා හීනවෙලා විතරනෙ. ආයෝජකයොත් නෑ?

අපි රට බාරගන්නෙ කඩාවැටිච්ච ආර්ථිකයක් එක්ක. මහින්ද රාජපක්ෂ මහත්තයා කිව්වා එතුමාව විදුලි පුටුවට අරගෙන යනවා කියලා අපි. ඒ දේත් නැවැත්තුවා. ඒ දේවල් විසඳුවා. දැන් ඒ ප්‍රශ්න ඉවරයි. දැන් ආයෝජන එනවා. අගමැතිතුමා කිව්වා මහ බැංකු වාර්තාවට අනුව රැකියා ලක්ෂ 4ක් විතර හැදිලා තියෙනවා කියන එක. ඒ නිසා ප්‍රතිඵල එන්න කල් යනවා. දැන් ජී.එස්.පී සහනය ලැබුණා. මත්ස්‍ය අපනයනය නිදහස් වුණා. ඊළඟ මැතිවරණයට යන්න කලින් අපි ඒ රැකියා දසලක්ෂය බිහිකරනවා.
මහින්ද රාජපක්ෂ මහත්තයා කිව්වා ඔහුට වඩා තුන්ගුණයකින් මේ ආණ්ඩුව ණය ගත්තා. ඒත් රටට කරපු දෙයක් නෑ කියලා. ඇත්තටම ඇයි එහෙම ණය ගන්නෙ?

එහෙම ණය ගත්තා කියන එක සම්පූර්ණ අසත්‍යයක්. මහින්ද මහත්තයා නම් ඔහුගේ කාලයේ රටට අවශ්‍ය ප්‍රමාණයට වඩා තුන්ගුණයක් ණය අරන් තිබ්බා. අපිට සිද්ධ වුණා එතුමා කෙටිකාලීනව ගත්ත ණයත් ගෙවන්න. තවත් සමහර ණය ගෙවන්න වුණා. ඒ කාලේ කිසිමදෙයක් නැතුව පටන් ගත්ත සංවර්ධන ව්‍යාපෘතිවලට සල්ලි ගෙවන්නත් වුණා. එහෙම නැතුව අපි වංචා කරලා නෑ.

එතුමා කියන්නෙ ආණ්ඩු කරන්න බැරිනම් එතුමාට බාරදෙන්න කියලා?

එතුමා මැතිවරණ දෙකකින් ප්‍රතික්ෂේප කරපු නායකයෙක්. එතුමාට ඉදිරියට විධායක ජනාධිපතිවරණයට ඉල්ලන්නත් බෑ. එතුමා මේ රටේ නායකයා වෙන්නෙත් නෑ. අනික ඔය ගැලරියට ගහන කතා. ඕවා අපි ගණන් ගන්නෙ නෑ.

පොදුජන පෙරමුණ කියන්නෙ මේ ඡන්දයෙන් පස්සෙ මහින්ද මහත්තයව අගමැති කරනවා කියලා?

ඉතින් එහෙම කරන්න පුළුවන්ද? ප්‍රාදේශීය සභා ඡන්දයකින්. අනික පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු හතළිස් ගාණකට පුළුවන්ද අගමැති පත් කරන්න. 2020 වෙනකල් මේ රටේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයා. අගමැති රනිල් වික්‍රමසිංහ මහත්තයා.

පොදුජන පෙරමුණ කියන්නෙ එජාපයේ පිරිසකුත් අරගෙන පාර්ලිමේන්තුවේ බහුතරය හදලා මහින්ද මහත්තයා අගමැති කරනවා කියලා?

සාමාන්‍යයෙන් මැතිවරණ කාලයට ඔය වගේ කතා කියනවා. අපි කියනවා ඔය පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු නුදුරේදී ආණ්ඩුවට ගන්නවා කියලා. ඔවුන් මැතිවරණයට පෙර ගන්නත් පුළුවන්. මැතිවරණයෙන් පස්සෙ ගන්නත් පුළුවන්. එදාට මහින්ද රාජපක්ෂ මහත්තයට තේරෙයි එහෙන් මෙහාට යනවද මෙහෙන් එහාට යනවද කියලා.

ඔබ 1989 ඉඳලා පාර්ලිමේන්තුව නියෝජනය කරපු ඇමැති කෙනෙක්. ගෙවුණු කාලය හා සසඳන විට යහපාලන රජය ගැන සෑහීමකට පත්වෙනවද?

අනිවාර්යයෙන්ම. හවුල් ආණ්ඩුවක් තුළ ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස ස්ථාපනය කරලා තියෙනවා. ණයබර නැති කරලා ආර්ථිකය කෙළින් කරලා තියෙනවා. අනික රටේ හැම කොටසකටම, හැම පුද්ගලයාටම සහන ලබාදීලා තියෙනවා. පඩි වැඩිකරලා තියෙනවා. ඇත්තටම සන්තෝස වෙනවා.

2020 ජනපති අපේක්ෂකයකු හැටියට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් වෙනවා කියලා කතාවක් තියෙනවා. ඔබගේ පාසල් සමකාලීනයෙක් හැටියට ඔහු තරග කළොත් ඔබ උදවු කරනවද?

රාජපක්ෂලාත් දන්නවා මම ප්‍රතිපත්ති පාවලා දෙන්නෙ නැති දේශපාලනඥයෙක් බව. මම මගේ ජීවිතේ ආපු ප්‍රශ්න හැටියට පක්ෂය මාරුකරන්න ඕන මීට ඉස්සෙල්ලා. නමුත් මගේ ප්‍රතිපත්තියක් හැටියට එක්සත් ජාතික පක්ෂයත් එක්ක මම ජීවිත කාලයේම රැඳිලා ඉන්නවා. ඒක කාටවත් වෙනස් කරන්න බෑ. කවදාහරි ප්‍රතිපත්තිගරුක මිනිහෙක් හැටියට මම දේශපාලනය අවසන් කරනවා.

► ගයාන් ගාල්ලගේ

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00