2018 ජනවාරි 20 වන සෙනසුරාදා

කඩුව හෙණ්ඩුව සහ ආණ්ඩුව

 2018 ජනවාරි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 265

මේ රටේ ඉතිහාසයේ සිදු වූ ලොකුම කොල්ලය මහ බැංකු කොල්ලයයි. මා ජනාධිපති කොමිසමක් පත්කළේ එම කොල්ලය සෙවීමටයි. මම කැබිනට් මණ්ඩලයට ඊයේ දේශනයක් පැවැත්වූවා. ධම්මපදයේ ගාථාවක් කියලා තමයි මම ඊයේ දේශනය පැවැත්වූවේ. ඒ ගාථාවේ තේරුම අකුසල් කරලා කාටවත් කොහේවත් හැංගෙන්න බැහැ කියන එකයි. ආණ්ඩුව දේපොළ ගසා කෑම, ආණ්ඩුවේ බැංකුවල තිබෙන මහජන සල්ලි හොරකම් කිරීම, ජනතාවගේ සල්ලි දූෂණයට ලක් කිරීම ආදිය මේ අකුසල් අතරේ තිබෙනවා.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මේ කතාව කිව්වේ පසුගිය බදාදා (17) ඇල්පිටියේ පැවැති රැස්වීමේදීය.

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම අයුතු ලෙස උපයාගෙන ඇතැයි කියන රුපියල් බිලියන 9.2ක මුළු මුදලම මහ බැංකු මගින් රඳවාගෙන තිබෙන එම සමාගමට අයත් මුදල්වලින් රජයට අයකර ගන්නවා. බැඳුම්කර කොමිසමෙන් යෝජනා කර ඇති ක්‍රියාමාර්ග අනුගමනය කරමින් රජයට කිසිදු අලාබයක් සිදු නොවන ආකාරයට මෙම මුදල අය කරගන්නවා. අපි බලයට ආවේ දූෂණය හා වංචාව නවත්වන්නයි. පක්ෂ පාට, තනතුරැ කුමක් වුණත් දූෂිතයන්ට දඬුවම් දෙන්නයි.

රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා මෙසේ කිව්වේ ඊට පහුවැනිදා (18) සියලුම විද්‍යුත් නාලිකා ඔස්සේ ජාතිය අමතා ප්‍රකාශයක් කරමිනි.

යහපාලන ආණ්ඩුව හතරවැනි අවුරුද්දට යන්නේ නායකයන් දෙදෙනාම එකම කාරණයක් ඉදිරියට දමාගෙන බව මේ කතා දෙකින් පැහැදිලිය. රටේ සෙසු ප්‍රශ්න විසඳීම කෙසේ වෙතත් මඩ ගොඩේ එක තැන කැරකෙන රෝදයක් මෙන් බැඳුම්කරය ආණ්ඩුව එක තැන කරකවන ඇණයක් බවට පත් වී තිබෙන බව මේ කතා දෙකින් ප්‍රකාශ වන සැබෑවයි. හැබැයි විෂය එකක් වුවත් දෙදෙනා එකී විෂය ගැන දක්වන්නේ සම අදහස් නොව විසම අදහස් බව මේ ප්‍රකාශ දෙකින්ම පෙනේ.

ජනාධිපතිවරයා මහ බැංකුවේ සිදු වූ බැඳුම්කර වංචාව මේ රටේ ඉතිහාසයේ සිදු වූ ලොකුම කොල්ලය වශයෙන් හඳුන්වනවිට අග්‍රාමාත්‍යවරයා තමන්ගේ ප්‍රකාශයේ කිසිම තැනක එවැන්නක් සිදු වී ඇති බවට කිසිදු සඳහනක් කරන්නේ නැත. ඔහුට අනුව එය බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ චෝදනාවක් සහ එය පාපිස්ස යටට නොදා විමර්ශනය කිරීමට කටයුතු කිරීමකි. එසේම කෝප් කමිටුව නිර්දේශ කර තිබුණේ විශේෂයෙන් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම ගැන වැඩිදුර පරීක්ෂණ පැවැත්විය යුතු බව යැයි අගමැතිවරයා සඳහන් කළත් ජනාධිපතිවරයාගේ කතාවලදී පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ කටයුතු සඳහන් වන්නේ ඉතා අඩුවෙනි. ඔහු දිගින් දිගටම ප්‍රකාශ කරන්නේ මහ බැංකුවේ විශාල කොල්ලකෑමක් සිදුකර ඇති බවය. ආණ්ඩුවේ බැංකුවල තිබෙන මහජන සල්ලි හොරකම් කිරීම වැනි අකුසල් ක්‍රියා කරලා කාටවත් කොහේවත් හැංගෙන්න බැහැ කියලාය. මේ කියන්නේ නම් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම සහ එහි අයිතිකරුවන් පිළිබඳව පමණක් නම් විය නොහැකිය. අලාභය අය කර ගැනීමෙන් පමණක් ගැටලුව නොවිසඳෙන බවය. 

මේ කොහොම වුණත් අගමැතිවරයා තම කතාවේදී කියන්නේ බැඳුම්කර වාර්තාවෙන් චෝදනා ලබන තම පක්ෂයේ සාමාජිකයන් සිටිනවා නම් ඒ අය පිළිබඳව සොයාබලා තීරණයක් ගන්න විපක්ෂය විසින් තිලක් මාරපන මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කළ බවය. එම කමිටුවේ නිර්දේශ අනුව තම පක්ෂය ක්‍රියාමාර්ග ගන්නා බවය.

අගමැතිවරයා එහෙම කිව්වත් බැඳුම්කර කොමිසමේ වාර්තාවේ කිසිම තැනක වැරදිකරුවන් විය හැකි බවට නම් සඳහන්ව ඇති කිසිම අයකුට පක්ෂය මගින් කමිටුවක් පත්කර එහි නිර්දේශවලට අනුව ක්‍රියා කිරීමට ඉඩකඩ සලසා නැත. වාර්තාවේ පැහැදිලිව සඳහන් වන්නේ අදාළ සම්පූර්ණ අලාභය සහ දඩමුදල් අය කර ගැනීමට පමණක් නොව විවිධ චෝදනා සම්බන්ධයෙන් නම් සඳහන් වන පුද්ගලයන්ට එරෙහිව අධිකරණය හමුවේ නඩු පැවරිය යුතු බවය. අල්ලස් පනත යටතේ නඩු පැවරිය යුතු වන බවට වන නිර්දේශ ද එහි සඳහන්ය. එසේනම් ජනාධිපතිවරයා කියන අන්දමට ඉතිහාසයේ ලොකුම වංචාවේ වගකිව යුතු අය පක්ෂයක සිටීනම් ඔවුන්ට පක්ෂය මගින් පත් කරනු ලබන කමිටුවක තීරණ මගින් දඬුවම් කිරීම ප්‍රමාණවත් ද යන ප්‍රශ්නය ද මෙහිදී පැන නගින්නේය. මේ කාරණාවලින් බැලූ බැල්මට පෙනෙන්න තිබෙන්නේ බැඳුම්කර වංචාව යහපාලන ආණ්ඩුවේ ඉරණම තීන්දු කරන තැනකට පත් වෙමින් තිබෙන බවය. ජනාධිපතිවරයා ප්‍රමුඛ ශ්‍රී.ල.නි.ප.ය බැඳුම්කරය නඩු දැමිය යුතු මහා වංචාවක් හැටියට දැකීමත් අගමැතිවරයා ප්‍රමුඛ යූ.එන්.පී.ය බැඳුම්කරය එක සමාගමකට සීමා වූ පක්ෂ කමිටුවකින් ක්‍රියාමාර්ග ගත හැකි සිද්ධියක් වශයෙන් අර්ථ දැක්වීමක් අනුව කෙනකුට එවැනි තීන්දුවකට එළඹිය හැකිය.

මේ අතර ජනාධිපතිවරයාට සහය දක්වන කතා යූ.එන්.පීයේ මන්ත්‍රීන් කිහිප දෙනකු කළ කතාබහද මේ තත්ත්වයේ සංකීර්ණ බව වඩාත් පෙන්නුම් කරයි. නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක පසුගිය 16 වැනිදා අත්තනගල්ලේදී ප්‍රකාශ කර තිබුණේ තමන්ව බේරා ගැනීමට පැමිණි විමුක්ති දායකයා, ගැලවුම්කාරයා ලෙස 2015 ජනවාරි 8 වැනිදාට පෙර හැඳින්වූ වත්මන් ජනාධිපතිවරයාට අපේ ඇතැම් මැති ඇමැතිවරැන් කෙළෙහි ගුණ නොදන්නවුන් සේ අපහාස උපහාස කිරීම තමා අනුමත නොකරන බවය. මේ ඇතැමුන් ජනාධිපතිවරයාට ආප්පයා, පික්පොකට්කාරයා වැනි වදන්වලින් අපහාස කරන බවත් වැඩක් අරගෙන පැත්තකට දැමීම සුදුසු ක්‍රියාවක් නොවන බවත් රන්ජන්ගේ කතාවේ සඳහන් විය.

රන්ජන් මෙසේ කියන්නේ ජනාධිපතිවරයා කැබිනට්ටුවේදී ධම්මපදයෙන් පටන්ගෙන කළ කතාවේදී රවී, සුජීව, චමින්ද සහ මරික්කාර් වැනි මන්ත්‍රීවරැන්ගේ නම් සඳහන් කළ තත්ත්වයක් තුළ වීම මෙහි තිබෙන විශේෂත්වයයි. රන්ජන් මේ කතාව තමන්ගේ උවමනාවෙන් කිව්වානම් එය තමන්ටද බලපා තිබෙන කෙළෙහි ගුණ නොසැලකීමේ තත්ත්වයක් නිසා විය හැකිය. කෙසේ වුවද බැඳුම්කර වංචාව ආණ්ඩුවේ දෙපාර්ශවය තුළ පමණක් නොව යූ.එන්.පී. තුළ ද ප්‍රශ්න ඇති කරන තත්ත්වයක් උදාකරමින් තිබෙන බව මේ කතාවලින් පැහැදිලිය. 

මේ සියල්ල සලකා බැලිය යුතු වන්නේ ජනාධිපතිවරයා කැබිනට්ටුවේදී සිදුකළ වේගවත් කතාවද සමඟිනි. ඔහු එදින (16) සිදුකළ වේගවත් සහ හැඟීම්බර කතාවත් ඉන්පසුව එතැනින් පිටව යාමත් යහපාලන ආණ්ඩුව ඇතුළේ මෙතෙක් සිදුවූ බරපතළ දෙදරීම වශයෙන් සැලකිය හැකිය. කොටින්ම එය පුවත්පත් කාටුන්වලදී ජනාධිපතිවරයාගේ අත රුඳෙන කඩුවත් අගමැතිවරයා අත රුඳෙන හෙණ්ඩුවත් අතර ඍජු ගැටුමකට මුලපිරීමක් දෝ යන සැකයද දේශපාලන ක්ෂේත්‍රය කළඹවමින් තිබේ. එසේ වන්නේ  පහුගිය කාලය තුළදී යූ.එන්.පී. මන්ත්‍රීවරුන් කිහිප දෙනකු විසින් ජනාධිපතිවරයා වෙත එල්ල කරන ලද වාග් ප්‍රහාර රටේ සාමාන්‍ය පුරවැසියකුට වුවද ඔරොත්තු නොදෙන බව පැහැදිලි වීම නිසාය.

ජනාධිපතිවරයා රටේ නායකයාය. ඔහු පත්වූයේ රටේ මහජනතාවගේ ඡන්දයෙනි. එම ඡන්දවලින් බහුතරය ලැබුණේ යූ.එන්.පී.යෙන් බව සැබෑවකි. නමුත් එසේ වූ පළියට යූ.එන්.පී. විසින් සිදුකරන සෑම වැරදි ක්‍රියාවක්ම ජනාධිපතිවරයා අනුමත කළයුතුද යන්න ශ්‍රී.ල.නි.ප.යේ ලොකුම ප්‍රශ්නය වී තිබේ. එයටද සාධාරණ හේතු තිබේ.

ජනාධිපති සිරිසේන මහතාට යූ.එන්.පී.යෙන් ලැබුණු ඡන්දත් සමඟ හවුල් රජයක් පවත්වාගෙන යාම අභියෝගයකි. ඔහු ශ්‍රීලනිපය පාක්ෂිකයකු මිස යූ.එන්.පී. පාක්ෂිකයකු නොවේ. එසේ වුවත් ඔහු බලයට පත්වෙන්නේ යූ.එන්.පී. පාක්ෂිකයන්ගේ සම්පූර්ණ ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමෙනි. ඉතිරි ප්‍රමාණය ජවිපෙන්ද උතුරු සහ නැගෙනහිර ටී.එන්.ඒ. ප්‍රමුඛ ද්‍රවිඩ පක්ෂවලින් සම්පූර්ණ විය. එහෙත් මෛත්‍රීපාල සිරිසේන මහතා තමන්ගේ පක්ෂවල සහාය නැත්නම් ජනාධිපති පදවියට පත් නොවනා බවට ප්‍රකාශ කිරීමට යූ.එන්.පී.යට හෝ ජවිපෙට හැකියාවක් නැත. ඊට හේතුව මහින්ද රාජපක්ෂ පරාජය කර ජනාධිපති වශයෙන් තේරී පත්වීමට අවශ්‍ය වූ ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් 50% ඉක්මවා ලබාගැනීමට සමත් කිසිම අපේක්ෂකයකු එම පක්ෂ දෙකටම නොසිටීමය. රාජපක්ෂවරුන් තමන්ගේ බලය සහ සම්පත් පාවිච්චි කළ ආකාරය දැන දැනම මෛත්‍රීපාල එම සටනට අවතීර්ණ වූ බව ජවිපෙ කෙසේ වෙතත් යූ.එන්.පී.ය තේරැම් ගැනීම අවශ්‍යය. ඔවුන් එක්කෝ එය තේරැම් ගෙන නැත. නැතහොත් තේරුම් ගෙන ඒ වගක් නොපෙන්වා සිටිනවා විය යුතුය. 

රටේ ජනාධිපති ධුරය සමඟ ගැටෙමින් යූ.එන්.පී.ය මේ කරන්නේ භයානක දේශපාලන ක්‍රීඩාවක් බවත් එහි අවසානය යළිත් රාජපක්ෂ යුගයකට මග පාදන ක්‍රීඩාවක් බවත් එහි අවසානය යළිත් රාජපක්ෂ යුගයකට රටේ දේශපාලනය තල්ලුවීම විය හැකි බවත් යූ.එන්.පී.යට කෙසේ වෙතත් රටේ ජනතාව නම් දැන් තේරැම් ගනිමින් සිටිති. 2010 ජනාධිපතිවරණයේදී හිටපු හමුදා ප්‍රධානී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාට යූ.එන්.පී.ය කොතරම් සහාය දැක්වුවද ප්‍රතිඵලය විපක්ෂයට එකම ඛේදවාචකයක් විය. එහිදී ඡන්දය සිදුකෙරුණු ආකාරය ශ්‍රීලනිපයේ එවකට ලේකම් වී සිටි මෛත්‍රීපාල සිරිසේන මහතාද දකින්නට ඇත. ඒ සියලු දේ දැන දැනත් පක්ෂයෙන් එළියට බැස යූ.එන්.පී.ය සමඟ එක්වී අතිවිශාල අවදානමක් ගනිමින් මහින්ද සමඟ ඡන්ද සටනට පැමිණි මෛත්‍රීපාල සිරිසේන මහතාට මීට වඩා කෙළෙහි ගුණ දැක්වීමට හැකියාව තිබිය යුතු යැයි යූ.එන්.පී.යේම නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක කළ ප්‍රකාශය වලංගු වන්නේ මෙතැනදීය. එහෙත් එවැනි වලංගු භාවයක් දීමට යූ.එන්.පී.යේ කැමැත්තක් නැති බව පික්පොකට් කතාවලින් පැහැදිලි වන යථාර්ථයකි.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පවසන්නේ තමන් අකෘතඥ හෝ අමානුෂිකව ක්‍රියාකරන පුද්ගලයකු නොවන බවය. ඔහුගේ ප්‍රහාරය කෙළින්ම එල්ල වන්නේ යූ.එන්.පී.යේ දූෂණවලට නම ගෑවුණු තමන්ට එරෙහිව දැඩි විවේචනයක යෙදෙන කිහිපදෙනෙකුට පමණක් විරුද්ධවය. යූ.එන්.පී.යේ මන්ත්‍රීවරුන් තමන්ට ලැබී ඇති නිදහස භාවිත කරමින් ජනාධිපතිවරයාට වචනවලින් පහරදිය හැකි නම් පෙරළා ජනාධිපතිට එසේ කළ නොහැක්කේ මන්දැයි කෙනකුට ප්‍රශ්න කළ හැකිය. එහෙත් මේ ක්‍රියාදාමය ඉදිරියට ඇදී යාමෙන් සිදුවන්නේ කඩුව සහ හෙණ්ඩුව පමණක් ඉතිරි වී ආණ්ඩුව ඇදවැටීම බව තේරුම් නොගැනීම අවාසනාවකි.

යහපාලන හවුල් ආණ්ඩුව ඇතුළේ දෙපාර්ශ්වය අතර විශ්වාසය යළිත් ගොඩනැගීමට නම් ලොකු ඔපරේෂන් එකක් කිරීම අවශ්‍ය බව ඉතාම පැහැදිලිය. පාර්ශ්වකරුවන් තුළ තිබෙන බලාපොරොත්තු සහ ඕනෑ එපාකම් හොඳින් හඳුනාගැනීම අවශ්‍යය. අභියෝග පිළිබඳ තක්සේරැ කිරීමත් අවශ්‍යය. මේ සියල්ලටමත් වඩා උවමනා කරන්නේ මේ ආණ්ඩුව සාර්ථක වීමට නම් ජනාධිපතිට අගමැතිත්, අගමැතිට ජනාධිපතිත් අවශ්‍ය බවට දෙදෙනා විසින්ම අවබෝධ කර ගැනීමය. එය එම දෙදෙනා පමණක් නොව ගෝල බාලයන් විසින්ද පිළිගැනීමය. ඒ අවබෝධය සහ පිළිගැනීම නැතිව යහපාලන ආණ්ඩුවට ඉදිරි ගමනක් තිබෙන බවක් අපට නම් පෙනෙන්නේ නැත.

 ශශීන්ද්‍ර

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00